මං ණය අරන් බිස්නස් කරන්නෙ නැහැ | සිළුමිණ

මං ණය අරන් බිස්නස් කරන්නෙ නැහැ

දෙවියන් දුන් තලෙත්තුව හෙවත් ‘ටැලන්ට්’ එක ඇය දෝතින් ම බාරගත්තා පමණක් නොව, මුවහත් කරගත්තා ය. ‘බාබර්’ ලෙස පමණක් ලාංකිකයන් දැන සිටි රස්සාවට පිළිගැනීමක් නැති යුගයෙක වුව ඊට කැමැත්තෙන් අත ගැසුවා ය. පිරිමි, ‘බාබර්කම්’ කළාට ගැහැනු කරන්නේ ‘හෙයාර් ඩ්‍රසින්’ බවත්, එය වෘත්තීය භාවයෙන් යුතු රැකියාවක් බවත් ඇය ඔප්පු කළා ය.

අද ‘රමණී ෆර්නැන්ඩු’ යනු ශ්‍රී ලාංකේය සන්නාමයකි.

ව්‍යාපාරයක් බවට පත්වූ ඇගේ ‘පැෂන්’ එකට දැන් අවුරුදු හතළිහකි. එහෙයින්, අපි රමණී කියවමු.

 රූපලාවණ්‍යය සහ කේශලාවණ්‍යය.. ඔබට ව්‍යාපාරයක් විතර ද...

නැහැ. ඔය දෙකම මට කලාවක්. හදවතට දැනෙන හැඟීමක්. පාරිභෝගිකයාට කලින් මමයි ඔවුන් දිහා බලලා, ඒ හැඩය ලස්සන මුලින් ම විඳින්නේ. බිස්නස් පැත්තෙන් මං ඒ තරම් නොහිතන එකත් මට ගැටලුවක් නෙවෙයි. මොකද, මගේ මහත්තයා මාකටින් ඩිග්‍රියක් තියෙන කෙනෙක්. ව්‍යාපාරවලට දක්ෂ එයා. කවදාවත් මගේ දෙයින් ඉස්සරහට ආවේ නැති වුණාට, මගේ කලාව, මේ රටේ ශක්තිමත් බිස්නස් එකක් බවට පත්වෙලා තියෙනවා නම්, ඒ එයා නිසා.

චරිතයක් වෙලා බැබළෙන්නද කැමැති, මිනිසුන් අතර කෙනෙක් වෙන්නද කැමැති...

තැනකට ගියාම ලැබෙන පිළිගැනීම මට අභිමානයක්. නමුත් ඒක අහංකාර වෙන්න කාරණයක් නෙවෙයි. මිනිසුන්ව ලස්සන කරන කෙනකුට මවාගත්තු බොරු ආඩම්බරයෙන් ඇති වැඩක් නැහැ. මං මේ සමාජයේම කෙනෙක්. අපේ කණ්ඩායමේ කෙනෙක්. ඉතින්, ඔවුන් හා එක්ව වැඩ කිරීම පමණයි මට වැදගත්.

හැමෝම වගේ රූපලාවණ්‍ය නිෂ්පාදන ව්‍යාපාරවලට අතගහද්දී ඇයි ඔබ විතරක් තවම සැලෝන් විතරක් කරන්නේ...

අනවශ්‍ය ඔළුවෙ කැක්කුම් දාගන්න කැමැති නැති නිසා. මං කිව්වනේ; මේ මං විඳින කලාවත්. ඒකෙන් ඈත්වෙලා නොදන්න දේවල් එක්ක වද විඳින්න මං කැමැති නැහැ.

සැලෝන්වල සේවකයන් ඉක්මනින් තැන් මාරු කරනවා. ඒ, හරියට නොගෙවන නිසා ද...

