මිනිස්සු පොඩි පොඩි ප්‍රශ්නවලටත් ජනපතිගෙන් විසඳුම් හොයනවා | සිළුමිණ

මිනිස්සු පොඩි පොඩි ප්‍රශ්නවලටත් ජනපතිගෙන් විසඳුම් හොයනවා

ශ්‍රී ලංකාවේ සිටින ඉහළම රාජ්‍ය නිලධරයා වන්නේ ජනාධිපති ලේකම්වරයාය. රටේ සංවර්ධන කටයුතු මෙන්ම ජනතා සහන සේවා සියල්ල පාහේ ඔහුගේ දැනුවත්භාවය මත සිදු වේ. එමෙන්ම රටේ ජනතාව විසින් පවසනු ලබන දුක්ගැනවිලි රැසකට පිළිතුරු සැපයීමටද ඔහුට සිදු වේ. වර්තමානයේ රටේ සිදු වන ජනතා සහන සේවා මෙන්ම රාජ්‍ය සේවා මහජනයාගේ හිත සුව පිණිස කෙසේ කටයුතු කළ යුතුද යන්න ගැන අද සිළුමිණ සමඟ අදහස් දක්වන්නේ වර්තමාන ජනාධිපති ලේකම්, උදය ආර්. සෙනෙවිරත්න මහතායි.

ඉහළම රාජ්‍ය නිලධරයා ලෙස රාජ්‍ය සේවාවේ කටයුතු සම්බන්ධව ඔබට සෑහීමකට පත් වන්න පුළුවන්ද?

සාධාරණ ලෙස කිව්වොත් විශිෂ්ට රාජ්‍ය සේවාවක් තිබෙනවා කියා පවසන්න අසීරුයි. එහෙත් පවතින රාජ්‍ය සේවා සීමා හා නිර්ණායක තුළ රාජ්‍ය සේවකයන් හැකි පමණ උපරිමයෙන් තමන්ගේ කාර්යයන් සිදු කිරීමට කටයුතු කරන බව පැවසිය යුතුයි.

රාජ්‍ය සේවයේ මූලිකම අරමුණ විය යුත්තේ ජනතා සේවාවයි. එවන් තත්ත්වයකදී සේවා සීමා, නිර්ණායක මේ සියල්ල ජනතාවට සෙත සෑදීමට හැකි පරිදි සැකසී තිබිය යුතුයි නේද?

අපේ රටේ රාජ්‍ය අංශයේ යල් පැන ගිය ක්‍රමවේද, නීති-රීති පවතිනවා, ඒ වගේම පැරණි ආකෘති අනුව සිදුවන කටයුතු රැසක් තියෙනවා. ඒ වගේම දේශපාලනමය ගැටලුත් තියෙනවා. එවැනි සාධක නිසා විශිෂ්ට රාජ්‍ය සේවයක් තිබෙනව කියා කියන්න බැහැ. එහෙම වුණා නම් රටේ ජනතාවගේ ප්‍රශ්න සේරම විසඳිලා තියෙන්න ඕනනේ.

දේශපාලනමය ගැටලුත් පවතින නිසා රාජ්‍ය සේවය නිසි පරිදි සැලසීමට නොහැකි බව ඔබ පැවසුවා. එය ඉතා අභාග්‍ය සම්පන්න තත්ත්වයක් නේද?

දේශපාලනමය හේතු කියා මා පෙන්වා දුන්නේ අපේ රටේ තියෙන රාජ්‍ය සේවාව හා ඈඳුණු ඇතැම් දේශපාලන ව්‍යූහයන්. උදාහරණයක් හැටියට එකම කාරණය සම්බන්ධයෙන් මධ්‍යම රජයත් පළාත් සභාත් ඇතැම් විට ප්‍රාදේශීය සභාත් සම්බන්ධව කටයුතු කරන විට නොයෙක් ගැටීම් හැලහැප්පීම් සිදු වනවා. එය මේ සේවාව සැපයීමට බාධාවක් වනවා. දේශපාලන යථාර්ථය එයයි. ඒ නිසා යම් පසුගාමි තත්ත්වයක් පවතිනවා. මේ නිසාත් ජනතාව බලාපොරොත්තු වන ජනතා සේවාවන් සැලසීම අපහසු වන අවස්ථා තිබෙනවා.

