ළමි­ස්සි­යන්ට මහ­සෝනා පෙන්නා හැදි­ච්ච­කම ඉගැන්වූ හැටි | සිළුමිණ

ළමි­ස්සි­යන්ට මහ­සෝනා පෙන්නා හැදි­ච්ච­කම ඉගැන්වූ හැටි

උපා­ලිකා අත්ත­නා­යක හේරත් විශ්‍රා­මික ගුරු­ව­රි­යකි. පුරා හතළිස් වස­රක් ගුරු සේවයේ යෙදී ඇති ඇය දැන් අසූ හතර හැවි­රිදි වියේ පසු­ව­න්නීය. මේ ඒ විශිෂ්ට ගුරු­මා­තා­වගේ අතීත මත­කය අතර සැඟ­වුණු රස පූර්ණ කතා­වය.

පනා­මල් දෙණිය මුදි­ය­න්සේ­ලාගේ ඩිංගි­රි­මැ­ණිකේ මගේ අත්තා­ම්මාය. තාත්තාගේ අම්මා ඇයය. අත්තම්මා උපන්නේ 1878 අවු­රු­ද්දේය. ඒ යටි­නු­වර මැණි­ක්දි­වෙල නාලි­ය­ගොඩ ගමේය. හාරි­ස්ප­ත්තුවේ මැද­ඔ­ය­ප­ත්තුවේ මැද­වල මැද්දේ­ගෙ­දර අත්ත­නා­යක මුදි­ය­න්සේ­ලාගේ කළු­බංඩා මගේ ලොකු අත්තාය.

අත්තම්මා පෝය හත­ර­ටම සිල් ගත් උපා­සි­කා­වකි. ඇය පිළි­හු­ඩු­වක් කට නොතැබූ නිර්මාංශ අයෙකි. ගෙදර බුදු මැදු­රක් සාදා­ගෙන දවසේ තුන් වේලෙ­හිම පිළිම වහ­න්සේට දන් පැන් ගිලන් පස පූජා කළ අයෙකි. දින­පතා උයන සෑම වේල­කින්ම හාල් මිටක් ළිප ලඟ තබා­ගෙන ඇති සෙම්බු­ව­කට (කුඩා කළ­යක්) ‘අග‍්‍ර වූ කොටස’ බුදුන් වෙනු­වෙන් කියා දම­න්නීය. මෙවැනි ‘මිටි­හාල් සෙම්බු’ ඉතා අලං­කාර ලෙස පිළි­වෙ­ළට තබා තිබීම ඉතා සුන්දර දසු­නකි. මෙය ගමේ සෑම ගැමි ගෙද­ර­කම පව­ත්වා­ගෙන පැමිණි පුරු­ද්දකි.

නෙළන දා කුස්සිය පිරි­මින්ට

ඒ වක­වා­නුවේ ගෙදර සිටි පිරිමි ද ගැහැ­නුන් මෙන් ම ආහාර පිසී­මට දක්ෂයෝ වූහ. බොහෝ ගෙවි­ලි­යන් මස් මාළු පිසී­මට රුචි වූයේ නැත. මැද­වල ගමේ නම් බොහෝ කාන්තාවෝ නිර්මාංශ වූහ. කඩ­පි­ල­කට ගොස් මස් මාළු මිලදී ගැනී­ම­වත් නොක­ළහ. එබැ­වින් තමාට හා දරු­වන්ට අවශ්‍ය මස්, මාළු පිළි­යෙල කළේ පිරි­මින් විසිනි. ගොවි­තැ­නේදී කාන්තා­වන්ගේ කාර්ය භාර්ය වූ කුඹුරේ වල් නෙළීම, ගොයම් පැළ සිටු­වීම කරන කාලයේ කුස්සිය භාර වූයේ පුරුෂ පක්‍ෂ­ය­ටය.