මගේ අවුරුදු 40 ක සැලෝන් ජීවිතයේ අවුරුදු 25,20,15,10... ඔය හැම මට්ටමකම අය තවම මා එක්ක ඉන්නවා. හැබැයි හුඟ දෙනෙක් වැඩ ඉගෙන ගෙන කස්ටමර්ස්ලවත් කඩාගෙන යනවා. ගිහින් සැලෝන් අරිනවා. මුල් කාලෙ මටත් ඔය දේ වුණාම මාත් අපහසුතාවට පත්වුණා. හැබැයි දැන් නම් ගානක් නැහැ. එක්කෙනෙක් ගියොත්, දක්ෂතා තියෙන තව දෙතුන් දෙනෙක්වත් එනවා. කොහොම වුණත් යන අය යන්නෙ, වැටුප් නිසා ම නෙවෙයි, විවිධ හේතූන් නිසා.

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ඒ තරම් දක්ෂ අලුත් පරපුරක් ඉන්නවා කියලද ඔබ කියන්නේ...

ඔව්. අපේ ඇකඩමියෙත් එවැනි දක්ෂයො ඉන්නවා. ඒ වගේ ම අපේ ගනුදෙනුකරුවො කැඩිලා ගියත් කලක් ගියාම, ආපහු අපි ළඟටම එනවා. ඔය කොයි දේ වුණත් මට දැන් ගානක් නැහැ. හිත හොඳින් ඉවත් වෙලා ගිය දක්ෂ කාට වුණත් ආපහු පිහිටක් ඕනෙ වුණොත් මං ඒ අය බාර නොගෙන ඉන්නෙත් නැහැ. මොකද, ඒ අය ආපහු වැඩ කරන්න ගන්නෙ මෙතැන වටිනාකම වටහාගෙන. එහෙම සේවකයන්ට තමන්ගෙ රස්සාවෙ වටිනාකම දැනෙනවා.

මොන තරම් පිරිසකට ඔබ රැකියා හදා තිබෙනවද...

ශාඛා දොළහක, එකසිය අසූ පහක පිරිසක් වැඩ. මට හිතුණොත් මාත් කොණ්ඩෙ කපනවා. තවමත් මං කැමැති දේ කොණ්ඩෙ කපන්න.

ඇයි ඔබ හැම වෙලාවෙම තරු පහේ හෝටල්වලම සැලෝන් අරින්නේ...

ටාජ් හෝටලයේ පළමු ‍බ්‍රාන්ච් එකෙන් පස්සෙ බොහෝ හෝටල් මට ආරාධනා කළා. අන්තිම ආරාධනාව ආවෙ ශැංග්‍රිලා හෝටලයෙන්. හැබැයි මං ඒක අත්හැරියා. ගෙවන්න තියෙන්නෙ ඩොලර්වලින්. ගාස්තුව ඉහළයි. ඔ‍රොත්තු නොදෙන වැඩකරන්න මං කැමැති නැහැ.

බියුටි කල්චර්වලටත් සීසන් තියෙනවද...

ජූනි, දෙසැම්බර්, ජනවාරි... එහෙම සීසන් කාල. මොකද, දැන් මනමාලි විතරක් නෙවෙයි, මනමාලියගෙ අම්මා, අක්කා, නංගි, නෑයෝ මේ අයත් හැඩවෙනවනේ. ඒ විතරක් නෙවෙයි, දැන් මනමාලයා ඔහුගේ යාළුවෝ මේ හැමෝමත් නියපොත්තෙ ඉඳලා ඇහිබැම දක්වා තමන්ගේ රූපය ගැන හිතනවා. එහෙම සංස්කෘතියක් හැදිලා කියන්නේ, අපිට හුඟක් වැඩ තියෙනවා, කියන එකයි.

රටේ ආර්ථිකයත් හැඩ වැඩ වෙන්න එන අයට බලපානවා නේද...

සමහර අය එහෙම කියනවා. ඒත් මට නම් එහෙම දැනිලා නැහැ. මොකද, අපි ළඟට එන අයගෙ කිසිම අඩුවක් නැහැ.