ඇයි මේ යල්පැනගිය නීති-රීති, නිර්ණායක එක්ක අප පවතින්නේ? නව තාක්ෂණය අනුව නවීකරණය වීමට කටයුතු කිරීමට ඇති බාධා මොනවාද?

අප නවීන තාක්ෂණය සමඟ දැන් හැඩගැසෙමින් පවතිනවා. එක්වරම සියලු යන්ත්‍රණය වෙනස් කරන්න අමාරුයි. රාජ්‍ය සේවාව කියන්නේ විශාල වපසරියක්. පවතින සමාජ රටාව තුළ නවීකරණය කිරීම මෙන්ම තාක්ෂණය අනුව ඉදිරියට ගෙන යාම අප සිදු කරමින් සිටිනවා. එහිදී හඳුනාගන්නා යම් යම් දුර්වලතා සඳහා පිළියම් යොදනවා.

උදාහරණයක් ලෙස: මේ වන විට අප ග්‍රාම නිලධාරීන්ට ටැබ් පරිගණක ලබා දෙන්න කටයුතු කර තිබෙනවා. ලිපි ගොනු ඔසවාගෙන යන්නට හෝ පසුව ඒ ගැන බලා ඊළඟ රැස්වීමේදී ඒ බව දැනුම් දෙන්න ඔවුන්ට අවශ්‍ය වන්නේ නැහැ. තොරතුරු ගබඩාවන් ඔවුන් සතු වනවා. කඩිනමින් ඉහළ අංශවලට තොරතුරු ලබා දී රාජ්‍ය යන්ත්‍රණය කාර්යක්ෂම කරන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඒ අයුරින් රාජ්‍ය සේවාව කාර්යක්ෂම මෙන්ම ජනතා හිතවාදීව සිදු කරන්න අපි කටයුතු සිදු කරනවා. මේ වන විට 'ඉලෙක්ට්‍රොනික ආණ්ඩු ක්‍රමයක්' (e-government) කරා යන සංකල්පයකටයි අප කටයුතු කරන්නේ. පරිගණකගත කිරීම් හරහා රාජ්‍ය සේවාව කාර්යක්ෂම කිරීමයි අපේ අරමුණ වන්නේ.

රාජ්‍ය සේවාව පරිගණක කිරීම ආරම්භ කළේ දශක කිහිපයකට පෙර. එහෙත් අංශ කිහිපයක හැරෙන්න, අනෙක් අංශ ඔබ පැවසූ පරිදි යල්පැනගිය ක්‍රමවේදවලට අනුවයි තවම කටයුතු කරන්නේ...

සමස්ත රාජ්‍ය සේවාවම නවීකරණයට අප කටයුතු කරමින් සිටිනවා. මෙහිදී නිලධාරීන්ගේ තාක්ෂණික දැනුමත් වර්ධනය කළ යුතු වනවා. ඒ වගේම නවීන තාක්ෂණයට අදාළ කටයුතු කළ හැකි පහසුකම් ඇතැම් පළාත්වල තවමත් ස්ථාපිතව නැහැ. ඒ වගේම මේ කාර්යයන් සිදු කරන්න වැය වන ප්‍රාග්ධනයත් අතිවිශාලයි. ඒ ගැනත් කල්පනා කළ යුතුයි. මෙරට ඇති ග්‍රාම සේවා නිලධාරී වසම් 14,000 හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 330 ගණන හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 සම්බන්ධ කර අමාත්‍යාංශ ඒ හා සම්බන්ධ කිරීමේ හැකියාව ඇති වුණොත් මහජන සේවාවන් සපයා දීම අසීරු වන්නේ නැහැ. විශාල ආයෝජනයක් වුවත් මේ කටයුතු අප ආරම්භ කර තිබෙන්නේ.

රාජ්‍ය සේවාවට නැ‍ඟෙන ඊළඟ චෝදනාව වන්නේ අල්ලස් ගැනීමයි...

