මෙවර අයවැයේ යෝජනා අප අගය කරනවා | සිළුමිණ

මෙවර අයවැයේ යෝජනා අප අගය කරනවා

මෙවර 2019 අයවැය යෝජනා පිළිබඳ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ අදහස් දැක්වීම සඳහා මාධ්‍ය හමුවක් පසුගිය දා වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ එහි සභාපති අසේල ද ලිවේරා සහ විධායක මණ්ඩල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙනි. මෙහිදී අයවැය යෝජනා පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති අසේල ද ලිවේරා ප්‍රකාශ කර සිටියේ මෙවර අය වැය යෝජනා අනූව, රජය සිය මූලික ප්‍රතිපත්තිවලින් බැහැර නොවී සිය මූල්‍ය සහ සංවර්ධන කටයුතු මෙහෙයවීම ජාතික වාණිජ මණ්ඩලයේ ඇගයීමට ලක් වන බවයි.

මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දැක් වූ එහි ‍ෙජ්‍යෂ්ඨ උප සභාපති නන්දික බුද්ධිපාල මහතා පවසා සිටියේ,

''රුපියල් මිලියන හතළිස් අටදහසක් වෙන් කරමින් ගම්පෙරළිය වැඩසටහන ඔස්සේ ග්‍රාමීය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා රජය යොමුවීම සහ රුපියල් මිලියන පන්සියයක් වෙන් කරමින් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ තරුණ ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීම සඳහා ගන්නා උත්සාහය මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ මූලික අවශ්‍යතාවයක් වන මුදල් ප්‍රතිපාදන සඳහා වූ ඇපකර ශ්‍රි ලංකා මහ බැංකුව මඟින් ලබාදීමට කටයුතු කිරීම ජාතික වණිජ මණ්ඩලයේ අගය කිරීමට භාජනය වන බවයි.

'' අය වැය යෝජනා මඟින් කෘෂි ආර්ථික ජීවන රටාව නගා සිටුවීම සඳහා මොරගහකන්ද සහ කළු ගඟ බහු කාර්ය යෝජනා ක්‍රම මඟින් රුපියල් මිලියන දොළොස් දහසක මුදල් ප්‍රතිපාදන ලබාදීමෙන් සිදු කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳ වාණිජ මණ්ඩලය අගය කරනවා.

ඒ වගේම සමාජ සුබසාධනය අරමුණු කරගනිමින් ඒ සඳහා රුපියල් මිලියන පන්සියයක් මුදල් ප්‍රතිපාදන වෙන් කරමින් නාගරික, ග්‍රාමීය වතු ආශ්‍රිත, උතුරු නැගෙනහිර ප්‍රදේශවල අඩු ආදායම් නිවාස අවශ්‍යතා සපුරාලීමට ගත් පියවර යහපත් බව අපගේ හැඟීමයි.

බුද්ධි ප්‍රවර්ධනය සඳහා ආයෝජනය කරමින්, රු. මිලියන 32,000 ක් පාසල් යටිතල පහසුකම් දියුණු කිරීම උදෙසා ද තවත් රු. මිලියන 25,000 ක් විශ්වවිද්‍යාල යටිතල පහසුකම් ප්‍රවර්ධනය සඳහා ද යොමු කිරීම, ඉතා අගනා පියවරක් වේ. තවද සෞඛ්‍යය යටිතල පහසුකම් ප්‍රවර්ධනය සඳහා ද මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම යහපත් බව සඳහන් කළ යුතු ය.

ඉතා කෙටි කාලයක් තුළ යෝජිත ව්‍යාපෘති සියල්ල අවසන් කිරීමේ අභියෝගාත්මක කර්තව්‍යයකට රජය මුහුණ දී සිටින අතර ඒ සඳහා වූ ආයතනික ධාරිතාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නංවමින් ඉලක්කගත අරමුණු කරා යොමුවීම ඉතා වැදගත් බව ජාතික වාණිජ මණ්ඩලයේ අදහසයි.

ආයෝජන දිරිගැන්වීමේ අරමුණු ඇතිව ඇ.ඩො. මිලියන 100 ට ඉහළ සහ ඇ‍.ඩො. බිලියන 1 ට ඉහළ මෙන් ම මධ්‍ය පරිමාණ ආ‍යෝජන සඳහා ලබාදී ඇති බදු සහන ජාතික වාණිජ මණ්ඩලය ඇගයීමට ලක් කරන අතර තවද Ease of Doing Business Index, ගෝලීය තරගකාරිත්වය දර්ශකය, ආර්ථික නිදහස පිළිබඳ දර්ශකය, ගෝලීය දූෂණ මැඩලීමේ දර්ශකය, Logistics Performance Index යන දර්ශක වෙත යහපත් ලෙස ළඟාවීම ආයෝජන සඳහා ඉතාමත් වැදගත් බව අපගේ අදහසයි.

රාජ්‍ය ආදායම පසුගිය වර්ෂයට සාපේක්ෂව 20% කින් ඉහළ දමමින් රජයේ පුනරාවර්ථන වියදම් සහ ආයෝජන වියදම් හසුරවා ගැනීමට දරන උත්සාහය මෙන් ම අයවැය පරතරය 4.4% ක් ලෙස පවත්වා ගැනීම මන්දගාමී ආර්ථික වර්ධන වේගයක් තුළ අභියෝගාත්මක කරුණක් වේ.

අපේක්ෂිත පොලී ගෙවීම්, මුළු රාජ්‍ය ආදායමින් 35% ක් තරම් වන අතර මුළු බදු ආදායම තුළ වක්‍ර බදු ඉහළ අගයක් ගැනීමට ද අභියෝගාත්මක කරුණු ලෙස ජාතික වාණිජ මණ්ඩලයේ නිරීක්ෂණයට ලක්වේ.

මූල්‍ය හිඟය පියවා ගැනීම අරමුණු කරගත් ක්‍රියාපටිපාටියේදී දේශීය මූලාශ්‍ර වෙත යොමු වීම ඉතාමත් වැදගත් බව ජාතික වාණිජ මණ්ඩලයේ අදහසයි. ණය ආපසු ගෙවීම් රු. බිලියන 665 ක අගයක් ගන්නා අවස්ථාවක මෙම ක්‍රියාපටිපාටිය, විනිමය අනුපාතය ගැටලුව සමනය කිරීම සඳහා ඉවහල් වනු ඇති බව අපගේ විශ්වාසයයි.

Comments