ආද­රය හිතේ හංගන් එදා දිවූ කරත්ත රේස් යළිත් කිළි­නො­ච්චියේ | සිළුමිණ

ආද­රය හිතේ හංගන් එදා දිවූ කරත්ත රේස් යළිත් කිළි­නො­ච්චියේ

කාර්ය බහුල මිනි­සාට අද ගොන් කර­ත්තයේ ජවය හා වේගය ප්‍රමා­ණ­වත් නොවේ. මේ නිසාම අතීත ජන සමා­ජයේ ජන­ප්‍රිය වාහන අංග­යක් වූ ගොන් කර­ත්තය ඉවත ලා මිනිසා නවීන වාහ­න­ව­ලට හුරු වී සිටිති. අද ඉඳ­හිට හෝ ගොන් කර­ත්ත­යක සේයා­වක් ලෙස හෝ දක්නට ලැබෙන්නේ කර­ත්ත­යක රෝද­යක් දෙකක් ඇතැම් ස්ථාන­යන්හි අලං­කා­ර­යට සවි කොට තිබෙන අන්දම පමණි. ඇතැම් තැන්වල මෝස්ත­ර­යට මෙන් ගොනුන් නොමැති ගොන් කරත්ත නවතා තිබෙනු දැකිය හැකිය.

මෙලෙස අපේ සමා­ජ­යෙන් ක්‍රම­යෙන් දුරස්ව යන ගොන් කර­ත්තය තව­දු­ර­ටත් ආරක්ෂා කිරීම පිණිස කිළි­නො­ච්චියේ අක්ක­රා­ය­න්කු­ලම ගොවීන්ගේ සංග­මය පසු­ගි­යදා උත්සා­හ­යක් දරා තිබුණි. මුළු උතු­රේම ගොන් කරත්ත අයි­ති­ක­රු­වන් කැඳවා ගොන් කරත්ත තර­ග­යක් පැවැ­ත්වී­මය. මේ තර­ගා­ව­ලි­යට උතු­රෙන් ගොන් කරත්ත හැත්තෑ අටක් ඉදි­රි­පත් කොට තිබුණි.

තම පළාතේ ගොන් කරත්ත ඉතා අඩු සංඛ්‍යා­වක් ඇති නිසා මුළු උතු­රේම ගොන් කරත්ත හිමි­යන්ට මේ තර­ගා­ව­ලිය සදහා ආරා­ධනා කළ බව එහිදී කිළි­නො­ච්චිය අක්ක­රා­ය­න්කු­ලම ගොවීන්ගේ සංග­මයේ සභා­පති එස්. අරු­ලා­න­න්ද­කු­මාර් පැව­සීය.

“අපි පුංචි කාලේ ඉස්කෝලේ ගියෙත් මේ ගොන් කර­ත්ත­වල. ගෙද­ර­දොර ගමේ සේරම දෙවල් කෙරුණේ කර­ත්තෙන්. දෙමළ සංස්කෘ­ති­යත් ඔවුන්ගේ ජීවන රටා­වත් එක්ක මේක­ර­ත්ත­යට තියෙන්නේ පුදුම සම්බ­න්ධ­ක­මක් කියලා අලුත් පර­පුරේ අය දන්නේ නැහැ. කොහොම හරි ගොන් කරත්ත තර­ගය අපේ සාම්ප්‍ර­දා­යික තර­ග­යක් හින්දා අපි මේ තර­ගය සූදා­නම් කළා. අලුත් පර­ම්ප­රා­වට ගොන් කර­ත්ත­ව­ලින් කරන්න පුළු­වන් දේවල් දැක ගැනී­මට ලැබී­මත් අපට ලොකු සතු­ටක්. ඒ අර­මුණු කීපය මත තමයි මේ තර­ගා­ව­ලිය සංවි­ධා­නය ක‍ළේ”

ඇතැම් පිරිස් තර­ගා­ව­ලිය සඳහා දුර­බැ­හැර සිට ගොනුන් රැගෙ­න­විත් තිබුණේ ලොරි­වල පට­වා­ගෙ­නය. ලොරි­යද දැන් කන්ටේ­නර් විසින් ආක්‍ර­ම­ණය කරනු ලැබීම නිසා ක්‍රම­යෙන් ඉවත් වෙමින් යෑමේ තර්ජ­න­යට ලක්ව තිබේ.