මේ කටයුත්ත සිදු වන්නේ ඉල්ලුම සහ සැපයුම අතර ඇති ප්‍රශ්නයක් අනුවයි. වර්තමානයේ අපේ රටේ තිබෙන ආකෘතිය තුළ, ආර්ථික රටාව තුළ රාජ්‍ය නිලධාරීන් පවා තම ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අල්ලස් ගැනීමට යොමු වන්න පුළුවන්. එහෙත් එය කිසිසේත්ම අනුමත කරන්න බැහැ. ආර්ථික අපහසුතා තුළ අසාධාරණ ක්‍රම හරහා පවා තම ආර්ථිකය සකස් කරගන්නට රාජ්‍ය සේවකයන් පෙලඹෙන්න පුළුවන්. අල්ලස ඒ හරහා පැමිණ තිබෙන වරදක්. ඒ වගේම තම කටයුතු කඩිනමින් සිදු කර ගැනීමට ජනතාවට ඇති අවශ්‍යතාව නිසා කුමන හෝ අසාධාරණ ක්‍රමයකින් හෝ එය ඉටු කරගැනීමටයි උත්සාහ කරන්නේ. විදුහල්පතිවරුන් ඇතුළු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට පවත්නා ප්‍රවාහයේ පවතින අඩුපාඩු නිසා ඒ කාර්යය සිදු කර ගැන්මට ඉඩ ප්‍රස්ථාව සැලසී තිබෙනවා. තමන්ගේ දරුවා හොඳ පාසලකට ඇතුළත් කරගැන්මට හැම මවු-පියකුම කැමැතියි. ළඟම පාසල හොඳම පාසලක් වුණා නම් ඒ ගැටලුව නිරාකරණය වනවා. අප දැන් ඒ ක්‍රමවේදය සකස් කර ගෙන යනවා. අනෙක් සේවා පවා අල්ලසට යටත් නොවන සේ සිදු කරගැනීමට හැකි වන සේ අප කටයුතු යොදමින් තිබෙන්නේ. ඒ වගේම අල්ලස කියන වරදටත් කිසිම සමාවක් නැහැ.

වත්මන් ජනාධිපතිවරයා විසින් ආරම්භ කළ ‘ජනපතිට කියන්න‘ ජන සහන සේවාවේ ප්‍රගතිය කොහොමද?

ඉතා හොඳින් ක්‍රියාත්මක වනවා. දිනපතා ජනතාවගේ ඉල්ලීම්, පැමිණිලි විවිධ කරුණු 400ක් 500ක් පමණ ලැබෙනවා, ඇතැම් දිනවල 700ක් පමණ සංඛ්‍යාවක් ලැබෙනවා. ඒ සියලු ඉල්ලීම් පැමිණිලි අභියාචනා සම්බන්ධව අපි විමර්ශනය කරනවා. එහෙත් ගැටලුව වී ඇත්තේ ඇතැම් විට ග්‍රාම නිලධාරිවරයාට පවා සිදු කළ හැකි දේ ඍජුවම ජනාධිපතිවරයාට යොමු කිරීමයි.

තමන්ගේ ප්‍රශ්න රටේ පළමු පුරවැසියාට දැනුම් දීම හොඳයි. එහෙත් සරලව විසඳාගත හැකි ප්‍රශ්න යොමු කළ විට අපට ඒ ප්‍රශ්න යළිත් ග්‍රාම නිලධාරී මට්ටමට යොමු කරන්න සිදු වනවා. එක් පුද්ගලයකු පවසා තිබුණා ජනාධිපතිවරයා හමුවීමට අවස්ථා 49ක් පැමිණි බවක්. ඒත් ඔහුගෙන් හමු වීමට අවශ්‍ය කරුණ විමසූ විට පවසන්නේ නැහැ. එවන් අපහසුතාවලටත් අපට මුහුණ දෙන්න සිදු වනවා. කොහොමත් විශාල ප්‍රගතියක් තිබෙන වැඩසටහනක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. ජනපතිට කියන්න සහන සේවාව තුළින් පමණක් නොවෙයි; අපට වාර්තා වන, ඇතැම් විට ජනමාධ්‍ය ඔස්සේ පවා වාර්තා වන ජනතාවගේ අසරණකම් ගැන අප සොයා බලා කටයුතු කරනු ලබනවා. ඒ අයගේ අවශ්‍යතා සොයා බලා කටයුතු කරනවා. ජන හමුවලදී ජනාධිපතිතුමාට ලැබෙන ඉල්ලීම් පවා ඉටු කරනවා. එහෙත් ඒවා හඬ නඟමින් සිදු කරන්නේ නැහැ.

