කවුරු බලයේ හිටියත් අපේ ක්‍රීඩාවේ ඉලක්කගත සැලසුම් නෑ | සිළුමිණ

කවුරු බලයේ හිටියත් අපේ ක්‍රීඩාවේ ඉලක්කගත සැලසුම් නෑ

යසරත් කමල්සිරි

අධ්‍යක්ෂ සාමාන්‍යාධිකාරි

NEWS - 1st

ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම සඳහා මෙරට රූපවාහිනි නාළිකාවක් සංවිධානය කරන ප්‍රථම ක්‍රීඩා සම්මාන උලෙළ ප්ලැටිනම් ක්‍රීඩා සම්මාන උලෙළයි. 2014 දී ප්‍රථම වරට මෙකී සම්මාන උලෙළ ආරම්භ කළේ සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධානයයි. තෙවැනි වරටත් පැවැත්වෙන ප්ලැටිනම් ක්‍රීඩා සම්මාන උලෙළ 29දා පැවැත්වීමට නියමිතය. 2017 දෙසැම්බර් මාසයේ සිට 2018 දෙසැම්බර් මාසය දක්වා දේශීය සහ අන්තර්ජාතික වශයෙන් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා මෙහිදී ඇගැයීමට ලක් කෙරේ. ‍මේ පිළිබඳව කතාබහකට සිරස NEWS - 1st අධ්‍යක්ෂ සාමාන්‍යාධිකාරි යසරත් කමල්සිරිට වෙන් කළ ඉඩකඩයි.

අපේ රටේ ජාතික හෝ පෞද්ගලික වශයෙන් ගත්තත් රූපවාහිනි නාළිකාවක් සංවිධානය කරන පළමු ක්‍රීඩා සම්මාන උලෙළ ප්ලැටිනම් ක්‍රීඩා සම්මාන උලෙළයි. සිරස ඇයි මේ වගේ දෙයකට අත ගහන්නේ කියන තැනින්ම මේ කතාව පටන් ගමු?

සීමාසහිත කැපිටල් මහාරාජා කියන සංවිධානය කියන්නේ හැම වෙලාවේ ම ක්‍රීඩාවත් එක්ක හිටපු ආයතනයක්. ශ්‍රී ලංකාවට අයි:සී:සී: ටෙස්ට් වරම් දිනාගන්න මුලින්ම කටයුතු කළ කිහිපදෙනා අතර මුලින් ම හිටපු අය අතර අපේ සභාපතිතුමාත් ඉදිරිපෙළ සාමාජිකයෙක්. එතකොට අපේ සභාපතිතුමා, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපසභාපතිවරයා. ගාමිණි දිසානායක මහත්තයා තමයි සභාපතිවරයා.

ශ්‍රී ලංකා ක්‍රිකට්වල ඉදිරිපෙළ හිටපු අය අතර දුලිප් මෙන්ඩිස්, නිල් චන්මුගම් ව‍ෙග් අය මහාරාජා ආයතනයේ තමයි හිටියේ. එහෙම බලන‍කොට අපේ සභාපතිතුමා දීර්ඝ කාලයක් ක්‍රීඩාවත් එක්ක හිටපු කෙනෙක්. අපි කාලයක් තිස්සේ බලාගෙන හිටපු දෙයක් තමයි පදක්කමක් දිනා ගත්තට පස්සේ තමයි ක්‍රීඩකයෙක් හරි ක්‍රීඩිකාවක් ඇගැයීමට ලක්වෙන්නේ. මෙහෙම කෙනෙක් හිටියනේ. ඉන්නවානේ කියලා අපේ රට ම දැන ගන්නෙත් ඊට පස්සේ. ඒ සහය උද්යෝගය ඊට කලින් දෙන්න පුළුවන් නම් දිරිමත් කරන්න පුළුවන් නම් ඉදිරියට යන්න පුළුවන්.

ඒ අර්ථයෙන් දිරිමත් කිරීමට, ඔප දැමීමකට තමයි මේ අත ගහලා තියෙන්නේ?

ඇත්තට ම. සුසන්තිකාගෙන් පස්සෙත් ඒ අඩුව තවමත් අපට තදින් දැනෙනවා, තේරෙනවා. අපි තවමත් සුසන්තිකාගෙන් පස්සෙත් වැඩකට ලෑස්ති නෑ කියන එක පැහැදිලියිනේ. අපි එතැනට යන්න ඕනේ.

