යුද ගිනිදැල් මැද ක්‍රිකට් අසිරිය සොයන සිරියානු දරුවෝ | සිළුමිණ

යුද ගිනිදැල් මැද ක්‍රිකට් අසිරිය සොයන සිරියානු දරුවෝ

දරු දැරියෝ ඉතා උනන්දුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරති. ඇතැමෙක් පන්දු යවති. තවත් පිරිසක් පන්දුවට පහර දෙති. සෙසු පිරිස පන්දු රකිති. මේ සිදුවීම ක්‍රිකට් ක්‍රීඩාව අතිශය ජනප්‍රිය දකුණු ආසියානු රටකදී සිදු විය හැකිය. එසේම ඔස්ට්‍රේලියාව, එංගලන්තය හෝ ක්‍රිකට් ක්‍රීඩාව අන්තර්ජාතික මට්ටමින් පැවැත්වෙන රටක සිදු විය හැකිය.

එහෙත් එය එසේ නොවේ. මෙය අසාමාන්‍ය සිදුවීමක් ‍වන්නේත් ඒ නිසාමයි. මෙම දරු දැරියන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ මැදපෙරදිග ලෙබනනයේදීය. ක්‍රිකට් ක්‍රීඩාව එරටේ ජනප්‍රිය නැත. ඇතැමුන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන දන්නේත් නැත. ඉහත සිදුවීම අසාමාන්‍ය වන්නේ ඒ නිසාය.

මේ දරු දැරියෝ උපතින් සිරියානුවෝය. එරටත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ රටක් නොවේ. මෙය අසාමාන්‍ය වන්නේ ඒ නිසාය. ඔවුහු සාමාන්‍ය සිරියානුවෝ නොවෙති. එරටේ සිවිල් යුද්ධය නිසා අවතැන් වීමට සිදු වූ සරණාගතයන්ය. එමෙන් ම ඔවුන් ක්‍රීඩා කරන්නේ සරණාගත කඳවුරකදීය. මෙම සිදුවීම අසාමාන්‍ය වන්නේ ඒ නිසාය.

පාපන්දු ලොව අලංකාරතම ක්‍රීඩාවයි. එමෙන් ම ජනප්‍රියතම ක්‍රීඩාවයි. ලෙබනනය සහ සිරියාව වැනි රටවලත් පාපන්දු ක්‍රීඩාව අතිශය ජනප්‍රියතම වේ. එසේම මෙම රටවල කාන්තාවෝ ද පාපන්දු ක්‍රීඩා කරති. එහෙත් ඉහත සිරියානු දැරියෝ ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ඇල්මක් දක්වති.

ක්‍රිකට් ඉතා ආකර්ෂණීය ගුණාංග රැසක් ඇති ක්‍රීඩාවකි. එසේම එහි අමුතු පුරුද්දකුත් තිබේ. එනම් ලොව අපූර්ව එමෙන්ම පුදුමාකාර ස්ථානවල ක්‍රිකට් ක්‍රීඩා කිරීමයි. ඒ අනුව කඳු මුදුන්වල, කෙටි ආයු කාලයක් තිබෙන වැලි ඉවුරුවල, විල්වල සහ දක්ෂිණ ධ්‍රැවයේ පවා ක්‍රිකට් ක්‍රීඩා කර තිබේ.

එමෙන්ම දකුණු ආසියාව පුරා පැතිර තිබෙන මුඩුක්කු සහ පැල්පත් ඇති ස්ථානවලත් වසරේ සෑම දිනකම දවස පුරා ක්‍රිකට් ක්‍රීඩා කරන අවස්ථා දුලබ නැත.

එසේ වුවත් සරණාගත කඳවුරකදි මේ ක්‍රීඩාව ගැන කිසිවක් නොදන්නා දරු දැරියන් පිරිසක් ක්‍රිකට් ක්‍රීඩාව කිරීම තරම් තවත් අසාමාන්‍ය සිදුවීමක් තිබිය නොහැකිය.

මේ සිරියානු දරු පිරිස තාවකාලිකව ජීවත් වන්නේ ෂාටිලා නැමැති සුප්‍රකට ලෙබනන් සරණාගත කඳවුරේය. මෙය ලෙබනන් අගනුවර වන බීරුට් නුවර පිහිටා ඇත.