පසුගියදා පුත්තලමෙන් ආරම්භ කළ ‘රට වෙනුවෙන් එකට සිටිමු‘ වැඩසටහන යටතේ සිදු කිරීමට නියමිත සේවා ගැන විස්තර කළොත්...

ඉතා විශාල ප්‍රගතියක් තියෙන වැඩසටහනක්. අමාත්‍යාංශ සියල්ලම මෙන් මේ දිනවල පුත්තලමේ විශාල කාර්යයක් සිදු කරනවා. ඉඩම් කොමසාරිස් ජනරාල් ඉඩම් ඔප්පු 1200ක් මේ සතිය තුළ පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවට දුන්නා. එමෙන්ම ගොවිජන සේවා කොමසාරිස්වරයා වැව් 10ක් පිළිසකර කරන්න කටයුතු යෙදුවා. ඒ වගේම දරුවන් රැකගැනීමේ වැඩසටහන් මෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සිදු කරන්නත් කටයුතු සිදු කළා. විශේෂයෙන්ම අනවසර මත්ද්‍රව්‍ය භාවිත ස්ථාන 100ක පමණ වැටලීම් සිදු කළා. ඒ වගේම සංචාරක කර්මාන්තය දියුණු කරන්න පුත්තලමේ මෙන්ම හලාවත මුහුදු තීරයන්ද නාවික හමුදාවේ සහායෙන් ශුද්ධ-පවිත්‍ර කළා. එපමණක් නොවෙයි; ජනතාව රැකීරක්ෂා සඳහා යොමු කිරීමේ වැඩසටහන් රැසක්ද පැවැත්වුණා.

විශේෂිතම කාර්යය ලෙස දිසාපතිවරයාගේ මූලිකත්වයෙන් සිදු කළ ග්‍රාමීය මාර්ග සංවර්ධනය දක්වන්න පුළුවන්. වසර ගණනාවක් තිස්සේ ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකිව තිබූ මාර්ග රැසක් ඒ යටතේ සංවර්ධනය කළා. ඒ සඳහා ඉන්ධන සඳහා රුපියල් මිලියනයක් ලබා දෙන ලෙස දිසාපතිවරයා ඉල්ලීමක් කර තිබුණා. ජනාධිපති කාර්යාලයෙන් ඒ මුදල් ලබා දී මාර්ග රැසක් ප්‍රතිසංස්කරණය කළා.

එවැනි මාර්ග ප්‍රතිසංස්කරණ, පාලම් බෝක්කු තැනීම වැනි කාර්ය වසර ගණනාවක් ඇදී-යන්නේ රාජ්‍ය සේවයේ ඇති යල්පැනගිය නීති-රීති අඩු-පාඩු නිසා බව ඔබ පිළිගන්නවාද?

මා මුලින් කියූ පරිදි රාජ්‍ය සේවාව කාලයට ගැළපෙන ලෙස වෙනස් විය යුතුයි. දිසාපතිවරයා සැලසුම් සකස් කර බලා සිටියා. එම මාර්ග ප්‍රතිසංස්කරණය කරන්න ටෙන්ඩර් කැඳවලා ටෙන්ඩර්කරුත් ලාභ තබාගෙන මාර්ග ප්‍රතිසංස්කරණය කරන්න තවත් කාලයක් ගත වෙනවා. එහෙත් අප මේ ක්‍රියාත්මක කළ ‘රට වෙනුවෙන් එකට සිටිමු‘ වැඩසටහන යටතේ මේ බොහෝ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න කටයුතු කරනවා.

මේ ව්‍යාපෘතියේ ඉදිරි පියවර කුමනාකාරයෙන් සිදු කරන්නද බලාපොරොත්තු වන්නේ?

ඊළඟට අප මඩකලපුව දිස්ත්‍රික්කයේ මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඉදිරි මාස 8ක කාලය ඇතුළතදී දිස්ත්‍රික්ක 25ම ආවරණය කරන්නයි අපේ සැලසුම.