අපිට බෑ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ව පුහුණු කරන්න. අපි මීට කාලයකට ඉස්සර වෙලා සය සාමාජික ක්‍රිකට් තරගාවලියකට ගිහින් අපේ රටේ වේගවත් ම පන්දු යවන්නා සොයා යෑමේ වැඩ සටහනක් කළා. ඒ තමයි අපට කරන්න පුළුවන් දේ. ජනමාධ්‍යයක් විදියට අපට කරන්න පුළුවන් උපරිමය අප කරනවා. ඒක අපේ සමාජ වගකීමක් විදියට සලකලා තමයි මේ වගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කරන්න අප මුල පිරුවේ. මේ සම්මාන උලෙළේ කාගෙවත් අවධානයට ලක් වෙන්නේත් නැති පිරිසක් සම්මානයට පාත්‍ර වෙනවා. මේ සම්මාන උලෙළේ විශේෂත්වය තමයි ඒක.

කවුරුද ඒ විශේෂ පිරිස?

ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව දින්නට පස්සේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවගේ පුහුණුකරු ගැන අවධානයක් නෑ. ඒ වගේ අය තව කොච්චර ඉන්නවාද? ශාරීරික අභ්‍යාස ගුරුවරු, ඒ අයව හැදුවොත් විතරමයි යටින් ඉන්න පිරිස උඩට ගන්න පුළුවන් වෙන්නේ.

අපේ රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් සිරසට හෝ පෞද්ගලිකව ඔබට මොන වගේ අදහසක් ද තියෙන්නේ?

අපේ ර‍ෙට් ක්‍රීඩාවේ අපට තේරෙන විදියට ඉලක්ක හා සැලසුමක් නෑ. පොඩි කාලේ ඉඳල ම දරුවාව මේ දේට පුහුණු කරන්න ඕනේ කියලා. පළමු වැනි දේ විදියට ගත්තොත් ඇමෙරිකාව හරි යුරෝපීය රටවල් ගත්තම එහෙමත් නැත්නම් රුසියාව වගේ ගත්තොත් ඉපදිලා මාස කිහිපයකින් අවුරුදු කිහිපයකින් දරුවාව දානවා වතුරට. එයා එතැනින් තමයි ඔලිම්පික් දක්වා ම පුහුණුව පටන් ගන්නේ. ඒ දරුවාට ඒ පාලකයන්ට තියෙන්නේ ඔලිම්පික් පදක්කමට යන ඉලක්කය සහ අරමුණ විතරයි.

අපේ රටේ එහෙම වැඩපිළිවෙළක් නෑ. අපේ රටේ දක්ෂයෝ පුහුණුවීම් කරන්නේ විදේශ රටවල. ඒ අය එන්නෙත් නෑ. තරගාවලියට විතරයි එන්නේ. ඇයි ඒ කියලා කිසි කෙනෙක් හිතලා නෑ. අපෙන් එහෙම නැත්නම් රටෙන් කෙරෙන්න ඕනෑ දෙයක් ඒ අයම කර ගන්නවා. අපේ රටේ ගම්වලට ගිහින් හරියට හොයලා බැලුවොත් උඩට ගේන්න පුළුවන් පිරිස් ඕනැ තරම් ඉන්නවා. ක්‍රිකට් හැරුණාම සමස්තයක් විදියට අනිත් ක්‍රීඩාවට අ‍තදෙන අය අඩුයි. මේ සියලු ම දෙනාට එකතු වෙලා දිගුකාලීන වැඩපිළිවෙළකට සැලසුම් හදන්න පුළුවන් නම් අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මීට වඩා ඉදිරියට යන්න පුළුවන්.

අපේ රටේ දක්ෂයන් හඳුනා ගෙන ඉදිරියට ගෙන ඒමේ වැඩපිළිවෙළක් නෑ?

ඔව්. මේක තමයි මේ අර්බුදයට මූලික හේතුව වෙලා තියෙන්නේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක ඉලක්කයට දිරිමත් කිරීමේ වැඩපිළිවෙලක් සමස්ත රටේ නැති අඩුව තමයි අපි මේ හරහා පුරවන්න හදන්නේ. අපේ රටේ වෙන්නෙත් නැති, කරන්නෙත් නැති දෙයක්නේ ඇගැයීමට ලක් කිරීම. කිසි ම ‍කෙනෙක් කිසිම කෙනෙක්ව ඇගැයීමට ලක් කරන්නේත් නෑ.

සම්මාන උලෙළවල් තියෙනවා. අපට කාටවත් චෝදනා කරන්න බෑ. ඒවා සමහරවිට විවිධ අරමුණු ලාභ ප්‍රයෝජන සඳහා කෙරෙන සම්මාන උලෙළවල් වෙන්න පුළුවන්. ප්ලැටිනම් සම්මාන ‍උලෙළේ ජුරිය දිහා බලන්න. ස්වාධීන ජූරියක් ඉන්නේ. ඉතාමත් නිවැරැදි අය විතරයි මෙහිදී ඇගැයීමට ලක් වෙන්නේ. ඒ නිසා කාටවත් චෝදනා කරන්න බෑ. ප්ලැටිනම් කියන නමේ වටිනාකම අවතක්සේරුවට ලක්වෙන්නේ නෑ, ඒ නිසාම ලොකු ගෞරවයක් සහ වැදගත්කමක් මේ සඳහා ලැබෙනවා.

