දේශීය ඉදිකිරීම්කරුවන්ට හිතකර අයවැයක් | සිළුමිණ

දේශීය ඉදිකිරීම්කරුවන්ට හිතකර අයවැයක්

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ නිරත වී සිටින දේශීය ව්‍යවසායකයින්ට පසුගිය වසර කිහිපය එතරම් සුබදායී එකක් වූයේ නැත . ඒ නිසාම ඇතැම් ඉදිකිරීම්කරුවන් රජය සමඟ සමග විරසකව අදහස් දැක් වූ අයුරු ද පෙනෙන්නට තිබුණු අතර ඔවුන්ගේ අදහස වූයේ සිය කර්මාන්තයට ගෙවී යන කාලය දුර්භික්ෂයක් උදාකර ඇති බවයි.

දේශීය ඉදිකිරීම්කරුවන් මුහුණ දී සිටි ගැටලු රජයටද පීඩාවක් නො වූවා නොවේ. එහෙයින් එම ගැටලු සඳහා තිරසාර විසඳුම් ලබාදීමේ අරමුණින් ඉදිකිරීම් ක්ෂේත්‍රය නියෝජනය කරන විවිධ පාර්ශ්ව සමඟ දීර්ඝ සාකච්ඡාවක බලධාරීන් නිරත වී සිටිනු දක්නට ලැබුණි.

එම සාකච්ඡාවලදී ඉදිකිරීම්කරුවන්ගේ ගැටලු පිළිබද යම් අවබෝධයක් ලබා ගැනීමට බලධාරීන්ට හැකිවූවාට සැක නැත. ඒ අනුව මෙරට ඉදිකිරීම්කරුවන් ශක්තිමත් කිරීම සඳහා වන සුවිශේෂී යෝජනාවක් මේ වසරේ අයවැය යෝජනා සඳහා ඉදිරිපත් කිරීමට ද රජය පියවර ගෙන තිබේ.

එම යෝජනාවෙහි සඳහන් වන්නේ දේශීය ඉදිකිරීම් සමාගම්වලට සහය වීම පිණිස මුළුමනින්ම විදේශ ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති හැර දේශීය ඉදිකිරීම්කරුවන් හෝ උපදේශන සමාගම් සමඟ බද්ධ ව්‍යාපාරයක් පිහිටුවීමෙන් තොරව කිසිදු විදේශීය ඉදිකිරීම් සමාගමකට රජයේ ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.

ආර්ථික විශේෂඥයන්ගේ අදහස වන්නේ මෙම යෝජනාව මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය නව දිශානතියක් වෙත යොමු කිරීමට හේතු සාධක වී ඇති බවයි.එය සත්‍යයක් ද ?දේශීය ඉදිකිරීම් සමාගම් වෙත මේ උදා වී ඇත්තේ සුබදායි හෝරාවක් ද ?මේ පිළිබඳව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ සභාපති අතුල ප්‍රියන්ත ගලබඩ මහතා සිය අදහස් ප්‍රකාශ කළේය

එහිදී එම සංගමයේ සභාපතිවරයා සදහන් කර සිටියේ 2019 අයවැය යෝජනා සඳහා මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනා පිළිබඳව තම සංගමය ධනාත්මක ප්‍රතිචාර දක්වා සිටින බවයි.

පසුගිය සමයන්හීදී මෙරට සමහර ප්‍රධාන ව්‍යාපෘතිවල මූලිකත්වය ඉසිලූයේ විදේශ ඉදිකිරීම් සමාගම් බවත් ඒ හේතුවෙන් දේශීය ඉදිකිරීම්කරුවන් අධෛර්යය වී ගිය බවත් ඒ නිසාම ඉදිකිරීම් ආයතන රැසක් වැසී ගොස් සේවකයින් විශාල පිරිසකටද සිය වෘත්තිය අහිමි වී ගිය බවත් පැහැදිලි කළ ඒ මහතා රජය ඉදිරිපත් කර ඇති නව යෝජනාවට අනුව මෙරට සුවිශේෂ ඉදිකිරීම් සිදු කිරීමට විදේශීය ඉදිකිරීම් සමාගම් වෙත ලැබී තිබුණු ඒකාධිකාරය අහෝසි වී දේශීය සමාගම්වලට ද එවැනි ඉදිකිරීම් කටයුතුවල මූලිකත්වය ගැනීමට ඉඩකඩ විවර වී ඇති බව පැහැදිලි කළේය.

“විදේශ රටවල හොඳ තාක්ෂණය තිබෙනවා. ඒ වගේම ඔවුන් නවීන තාක්ෂණික බල මෙවලම් මෙවලම්වලින් සන්නද්ධයි. එපමණක් නොවෙයි, ඔවුන්ට හොඳ පුහුණු ශ්‍රමිකයන් සිටිනවා. මෙවර අයවැය ලේඛනයට ඉදිරිපත් කර ඇති මෙම නව යෝජනාව ක්‍රියාත්මක වීම තුළ විදේශීය ඉදිකිරීම්කරුවන්ගේ අත්දැකීම් ද බෙදා හදා ගනිමින් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන්නට මෙරට ඉදිකිරීම් කරුවන්ට ඉතා හොඳ අවස්ථාවක් නිර්මාණය වී තිබෙනවා.

ඒ නිසාම අපි මෙම යෝජනාව පිළිබඳව අපගේ සතුට හා ප්‍රසාදය පළ කරන අතරම දේශීය ඉදිකිරීම් කරුවන් ශක්තිමත් කිරීම සඳහා තවත් පියවර ගැනීමට කටයුතූ කරන මෙන් රජයෙන් ඉල්ලා සිටිනවා.”

තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ සභාපති අතුල ප්‍රියන්ත ගලබඩ මහතා අවධාරණය කළේ දේශීය ඉදිකිරීම්කරුවන් මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වයන්ට මෙම අයවැය යෝජනාව කිසියම් ලෙසකට හෝ හෝ සාධනීය පිළිතුරක් ලැබී ඇති බවට දේශීය ඉදිකිරීම්කරුවන් තුළ විශ්වාසයක් ඇති වී ඇති බවයි.

රජය හැම විටවිටම කටයුතු කළ යුත්තේ විදේශීය ව්‍යවසායකයින් ආරක්ෂා කිරීමට නොව දේශීය ව්‍යවසායකයින් ආරක්ෂා කිරීමට බව ද ඔහු සඳහන් කළේය.

Comments