ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ ‍සොඳුරු මතක | සිළුමිණ

ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ ‍සොඳුරු මතක

 

විලියම් ජේ. මෝර්ගන් 1895 දී ඇමෙරිකාවේ දී හඳුන්වා දුන් වොලිබෝලය 1916 දී ලංකාවට ආගමනය විය. ඒ එවකට කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමයේ ශාරීරීක අධ්‍යාපන අධ්‍යක්ෂව සිටි වෝල්ටර් ජේ. කැමැක්ගේ මග පෙන්වීම යටතේ 1951 සැප්තැම්බර් මස 04 වන දින ලංකා වොලිබෝල් සම්මේලනය පිහිටුවීමත් සමඟ ක්‍රිඩාවක් වශයෙන් නිල පිළිගැනිම වොලිබෝලයට හිමි විය. එදා සිට ලාංකේය වොලිබෝල් ඉතිහාසයේ සොඳුරු මතක සටහන් ගැන ලියවෙන ලිපියේ සවැනි කොටසයි මේ.

 

60 දශකයේ විශේෂ සිදුවීම්

බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විදුහලේ සිසුවියක සිටියදීම ලංකා ජාතික කාණ්ඩායම 1959 දී නියෝජනය කිරිමට වරම් ලැබු කමලා නාගොඩවිතාන වැඩි දුර අධ්‍යාපනය සඳහා 1960 වර්ෂයේ දී මදුරාසී වයි.එම්.සී.ඒ. ශාරීරික අධ්‍යාපන පීඨයට ඇතුළු විය. ප්‍රවීණ ඉන්දීය වොලිබෝල් පුහුණු කරු හර්බට් ධනරාජ්ගේ මගපෙන්විම යටතේ මදුරාසි කාන්තා වොලිබෝල් කාණ්ඩායමේ නායකත්වය දැරූ කමලා 60-61 වර්ෂයන් හී ඉන්දීය ජාතික වොලිබෝල් තරගමාලාවේ දී මදුරාසි කාන්තා කණ්ඩායම නියෝජනය කිරිමට ද සමත් විය. මදුරාසි ප්‍රාන්ත කාණ්ඩායම නියෝජනය කරමින් කමලා තැබු වර්තාව ලාංකේය වොලිබෝල් ඉතිහාසයේ විශිෂ්ටතම කඩඉමක් වශයෙන් හැදින්විය හැකිය. ඒ ශ්‍රි ලංකා වොලිබෝල් ක්‍රිඩකයකු හෝ ක්‍රිඩිකාවක් ප්‍රථම වරට විදේශිය කාණ්ඩායමක් නියෝජනය කිරිමේ අවස්ථාවයි.

1951 දී පිහිටුවන ලද ලංකා වොලිබෝල් සම්මේලනයේ උපසභාපතිවරයෙකු වූ 1940 - 1950 දශකයේ ලංකාවේ දක්ෂතම වොලිබෝල් ක්‍රීඩකයකු වූ කොළඹ කොටහේන කණ්ඩායම නියෝජනය කළ වී.එස්. සුගතදාස ලංකාවේ ප්‍රථම ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් 1965 වර්ෂයේදී පත්වීම ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවට ලැබුණු විශේෂ දායාදයක් විය. පුවත්පතෙහි ස්වර්ණ ජයන්ති සැමරුම සඳහා සයකොන් වොලිබෝල් ශූරතාවයේ ආරම්භය සිදුවූයේද 1968 වර්ෂයේදීය. ප්‍රථම සයකොන් වොලිබෝල් ශූරතාව සි.සි. ජයවර්ධන මෙහෙය වු ආරක්ෂක සේවා කණ්ඩායම විසින් හිමිකර ගන්නා ලදී. 1969 ජනවාරි මස 03 වන දින කොළඹ තැප්‍රොබේන් හෝටලයේදී ආසියානු වොලිබෝල් සම්මේලන පරිපාලන කමිටු රැස්වීම රටවල් 8 ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ලංකාවේ පැවැත්වීමද ලංකා වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රගමනය සඳහා බලපෑ තවත් විශේෂ හේතුවක් විය.

ලංකා දුම්කොළ සමාගමේ අනුග්‍රාහය යටතේ SPORTSMAN කුසලානය සඳහා වූ අන්තර් පළාත් වොලිබෝල් ශූරතාවය ආරම්භ වූයේ 1969 වසරේදීය. යුද හමුදා කණ්ඩායම එහි ප්‍රථම ජයග්‍රාහකයා විය. වර්තමානයේ භාවිතා කරන SEWINGLESS වොලිබෝලය ලංකාවට ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබුවේ මෙම SPORTSMAN කුසලාන තරගමාලාවේදීය.