ක්‍රීඩාවක තරගයකට ඉදිරිපත් වීම කියන තැන ම තියෙන්න ඕනෑ ජය ගැනීම කියන බලාපොරොත්තුවද?

එහෙම නෑ. අපි මේ ප්ලැටිනම් සම්මාන උලෙළට සමගාමීව රට ව‍ෙට්ම ගියා. ඒ ගියේ පාසල් මට්ටමේ ඉඳල හැම ක්‍රීඩක ක්‍රීඩිකාවක් ම දැනුවත් කරගෙන සහ පාසල්වල දක්ෂ අය තෝරා ගෙන සම්මාන ලබාදීමකුත් කළා. සම්මාන දෙන ගමන් ම අප කිව්වේ දිනන්න ඕන නෑ. පුහුණුව සහ විනය හදා ගන්න කවදා හරි තමන් දක්ෂ නම්, දෛවය හොඳ නම් වාසනාව තියෙනවා නම් ඔබ හිතන ඉලක්කයට යන්න පුළුවන් කියන එක තමයි කිව්වේ.

පසුගිය කාලයේ අපි දැක්ක දෙයක් තමයි මේ දේවල් මඟ හැරගෙන එනවා. පරාජය පිළිගන්න බැරි තැනකට ගමන් කරනවා කියලා හිතනවා. අපේ ප්‍රේක්ෂකයන් කවදාවත් පරාජය පිළිගන්න බැරි තැනක හිටියේ නෑ. පසුගිය කාලයේ අපේ රටේ තිබුණු ක්‍රිකට් තරග දිහා බලනකොට ප්‍රේක්ෂකයන් හැසිරුණු විදිය දකින කොට හිතනවා, දැන් අපට එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ දේවල් අපි මෙහෙම නෙවෙයි ඉන්දියාවේ, පාකිස්තානයේ දැක්කේ. ඒත් දැන් අපේ රටටත් එහෙම ‍දේවල් එනවා. අපට දැන් පරාජය විඳ දරා ගැනීමේ පුහුණුව නැති වෙලා. දරාගැනීමේ හැකියාව පුරුදු පුහුණු කරන්න ඕනෑ දෙයක්. ඒක ජයග්‍රහණය සඳහා යන දෙයක් කියන දේට වඩා ක්‍රීඩාවෙන් අපට එකතු කරගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා.

රටක් විදියට අප ඉන්නේ කොතැනද?

රටක් විදියට අප ඉන්නා තැන ගැන කනගාටු වෙන්න වෙනවා. අපට මොන මට්ටමින් හරි කතා කරන්න ඉතුරු වෙලා තිබුණේ ක්‍රිකට්. අද අපි ක්‍රිකට්වලින් ඉන්නේ කොහෙද කියලා බලන්න වෙලා තියෙනවා. එක දෙයක් තමයි රට ගැන හිතලා ඒ වෙනුවෙන් කැක්කුමකින් වැඩ කරන පිරිස අඩුයි කියලා හිතෙනවා. හැම තැනම ඉන්නේ තම තමන්ගේ වාසියට, ලාභයට වැඩ කරන පිරිසක් විතරයි. මේ තත්ත්වය නැති වෙන්න ඕනෑ. වැඩිකල් යන්න ඉස්සර වෙලාව ම ඔය තත්වය නැතිවෙයි කියලා හිතනවා.

උඩ ඉඳලා ගත්තත්, දේශපාලනයේ ඉඳල මේ තත්ත්වය පැහැදිලිවම පේන්න තියෙනවා. අප කාටවත් ඇඟිලි දිගු කරනවා නෙවෙයි. හැබැයි හැම කෙනෙක් ම තම තමන්ගේ වාසියට, ටාගට්වලට යන ගමනක්නේ තියෙන්නේ. වැඩි දවසක් යන්න කලින් මේ තත්වය නොවෙයි. ජනතාව විසින් ම මේ දේවල් නැති කරලා දායි. පීඩනය එක තැනකට ආවට පස්සේ මේක පුපුරලා යන්න ඕනෑ. එදාට ඔය ප්‍රශ්න නැති වෙයි. ඒ නැති වුණාට පස්සේ අපට පුළුවන් රටක් විදියට නැගී සිටින්න. අන්න එදාටයි අපට නැගී සිටින්න පුළුවන් වෙන්නේ. ක්‍රීඩාව තුළින් තමයි මේ සඳහා උද්යෝගය සහ ප්‍රබෝධය ඇති කරන්න පුළුවන් වෙන්නේ.