ඔබට එහෙම නොදැනෙන්නෙ, ඔබේ ගනුදෙනුකරුවන් බහුතරය රටේ ඉහළ පැළැන්තියෙ අය නිසා වෙන්න ඇති...

සමහරවිට වෙන්න ඇති. ඒත් මගේ සැලකීමේ නම් ලොකු පොඩියක් නැහැ. මගේ කස්ටර්මර් මට කවදත් ලොකුයි.

ඔබට සාමාන්‍ය ජනතාව එක්ක ගනුදෙනුවක් ඇත්තෙම නැද්ද...

ඇයි නැත්තෙ. ඉන්දිරා ජයසූරිය පදනමෙන් මහරගම අපේක්ෂා රෝහලට කෙස් දන්දෙන වැඩසටහනෙ විශාල බරක් අදින්නෙ අපි. විග් හදන්න අවශ්‍ය කොණ්ඩ කපන්නෙ අපේ සැලෝන්වල. හැම මාසෙම කොණ්ඩා එකතු කරලා සෙන්ටර් එකකදී තෝරලා විග් හදන තැනට යවනවා. කොණ්ඩෙ දන් දෙන කෙනාගෙන් කපාගෙන, ඒ කෙනාට හරියන කොණ්ඩා මෝස්තරයකුත් අපි කපලා දෙන්නේ නොමිලයේ. මේ සියල්ලට පස්සෙ ඔබ දකින්න ඕනෙ, ඒ විග් එක ගන්න එන රෝගීන්ගේ මූණට එන හිනාව. ඒක හරිම ආත්මීය සතුටක්. මුලින් ම ඩොක්ටර් ලංකා ජයසූරිය මේ වැඩේට කැමැති ද කියලා මගෙන් අහපුවම මේ මං කරන්න ආසාවෙන් හිටි දෙයක් නේද... කියලා මට හිතුණා.

ඒ කියන්නෙ...

මං හැමදාම කොණ්ඩෙ කැපුවා. මනාලියො හැඩ කළා. ඒත් ඊට වඩා දෙයක් මට ඕනෙ වුණා. මේ තමයි ඒ සඳහා මට ලැබුණු හොඳම අවස්ථාව. පිළිකා රෝගීන් වෙනුවෙන් මුදලක් අය නොකර මේ දේ කරන්න ඉදිරිපත් වුණේ මගේ හිතේ තිබුණු ඒ ආසාව නිසා. ගම්මාන හැටියට, ආයතන හැටියට, අටසියයක්, වෙලාවකට හයසියයක්... පෝලිම් ගැහිලා කොණ්ඩෙ දන් දෙන්න බලා ඉන්න අපේ රටේ කාන්තාවෝ දැක්කම මගේ ශක්තියත් තව වැඩිවෙනවා. මගේ ස්ටාෆ් එක තමයි මේ වෙනුවෙන් වැඩියෙන් ම මහන්සි වෙන්නේ. ටික කාලයක් හරි සතුටක් විඳලා මිය යන පිළිකා රෝගියකුගේ මුහුණට හිනාවක් ගේන්න දැන් අපිට පුළුවන් වෙලා තියෙනවා.

ජීවිතය වෙනස් කළ හැරවුම් ලක්ෂ්‍යය කුමක්ද...

මගේ විවාහය... ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු උපනායක රංජිත් ෆර්නැන්ඩු මගේ සැමියා. ඔහු මුණ ගැහුණේ මට වයස 17 දී. 19 වෙද්දී අපි විවාහ වුණා. අපි එංගලන්තෙ ගියා. එයා ක්‍රිකට් ගැහුවා. මට කරන්න දෙයක් නැහැ. මං ලන්ඩන් හැරෝ නගරෙ ‘ජෙරාඩ් ලන්ඩන් මාටින් ගෝල්ඩ්’ සුප්‍රසිද්ධ සැලෝන් එකේ වැඩට ගියා. මට ඇස් ඇරුණෙ එතැනදි. ඔවුන් මට ‘ට්‍රයල්’ එකක් දුන්නා. මං කොණ්ඩෙ උඩට දාලා හෙයාර් ස්ටයිල් එකක් කළා. මගේ දැනුමෙ තරම මට තේරුණේ එදා. මොනවද මං දන්නෙ කියලා හිතුණා. ‘ඔයාට තව හුඟක් දේ ඉගෙන ගන්න තියෙනවා...’ කියූ ඔවුන් මට අවස්ථාවක් දුන්නා. හැබැයි මුල ඉඳලම පටන් ගන්න. මං ඒ අලුත් ජීවිතය බාරගත්තා. ඒ තබපු පුංචි පියවර දිගේයි, මං මේ තරම් දුරක් ආවේ.