ලෙබනන් ජනරජය බටහිර ආසියානු රටකි. එය සිරියාවට උතුරු නැගෙනහිරින් මායිම්ව පිහිටා තිබේ. ඊශ්‍රායලය එරටට දකුණින් සිටියි. බටහිර රට වන්නේ සයිප්‍රසයයි. මධ්‍යධරණී මුහුදත් අසල්වැසියෙකි. ආසියානු මහාද්වීපයේ කුඩාම ස්වාධීන රාජ්‍යයක් ලෙසටත් ලෙබනනය හැඳින්විය හැකිය. ෂාටිලා සරණාගත කඳවුරටත් දිගු ඉතිහාසයක් ඇත. එය පිහිටුවූයේ 1948 වසරේදි මැදපෙරදිග අර්බුදයත් සමඟින්ය. ඊශ්‍රායලය පිහිටුවීමත් සමඟම අවතැන්වූ පලස්තීනුවන් වෙනුවෙන් ෂාටිලා කඳවුර ඇති කළේය. එය 1949 වසරේදී විවෘත වූයේ පලස්තීනුවන් 3000ක පිරිසක් සඳහාය.

එය පිහිටි බීරුට් යනු ලෙබනනයේ අගනුවර මෙන් ම එරටේ විශාලතම නගරයත් වේ. අද එය තවදුරටත් කඳවුරක් ලෙස ම නම් කිරීමට නොහැකිය. මේ වනවිට 25,000ක පමණ පිරිසක් එහි වාසය කරති. ඔවුන් තවදුරටත් ජීවත් වන්නේ කූඩාරම් තුළ නොවේ. එය අද තට්ටු නිවාස ලෙස තිබේ. දිනෙන් දින ජනගහනය වැඩිවන විට මහල් ‍ලෙස ඉදිකිරීමට සිදු විය.

ෂාටිලා කඳව‍ුරේ පරම්පරාවන් කිහිපයක් ම ජීවත් වූහ. එමෙන්ම මිය ගියහ. ඒ ඉතා ඉක්මනින්ය. ඊට විවිධාකාර රෝග, නිරතුරුවම සිදු වූ හදිසි අනතුරු සහ 80 දශකයේ දී සිදු වූ සමූහ ඝාතන ද බලපෑවේය.

සිරියානු සිවිල් යුද්ධය 2011 වසරේ මාර්තු මාසයේ දී ඇරඹිණි. එතැන් සිට යුද්ධයෙන් අවතැන් වූ සිරියානුවන් ලෙබනනයට ඇතුළු වූහ. මින් පිරිසකගේ තාවකාලික වාසස්ථානය බවට ෂාටිලා කඳවුර පත් වූයේය.

එහෙත් මෙම සිරියානුවන්ට ලැබුණේ සාදර පිළිගැනීමක් නොවේ. ඔවුන් පිළිගත්තේ බලකිරීමෙන් සිනාසුණු පිරිසකි. ඊට සත්කාරක එමෙන්ම කුපිතව සිටි පිරිසකුත් අයත්ය. එමෙන්ම එහි මුල් බැසගත් පලස්තීන අමුත්තන් ද අයත්ය.

ඒ වන විටත් ෂාටිලා කඳවුරේ තත්ත්වය යහපත් මට්ටමක තිබුණේ නැත. සිරියානුවන්ට එය උපරිමයෙන්ම නරක වූයේය. ඔවුන්ට ඇති තරම් ඉඩකඩක් එහි තිබුණේ ද නැත.

නිරතුරුවම දුගද හමන නිවාස, ඉතා පටු මාර්ගත් වෙ‍ෙළඳාම් කරන්නන්ගේ කරත්තවලින් ඒවා පිරී තිබීමත් මෝටර් ස්කූටර් ද බහුලව තිබීමත් සිරියානුවන්ට මේ කඳවුරු ජීවිතය කිසිසේත් ම පහසු කළේ නැත.