ක්‍රීඩාවෙන් මීට වඩා දෙයක් කරන්න බැරිද?

මීට වඩා දෙයක් කරන්න පුළුවන්. ජාතීන් අතර මොන‍ බෙදීම් තිබුණත් සංහිඳියාව ඇති කරන්න පුළුවන්. සාමූහිකත්වය, එකමුතුකම, හික්මීම, විනය මේ හැම දේම ක්‍රීඩාවක තරගයකට, ජයග්‍රහණයකට එහා ගිහින් ඇති කරන්න පුළුවන්.

අද පාසලක ක්‍රීඩාවට උනන්දු පිරිස් හරිම සීමිතයි. හොඳ ම උදාහරණය නිවාසාන්තර ක්‍රීඩා තරගාවලියකට ගිහින් බලන්න. පාසලකින් කී දෙනා ද මේ නිවාසාන්තර තරගාවලියකට එකතු වෙන්නේ. මගේ ළමයා නිවාසාන්තර තරග තියෙන‍කොට ඉස්කෝලේ යන්නේ නෑ. ඇයි කියලා ඇහුවා ම කියන්නේ වැඩක් නෑ කියලා.

ඇත්තට ම නිවාසාන්තර ක්‍රීඩා තරගාවලියක් කියන්නේ අද වැඩක් නැති දෙයක් ද?

මේක තමයි තියෙන ගැටලුව. අද විදුහල්පතිවරයෙකුගෙන් අහලා බලන්න නිවාසාන්තර ක්‍රීඩා උලෙළට කීදෙනක් එනවාද? සහභාගි වෙනවාද කියලා. බහුතරයක් නෑ. මේක හරිම ඛේදවාචකයක්. මේ තරගාවලියට එන්නේ සරඹ සන්දර්ශනයට එකතුවෙන ටිකයි. තරග කරන ටිකයි. අවසානයට තියෙන විසිර යෑමේ පෙළපාළියට යන ටිකයි. ඒ අයගේ මවුපියන් විතරයි. මේ තරගාවලියට අනිවාර්යෙන් එන්න කිව්වොත් එනවා. ඒකත් ෂුවර් නෑ,

ඇයි මෙහෙම වෙන්නේ?

අපේ හැම දෙයක් ම වෙනස් වීගෙන යන්නේ. ලෝකයත් වෙනස් වෙනවා. මේ පොඩිවුන්ට අවස්ථා, වගකීම් නැති කරලා දාලා තියෙන සමාජයක් තියෙන්නේ. මෙහෙම වගකීම් අවස්ථා නැති වෙනකොට ළමයි මේ වගේ අයින් වෙලා යනවා. ඉස්කෝල අද නිවාසාන්තර ක්‍රීඩා උලෙළක ළමයකුට වගකීමක් පවරලා නෑ. වැඩක් කරන්න අවස්ථාවක් දීලා නෑ. මේ වගකීම් සහ අවස්ථා ළමයින්ට පවරලා දුන්නා නම් මේ අයට නෑවිත් ඉන්න බෑ. සහභාගි වෙන්න ඕනෑ. අඩු ම තරමේ ප්‍රේක්ෂකයෙක් විදියටත් අපට වගකීමක් තියෙනවානේ. ඒක අද ළමයි දන්නේ නෑ, නිවාසාන්තර ක්‍රීඩා තරගාවලියකට ඇවිත් කරන්න තියෙන්නේ මොනවාද කියලා. අඩු ම තරමේ දුවන අපේ නිවාසයේ ළමයා වෙනුවනේ කෑගහන්න ඕනෑද කියලවත් දන්නේ නෑ. අපි මේ තත්ත්වය නැතිකරන්න ඕනෑ. මේ තුළින් අපට රටේම ආකල්පමය වෙනසකට යන්න පුළුවන් නම් ඒක තමයි වටිනාම දේ. මේක බරපතළ ගැටලුවක්. මේවාට විසඳුම් ‍සොයා ගෙන යන ගමනක එක නවාතැනක් තමයි ප්ලැටිනම් සම්මාන උලෙළ කියන්නෙත්.

ළමයින් ක්‍රීඩාවට යොමු වෙන එක නැවතිලාද?

පැහැදිලිව ම. අද ඉස්කෝලවලට මේ දේ අනිවාර්යය කරන්න වෙලා තිබෙන්නේ. අද ලියුමක් අරගෙන එන්න ඕනෑ ක්‍රීඩාවකට සහභාගි වෙන්න. ඉස්සර එහෙම තිබුණද?, අපි ඉස්කෝලේ යනකොට මොනවද නොකළේ? අද ළමයි මොනවද කරන්නේ? මේක බරපතළ ඛේදවාචකයක්. මේකෙන් ගොඩ එන්න නම්, රජය, අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍ර‍ීඩා අමාත්‍යාංශය එකතු වෙලා මොකක් හරි වැඩපිළිවෙළකට යන්න ම වෙනවා. අද මේක ගොඩදාගන්න පුළුවන් වුණොත් තව අවුරුදු 10 - 15කින් ගොඩ යන්න පුළුවන් වෙයි. නැත්නම් මෙහෙම ගිහින් නැති වෙලාම යයි.

