ආඩම්බර වෙමු ද? සාඩම්බර වෙමු ද? | සිළුමිණ

ආඩම්බර වෙමු ද? සාඩම්බර වෙමු ද?

තෙවැනි යොවුන් ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් හිමි විය. ආසියාකරයේ රටවල් අතර පැවැති මේ තරගාවලියේ රටවල් 19ක් කුමන හෝ පදක්කමක් දිනාගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ හිමි වූයේ දහහතර වැනි ස්ථානයයි. චීනය සුපුරුදු පරිදි ආසියාවේ ප්‍රමුඛයා වන විට ඉන්දියාව දකුණු ආසියාවේ ප්‍රමුඛත්වය දිනාගත්තා පමණක් නොව, ප්‍රබල රටවල් පසුපසට ඇද දමමින් ආසියාවේ දෙවැනි තැන හිමි කර ගැනීමට ද සමත් විය.

2017 පැවැති දෙවැනි යොවුන් ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට දහහතර වැනි ස්ථානය හිමි වන විට චීනයට එවරත් අභියෝග කිරීමට කිසිවෙකුත් සමත් නොවූහ. චීන තායිපේ දෙවැනි ස්ථානය දිනා ගනිද්දි ඉන්දියාවට හිමි වූයේ තෙවැනි ස්ථානයයි. 2015 දෝහා කටාර්හි ආරම්භ වූ ආසියානු යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා උරගා බැලෙන මෙකී තරගාවලියේ ශ්‍රී ලංකාව දහවැනි ස්ථානය හිමි කර ගත්තේ රන් පදක්කමක් සහ රිදී පදක්කම් ත්‍රිත්වයක් ද දිනාගනිමින්ය. යමානි දුලාංජලී මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගය නිමා කළේ මෙකී තරග ඉතිහාසයේ පළමු සහ එකම රන් පදක්කම දිනාගනිමින්ය. පළමු තරගාවලියේ දහවැනි ස්ථානය දිනාගත් ශ්‍රී ලංකාව එතැන් පටන් ගෙවී ගියා වූ සෙසු තරගාවලි ද්විත්වයේදී පසුබැසීම ගැන බලධාරින් අවධානය යොමු කළ යුතුය.

මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයෝ හත්දෙනෙක් සහ ක්‍රීඩිකාවෝ හයදෙනෙක් සහභාගි වූහ. නවිෂ්ක වීරකෝන් මීටර් 400 ඉසව්ව තත්පර 48.26කින් නිම කරමින් රිදී පදක්කම දිනාගත් අතර, දෙවැනි රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමි වූයේ මිශ්‍ර ආර සහාය දිවීමේ තරගයෙන්ය. ලෝකඩ පදක්කම හිමි වූයේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගයේදී විනාඩි 01:01:42කට තරගය නිම කළ අමේෂා හෙට්ටිආරච්චිට ය. 2015 දී යමානි දුලාංජලි විනාඩි 01:01:27කට රන් පදක්කමට ගත කළ කාලය පසුගිය සිවු වසර තුළදී ආසියාවේ ඉදිරියට ගොස් ඇති ආකාරය සහ ශ්‍රී ලංකාව පසුබැස ඇති ආකාරය විමසීම වටියි. මෙවර මෙකි ඉසව්වේ රන් පදක්කමට තායිලන්තය වැය කළේ විනාඩි 01: දශම 52කි. රිදී පදක්කමට චීන තායිපේ වැය කළේ විනාඩි 01 දශම 68කි. අප පසුගිය සිවු වසරක කාලය තුළ ආපස්සට ගමනක් මිස ඉදිරියට පැමිණි වගක් නම් පෙනෙන්නට නැත. අවශ්‍ය නම් මේ පිළිබඳ නිසි පසුවිපරමක් හෝ නොකර 2021 මීළඟ යොවුන් ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය දක්වා මේ පදක්කම් තුන අවශ්‍ය නිලධාරියකුට සමාජය ඉදිරියේ විකුණාගෙන කෑ හැකිය.

තෙවැනි යොවුන් ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය එසේ දියාරු ආකාරයට ශ්‍රී ලංකාව පැත්තෙන් නිමා වන විට දකුණු අප්‍රිකානු එක්දින තරගාවලිය ද දියාරු වී ගියේ 5 - 0 ක් ලෙස තවත් තරගාවලි පරාජයක් උරුම කර දෙමින්ය. මේ අතර ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙකී තරගාවලියෙන් පසු මෙරට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කළේය. එහිදී ඔවුන් ප්‍රකාශ කරන්නේ මැයි මාසයේ ආරම්භ වන ක්‍රිකට් ලෝක කුසලානය සඳහා අදාළ සැලසුම් සකස් කර ගැනීමට මෙකී කැඳවීම කර ඇති බවයි.

