නෙඵම් විල | සිළුමිණ

නෙඵම් විල

ගුණ සුවඳ

ඈත ගම්මුන් බඩු­මුට්ටු ගන්නට එන එක්තරා කඩ­යක් නග­රයේ විය.

ගම්මු එහි පැමිණ සති­ය­කට හෝ දෙක­කට සෑහෙන බඩු ප්‍රමා­ණ­යක් මිල දී ගෙන යෑමට පුරුදු වී සිටි­යහ.

සිය පාරි­භෝ­ගි­ක­යන් අත­රින් මුද­ලා­ලිගේ හිත සොරා ගත් එක්තරා අප්පු­හාමි කෙනෙක් සිටියේ ය. වෙනත් පාරි­භෝ­ගි­ක­යන් මෙන් නොව අප්පු­හාම් මිල දි ගත්තේ බඩු ටිකකි. දින දකෙන් තුනෙන් ආපසු කඩේ ඒම ඔහු ගේ පුරු­ද්දක් බවට පත් වී තිබිණ.

අප්පු­හාමි අහිං­සක ගුණ­ග­රුක මිනි­හෙකු විය යුතු යැයි මුද­ලාලි සිතුවේ ය. ඔහු කුලි­යක් මලි­යක් කර ගෙන දරු පවුල රකි­නවා විය යුතු ය.

දිනක් මුද­ලාලි අප්පු­හාමි සමඟ කතා­වට වැටුණේ ය. තමන් සිතා සිටි සියල්ල හරි බව මුද­ලා­ලිට වැට­හුණේ ඉන් පසු ය.

ඊ ළඟ දවසේ මුද­ලාලි අප්පු­හා­මිට මෙබඳු යෝජ­නා­වක් කළේ ය.

“අප්පු­හාමි, මෙහෙම බඩු ඩිංග ඩිංග ගෙනි­යන එක මහ කර­ද­ර­යක්නෙ. අනිත් එක ගමේ ඉඳං ටවු­මට එන එකත් ලේසි වැඩක් නෙමේනෙ. මාසෙට සෑහෙන්ඩ බඩු ටික එක සැරේ ගෙනි­ච්චම ඉව­ර­යිනෙ. සල්ලි ගැන හිතන්ඩ ඕනැ නෑ. තියන වෙලා­වක ටික ටික ගෙවල දාන්ඩ බල­මුකො”

අප්පු­හාමි කට ඇර­ගෙන බලා සිටියා මිස මොකුත් නොකීවේ ය.

“ඇයි මොකද?”

“මං මේ කල්පනා කෙරුවෙ මුද­ලාලි එහෙම බඩු අර­ගෙන ගිහිං කොහො­මද කියල. එච්චර ණය වෙලා කොහෙ­මද?”

“එච්චර හිතන්ඩ ඕන්නෑ. මමනෙ බඩු දෙන්නෙ. තමුසෙ අරං යන­වකො. අතට කීයක් හරි එකතු උණාම ගෙවල දාන­වකො”

“මං ගෙද­රි­නුත් අහල එඤ්ඤංකො මුද­ලාලි”

“හොඳයි එහෙම කරමු”

එතැන් සිට අප්පු­හාමි මුද­ලාලි ගෙන් මාසෙ­කට සෑහෙන බඩු ණයට ගෙන යෑම­ටත්, මුද­ලක් එකතු කර ගත් විට ගෙවා දැමී­ම­ටත් පුරුදු උණේ ය. කෙසේ වුව ද ඔහු ණය ගෙවා දැමීමේ ප්‍රති­ප­ත්තිය හරි­යට ම රැක්කේ ය.

කලක් ගත විය. අප්පු­හාමි මිය ගියේ ය. හත් දවසේ දානය අව­සන් වූ පසු අප්පු­හාමි ගේ වැන්දඹු බිරිය සිය පුතු ඇම­තුවා ය.

“පුතේ, අර මුද­ලා­ලිගෙ ණය ටික ගෙවල දාන්ඩ තියෙ­නව නේද?”

පසු දා අප්පු­හාමි ගේ පුතා මුද­ලාලි සොයා­ගෙන කඩ­යට ගියේ ය.

“ළමයො, මොකද තාත්ත මේ පැත්තෙ නාවෙ?” මුද­ලාලි ඇසුවේ ය.

පුතා සිය පියාට වූ දේ කීවේ ය.

“ඇයි ළමයො ඔය වගක් මට මතක් නොකළෙ? තුන්මාසෙ දානෙ නං මට සහ­සු­ද්දෙන්ම මතක් කරන්ඩ ඕනැ. හරිද?”

“හරි මුද­ලාලි. තාත්තගෙ ණය ... ” “තාත්තගෙ ණය තුරුස් ඉව­රයි. ඒව ගැන ඔය ළමයි කර­දර වෙන්ඩ ඕනැ නෑ. තාත්ත ගෙනිච්ච වගේම ඔය ළම­යි­නුත් බඩු කළ­මනා ඕනැ දෙයක් අර­ගෙන යන්ඩ! ආයෙ තාත්ත නෑ කියල මගෙ වෙන­සක් නෑ”

පුතු ආපසු යන්නට ඇත්තේ මහා සැන­සි­ල්ල­කින් විය යුතු ය.