අපි රටක් විදියට ගත්තොත් ක්‍රීඩාව වින්දනය නොකරන අවුලක මේ පැටලිලා ඉන්නේ?

ඔව්, පැහැදිලිවම එහෙම දෙයක් නෑ. අපි මේ දේ පාසල් නිවාසාන්තර තරගවලින් ම පටන් ගන්න වෙනවා. කොට්ඨාස, දිස්ත්‍රික්ක, පළාත් තරග තියෙන්නේ.

කවුද මේවාට යන්නේ? කවුද මේවා ගැන උනන්දු වෙන්නේ? අවධානය යොමු කරන්නේ?

අපේ රටේ මීටර් 100 ඉසව්වට දක්ෂම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව අවසන් වරට දුවපු රේස් එක කීයෙන් කීදෙනා ද බලලා තියෙන්නේ. මොන රූපවාහිනි චැනල් එකේද පෙන්නුවේ. අද අපේ රටේ ක්‍රිකට් මැච් එකක්වත් හරියට පෙන්වන්නේ නැහැනේ. අපේ ටීම් එක පරදින මැච් කවුරුවත් විකාශය කරන්නේ නෑ. මොකද පරදින මැච් මිනිස්සු බලන්නේ නැති වෙනකොට, දැන්වීම් එන්නේ නෑ. කවුරුවත් මේවා විකාශය කරන්න උනන්දු වෙන්නේ නෑ. අද ඉන්දියාවේ IPL ක්‍රිකට් තරමට ම කබඩි තරගාවලිය ජනප්‍රියයි. කබඩි උන්මාදයක් හදලා තියෙන්නේ.

අපේ අඩුම තරමේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවටත් එහෙම උන්මාදයක් නෑ?

ඔව්, මාර්කටින් නැතුව මේ කිසිම දෙයක් කරන්න බෑ. ඉන්දියාව මේ ක්‍රමය හරියට අල්ලා ගෙන තියෙන්නේ. IPL වගේ අපෙත් ක්‍රිකට් තරගාවලියක් පටන් ගත්තනේ. හරි ගියේ නෑ. මොකද අපේ අය ‍මාර්කටින් දන්නේ නෑ. මිනිස්සු ග්‍රවුන්ඩ්වලට ගේන්න අපට වැඩපිළිවෙළක් නෑ.

අපේ රටේ පාපන්දු කොච්චර දියුණු කරන්න පුළුවන්ද? ඒත් වැඩපිළිවෙළක් නෑ. මේ ළඟදී මම පිලිපීනයේ ගියා. ඒ හැම ගමකම වගේ කුඩා ක්‍රීඩා සංකීර්ණ හදලා. හැම කෙනෙක් ම බාස්කට්බෝල් ගහනවා. රටේ ක්‍රීඩාව බාස්කට්බෝල්, පොඩිවුන් හවස්වරුම ගත කරන්නේ මේ බාස්කට්බෝල් කෝට්වල. හොඳ බාස්කට්බෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ටිකක් මේ තැන්වලට ආවොත් හොයාගන්න ලෙහෙසියෙන් ම පුළුවනි.

අපේ ගම්වල මේ මොකුත් ම නෑ. අද අපේ ගමක වොලිබෝල් කෝට් එකක් තියෙනවාද, එදා තිබුණු වොලිබෝල් උන්මාදය අද අපේ රටේ ගම්වල තියෙනවද? නෑ. කවුද මේවාට උනන්දු වෙන්නේ? මේවා ගැන ඇයි කවුරුත් අවධානයක් යොමු කරන්නේ නැත්තේ කියන ප්‍රශ්නය තියෙනවා. අපේ අවුරුදු උත්සවයේ කීයක් සල්ලි ගියත් අපි වොලිබෝල් තරගාවලියක් කරනවා. අපි මේ දේම ඔලුවේ තියාගෙන තමයි ගම්මැද්ද පටන් ගන්නේ. ඔක්කෝම ඇහුවේ මොනවද උඹලට තියෙන ලාභ කියලා. ඇත්ත කිසිම ලාභයක් නෑ. අපට පුරවැසියෝ විදියට සමාජ වගකීමක් තිබෙනවා. අපි ඒ සමාජ වගකීමට මේ අත තියලා තියෙන්නේ.

ගමට ක්‍රීඩා වැඩසටහන් තත්ත්වය?