මෙහි වාසය කරන ජනතාවට තවත් ගැටලු තිබිණි. ඔවුන්ගේ හිසට ඉහළින් සමහර විට පහළින් පයිප්ප සහ කේබල් සවි කර තිබේ. ඒ ජලය රැගෙන යාමටයි. මෙම ජලය පානය කිරීමට කිසිසේත් ම නුසුදුසු ලුණු රසැතිය. විදුලිබලයත් අස්ථාවර මෙන් ම අනතුරුදායකය. ඇතැමුන් පුද්ගලික විදුලිජනක යන්ත්‍ර භාවිතා කරති. විදුලි කාන්දුවීම් නිසා හදිසි අනතුරු සිදු වේ. ගිය මාසයේදී එවැනි අනතුරකින් දෙදෙනෙක් මිය ගියහ.

මෙම කඳවුරට අලුතින් පැමිණි සිරියානුවන්ට තවත් ගැටලුවකට මුහුණ දීමට සිදුවූහ. ෂාටිලා කඳවුරේ විවිධ කොටස් එකිනෙකට වෙනස් දේශපාලන මත දරන කණ්ඩායම් දහයකගේ පමණ පාලනයට නතු වී තිබීමයි. කිසියම් හෙයකින් ඔවුන් අතර කිසියම් ගැටලුවක් මතු වුවහොත් එය මාරාන්තික වේ.

මේ කඳව‍ුරේ පවතින ඇතැම් අංග පලස්තීනයේ ගාසා, බංග්ලාදේශයේ අගනුවර ඩකා සහ උතුරු අයර්ලන්තයේ අගනුවර වන බෙල්ෆාස්ට් වීදිවලත් දැකිය හැකිය.

මෙවැනි වාතාවරණයක් තුළ වැඩියෙන් ම බැටකෑමටත් සිදු වූයේ සිරියානු දරුවන්ටයි. ෂාටිලා කඳවුරේ දරුවන්ට තිබුණේ පාපන්දු ක්‍රීඩා කිරීමට තීරුවක් සහ ටෙනිස් පිටි දෙකකි. එයත් බොහෝවිට අගුළු දමා දොරටු වසා තිබේ.

එසේ වුවත් ක්‍රිකට් ක්‍රීඩාව මේ දරුවන්ට හඳුන්වා දීමත් සමඟම ඔවුන්ට මෙම ක්ෂේම භූමි තුළට පිවිසීමට හැකියාව ලැබිණි.

ක්‍රිකට් ක්‍රීඩා කරන මෙම දරු දැරියන් වයස අවුරුදු 7 - 15 ත් අතර පසුවෙති. ඔවුන් ඊට පෙර කිසිම දිනක ක්‍රිකට් ක්‍රීඩාව ගැන අසා නැත. එමෙන්ම දුටු‍ෙව්ත් නැත. තවද ක්‍රිකට් යන පදය ගැන දන්නේත් නැත. ඒ වුණත් දැන් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩා කරති. එමෙන් ම එමගින් විනෝදයකුත් ලබති.

ඔවුන් ක්‍රිකට් පුහුණුව ලබන්නේ ටෙනිස් පන්දු, ප්ලාස්ටික් පිති සහ කඩුලු භාවිත කරමිනි. “මෑතකදී තිබුණු ක්‍රිකට් පුහුණු කඳවුරට 40ට වැඩි පිරිසක් සහභාගි වුණා. එහිදී ලැබුණු නිදහස ඔවුනට පුදුමාකාර එකක් වුණා. ඔවුන් හරියට ගත කළේ පිටියට මුදා හරින ලද අශ්වයන් වාගේ. “බ්‍රිතාන්‍ය ජාතික කළමනාකරණ උපදේශකවරයෙක් වන රිචඩ් වෙරිටි පවසයි. මෙම දරු දැරියන්ට ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වාදීමේ මේ ව්‍යාපෘතිය භාරව කටයුතු කරන්නේ රිචඩ්ය.