ගැහැනු හෝ පිරිමි කුඹුරේ වැඩ කරන විට ජැන්ඩි­යට ඇඳ­ගෙන බලා­ගෙන සිටින්නෝ එකල ගැමි­යන්ගේ අව­ඥා­වට ලක් වූහ. වහරේ එන එවැනි එක් කතා­වක් කුඩා කලදී අත්තම්මා මට කීවා මත­කය. කුඹුරේ වල් නෙළ­මින් සිටි කණ්ඩා­ය­මක් දෙස කුඹුර අයි­ති­කාර වලව්වේ මැණිකේ ජැන්ඩි­යට ඇඳ­ගෙන නියර පිට සිට­ගෙන බලා සිටි­යාය. ගොයමේ වල් නෙළ­මින් සිටි කට­කාර තරු­ණි­යක් නෙළුෑ මිටෙහි මඩ මැණිකේ දෙසට ගසා දැමු­වාය. මඩ දිය මැණි­කේගේ ඔස­රියේ වැදුණි. මැණිකේ කෝප­යෙන් දිලි­සෙ­මින් තරු­ණිය දෙස බලා දත්මිටි කෑවාය. එවි­ටම අර තරු­ණිය ඉතා මිහිරි හඬින් මේ කවිය ගයා තිබිණි.

ඈත සිටන් ආවෙමු අපි නෙළු­ම­කට 
මැණිකේ ඇවිත් සිට­ග­ත්තයි නිය­රෙ ­ පිට
වතුර පොදක් වැටු­ණයි නෙරී කැරැ­ල්ලට
මැණිකේ ඉතින් යන­වාකෝ වල­ව්වට

මැණිකේ කෝපය සඟ­වා­ගෙන වල­ව්වට ගියාය. මිනි­සුන් විරෝ­ධය ප්‍රකාශ කළේත්, වැඩ කළේත්, කලා­කෘ­ති­යක් රස විඳි­න­වාක් බඳු ප්‍රීති­ය­කිනි. ජීවි­තයේ සහ­ජී­ව­නය තිබිණි.

අත්තම්මා ජීවත් වූණේ ‘හතර ඈඳපු ගෙදර’ යන නමින් හැඳින්වූ ගෙද­රය. ඒ කාලයේ මැද­වල සහ අවට ගම් හැම එකක්ම වාගේ එලෙස සෑදු ගෙවල් විය. මැද මිදු­ලක් සහිත ‘හතර ඈඳපු ගෙදර’ වටේට ම වහ­ල­කින් යුක්ත වු කාමර රාශි­යක් ඇති නිවාස සංකී­ර්ණ­යක් බඳුය. මෙවැනි නිවා­ස­යක පවුල් දෙකක් හෝ තුනක් ජීවත් විම එකල සිරි­තක් විය. මැද මිදු­ලට හා එළියේ මිදු­ලට වැහි වතුර ගලා යන සේ හතර පැත්ත­ටම බාන ලද වහ­ල­වල් හත­රකි. හතර ඈඳූ ගෙවල් යැයි මේ ගෙව­ල්ව­ලට කියන්නේ ඒ නිසාය. ගෙවත්තේ ඇති දෙල් කොස් පුවක් ආදි ගස්වල අස්වැන්න නිවැ­සියෝ පොදුවේ භූක්ති වින්දහ. එහෙත් පොල් ගස් සහ කිතුල් ගස් එකි­නෙකා වෙන් කර­ගෙන තිබිණි.

ඒ කාලයේ මගේ වයස අවු­රුදු 07ක් පමණ වන්නට ඇත. වී කොටන මඩු­වට මුහු­ණට මුහු­ණලා ඇති නිවාස දෙකේ අපේ අත්ත­ම්මාත් ඇයගේ නෑනා හෙවත් අත්තාගේ එකම නැඟ­ණි­යත් ජීවත් වූහ. අප උන්දෑට කීවේ පහ­ළගේ ආත්තම්මා කියාය. පහ­ළගේ අත්ත­ම්මාට අයිති පොල් ගසක ගෙඩි­යක් ගසෙන් වැටී තිබු­ණේය. මම එය අහු­ලා­ගෙන දෑතින්ම පපු­වට සිර­ක­ර­ගෙන ගෙට ගෙන ආවෙමි.