කිළි­නො­ච්චීයේ අක්ක­රා­ය­න්කු­ලම පළාතේ සංවි­ධා­නය වූ මේ ගොන් කරත්ත තර­ගය නර­ඹ­මින් වැඩි­යෙන්ම සතුටු වූයේ ළම­යින්ය. ඔවුන් සිය ජීවි­තයේ දුටු හොඳම තර­ගා­ව­ලිය මේ බව ඔවු­න්වෙ­තින් පෙනිණ. මෙවන් තර­ගා­ව­ලි­යක අර­මුණ නොදන්නා නමුත් මුළු තර­ගා­ව­ලිය පුරාම ඒ දරු­වන් පසු­වූයේ සතු­ටෙනි. උද්දා­ම­යෙනි.

කිළි­නො­ච්චිය අක්ක­රා­ය­න්කු­ලම ක්‍රීඩාං­ග­ණ­යේදී ගොන් කරත්ත තර­ගා­ව­ලිය ආරම්භ වූයේ කරත්ත හැත්තෑ අටක බඳින ලද ගව­යින් 156 දෙවි­යන්ට බාර කර­මින් කළ දේව පූජා­වෙන් පසු­වය. ගොනුන් පම­ණක් නොව කරත්ත කරු­වන්ද දෙවි­යන්ට බාර කෙරුණි.

ගව­යන් බාර කෙරුණේ ගව­යන්ට අධි­පති දෙවියා යැයි පැව­සෙන ගොපලු දෙවි­යා­ටය. කරත්ත දක්කන මිනි­සුන් බාර වූයේ විෂ්ණු දෙවි­ය­න්ටත් පළාත බාර දෙවි­යන් වූ ගම්බාර (පුල්ල­යාර්) දෙවි­ය­න්ටත්ය.

ගොන් කරත්ත තරග විනෝ­ද­ය­ටම කරන ක්‍රීඩා­වක් නොවන බව අක්ක­රා­ය­න්කු­ලම ශ්‍රී විග්නේ­ස්වරා කෝවිලේ බාල­සු­බ්‍ර­ම­නි­යම් ප්‍රධාන කුරු­ක්ක­ල්තුමා පැව­සුවේ ගව­යාගේ වැද­ග­ත්කම පහ­ද­මිනි.

“ගවයා හින්දුන්ගේ පූජ­නීය සතෙක්. ඒ නිසා ගව­යින්ට දෙවි­යන් ලෙස සැල­කිය යුතු බව පොත්ප­ත්වල සඳ­හන් වනවා.

කෘෂි­කා­ර්මික කට­යුතු සඳහා ගවයා ඉතාම වැද­ගත් සතෙක් නිසා සෑම අවු­රු­ද්ද­කම ජන­වාරී මාසයේ තෛපොං­ගල් දින­යට පසු දවසේ ගව­යන්ට ගරු සත්කාර කරන ‘මාඩු පොංගල්’දිනය පව­ත්ව­නවා. එදාට ගව­යන් සුවඳ පැනින් නහවා මල්මාලා දමා සරසා කැවුම් කිරි­බත් හදලා කන්න දෙනවා. එදාට කිසිම කෙනෙක් ගව­ය­න්ගෙන් වැඩ ගන්නේ නැහැ.

කෘෂි­කා­ර්මික කට­යු­තු­ව­ලට යොදා ගන්නා ගව­යින්ට හොඳට ශක්තිය ඕනෑ. විශේ­ෂ­යෙන්ම සී සෑමේ දී හොඳ ශක්ති­යක් අව­ශ්‍ය­යයි. මේ හන්දා තමයි මහ කන්නයේ කුඹුරු වගා කිරී­මට පෙර මේ ගොන් කරත්ත තරග පව­ත්වන්න අපේ ජන­තාව සම්ප්‍ර­දා­යා­නු­කූ­ලව පුරුදු වෙලා ඉන්නේ. එතැ­නදී කාරණා දෙකක් ඉෂ්ට වෙනවා. එකක් තමයි ගව­යින් දෙවි­යන්ට බාර කිරීම හා දේවා­ශි­ර්වා­දය ලබා දීම. අර කලින් කිව්ව ‘මාඩු පොංගල්’දව­සට පස්සේ ගව­යන්ට දෙවි­යන් ඉදි­රියේ ආශි­ර්වාද ලැබෙන්නේ මේ ගොන් කරත්ත තරග තියන දව­ස­ටයි. ඊළග කාර­ණය තමයි ගව­යාගේ ශක්තිය මැන බල­න්නට පුළු­වන් වෙන එක. තර­ග­ව­ලට පෙර ගව­යින් ඒ සඳහා පුරුදු පුහුණු කර­නවා. එත­කොට ඒ ගව­යන්ට යම්කිසි ලෙඩක් තිය­න­වද කියන එක දැන ගන්න පුලු­වන් වෙනවා. සෝමාරී කම්මැලි ගව­යින් කෘෂි­කා­ර්මික කට­යු­තු­ව­ලට යොදා ගන්නේ නැහැ.