සැමියා නිසා, බාහිර ලෝකයේ හුඟක් දේ අත්හරින බිරින්දෑවරුන් අතරේ, ඔබ හුඟක් දේ ළං කරගන්නෙත් සැමියා නිසාමයි...

ඔව්.‍ එයා තමයි මං කැමැති ලෝකය මට විවර කර දුන්නේ. “ඔයා ආසා නම් වැඩ කරන්න...” එහෙම කියපු රංජිත්, මට සැලෝන් එකකට යන්න දුන්නා. ඒත් ඒක ලේසි වුණේ නැහැ. ඕ ලෙවල් ඉවරවෙලා ලංකාවේදි ‘ෂාමෙන් ඩි සිල්වා’ ඇකඩමියේ හය මාසයක් විතර ඉගෙන ගෙන තිබූ මං, එංගලන්තෙ දැක්කෙ විසල් ලෝකයක්. ඒ නිසා, හැරෝ සැලෝන් එකේදි බින්දුවෙ ඉඳන් වැඩ පටන් ගන්න මං පැකි‍ළුණේ නැහැ. කොණ්ඩේ ෂැම්පු කරන්න, හෝදන්න, කැපූ කොණ්ඩෙ එකතු කරන්න, බිම අතුගාන්න... ඔය හැම දේම කළා. ගෙදර නොකරපු මේ හැම වැඩක්ම මං එතැන කළේ ආසාවෙන්. කොණ්ඩෙ හේදුවම ‘ටිප්ස්’ ලැබුණා. මහන්සි වුණාම සල්ලි ලැබෙන කොට සතුටක් දැනුණා. බොහොම ඉක්මනට මං ‘ජූනියර් හෙයාර් ඩ්‍රසර්’ හැටියට ප්‍රමෝට් වුණා. හොඳ ට්‍රේනින් එකක් ලැබුණා. දවල් වැඩ. හවස ට්‍රේනින්. ඒ අවුරුදු එක හමාර තමයි මං ලබපු හොඳම පන්නරය.

එංගලන්තෙ උපයපු මුදල්වලින් මොකද කළේ...

ඒ කාලෙ ලංකාවේ ඉලෙක්ට්‍රික් බඩු හිඟයි. ඕඩර් කරලා බලා ඉන්න ඕනෙ. මං එංගලන්තෙන් මට අවශ්‍ය කුකර් එක, කේතල්, රයිස් කුකර්, පොලිෂර් ඇතුළු හැම දේම ගත්තා. අන්තිමේ ගේන්න බාර දීපු කෙනත් නැහැ. බඩු ටිකක් නැහැ. එදා මං හරියට දුක් වුණා. සල්ලි හම්බ කරන්න සැලෝන් එකේ මහන්සි වෙච්චි හැටිත් මතක් වුණා. අන්තිමේ හිත හදාගත්තා. හැබැයි සැලෝන් එකට අවශ්‍ය සරල බඩු ටිකක් විතරක් මගේ ළඟ තිබුණා.

මොන තරම් ප්‍රාග්ධනයකින් ද ව්‍යාපාරය පටන් ගත්තෙ...