“ඔවුන් සමහර වෙලාවට නටනවා. ඔවුන්ට සන්සුන් වෙන්න සෑහෙන කාලයක් ගත වෙනවා. ඒ වුණත් මෙම අද්භූත ක්‍රීඩාව ආරම්භ කිරීමට ඔවුන් කැමැතියි. ඔවුන් ක්‍රිකට්වලට කැමතියි. ඒ ක්‍රිකට් වෙනස් නිසා.” මෙසේ පවසන්නේ මේෂාඩ්ය. හෙතෙම රිචඩ් සමඟ මෙම විශේෂ ව්‍යාපෘතියට සම්බන්ධව සිටින දේශීය ජාතිකයෙකි.

“මේ මට්ටමේදී ක්‍රිකට් ගැන කිසිම අවබෝධයක් නැහැ. ඔබට බැට් කරන්න බැහැ. සමහරවිට බෝල් කරන්න හෝ උඩපන්දුවක් රැක ගන්න ‍හෝ පන්දුව විසි කරන්න පුළුවන් වෙයි. මෙහිදී සළුවලින් හිස ආවරණය කර ගත් බාලිකාවන්ව සාදරයෙන් පිළිගන්නවා. මේ සමාජය බොහෝවිට ඔවුන්ට කියන්නේ දිවීම අසංවර දෙයක් ලෙසටයි. මේ නිසාම මෙහිදී ඔවුන් කාලය ගත කරන්නේ අතිශයින් ම සතුටින්.” තවදුරටත් ඔහු පවසයි.

රිචඩ් වෙරිටි වෘත්තීය ලෙස රැකියාව කරන්නේ බ්‍රිතාන්‍යයේ පිහිටි මැකින්සි සහ සමාගමේය. මෙම ව්‍යාපෘතියට අනුග්‍රාහය දක්වන්නේත් එම සමාගමයි. ඒ සඳහා දේශීය පුණ්‍යාධාර ආයතනයක් වන භාස්මෙහ් සහ ෂෙයිටුනෙහ් (සිනාව සහ ඔලිව්) සහාය දක්වයි.

මෙම ව්‍යාපෘතියේ පුහුණුකිරීම් භාරව කටයුතු කරන්නේ මොහොමඩ් ෂහිදුල් අලාම්ය. එහෙත් හෙතෙම වඩාත් ප්‍රචලිතව සිටින්නේ රටාන් නමිනි. ඔහු ලන්ඩනයේ පිහිටි කැපිටල් කිඩ්ස් ක්‍රිකට් පුණ්‍යාධාර සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරියාය.

රටාන් ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායම සෑම සතියකම දින සතරක් පෙරවරුවේ අනාගතයේදී ක්‍රිකට් පුහුණුකරුවන් ලෙසට කටයුතු කළ හැකි පුද්ගලයින්ව පුහුණු කරති. මන්දයත් ක්‍රිකට් ප්‍රචලිත කිරීමට පුහුණුකරුවන් ද අනිවාර්ය වන නිසාය. එහෙත් මෙහිදී එයත් විශාල අභියෝගයකි. ඒ මෙම දරු දැරියන් මෙන්ම පුහුණුකරුවන් ද ක්‍රිකට් ක්‍රීඩාවට ආධුනික නිසාය.

මෙම ක්‍රිකට් පුහුණුවීම්වලදි වැඩිහිටියන් මෙන්ම දරුවෝද හයේ පහරක් එල්ල කිරීම ගැන තේරුම් ගනිති. එමෙන්ම ඒ ගැන සතුටට පත්වෙති. ඇතැමෙක් සුළඟ වගේ සැහැල්ලුවෙන් දුවති. තවත් සමහරුන් හේතුවක් නැතිව ඉල්ලීම් කරති. එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ විට තර්ක කිරීමටත් පිරිසක් සූදානම්ය.

“ඔබේ පුහුණුකරුවන්ට සවන් දිය යුතු වෙනවා. පුහුණුකරුවන් කිව්වොත් මේ විදියට තමයි බැට් එක අල්ලගන්නේ කියලා ඒ විදිහටම කරන්න.” රටාන් තදින් උපදෙස් එසේ ලබා දෙයි.

මෙම දරුවන් බොහෝ දෙනකුගේ පෙනුම බැලු විට දුර්වලයි. ඒ පෝෂණ ගැටලු නිසාය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීමට යුද්ධය සුදුසු නොවන්නේ ඒ නිසාමයි.