ගොන් කරත්ත තර­ග­ව­ල­ටත් ඒ වගේ ගවයෝ සුදුසු නැහැ. ඉතිං ගොවි­යට තමන්ගේ කෘෂි­කා­ර්මික කට­යු­තු­ව­ලට හොඳම ගව­යන් තෝරා ගැනීම සඳහා මේ ගොන් කරත්ත තරග වැද­ගත් වෙනවා.

පුරුදු පුහුණු කරණ කාලෙ­දිත් ගොන් කරත්ත තරග පව­ත්වන කාලෙ­දිත් ලෙඩ වෙන ගව­යින් ඉවත් කර­නවා. බෙල්ලේ මොනව හරි එල්ලලා ඒ ගවයා ගව ගාලෙන් නිද­හස් කර­නවා. සිංහල අයත් මේක කර­නවා මම දැකලා තිය­නවා. ඒ අය මේ ගව­යන්ට කියන්නේ පින් හරකා කිය­ලයි. ඒ කියන්නේ පිනට ඇරලා තියෙන්නේ.

කෘෂි­කා­ර්මික කට­යු­තු­ව­ලට යොදා ගන්න ගව­යන් නොමැති ගොවීන් ගොන් කරත්ත තරග බලන්න කොහොම හරි එනවා. ඒ තර­ග­යෙන් දිනන ගව­යන්ට පුදුම ඉල්ලු­මක් තියෙන්නේ. එදාම තමන්ගේ කුඹුරේ වැඩ මේ ගව­ය­න්ගෙන් කරලා දෙන්න කියලා ගොවි­යන් ගව හිමි­ය­න්ගෙන් ඉල්ල­නවා.

ජය­ග්‍ර­හ­ණය කළ ගව­යන් කුඹුරු වැඩට දෙන්නම් කියලා ගව හිමියා පොරොන්දු වෙන­වත් එක්කම ඒ ගොවියා ගව­යින්ව ආරක්ෂා කරලා දෙන්න කියලා දෙවි­යන්ට පඬුරු බඳි­නවා. ඒ වගේම දිනපු ඒ ගව­යන්ට කන්න කෙසෙල් ගෙඩි ඇව­රි­යක් හරි අරන් දෙනවා.

මෙහෙම බල­න­කොට මේ ගොන් කරත්ත තර­ගත් එක්ක බැදුණු තවත් චාරිත්‍ර වාරිත්‍ර ගණ­නා­වක්ම හින්දු ජන­තාව තුළ පව­ති­නවා.

තර­ග­යට ඉදි­රි­පත් වෙලා දිනපු ගව­යන්ට මල්මාලා දානවා. ගව හිමියෝ ඒ ගව­යන්ව පිළි­ගන්නේ ළම­යෙක් ඉඹි­නවා වගේ ඉඹ­ලයි. ඊට පස්සේ කන්න බොන්න දෙනවා. විවේ­ක­යෙන් ඉන්න දෙනවා. තර­ග­යෙන් පස්සේ තර­ගෙට ඉදි­රි­පත් වුණු සේරම ගව­යන්ට නැව­තත් ආශි­ර්වාද කර­නවා. කරත්ත දැක්කුව පිරි­ස­ටත් එහෙ­මයි. ඒකෙන් පස්සේ තමයි තෑගි බෝග අර­ගෙන සිය­ලුම දෙනා විසිර යන්නේ.”

එදින කර­ත්ත­ක­රු­වන් ද සිටියෙ සතු­ටිනි. තම ගවයා ජය­ග්‍ර­හ­ණය කළත් නොක­ළත් තර­ග­යට ගවයා සහ­භාගි කර­වී­මෙන් ඉහළ සතු­ටක් ලබන බව ඔව්හු පව­සති.

“මේ රේස් හැම­දාම නෑනේ. ඉඳ හිට තමයි තියෙන්නේ. අපේ තාත්ත­ලාගේ කාලේ මේ රේස් පැවැත්වු‍ණේ හැම අවු­රු­ද්දෙම ගොයම් කැපී­මත් එක්කයි. ඒ රේස්ව­ලට නීති ගොඩාක් තිබුණා.