ගමට ක්‍රීඩා වැඩසටහනේ කරන්නේ ලංකාවේ ඉන්න හොඳම පුහුණුකරුවෝ අරගෙන ගිහින් යම්කිසි ප්‍රදේශයකට ආවේණික වෙච්ච ක්‍රීඩා 4 – 5 ක් තෝරාගෙන දවසක පාසල් ළමයින්ට පුහුණු වැඩසටහනක් කරනවා. තනිකරම තාක්ෂණය ගැන කියලා දෙන්නේ. පුදුම සෙනඟක් මේ වටා ගොනු වෙනවා. අපිට පුළුවන් දේ මාධ්‍ය ආයතනයක් විදියට අපි කරනවා. හැබැයි මේ දේ අපට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි රටක් විදියට එකතු වෙලා කරන්න ‍ඕනෑ දෙයක්. මේක තව කල් දානවා කියන්නේ අපි තව පස්සට යන එක විතරයි.

ප්ලැටිනම් සම්මාන උලෙළට සමගාමීව ගමට ගිය ගමන කොහොමද?

ඉහළම ප්‍රතිචාර ලැබුණා. ඒ අයට මෙහෙම දේවල් නෑ. අපි ගිහින් ඒ ප්‍රදේශවල ඉස්කෝලවල ඉන්න දක්ෂ ළමයි තෝරාගෙන සම්මානයක් දෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය හරි ක්‍රීඩා අමාත්‍යාංශය දිස්ත්‍රික්කයට ගිහින් මෙහෙම දෙයක්වත් කරලා නෑ.‍ අපි රට‍ වටේ යන ගමන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ම තොරතුරු අරගෙන ප්ලැටිනම් සම්මාන උලෙළේ ජූරියම තෝරනවා මේ ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට තමයි සම්මානය දෙන්න ඕනෑ කියලා‍. මේක හරිම සරල දෙයක්.‍ අපි මේ දේ මාසයෙන් කළේ. මේ ඇගැයීම ඇතිනේ. මේ ළමයි මොන තරම් සතුටු වුණා ද? අපි ඊළඟ අවු‍රුද්දෙත් ගමට එනවා කියලා දන්නවා. මේ ළමයි තව උනන්දු වෙන්නේ නැද්ද? අනිවාර්යයෙන් ම වෙනවා. හැබැයි අපිටත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. දිස්ත්‍රික්ක - දිස්ත්‍රික්ක අතර, තරග තියෙන්න ඕනෑ. පළාත් - පළාත් අතර තරග තියන්න ඕනෑ. අපට කිසිම දෙයක් නෑ. පළාත් පළාත් අතර තරගයක් තිබ්බත් කවුද ‍ඔවුන්ව දිරිමත් කරන්න යන්නේ.

අපේ IPL එකට සමාන අපේ රටේ පවත්වපු ක්‍රිකට් තරගාවලියන් පළාත් පළාත් අතර තිබුණු තරග බලන්න ගියේ කවුද? කිසි කෙනෙක් නැතුව ඇති. මේ දේවල් ගොඩනගන්න ඕනෑ. පාසල් මට්ටමින් දැන්වත් මෙයට මූලික අඩිතාලම දැම්මොත් ඉදිරියේදී හරි ඉලක්කයකට යන්න පුළුවන් වෙයි.‍ අපට හොඳ පාසල් ක්‍රිකට් පසුබිමක් තිබුණා. අද මේවා නැති වෙලාද? එහෙමත් නැත්නම් මේවගෙන් වැඩක් ගන්නේ නැද්ද කියලා තමයි හිතාගන්න බැරි. පදනම තියෙනවා. මේවා ඉදිරියට යන්න ඕනෑ. මේ දේවල් අනිත් ක්‍රීඩාවලටත් සම්බන්ධ කරනවා නම් ලෙහෙසියෙන් ම මේවා ගොඩදාගන්න පුළුවන්.

අද සමාජ ක්‍රමය ඇතුළේ හැම දෙයක් ම නගරයට කේන්ද්‍ර වෙන කොට මිනිස්සු ගමෙන් දුරස් වෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් නැතුව නෙවෙයි. ඒ දේ හදනවා නම් මේ හුඟක් ගැටලුවලට විසඳුම් එතැන තියෙනවා. අපි අපිට පුළුවන් විදියට මේ දේවල් කරගෙන යනවා. ගම හදලා තියෙනවා නම් මිනිස්සු නගරයට එන්නේ නෑ. ගමට ඕනෑ කරන පහසුකම් නැතිවෙන කොට මිනිස්සු නගරයට එනවා. ගම හදන්න ක්‍රීඩාවට පුළුවන්. ඒ දේවල් අමතක කරලා වැඩ කරන එක තමයි මෙතැන ලොකුම ගැටලුව.