ඇත්තටම එහෙම ප්‍රාග්ධනයක් ඕනෙ වුණේ නැහැ. මේ ගෙදර වැඩිපුර එක පොඩි කාමරයක් තිබුණා. ඒකෙ සින්ක් එකක් හයි කරලා එක සැලෝන් පුටුවක් දාලා මං දන්න අයගෙ යාළුවන්ගෙ කොණ්ඩ කපන්න ගත්තා. මුලින් සල්ලි ගත්තෙත් නැහැ. කටින් කට ගිහින් කට්ටිය වැඩි වුණා. මං උදව්වට එක් කෙනෙක් ගත්තා. එක්කෙනා හතර පස් දෙනා වුණා. එංගලන්තෙ මං ලබපු ට්‍රේනින් එකම ඒ අයටත් දුන්නා. අවුරුදු පහකට පස්සෙ සැලෝන් එක මං ටාජ් සමුද්‍ර හෝටලයට අරන් ගියා. ඒ තමයි මගේ පළමු බ්‍රාන්ච් එක. අදටත් මං හිතන්නෙ, ශිල්පෙ දන්නවා නම් ලොකු ප්‍රාග්ධනයක් නෙවෙයි වැදගත්. පොඩියට පටන් ගත්තත් වැඩ එනවා.

ගනුදෙනුකරුවො අද්දවාගන්න, ඔබ කළ වෙනස කුමක්ද...

මං ලංකාවෙ වැඩ පටන් ගන්න කොට ජැනට්, මොයිරා, ජෙරල්ඩ්... වගේ කිහිප දෙනයි කොළඹ වැඩ කළේ. හැබැයි, මං මෙහෙ වැඩිය කවුරුත් භාවිත නොකරපු ‘බ්ලෝ ඩ්‍රයි’ මෙතඩ් එක බය නැතිව හඳුන්වා දුන්නා. ඒක හරි ඉක්මන් ක්‍රමයක්. එංගලන්තෙ නිතර භාවිත කරන ක්‍රමයක්. ඒක හුඟක් ජනප්‍රිය වුණා. හිතුවට මං ආදායම් ඉපැයුවා. ඒවා ආපහු බිස්නස් එකටම දැම්මා.

ඔබ කවදාවත් සැමියාගෙ පඩි පැකට් එක අතට එනකල් බලා හිටි බිරියක් නෙවෙයි වගේ...

කවදාවත් නැහැ. ඒ දවස්වල එයා කොම්පැනිවල වැඩ කළා. ක්‍රිකට් ගහන්න නිතර පිටරටත් ගියා. සල්ලිවලින් අඩුවක් නොතිබුණාට ළමයි හතර දෙනකුට උගන්වලා, හැම දේම කරලා මං ඉතිරිත් කළා. හැම සැලෝන් එකක්ම මං ඇරියේ, ඒවායින්ම හම්බ කරපු මුදල්වලින්. අද වෙනකල් මං ‍කාගෙන්වත්, බැංකුවකින්වත් ණය අරන් නැහැ. ණය ගන්න එක මං ඇකැමැතිම දෙයක්. ණය අරන් බිස්නස් කරන එක මගේ ක්‍රමය නොවෙයි.

දරුවන්ගේ ලෝකෙ වීරයා තාත්තා. එතකොට ඔබේ...

එකහිතින් ම තාත්තා. මගේ තාත්තා ලෝයර් කෙනෙක්. වෘත්තීය ජීවිතයෙ එයාට හොඳ ප්‍රතිපත්ති තිබුණා. ගෙදරදි වුණත් එයාට විනය අංක එක. මං ඉපදෙනකොට තාත්තට පණහයි. මගේ මතකයේ ඉන්න තාත්තා, ටිකක් වයසක පෙනුමැති කෙනෙක්. අක්කලා දෙන්නයි, අයියයි මට වඩා අවුරුදු දහසය, පහළොව වගේ හුඟක් වැඩිමල්. ඒ නිසා තාත්තගෙ ආදරේ කොහොමටත් වැඩිපුර ලැබුණෙ මට. ඒත් මගේ අයියා, අවුරුදු විසිතුනේදී හදිසි අනතුරකින් මිය ගියා. ඊට මාස හයකට පස්සෙ තාත්තත් නැති වුණා. පවුලෙ හිටි එකම පිරිමි ළමයා නැතිවීම තාත්තට දරාගන්න බැරි වෙන්න ඇති. කොහොම වුණත් තාත්තා නෙවෙයි නම්, සමහරවිට අද මං මෙතැන නැතිවෙයි.