1960-1970 දශකයේ ලංකා වොලිබෝල් පිටියේ දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම වොලිබෝල් ක්‍රීඩාව ඉදිරියට ගෙනයෑම සඳහා දායක වූ ක්‍රීඩා සමාජ පිළිබඳව ද මෙම ලිපිය අවසන් කිරීමට පෙර විශේෂ සටහනක් තැබිය යුතුය. ඩබ්.එල්. සිරිවර්ධන (ගම්පහ), ජෝර්ජ් ප්‍රනාන්දු (මීගමුව), ඩබ්.එල්. පියරත්න, ඩී.සී. අබේවර්ධන සහ සුමනසිරි නානායක්කාර (ගම්පහ), කේ. බාලයියා (නුවරඑළිය), ඩබ්.ඒ. රත්නපාල සහ ඩබ්. විල්බට්, (මිනුවන්ගොඩ), එල්.පී. සූරියප්පෙරුම සහ ඩබ්.පී. වික්‍රමපාල (බෝමිරිය), කැමිලස් ඇන්තනී සහ ජැක්සන් සේනාරත්න (තුඩැල්ල) , ජේ.ඒ.ඩබ්. ජයසූරිය සහ එච්.ඩී.චන්ද්‍රදාස (ලංකා පොලිසිය), සී.සී. ජයවර්ධන (යුධ හමුදාව), ටී.ජී්.පී. ගුණතිලක (ලංකා පොලිසිය), එම්මානුවෙල් ප්‍රනාන්දු (මිගමුව), බී.එච්. ජයසේකර (පොතුපිටිය), හෙරලස් පෙරේරා (කඩුවෙල), පර්සි ප්‍රනාන්දු (තුඩැල්ල), එල්.පී. පෙරේරා (යුධ හමුදාව), ටී.ඒ. හේමපාල (පොලිසිය), එස්.ඒ. කාදර් (වැලිගම), එස්. නාගනාදන් (හලාවත) සහ යූ.එල්. කරුණාරත්න (මිනුවන්ගොඩ) යන ක්‍රීඩකයින් මෙන්ම අශෝකා විජේතුංග සහ භද්‍රා ලේකම්වසම් (බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා), කල්‍යාණි වීරසිංහ (ශාන්ත තෝමස් - කෝට්ටේ), සීතා කුලතුංග , සුනේත්‍රා කුලතුංග සහ මේරි කේරි (මිනුවන්ගොඩ නාලන්ද ම. වි.), ලතා ලියනගේ සහ සිසී වීරවික්‍රම (පොලිසිය), ලකී ධර්මසේන සහ ඒ.එම්. ශ්‍රියා (ශාන්ත තෝමස් කෝට්ටේ), ඩෝන් ප්‍රනාන්දු (සීඑම්එස් කෝට්ටේ), ශ්‍රීමාලි අබේරත්න (කොළඹ), කමලා නාගොඩවිතාන (බද්දේගම ක්‍රිස්තුදේව) සහ තේජා වේරගොඩ (සීඑම්එස් - කෝට්ටේ) යන ක්‍රීඩිකාවන් ද එදා ලාංකේය වොලිබෝල් පිටියේ දැක්වූ දස්කම් වර්තමාන වොලිබෝල් ක්‍රීඩා ලෝලීන් හට විශේෂයෙන් මතක් කර දිය යුතුය.

ගම්පහ සෙන්ට්‍රල්, යුද හමුදාව, පොලිසිය, සීඑම්එස් කෝට්ටේ, කොළොන්නාව සෙන්ට්‍රල්, පොතුපිටිය එක්සත්, නුවරඑළිය තරුණ බෞද්ධ සංගමය, තුඩැල්ල එක්සත්, මීගමුව නවක තරු, බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා මහා විද්‍යාලය, මිනුවන්ගොඩ නාලන්දා මහා විද්‍යාලය සහ පරාක්‍රම ක්‍රීඩා සමාජය, හොරණ එක්සත්, මාවතගම සිංහ, නිකවැරටිය ජොලි බෝයිස්, වැල්වැටිතුරේ රේන්බෝ, රජරට එක්සත්, හංගමුව වීර, ත්‍රිමලේ සිංහල ක්‍රී.ස, ගෝල්ඩන් ස්ටාර්ස් බදුල්ල, හැටන් නගර සභා ක්‍රී.ස, සන්රයිස් දෙමෝදර, ශාන්ත මරියා - වාද්දූව, ගල්ඔය සංවර්ධන මණ්ඩලය, කැලණි වැලි ජෝන් බොස්කෝ, වැනි ක්‍රීඩා සමාජ ලංකාවේ පැවති සියලුම ජාතික තරගමාලා සඳහා සහභාගී වී වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රගතියට දැක්වූ දායකත්වය විශේෂයෙන් අගය කළ යුතුය.

 

අදහස්