“මම ටෙස්ට් ක්‍රිකටර්ස්ලා පවා පුහුණුකරලා තිබෙනවා. ඒ වුණත් මෙය මට ඇත්තෙන් ම හොඳයි. මොකද ඔවුන් කවුරුන්ද යන්නත් ඔවුන් ඉකුත් කාලයේදී ලැබූ අත්දැකීමුත් නිසා.” රටාන් තවදුරටත් පවසයි.

ර‍ටාන් බංග්ලාදේශ ජාතිකයෙකි. එරට‍ට ටෙස්ට් වරම් ලැබීමට පෙර ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි. ඒ කඩුලු රකින්නෙකු සහ පිතිකරුවකු වශයෙනි. පසුකලෙක හෙතෙම බංග්ලාදේශ සහ මැලේසියානු වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම් සහ චීනයේත් පුහුණුකරුවෙක් ලෙස ක්‍රියා කළේය.

පසුකලෙක එංගලන්තයේ පදිංචියට ගිය රටාන් 1989 වසරේදී කැපිටල් කිඩ්ස් ක්‍රිකට් පිහිටුවිය. මෙම සංවිධානය මූලික වශයෙන් සිදු කළේ ලන්ඩන් නුවර පිහිටි රජයේ පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමයි.

මෙම සංවිධානය මේ වසරේදී ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සමගාමීව මිනි ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට තීරණය කර ඇත. එය ප්‍රාථමික පාසල් විශාලතම ක්‍රීඩා උත්සවය ලෙසට හඳුන්වයි. එහිදී දරු දැරියන් 2500ක් පමණ එකම දිනක එකම අවස්ථාවකදී ක්‍රිකට් තරග 100කට වඩා ක්‍රීඩා කරනු ඇත. එවිට එය ලෝක වාර්තාවක් වේ.

මෙම විශේෂ තරගාවලිය පැවැත්වෙන්නේ ලන්ඩන් නුවර අවට පිහිටි හැක්නේ මාර්ෂස් නමින් හඳුන්වනු ලබන විශාල විවෘත ප්‍රදේශයකදීය. එය ලීයා ගංගාවට සමීපව පිහිටා ඇත.

රටාන්ගේ අරමුණ මෙම තරගාවලියට මේ වන විට ක්‍රිකට් පුහුණුව ලබමින් සිටින දරු දැරියන්ගෙන් සමන්විත සිරියානු කණ්ඩායමකුත් සහභාගී කරවීමටයි.

ෂාටිලා කඳවුරේ සිටින සිරියානු දරුවන්ට ක්‍රිකට් ක්‍රීඩාව පළමු වරට හඳුන්වා දෙනු ලැ‍බුවේ ගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය. ඊට අතිමහත් ප්‍රතිචාරයක් ලැබිණි. ඒ සමහරවිට ආගන්තුක ක්‍රීඩාවක් දැක ගැනීමට විය හැකිය.

එහිදී පැවැති ප්‍රථම සැසියට බාලක බාලිකාවන් 40ක් පමණ සහභාගි වූහ. එම සතිය නිමා වන විට ඒ ප්‍රමාණය 140 දක්වා වැඩි වූයේය.

ගත වූ කාලයේ දී මෙහි ක්‍රිකට් පුහුණුව ලැබුවන් අතරන් සහජ දක්ෂතා දැක්වූ පිරිසකුත් සිටිති. 12 හැවිරිදි අමිනා මතු බලාපොරොත්තු පළ කරන මදවේග පන්දු යවන ක්‍රීඩිකාවකි. විශිෂ්ට ලෙස පන්දු රකින මොහොමඩ් 11 හැවිරිදිය.

“ඔවුන් ඉතා තරගකාරියි. ඔවුන් දන්නේ යුද අත්දැකීම් පමණයි. ඉතින් ඔවුන් ක්‍රීඩා කරන්නෙත් දැඩි ලෙසයි. ක්‍රිකට් ක්‍රීඩාව ඔවුන්ට මහා දෙයක්.” තායර් එසේ පවසයි. හෙතෙම ලෙබනන් පුහුණුකරුවෙකි.