ඇයි එහෙම කියන්නෙ...

ඒ කාලෙ, ගෑනු කොණ්ඩෙ කපනවා කිව්වම ඒ තරම් ගණන් ගත්තෙ නැහැ, ඉගෙන ගන්න බැරි අය කරන දෙයක් හැටියටයි, මේ රස්සාව සැලකුවේ‍. ඕ ලෙවල්වලින් පස්සෙ, මං ‘හෙයාර් ඩ්‍රසින්’ කෝස් එකක් කරනවා කිව්වම, තාත්තගෙ යාළු ලෝයර් කෙනෙක්, මං ඉස්සරහම කිව්වා, ‘ඔයා දුවව බාබර් කෙනෙක් කරන්නද හදන්නේ...’ කියලා. දන්නවද මගේ තාත්තා කියපු දේ... ‘ඒකට කමක් නැහැ. එයා කැමැති දේ කරපුදෙන්. දවසක එයා මට වැඩිය ගමනක් යයි. මට වැඩිය සල්ලිත් හොයයි. මොකද මිනිස්සුන්ගෙ කොණ්ඩෙ වැවෙන එක කවදාවත් නැති වෙන්නෙ නැහැනේ...’ කිව්වා. තාත්තා කියූ විදියටම මං එයාගෙ වචනෙ තිබ්බා. මං අපේ රටේ කොණ්ඩෙ කැපීමේ කලාව, ‘ප්‍රොෆෙෂනල්’ දෙයක් බවට පත් කළා. මං මගේ වෘත්තියේ එක්ස්පර්ට් කෙනෙක් වුණා. මේක බොහොම ගෞරවනීය වෘත්තියක්. ඒ වගේ ම, ප්‍රොෆෙෂනලි හැන්ඩ්ල් කරන්න ඕනෙ දෙයක්.

කොහේද ඔබ ඉගෙනගත්තෙ...

අවුරුදු නවය වෙනකල් කුලියාපිටිය කොන්වන්ට් එකේ. අවුරුදු දහයේ ඉඳන් කොළඹ සෙන්ට් බ්‍රිජට්ස්. තාත්තා කුලියාපිටිය උසාවියේ වැඩ කළ නිසා අපි පදිංචි වෙලා හිටියේ කුලියාපිටියේ. ඒ නිසා, ටික කාලයක් මට සිද්ධ වුණා සෙන්ට් බ්‍රිජට්ස් හොස්ටල් එකේ නතර වෙන්න. ළමයෙක් හැටියට ස්වාධීනව හිතපු වැඩ කරපු, මගේ හොඳම කාලය තමයි ඒ හොස්ටල් ජීවිතේ.

ඒ කියන්නෙ, ඔබ, ඔබ හැටියට වැඩුණා...

ඔව්. ගෙදරදි පුළුවන් තරම් බෝනික්කො හැඩ කරපු කරපු මං, හොස්ටල් එකේදි යාළුවන්ව හැඩ කරන්න ගත්තා. වයස එකොළහයි. තේරෙන විදියට මං යාළුවන්ගෙ ඇහිබැම හැදුවා. හෙයාර් ස්ටයිල් දැම්මා. කොන්සට්වලදී ‍මේකප් කළා. මාත් හොඳට හැඩ වැඩවුණා. තියෙන ඇඳුමට මොනවා හරි ෆැෂන් එකක් කළා. මේවා කරන්න ගිහින් ප්‍රශ්න ඇති කරගත්තු අවස්ථාත් නැතුවා නෙවෙයි. මොන ප්‍රශ්න ආවත් හොරෙන් හොරෙන් හොස්ටල් එකේදී මේ දේවල් කරන එක නම් නැවැත්තුවෙ නැහැ. අන්තිමේ මගේ අම්මලත් දැන ගත්තා, පොත ‍පතේ අධ්‍යාපනයට වඩා මගේ ඇල්ම තියෙන්නෙ උපතින් එන මේ හැකියාවට කියලා. ම‍ගේ අම්මා තාත්තා කවදාවත් මේ දේට විරුද්ධ නොවුණු එකමයි, මට දීපු තල්ලුව; අත්වැල.