පල­වෙනි නීතිය තමයි ගම්මා­නයේ උද­වි­යට විත­රයි ඒ තර­ග­යට සහ­භාගි වෙන්න පුළු­වන්. පිට අයට සහ­භාගී වෙන්න වෙනම තර­ග­යක් තිබුණා. ඒකට ඒ අය මුදල් ගෙවලා ඇතුළු වෙන්න ඕනේ. 1970 වගේ ඒ එක කර­ත්ත­ය­කින් රුපි­යල් දහ­යක් තමයි ඇතු­ළු­වීමේ ගාස්තුව විදි­හට ගත්තේ. ඉතින් එයාලා තර­ගෙන් දිනු­වත් තෑගි විදි­හට ලැබෙන්නේ රුපි­යල් විසි­ප­හක විතර දේවල්. දිනු­වත් පැර­දු­නත් කරත්තේ දක්කපු කෙනාට කෑම බීම ලැබෙ­නවා. ගොන් දෙන්නට වෙනම කෑම ලැබෙ­නවා.

දෙවනි නීතිය වෙන්නේ තමන්ගේ කුඹුර ගොවි­තැන් නොක­ළොත් ඒ අය­ටත් මේ තර­ග­යට සහ­භාගි වෙන්න බැහැ. මේ නිසා හැමෝම කුඹුරු කොහොම හරි කළා. මේක හොඳ වැඩක්. ඒ කාලේ ගොන් කර­ත්ත­යක් තියන කෙනෙක් තර­ගෙ­කට ඉදි­රි­පත් වෙන්නේ නෑ කිව්වම මදි­ක­මක් වගේ. ඒක නිසා තර­ගෙට ඉදි­රි­පත් වෙන්න ඕනේ නිසා කොහොම හරි කුඹු­රත් කර­නවා.

ඉතින් මේ ගොන් කර­ත්තය රේස් එකට දාලා කරත්තේ හයි­යෙන් දක්කලා දිනන කෙනාට ගෑනු ළමයි හරීම ආද­රෙයි. ඒත් අපේ දෙමළ සංස්කෘ­ති­යත් එක්ක ආදරේ කරන්න අමා­රු­යිනේ. වංශ­වත් දෙමළ අය කරත්ත දක්කන අය හෑල්ලු­වට ලක් කර­නවා කර­ත්ත­කා­රයෝ කියලා.

අනිත් අය දෑවැද්ද ගැන හොය­නවා. ඒක නිසා කරත්ත රේස් එක දිනු­වත් හිතේ තමයි ආදරේ හැංගිලා තියෙන්නේ. ඒත් හරීම සුන්ද­රයි”

කිළි­නො­ච්චියේ අක්ක­රා­ය­න්කු­ලම පළාතේ මෙවර තර­ගය පැවැත්වු‍ණේ 53වැනි වර­ටය. එහෙත් මේ තර­ග­ව­ල­ටද දැන් සත්ව­වේ­දීන්ගේ සංගම් හා සත්ත්ව අවි­හිං­සා­වාදී සංගම් හර­ස්වන බව සංවි­ධා­ය­කයෝ පව­සති. මේ තර­ග­ව­ලට එරෙ­හිව පොලී­සි­ව­ලට හා අධි­ක­ර­ණ­ව­ලට පැමි­ණිලි එයි. කරුණු දැක්වී­මට පොලී­සි­ව­ලට හා අධි­ක­ර­ණ­ව­ලට යාමට සිදු­වන නිසා බොහෝ දෙනෙකු ගොන් කරත්ත තරග සංවි­ධා­නය කිරී­මට පසු­බට වෙති.

ගොන් කරත්ත තර­ග­ය­කදී ගවයා වධ හිංසා­ව­කට ලක් නොවන බව ඔවුන්ගේ මත­යයි. ගව­යින්ට වධ හිංසා හා පීඩා සිදු­වන්නේ ගව­යින් යොදා­ගෙන කරනු ලබන ‘ජල්ලි කට්ටු’ක්‍රීඩා­වේදී පම­ණක් නිසා ඒ ක්‍රීඩාව තහ­නම් කිරීම සම්බ­න්ධ­යෙන් ඔවුන්ද එකඟ බව සංවි­ධා­ය­කයෝ කියති.

රසුල දිල්හාර ගමගේ

අදහස්