මීලඟ ලෝක කුසලානය පෙනෙන මානයේ තිබියදීත්, තවමත් සංචිතයක්වත් නම් කිරීමට නොහැකි තරමටම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව බංකොලොත් වීම පිළිබඳ කිසිවකුගේ අවධානය යොමු නොවීම ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ කරුමය මිස වෙ‍ෙනකක් නොවේ. දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේ විශිෂ්ට දස්කම් දක්වමින් පසුගිය ඉතිහාසය පුරා ඔස්ට්‍රේලියාවට සහ එංගලන්තයට හැරෙන්නට සත්කාරකයන් දකුණු අප්‍රිකාවේදී පරාජය කළ එකම කණ්ඩායම වූ ශ්‍රී ලංකාව එක්දින තරගාවලියේදී ක්‍රීඩා කළ තුට්ටු දෙකේ ක්‍රීඩා විලාශය ක්‍රිකට් ක්‍රීඩාවට ද අවමානයකි. ලසිත් මාලිංගගේ නායකත්වය සම්බන්ධයෙන් කණ්ඩායම තුළින්ම මතුවන විරෝධතා පිළිබඳ බලධාරින් තවත් පමා නොවී කටයුතු කිරීමට පෙරට ආ යුතුය. එමෙන්ම හිටපු නායකයන්ගේ කල්ලිවාදීන් කණ්ඩායම තුළ තවමත් හොල්මං කිරීම පිළිබඳවත් අවධානය යොමු කළ යුතුය.

මෙකී ගැටලු විසඳීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා ද පසුගිය කාලයේ බොහෝ වෙහෙස මහන්සියෙන් කටයුතු කළ නමුත් ප්‍රතිඵල අවම බව පැවසිය යුතුය. මීට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ ක්‍රීඩකයන් තුළ මතු වී ඇති මත ගැටුම් අවසන් කර එක කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීමට නොහැකි නම් ‍ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ඒ කණ්ඩායමක් හෝ සහභාගි කරවීමට කටයුතු කරන බවයි. ක්‍රිකට් ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ මෙන්ම පුහුණුකරුවන්ගේ පූර්ණ වෙනස්කම් සිදු කළ යුතු බවට නැගෙන මතය පිළිබඳ ප්‍රවීණ ක්‍රිකට් විචාරක රසල් ආර්නෝල්ඩ් පැවැසුවේ ලෝක කුසලානයට පෙර වෙනස්කම් කිරීමේ තත්ත්වයක් ඇතැයි තමන් නොසිතන බවයි. වත්මන් කණ්ඩායමට ලෝක කුසලානය තෙක් කිසිදු නවකයකු ඇතුළත් නොකළ යුතු බව ද රසල් ආර්නෝල්ඩ් වැඩිදුරටත් පවසයි.

දකුණු අප්‍රිකානු තරගාවලිය අවසානයේ ඉතිරි වන ප්‍රශ්නවලට ක්‍රිකට් බලධාරින් උත්තර සොයා ගන්නේ කවදාද යන්න මෙහිදී වැදගත් වෙයි. ක්‍රිකට් ලෝක කුසලානයට කණ්ඩායම තෝරා ගැනීම සඳහා වන එක්දින තරගාවලිය අප්‍රේල් මස මුල් සතියේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එකී තරගාවලියේ දස්කම් දක්වන ක්‍රීඩකයන්ගෙන් ක්‍රිකට් ලෝක කුසලානයට එක්වන කණ්ඩායම තෝරාගැනීමට නියමිත නම් ඔවුන්ට කණ්ඩායමක් වශයෙන් එක්ව කටයුතු කිරීමට ඉතිරි කාලය ප්‍රමාණවත්ද? මේ තරගාවලිය අවසානයේ කණ්ඩායමේ නායකයා තෝරාගන්නේ නම් එකී නායකයාට ඉදිරි කාලයේදී කණ්ඩායම කණ්ඩායමක් ලෙස ගොඩනඟා ගත හැකිද යන්න ගැටලු පැනනැගීම බැහැර කළ නොහැකි සාධකය. කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්ව සිටින අතර, ඔහු වෙනුවට සොයා ගන්නා හොඳ ම විකල්පය කුමක්ද? මේ අතර ශ්‍රී ලංකා පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුට එරෙහිව කුසල් ජනිත් මතු කර තිබෙන ගැටලුව පිළිබඳ ක්‍රිකට් බලධාරින්ගේ අවධානය යොමු විය යුතුය. මන්දයත් මෙවැනි ගැටලු කරපින්නාගෙන ක්‍රිකට් ලෝක කුසලානයක ක්‍රීඩා කිරීම ද ලෙහෙසි පහසු නොවන බැවිනි.

අදහස්