මත්ද්‍රව්‍ය නිවාරණය පිණිස ලබන මාසේ 3 වැනිදා ආරම්භ කරන වැඩසටහනින් ජනතා සහයෝගය බලාපොරොත්තු වන්නේ කුමනාකාරයෙන්ද?

අපේ රටම වෙළාගත් මහා වසංගතයක් බවට මත් උවදුර පත්ව අවසානයි. දැන් කළ යුත්තේ මේ වසංගතය දුරලන්න සියලු දෙනා එක්ව කටයුතු කිරීමයි. එසේ නැතිව නීතිය ක්‍රියාත්මක කරන අංශවලට පමණක් එය පවරා, අහක බලාගෙන සිටීමෙන් මේ උවදුර දුරු කරන්න බැහැ. එනිසා සියලු ජනතාව අප්‍රේල් මස 3 වැනිදා ඒ වෙනුවෙන් ප්‍රතිඥා ලබා දී මේ කටයුත්ත සාර්ථක කරගන්න කටයුතු කළ යුතුයි. එහි මූලික පියවර ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 3 වැනිදා නිදහස් චතුරස්‍රයේදී සිදු කෙරෙනවා.

මත් උවදුරට එරෙහිව ත්‍රිවිධ හමුදාවම යොදවන බව පසුගිය දිනවල කතා වුණා. එහි කටයුතු ආරම්භ කරන්නේ කවරදාද?

සමහර කටයුතු දින වකවානු කියමින් කරන්න බැහැ. ත්‍රිවිධ හමුදාවේම සහායෙන් අවශ්‍ය කටයුතු සිදු කරනවා. මුහුදින් එන මත්ද්‍රව්‍ය සම්බන්ධව නාවික හමුදාව විසින් ක්‍රියාත්මක වන අතර, අවශ්‍ය වැටලීම් සඳහා යුද හමුදාව සහාය දෙයි. කොහොමත් මේ දවස්වල පැහැදිලිවම පෙනෙන දෙයක්නේ වෙනදාට වඩා මත්ද්‍රව්‍ය නීතියේ රැහැනට හසු වන බව. ඒවා යම් සැලැසුමකට අනුව සිදු කරනු ලබන වැටලීම්.

ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර හරහා අපට අලුතින් ලැබුණු ප්‍රතිලාභ ගැන විස්තර කළොත්..

ජනාධිපතිතුමාට ප්‍රබල රාජ්‍ය රැසකගෙන් ලැබුණු ආරාධනා මත එතුමා කළ සංචාරයන්ගෙන් විශාල ප්‍රතිලාභ ලැබුණා. විශේෂයෙන්ම එතුමා පරිසරවේදියකු ලෙස සිදු කළ සංචාර ගණනාවක්ම ඉතා සාර්ථකයි. එතුමාගේ පරිසරය ගැන තියෙන උනන්දුව ගැන විදෙස් නායකයන්ගේ ප්‍රසාදය හිමි වුණා. එතුමා ගොඩනඟපු යහපාලනය ගැන බොහෝ රාජ්‍ය නායකයන් ප්‍රශංසා කළා. අල්ලස දූෂණය නවත්වන්න එතුමා ගන්නා වැඩපිළිවෙළ ගැන බොහෝ රටවල් ප්‍රශංසා කර තිබෙනවා. අපේ බොහෝ සැලසුම් ක්‍රමවේද එම රටවල් ආදර්ශ ලෙස ක්‍රියාත්මක කරනවා.

ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක කිරීම ගැන ප්‍රසාදය හිමිව තිබෙනවා. අපේ රටට ජීඑස්පී+ සහනය ලැබුණා වගේම යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් වුණෙත් එතුමාගේ රාජ්‍ය සංචාරයන්ගේ ප්‍රතිඵල නිසයි.

එසේම ආරක්ෂක අංශ සමඟ විවිධ සම්මන්ත්‍රණ සමුළු හා ඒකාබද්ධ වැඩසටහන් ආරම්භ කර ක්‍රියාත්මක කිරීමටත් එතුමා ගේ සංචාර ඉවහල් වුණා.