මෙය දුටු අත්තම්මා හොඳ­ටෝම කිපු­ණාය. “කොහෙන්ද ඕක ඇහි­ලුවේ.” ඇය දත් මිටි­ක­මින් මගෙන් ඇසු­වාය. මම බිය­පත්ව පොල්ගෙඩි ඇහිලූ ගස ඇයට පෙන්නු­වෙමි. මා බිය­ගෙන සිටි බව දුටු ඇය ඉතා ආද­ර­යෙන් මට කතා කළාය. පිලේ ඉඳ­ගෙන ඔඩො­ක්කු­වට ගත්තාය.

“උදේ බුදුන් ඉස්ස­රහ වැඳලා අනුන්ගෙ දෙයක් ගන්නෙ නෑ කියලා පොරොන්දු වුණා නේද?. කව­දා­වත් අනුන්ගෙ දෙයක් ගන්න එපා.” හිස අත­ගා­මින් කීවාය. එදා කී වචන ටික දැන් අවු­රුදු 84 වූ මට අද වගේ මත­කය. එදා සිට අද දක්වා මම කිසිම කෙනෙක් මාහට නුදුන් කිසිම දෙයක් නොග­ත්තෙමි. කිසි­ව­කුගේ හෝ ශ්‍රමය සොරා නොග­ත්තෙමි. ගුරු­ව­රි­යක වශ­යෙන් පුරා අවු­රුදු හත­ළි­යෙන් මැද­වල හා අවට ගම්වල පාසල් කිප­ය­කම සේවය කළ මම කිසි­දි­නක ශිෂ්‍ය­යන්ගේ කාලය සොරා නොග­ත්තෙමි. මගේ අත්තම්මා මට ‘අදින්නා දානා’ සිල්ප­දය සමා­දන් කරවු දා සිට මම එය පණසේ රැක්කෙමි.

ඒ කාලයේ අපේ ගම්වල සෑම ගෙද­ර­කම සමන් පිච්ච, ගැට පිච්ච, ඉද්ද වැනි සුදු මල් පිපෙන ගස් වවා තිබුණි. ඊට අම­ත­රව දහස් පෙතියා, කපුරු, ආදිය පාත්ති වශ­යෙන් මිදුල පුරා වවා තිබුණි. ගෙදර දරුවෝ දෙමා­පි­යන්ගේ උදව් උප­කාර ඇතිව තම තමන් වෙන් වෙන් වශ­යෙන් වතුර පොහොර යොදා මේ මල් පාත්ති නඩත්තු කළහ. පෝය­දාට පන්සල් යන විට තම­නන්ට පුජා කරන්න මල් වට්ටි­ය­කුත් පන්සලේ හමු­දු­රු­වන්ට පූජා කර­න්නට මල් වට්ටි­ය­කුත් රැගෙන යාම සිරිත විය. මල් කැඩුවේ තම තමන්ගේ වත්තේ තම තමන් කැප­වී­මෙන් නඩත්තු කළ මල් පාත්ති­ව­ලිනි.

ගැමි දරු­වන් ශික්ෂ­ණය කිරී­මට එකල අපූරු සාහි­ත්‍ය­යක් විය. විශේ­ෂ­යෙන්ම ගැහැනු දරු­වන් නිසි මඟ ගැන්වීම සඳහා මේ උප­දේ­ශා­ත්මක කත­න්දර වැද­ගත් විය. ඇය මට යමක් තේරෙන අව­ධියේ දී මහ­සෝනා ගැන කියා දුන්නාය. එදා ඒ කතා කිය­මින් ගැමි දැරි­යන් වූ අපේ චර්යා­වන් හැඩ ගැස්වූ ආකා­රය තාම සිහි­යට නැගේ.