රටක් විදියට ක්‍රීඩාවට කරන ආයෝජන ප්‍රමාණවත් ද?

අපිට තේරෙනවානේ මේක ඇතිද මදිද කියලා. අපි ක්‍රීඩකයකුව පුහුණු කරන්න වියදම් කරන ප්‍රමාණය බලන්න. වෙන රටක් ක්‍රීඩකයකු වෙනුවෙන් මොන තරම් වියදම් කරනවාද? අපේ රටේ මොනවාද කරන්නේ? කරලා තියෙන්නේ?

පසුගිය කාලයේ අපේ ර‍ට නියෝජනය කරලා දිනපු අයගේ සම්මුඛ සාකච්ඡා ටික අරගෙන බැලුවොත් ඔවුන්ගෙන් 80% ක් ම කියන්නේ මොනවාද, ටිකට් එක හොයා ගන්නේ අමාරුවෙන්, පුහුණ‍ුවෙන්න තැනක් තිබ්බේ නෑ. අමාරුවෙන් පුහුණු වුණේ. දිනන කෙනාගේ වාසනාවට දිනලා ඊට පස්සේ උදව් කරන එක වෙනම කතාවක්.

අපේ රටේ ටීම් කීයක් පිටරට යනවාද තමන්ගේ අතින් වියදම් කරගෙන. අපි කාටවත් චෝදනා කරනවා නෙවෙයි. කොහේ හරි ලොකු අවුලක් තියෙනවා. මේ ළමයින්ට හරියට සපත්තු දෙකක් නෑ.‍ කෑම බීම ටික නෑ. ඉන්න හිටින්න තැනක් නෑ. හැබැයි පිටරටකට ගිහින් දිනලා එන්න තරම් දක්ෂයි. මේ අයව හඳුන ගන්න ක්‍රමයක් නෑ. අපි නුවන් ප්‍රදීප් හොයා ගත්තනේ. නුවන් ප්‍රදීප්ව හොයා ගන්න ඕනෑ සිරසෙන්ද? අපි ඒ දේ කළේ නැත්නම් නුවන් ප්‍රදීප් කෙනෙක් නැහැනේ. අපිටත් මාධ්‍යයක් විදියට කරන්න පුළුවන් සීමාවන් තියෙනවා.

අපට වඩා බලය, ආර්ථිකය තිබෙන ශක්තිමත් අයට ඇයි මේ දේ කරන්න බැරි? අද අපට සනත් ජයසූරිය වගේ කෙනෙක් නැත්තේ ඇයි. කවුද හොයන්න උත්සාහ කරලා තියෙන්නේ. සනත් වගේ බෝලයක් එළියට යන්න ගහන්න පුළුවන් අයව හොයා ගන්න ලොකුම හරි දිගම හය හරි ගහන්න පුළුවන් අයව හොයා ටවුන් එකෙන් ටවුන් එකට ගියොත් හොයා ගන්න බැරි ද බලන්න.

පවතින ක්‍රමය ගැන රටේ ජනතාවට විශ්වාසයක් තිබෙනවා ද?

නෑ. පවතින ක්‍රමය ගැන විශ්වාසයක් නෑ. මොවුන් මාව කපලා දායි. මේක යන්නේ අරයාගේ ලියුම ගෙනාව කෙනාට. අරයාව අඳුනන කෙනාට, මෙයාව අඳුන කෙනාට එහෙම ප්‍රශ්නයක් රටේ තියෙනවා. අපි ගොඩ නගන්න උත්සාහ කරන්නේ අන්න ඒ විශ්වාසයයි. ප්ලැටිනම් සම්මාන උලෙළේ අපි කරන්නේ නියම දක්ෂයාව හොය හොයා යනවා. මේ සම්මානය දෙන්නේ නියම දක්ෂයාට මිසක් පන්දමකට නෙවෙයි.

ඔබ නිවුස් කියන්න අයදුම්පත මේ චැනල් එකට දැම්මේ ඇයි?

රජයේ එකට දැම්මේ නැත්තේ ඇයි? මට ඒවාට යන්න තල්ලුවක් තියෙන්න ඕනෑ. කාගේ හරි පස්සේ යන්න ඕනෑ. මට ලොකු ඇඳුනුම්කම් නෑ‍. ලොකු අයව දන්නේ නෑ. උදව් කරන්න කෙනෙක් නෑ. සිරස තේරුවේ දක්ෂයන්ව, මේක දක්ෂයාටම තැන දෙන තැනක් වුණා. ඒ නිසා මාව තේරුණා.