මේ කතාව අපට හෙළි කළේ බළං­ගොඩ විදුලි උපාංග වෙළෙඳ සලක් පව­ත්වා­ගෙන යන විය­පත් හිත­ව­තෙකි. ඔහු කී හැටි­යට මෙය හත­ළිහේ දශ­කයේ අව­සන් අවු­රුද්දේ සිදු වූවකි. මිනි­ස්කම කාල අව­කාශ විනි­විද යන බැවින් අද ද අපට එහි සුවඳ දැනේ.

බළං­ගොඩ අමු­පි­ටියේ චන්ද්‍ර­පාල ලේකම්ගේ මහතා විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි.

රෝද පුටුව

මගේ මව විසින් වස­රක් පමණ කාල­යක් පාවිච්චි කරන ලද රෝද පුටු­වක් මා ළඟ තිබේ. එය ඇඳක් ලෙස ද පාවිච්චි කළ හැකි ය. රුපි­යල් විසි­ද­හ­ස­කට වැඩි වටි­නා­ක­මක් ඇති එය හොඳ තත්වයේ පවතී.

එය අවශ්‍ය සුදුසු ම කෙනාට නොමි­ලයේ ලබා දීමට කැමැ­ත්තෙමි.

අන­න්‍යතාව හෙළි නොක­රන ලෙස ඉල්ලා ඇති සිළු­මිණ පාඨ­ක­යකු විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි. රෝද පුටුව උව­මනා අයට තමා ඇම­තීම සඳහා 0714940087 දරන දුර­ක­ථන අංකය ද ලියා එවා තිබේ.

දිවි විඳුම

මා බිරිය අන්‍යා­ග­මික ය. ඇය පල්ලි යයි. මම ද ඇය සමඟ යමි.

පසු­ගිය ඉරු දිනක උදෑ­සන අපි කොච්චි­කඩේ පල්ලි­යට ගියෙමු.

අප නාඳු­නන එක්තරා වැඩි­හිටි යුව­ළක් පල්ලිය තුළ සිටි­යහ. ඔවුන් එකෙකා සමඟ කතා කළේ හෙමිනි. ආද­ර­යෙනි.

ඔවුහු ඇතුළු ගැබට වැදු­ණහ. එහි ලොකු පිත්තල පහනේ තිර දැල්වෙ­මින් තිබිණ. සැමියා ඉන් තෙල් සුඟක් තම දෑත්ලෙහි තවරා පළමු ව සිය හිසේ ගල්වා දෙවනුව සිය බිරිය ළඟට කැඳවා ඇගේ හිසෙහිද ගල්වනු මට පෙනිණ. ඉන් අන­තුරු ව දෙදෙනා එකතු ව ඉටි පහන් දැල්වූහ.

ටික­කින් අපි පල්ලි­යෙන් පිට වීමු. ඒ යුවළ ද අප සමඟ ම පිට­තට ආහ.

අපි දෙදෙනා පල්ලිය ඉදි­රි­පිට ඇති බස් නැව­තු­මෙහි නැව­තීමු. අර දෙදෙනා අප සිටි තැනින් ම පාර දිගේ ඉදි­රි­යට ගොස් නොපෙනී ගියහ.

ඔවුහු අප සිත් සුප­හන් කළහ. බස­යක් පැමිණ නැවැත් වූ කල අපි දෙදෙනා එහි නැඟ අසුන් ගතිමු. බසයේ අපට ඉදිරි අසුනේ සිටියේ තරුණ අඹු සැමි යුව­ළකි.

ඒ මවු උකුළේ කිරි දරු­වෙක් නින්දට වැටී සිටියේ ය. බසයේ ගමන ඇර­ඹිණ.

ටික දුරක් යද්දී තරුණ මව සිය සැමියා ගේ මුහුණ දෙස බල­මින් ම ඔහු ගේ උර­හි­සට සිය හිස හේත්තු කළා ය.

එසැණ සැමියා ඈ හිස වැරෙන් තල්ලු­කොට දැම්මේ ය. පහත් හඬින් යමක් කිය­මින් ඈ වෙත රළු බැලුම් හෙළුවේ ය.

ඇය බයාදු ලෙස පසෙ­කට වී අවට මගීන් දෙස විම­සුම් ඇස යොමු කළේ සිද්ධිය කිසි­වකු හෝ දුටුවා දැයි දැන­ගැ­නී­මට මෙන් ය. මම නොදුටු ගාණට ඉවත බලා ගතිමි. ටික­කින් යළි ඇය දෙස බැලු­වෙමි. ඇගේ මුහුණ සොවින් බර වී තිබෙනු මට පෙනිණ.

මොහො­ත­කට පෙර සුප­හන් ව පැවති සිත ඉබේ ම සසල ව ගියේ ය.

මොර­ටුවේ, කටු­බැද්දේ, ඩඩ්ලි ගෝමස් මහතා විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

අදහස්