සිරි­ක්කිය තහ­නම්

“ගෑනු ළමයි රෝස මල් වගේ. ලොකු මහත් වී වැඩෙ­න­කොට මහ­සෝනා හතර වටෙන්ම එබි­කම් පානවා. උසුළු විසුළු කර­නවා. මෝඩ කෙල්ලෝ ඌට අහු­වෙ­නවා. එත­කොට ඌ ආවේස වෙනවා. බලි තොවිල් කියලා දේවාලේ කපුවෝ මායම් වෙනවා වගේ මායම් කරලා තමයි මහ­සෝනා එළ­වන්න වෙන්නේ. තොවිලේ කරන කොට මුළු ­ග­මම එනවා බලන්න. ඉතින් ඒ කෙල්ල සනිප වුණත් අම්මාට අප්පට නෑයින්ට වස ලැජ්ජා­වයි. ඒ හින්දා උඹලා පරි­ස්සම් වෙන්න ඕනෑ. ඉහ සෝදා නාලා පුසුඹ සබන් ගාලා සැන් පියරු දාලා කොණ්ඬේ කඩා­ගෙන කර­දෑලේ දාගෙන ‘සිරි­ක්කිය’ දාගෙන තනි පංග­ලමේ යන්ට එපා. මහ­සෝනා පිටි­ප­ස්සෙන් එනවා. හන්දි ගානෙ හැඩ වැඩ වෙලා පාරේ යන කෙල්ලෝ දිහා බලා ඉන්නවා. ඒ කරලා එයින් කෙල්ලක් අල්ලා ගන්නවා. උඹලා පාරේ යන­කොට වට­පිට නොබලා කෙළින් බලා­ගෙන ගාටන්නේ නැතිව ඉක්ම­නින් යන දිහා­ව­කට යන්ට ඕනෑ. වැඩි­හි­ටි­යෙක් නැතිව තනි පංග­ලාම් යන්නේ එහෙම නෑ. එහෙම යන­කොට සම­හර විට විසිල් ගහ­නවා ඇහෙන්න පුළු­වන්. සූ සද්ද ඇහෙන්න පුළු­වන්. අත්පුඩි ගහ­නවා ඇහෙන්න පුළු­වන්. හැබැයි උඹලා කවු­රුත් ඔළුව හර­වලා ආපහු බලන්ට එපා. එහෙම බැලූ­වොත් මහ­සෝනා වැහෙ­නවා. ගැල­වී­මක් නෑ. මහ­සෝ­නාගේ ඔළුව තියෙන්නේ මුහුණේ පිට­පැ­ත්තට හැරිලා. ඌට තියෙන්නේ වල­හගේ මූණක්. උඹ­ලාගේ ඔළුව හර­වලා පිටි­පස්ස හැරිලා බැලූ­වොත් ඌ වැහෙ­නවා. ඉස්ස­රහ බලා­ගෙන තමාගේ පාඩුවේ යන අයට උගෙන් කර­ද­ර­යක් නෑ.” අත්තම්මා කී මහ­සෝනා කව­රෙ­ක්දැයි අපට අව­බෝධ වුණේ වය­සින් බොහෝ සේ මේරූ පසුය.

අපේ ගමේ හැම පවු­ල­ක­ටම එදා අක්ක­ර­යක් දෙකක් පමණ වූ ගෙව­ත්තක් තිබිණි. එහි පුවක්, පොල්, සාදික්කා, කරාබු, කිතුල්, කරුඳු, එන­සාල්, පළ­තුරු වර්ග අල, බතල, කොස්, දෙල් වැනි ආහාර බෝග වවා තිබුණි. සෑම ගම්වැ­සි­ය­කු­ටම අඩුම තර­මින් පෑල­ක­වත් කුඹු­රක් තිබු­ණේය. ගම ස්වයං­පෝ­ෂිත තැනක් විය. පුත්ත­ල­මෙන් ලුණු ගෙනා­වේය. එප­ම­ණය.