පුංචි ළමයකුට එහෙම සිතිවිලි එන්නෙ, ඇහෙන දකින ආදර්ශයෙන්. මොකක්ද ඔබට තිබුණු පසුබිම...

ඒකට මට උත්තරයක් නැහැ. මොකද, ආදර්ශයක් තියා, ඒ පුංචි කාලෙ කවුරුවත් කාවවත් විශේෂයෙන් හැඩ වැඩ කරනවා. දැකපු බවක්වත් මට මතක නැහැ. ඊටත් වඩා, ටී.වී., ඉන්ටනෙට් අහලවත් නැති යුගයක්. මං තුළම පොපියපු නළියපු, වයසටත් කලින් මං තුළින් ම එළියට ආපු සහ හෙමි හෙමින් ගොඩනගා ගත්තු මගේ ‘පැෂන්’ එක මේ. ඇත්තටම මනමාලියො කියලා මගේ මතකයේ ඉන්නෙත් මගේ අක්කලා දෙන්නා විතරයි. ඒ‍කත්, මං ඒ දෙන්නගෙ ‘ෆ්ලවර්ගර්ල්’ වෙච්චි නිසා. අම්මා නම් ගෙදරටත් සාරි ඇඳලා හැඩට හිටපු කෙනෙක්. අම්මා කුලියාපිටිය ක්ලබ් එකේ ටෙනිස් ගැහුවෙත් සාරි ඇඳන්. මේ හැරෙන්න වෙන කිසිම සිදුවීමක් මගේ මතකයේ නැහැ.

අරපිරිමැස්ම... දරාගැනීම... ජීවිතයේ කවරදා හෝ අත්විඳ තිබෙනවද...

සෙන්ට් බ්‍රිජට් ඉගෙන ගත්තෙ කියලා, සල්ලිකාර පවුල්වල දරුවන්ට වගේ අසීමාන්තිකව කිසිම දෙයක් ලැබුණෙ නැහැ. අලුත් ඇඳුමක් පවා ලැබුණෙ නත්තලට; උපන්දිනයට. එහෙමත් නැතිනම් තලවිල පල්ලියේ මංගල්‍යයට යනකොට, එච්චරයි‍. ළමයින් හැටියට ආසාවල් නොතිබුණා නෙවෙයි, නමුත් ඉල්ලන ඉල්ලන ගානේ අපිට දේවල් ලැබුණෙ නැහැ. පවුලෙ බාලයා විදිහට ආදරය ඕනෙ තරම් ලැබුණා. හැබැයි හැම දේම තාත්තාගෙ පාලනයට යටත්ව.

අවුරුදු හතළිහක් ක්ෂේත්‍රයේ. වැඩ කළා ඇතැයි කියලා හිතෙන්නෙ නැද්ද...

අවුරුද්දකට වතාවක් දෙකක් මං අදටත් Refresher Course එකකට යනවා‍. ලෝකයේ වෙනස්වන දැනුම අලුත් කරගන්න නම්, අප්ඩේට් වෙන්න නම්, හැම තිස්සෙම අපිත් දැනුම නැවුම් වන කෙටි පාඨමාලාවලට සහභාගි විය යුතුයි. අපි හැමදේම දන්නවා කියලා එක තැන ඉන්න ක්‍රමයට මං කැමැති නැහැ. ඉතින් මං වයස ගැන වද වෙන්නෙ නැහැ. මැරෙන කල් වුණත් වැඩ කරන්නයි මං කැමැති. පාන්දර නැගිටලා මනමාලියො අන්දන්න යන එක හැර වෙන කිසිම මහන්සියක් තවම මට දැනෙන්නෙ නැහැ.