ජනාධිපතිවරයා පරිසර ඇමැති වුණත් මේ වන විට පරිසර හානි සිදු වන ක්‍රියාකාරකම් රැසක්ම සිදු වනවා. පසුගියදා යාපනයේදී වැලි ජාවාරම්කරුවන් වැටලීමට ගිය නිලධාරීන්ට පහර දුන්නා. කලින් කින්නියාවේදීත් එහෙම වුණා. මන්නාරම කැලය කපනවා. පුල්මුඩේත් එවන් තත්ත්වයක් තිබෙනවා...

ඒ බහුතර අක්‍රමිකතා පරිසර විනාශයන් මීට පෙරත් සිදු කළ බවට අප දන්නවා. එහෙත් කිසිවකුගේ සොයාබැලීමක් වුණේ නැහැ. ඒ නිසා ඒ නීතිවිරෝධී කටයුතු දිගින් දිගටම සිදු වුණා. ඒත් දැන් ඒ ගැන සොයා-බලා කටයුතු කරන නිසා මේ ආකාරයේ සිදුවීම් වාර්තා වනවා. දූෂණයට අක්‍රමිකතාවට අසාධාරණයෙන් කටයුතු කළ කෙනා හැම අවස්ථාවේම බලන්නේ නීතිවිරෝධීව කටයුතු සිදු කරන්නයි. මාධ්‍ය මඟින් දැන ගන්නට ලැබෙන්නේ අවසානයේ වන සිදුවීම පමණයි. කොහොම නමුත් ඒ පරිසරයට හානි කරන්නන්ට කිසිම සමාවක් ජනාධිපතිතුමාගෙන් නම් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ වගේ ක්‍රියා වළක්වන්න වැරදිකරුවන්ට නිවැරැදි ක්‍රියාදාමයන්ට එළැඹීමට ධෛර්යය දෙන්නත් ඕන. උදාහරණයක් හැටියට: මේ වන විට හරිත වැලිතොටුපොළ සංකල්පයක් ගොඩනඟා තිබෙනවා. පරිසරයට හානි නොවන සේ වැලි ගොඩ දමා කටයුතු කරන්නන් ඇගැයීම වෙනුවෙන්. එවිට වැලි ව්‍යාපාරය කරන්නන්ට පරිසරය රැකගැන්මටත් අවස්ථාව ලැබෙනවා. එවන් අය ඇගැයීමටත් ලක් කෙරෙනවා. ඒ හරහා සුබදායක පණිවිඩයක් ලැබෙනවා.

මෙවන් දූෂණ හා අක්‍රමිකතාවලට සම්බන්ධ වන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ගනු ලබන තීරණය කුමක්ද?

නීතිය සැමට එක සමාන විය යුතුයි. ලොකු-කුඩා හෝ බාල-මහලු කියා වෙනසක් නැහැ; රාජ්‍ය සේවකයන් කියා වෙනසක් නැහැ. ඔවුන්ටත් නීතිය එක හා සමානව ක්‍රියාත්මක විය යුතුයි.

එහෙත් එවැනි ලෙස නීතිය ක්‍රියාත්මක නොවන අවස්ථා තිබෙනවා. උදාහරණයක් ලෙස මූතුර් ප්‍රදේශයේ සිද්ධස්ථානයක් ඩෝසර් කිරීම සිදු කළේ රාජ්‍ය නිලධාරියකුගේ උපදෙසින්. රාජ්‍ය ලාංඡනය සහිත ඔහුගේ වාහනයත් එහි ගොස් තිබුණා. එවන් අකටයුතු වාර්තා වුණොත් ඒ සම්බන්ධව ගනු ලබන පියවර කුමක්ද?

එවැනි සිදුවීම් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව අපට වාර්තා වුණොත් ඒ සම්බන්ධව සොයා-බලා කටයුතු කළ හැකියි. නීතියට රාජ්‍ය සේවකයාද සාමාන්‍ය පුද්ගලයකුද යන්න අදාළ නැහැ. නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ නම් ඒ සඳහා පැමිණිලි කිරීමට අදාළ අංශ අවශ්‍ය තරම් තිබෙනවා.

Comments