කුස්සි ළිපේ නොනි­වෙන ගින්දර

‘ඉංග්‍රීසි නානා’ නම් වූ මුස්ලිම් වෙළෙ­න්දකු රෙදි පොට්ට­නි­යක් හිසේ තබා­ගෙන අවු­රු­ද්දට දෙව­රක් පමණ ගමේ ඇවි­ද්දේය. ගැමියෝ ඔහු­ගෙන් රෙදි පිළි­ගත්හ. තොරො­ම්බෝ­ල්කා­රයා පෙට්ටි­යක මාල, වළලු කූරූ, කරාබු, සැන්ට්, පවු­ඩර් ආදි විසි­තුරු බඩු රැගෙන ගමට ආවේය. ගමට ගිනි පෙට්ටි­වල ඒත­රම් අව­ශ්‍ය­තා­වක් තිබුණේ නැත. කඩ කෑම නැති නිසා ගෙදර කුස්සියේ ළිප නිත­රම පත්තු­වු­ණේය. දර වල අඩු­පා­ඩු­වක් නොවීය. ගෙද­රම වී කොටන නිසා දහ­යියා යහ­මින් තිබිණි. කෑම උයා පිහා අව­සාන වූ විට දර අඟුරු මතට දහ­යියා දැම්මේය. ඒ නිසා උදේ­ටත් ගින්දර ළිපේ ඉතිරි වී තිබේ.

සාදික්කා, කරාබු, පුවක් විකි­ණී­මට නුවර බලා­යන පිරිමි ඇත්තෝ එසේ ගොස් එන විට රෙදි­පි­ළි­ව­ලට අම­ත­රව නොව­ර­ද­වාම හොඳ ලොකු කර­වල කූරි­යකු ගෙනාහ. කර­වල කූරියා කොළ­ප­තක ඔතා දුමේ එල්ලා තැබු­වේය. කර­වල කූරියා දිය බේරෙන්නේ නැතිව හොඳින් ආරක්‍ෂා වී සෑහෙන දව­සක් තබා ගැනී­මට හැකි විය.

සෑම ගෙව­ත්ත­කම කිතුල් ගස් දෙක තුනක් විය. ඒ කිතුල් ගස් බැඳ තෙලිජ්ජ ලබා ගැනී­මට දක්‍ෂ අයත් බොහෝ දෙනෙක් ගමේ වූහ. ගස අයි­ති­ක­රුට එක දව­සක මුර­යත් මල කපන අයට ඊළඟ දවසේ මුර­යත් යනු­වෙන් මාරු­වෙන් මාරු­වට තෙලිජ්ජ බෙදා ගනු ලැබේ. ඉන් පැණි හා කිතුල් හකුරු දෙව­ර්ග­යම සාදා ගන්නා ලදී. සීනි භාවි­ත­යක් තිබු­ණේම නැති තරම්ය.

පන්ස­ලෙන් ලද ශික්ෂ­ණ­ය

ගොවි කර්මා­න්තය, කුඹල් කර්මා­න්තය, රන් රිදී මැණික් අවි ආයුධ කර්මා­න්තය වගේම මල් කැපීමේ කර්මා­න්ත­යත් ඉති­හා­සය පුරා රටේ ප්‍රමු­ඛව පැව­තු­ණේය. රා බොන සුරා­ධූ­ර්ථ­යන් පිළිබඳ කතා සද්ධර්ම රත්නා­ව­ලිය වැනි බණ­පො­ත්වල අන­න්ත­වත් විය. රා ඩිංගක් කටේ ගා ගත් උද­විය එකල ගම්වල වූහ. එහෙත් රා බී කලහ කර­මින් අවලං හැසි­රීමේ යෙදුණෝ නොවූහ. එළි­පිට උත්ස­වා­කා­ර­යෙන් සුරා පානය ගම්වල සිරිත නොවීය.

එදා අපේ ගම්වල මිනිස්සු අද ප්‍රශස්ත යැයි කියනු ලබන අධ්‍යා­පන මිමි­ව­ලට අනුව නූග­ත්තුය. සාක්ෂර­තාව නැත්තෝය. පාස­ල­කට පය නොතැබූ බොහෝ දෙනෙක් ගම්වල වූහ. එහෙත් මනු­ෂ්‍ය­යන් පිළි­බඳ ගෞර­ව­යක්, සමා­ජය සම්බ­න්ධව වග­කී­මක්, පන්ස­ලෙන් ලද ශික්ෂ­ණ­යක් සහි­තව පිරි­පුන් සංස්කෘ­තික මිනිස්සු ලෙස ඔවුහු ජීවත් වූහ. අපේ අධ්‍යා­ප­න­යෙන් අත­හැරී අත්තේ ඒ විශිෂ්ට සංස්කෘ­තික හැඩ­ගැ­ස්මය.

අදහස්