තායර් බෙකා නිම්නයේ සරණාගතව සිටින සිරියානුවන්ට උගන්වන ගුරුවරයෙකි. මේ වන විට එහි සමස්තයක් ලෙස ගත් විට 350,000ක් පමණ සිටිති. ඔවුන් ජීවත් වන්නේත් අවම පහසුකම් සහිතවයි.

තායර් ගුරුවරයෙක් ලෙසට ක්‍රියා කරන පාසලේ ළමුන් 700ක් පමණ ඉගෙන ගනිති. තවත් දෙදහසක පමණ පිරිසක් ආපසු හරවා යැවීමට සිදු වී ඇත.

“මේ ළමයින් ක්‍රීඩා කරන්නේ කුඩා ශාලාවකයි. එහි කණු පිරිලා. ක්‍රීඩාවේ නිපුණතා කිහිපයක් අපිට උගන්වන්න පුළුවන්. ඒ වුණත් අපිට ක්‍රීඩා කරන්න බැහැ.” තායර් තවදුරටත් පැවසීය.

රිචඩ් වෙරිටි ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් බෙකා නිම්නය ප්‍රදේශය තුළ පුළුල් කිරීමට ‍බලාපොරොත්තු වේ. බෙකා නිම්නය නැ‍ඟෙනහිර ලෙබනනයේ පිහිටා ඇත.

මේ වන විට ෂාටිලා කඳවුරේ සතියකට පුහුණු සැසි 03ක් ළාබාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වනු ලබයි.

මැදපෙරදිග වෙසෙන සිරියානු සරණාගත දරු දැරියන්ව ක්‍රිකට් ක්‍රීඩාව වෙතට යොමු කිරීම ගත වූ මාස කිහිපයක කාලය තුළදී සිදු විය. ඒ අනුව ජෝර්දානයේ වෙසෙන සිරියානු බාලිකාවෝ 1800කට වැඩි පිරිසක් ඊට සහභාගි වූහ.

එය සංවිධානය කළේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ සරණාගතයින් වෙනුවෙන් මහා කොමසාරිස් නියෝජිතායතනය විසිනි. ඊට ක්‍රිකට් විත් අවුට් බවුන්ඩ්රිස් නමැති බ්‍රිතාන්‍ය පුණ්‍යාධාර ආයතනයත් සහාය දැක්විය.

මේ කුමන ආකාරයකින් ක්‍රිකට් ක්‍රීඩාව සිරියානුවන්ට හඳුන්වා දෙනු ලැබුවත් එය ඉදිරියට ‍යෑමට නම් ලෙබනනය තුළ තවදුරටත් පැතිරවිය යුතුය. ඒ සඳහා එ‍රටේ වෙසෙන බංග්ලාදේශ ජාතිකයන්ව සම්බන්ධ කර ගත යුතුව තිබේ. මේ වන විට ඉදිකිරීම් සහ අවන්හල්වල සේවය කරන ක්‍රිකට් ක්‍රීඩාවට ළැදි විශාල බංගලි ජාතිකයන් පිරිසක් එ‍රටේ සිටිති.

එක්තරා ආකාරයකින් ක්‍රිකට් ක්‍රීඩාව සිරියාවට ආගන්තුක නැත. ක්‍රිකට් ක්‍රීඩාව විදේශයකදී ක්‍රීඩා කළ ප්‍රථම වතාව ලෙස වාර්තාගතව තිබෙන්නේ 1676 වසරේදීය. එහිදී බ්‍රිතාන්‍ය නැවියන් සහ සිරියාවේ ඇලෙප්පෝ නුවර පදිංචිකරුවන් අතර තරගයක් පවත්වා ඇත.

ඇලෙප්පෝ යනු සිවිල් යුද්ධයට පෙර සිරියාවේ විශාලතම නගරයයි. එම තරගය පැවැත්වෙන කාලයේ මේ නගරය පිහිටා තිබුණේ මුහුදට ආසන්නයේය.

සිරියානු ළාබාල ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආදර්ශයට ගත හැකි රටක් තිබේ. ඒ ඇෆ්ගනිස්තානයයි. ඇෆ්ගන් ජනතාව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූයේ පාකිස්තානයේ සරණාගත කඳවුරුවලදීය.

Comments