තවමත් මේ තරම් හැඩට ඉන්නෙ මේක්-අප් නිසාද...

දැන් මට වයස හැටපහයි. මං මාව හොඳින් බලාගන්නවා. ෆේෂල් එකක් කරන්නෙ නම් මාසෙකට සැරයයි. මං ව්‍යායාම කරන එක විනෝදයක් කරගත්තු කෙනෙක්. රතු නාඩු බත්, එළවළු, මාළු මගේ කෑම වේලෙ වරදින්නෙ නැහැ. හැබැයි කන ප්‍රමාණය ටිකයි.

ඔබෙන් පස්සෙ කවුද ව්‍යාපාරය බාර ගන්නෙ...

මට ඉන්නෙ එක දූයි, පුත්තු තුනයි. රශිකා දූයි එයාගෙ මහත්තයයි දෙන්නම එංගලන්තෙ ලිවර්පූල් රෝහලේ වෛද්‍යවරු. දූට දරුවො තුනයි. එයාගෙ ලොකු ම දූටත් පහළොවක්. ඊළඟට මගේ රිශේන් පුතා. එයාට IT කොම්පැනියක් තියෙනවා. එයාටත් ඉන්නෙ එක පුතෙක්. රෙහාන් පුතා තුන් වැනියා. එයා තමයි දැනට වැඩිපුර අපේ බිස්නස් එකේ ඉන්නේ. රඛීල් බාලයා. සිංගප්පූරු බැංකුවක වැඩ කළා. එයාට බිස්නස් වගේම, හොඳ කලාත්මක හැකියාවක් තියෙනවා. රෙහාන්, රඛීල් පුතාලා තමයි ටිකක් හරි මේ ගැන උනන්දු. අනාගතයේ ‍හොඳ දෙයක් වෙයි. මං ඒ ගැන ලොකුවට හිතලා නැහැ.

අවුරුදු පහළොවක මිනිබිරියකගේ ආච්චි කෙනෙක්. දැනෙනවද ඒ හැඟීම...

ඔව්. ‘අනිකා‘ තමයි, මං වගේ ම ෆැෂන් කරන මගේ ලොකු මිනිබිරී. එයා මට ‘ආච්චි’ කියන්නේ. මං හරි ආසයි ඒ ආමන්ත්‍රණයට. හෙට අනිද්දා රඛීල් පුතාත්, දරුවත් ඉපදුණාම මං, මුනුපුරු මිනිපිරියෝ පස් දෙනෙකුගේ ආච්චි කෙනෙක්.

කාට හරි හිතුණොත් රමණී ෆර්නැන්ඩු කෙනෙක් වෙන්න, මොනවද කරන්න ඕනේ...

අංක එක. තමන්ගෙ වෘත්තියේ ගරුත්වය රකින්න ඕනේ. ප්‍රොෆෙෂනල් වෙන්න ඕනෙ.‍ මං හැම වැඩක් ම ප්ලෑන් කරන කෙනෙක්. හැම දේටම ලිස්ට් එකක් හදන එකත් මගේ පුරුද්ද. එතකොට වැඩවල කොටස් අත් හැරෙන්නෙ නැහැ. ඒ වගේ ම මේ වෘත්තියේදී බාල දේ පාවිච්චි කරලා ලාභ උපයන්න හිතුවොත් ආයෙ කෙනෙක් ඔබේ සැලෝන් එක පැත්තටවත් එන්නෙ නැහැ. ඒ නිසා පාරිභෝගික හොඳ හිත සහ විශ්වාසය මේ ගමනෙදි ඔබ හිස් මුදුනින් සැලකිය යුතු යි. කවුරුහරි මගෙන් ඉගෙන ගන්න ඕනෙ මේ දේවල්.

Comments