අපි පාරවල් අරින්න ඕනෑ. බාධක දාගෙන ගමනක් යන්න බෑ. තරගයකට යන්න විදුහල්පතිගේ ඉඳලා, ග්‍රාම සේවක, පොලිස්, අර සහතික, මේ සහතික ගේන්න කියනවා. කවුද එන්නේ‍. හැකියාව - දක්ෂතාව තියෙන කිසි කෙනෙක් එන්නේ නෑ. අපි කරන්නේ වැඩපටන් ගන්න තැනේදීම පාරවල් වහන එකනේ. පාරවල් වහලා කිසිම දෙයකින් උඩට යන්න බෑ. අපි නෙවේ මේක පාලනය කරන්නේ දක්ෂයා හොයා ගන්න වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ.

අපට කරන්න පුළුවන් මොනවා ද කියලා ජනතාවගෙන් පාලකයෝ හිතලත් නෑ, තේරුම් අරගෙනත් නෑ?

සහතික ඇත්ත. ක්‍රීඩාවේ විතරක් නෙවෙයි හැම දෙයකම ආකල්පමය වෙනසක් වෙන්න ‍ඕනෑ කාලය තමයි මේ ගෙවෙන්නේ. අර පැත්තට කතිරය ගහනවද මේ පැත්තට කතිරය ගහනවද කියන එක නෙවෙයි. ලෝකයේ මෝඩම ඡන්ද දායකයෝ ඉන්න රටක් නේ මේ. මේ ළඟදි කතාවක් ඇහුවා; අපේ සීයලාගේ කාලයේ, තාත්තලාගේ කාලයේ, අ‍ෙප් කාලයේ, අපේ දරුවන්ගේ කාලයෙන් අපි දියුණු වෙමින් පවතින රටක්. අවුරුදු සියයක් ගිහිල්ලත් සංවර්ධනය වෙමින් පවතින රටක් ‍නම් කවුද මේවාට වග කියන්න ඕනෑ. මේ ඉන්න, හිටපු කිසිම පාලනයකට වුවමනාවක් තියෙනවාද රට දියුණු කරන්න, රටට වැඩක් කරන්න. තමන් වඩා ගැනීම සඳහා තමයි මේ සියලුම දෙනා එන්නේ. කාටත් නෙවෙයි රට දියුණු කරන්න පිරිසක් එනතුරු රට මෙතැනම තමයි.

ජනතාවට දෙන පණිවිඩය?

අපි උදව් කරන්න ඕනෑම කෙනෙකුට උදව් කරනවා. ක්‍රීඩකයන් ක්‍රීඩිකාවන් උදව්වක් ඉල්ලුවොත්, එයාගේ අඩුපාඩුවක් සම්පූර්ණ කරන්න තියෙනවා නම් අ‍ෙප් සභාපතිතුමා ඒ ගැන දෙපාරක් හිතන්නේ නැතුව කරලා දෙනවා. අපේ සභාපතිතුමා හිතන්නේ නැති විදියට ක්‍රීඩාවට උදව් කරනවා.

ජනතාවට විශේෂයෙන් කියන්න තියෙන්නේ ක්‍රීඩාව වටා එකතු වෙන්න. ඈත් වෙන්න එපා. අපේ ජීවිතයට ඕනෑ දෙයක්, ජීවිත හැඩ ගස්සන දෙයක්. මේ වටා එකතු වෙන්න, රට හොඳ තැනකට ගේන්න යන්න උත්සාහ කරන්න. වෙන රටවල් දුවන්නේ ක්‍රීඩාවෙන්. පාපන්දුවලින් - ක්‍රිකට්වලින් වෙන රටවල් මොන තරම් හම්බ කරනවාද? අපේ රටේ වෙන්නේ ඒකේ අනිත් පැත්ත. ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නෙවෙයි හම්බ කරන්නේ.

අපට මේ වැඩ නිකම් කරන්න බෑ. මේවාට අපට නිදහස තියෙන්න ඕනෑ. සභාපතිතුමා සහ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් තමයි අපට මේ හැම දෙයක් ම කරන්න නිදහස වගේ ම අවශ්‍ය වට පිටාව හදලා දෙන්නේ. ෂෙවාන් ඩැනියෙල් තමයි මේ ප්ලැටිනම් සම්මාන උලෙළට විතරක් නෙමේ අනෙක් වැඩවලටත් ප්‍රමුඛත්වය දීලා වැඩ කරන්නේ. මෙවර ප්ලැටිනම් සම්මාන උලෙ‍ෙළ දී අලුත් දෙයක් විශේෂ දෙයක් වෙනවා. ඒ දේ අපේ සමූහ අධ්‍යක්ෂවරයා ප්ලැටිනම් සම්මාන උලෙළේ දී ප්‍රකාශ කරයි. අපේ ර‍ටේ දරුවන්ගේ යහමග හදන්න තෝරා ගන්න පිරිසක් වෙනුවෙන් එළි දක්වන වැඩසටහනක් තමයි ඒ.

 

අදහස්