වියපත් නොවන නවීන මිනිසා | සිළුමිණ

වියපත් නොවන නවීන මිනිසා

ඒ 2018 ඔක්තෝබර් 26 දින ය. රටේ කිසිවෙක් ප්‍රාර්ථනා නොකළ ආකාරයට ආණ්ඩුව පෙරළා දමා තිබිණි. අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් පහ කරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කළේය. පසුදින වනවිට අරලියගහ මන්දිරය හිස් ය. එහි වූයේ පාළු ස්වරූපයකි.

රනිල් වික්‍රමසිංහයන් හුදකලා අරලියගහ මැදුරේ පුටුවකට බරදී තියුණු කල්පනාවක නිමග්නව සිටියේය. උද්ගත වී ඇති තත්ත්වය තුළ කළ යුත්තේ කුමක්දැයි නිශ්චිත අදහසක් කිසිවකුට තිබුණේ නැත. උදෑසන ම පැමිණි අග්‍රාමාත්‍යවරයාගේ සමීපතම නිලධාරියෙක් ඔහුගේ කල්පනාව බිඳ දැම්මේ ය.

“ සර්... ගුඩ්මෝනින්” .

මඳ වෙලාවක් නිලධාරියා දෙස බලාගෙන සිට අගමැතිවරයා හඬ අවදි කළේය. “ ඇත්තට ම මේ අදුරදර්ශී වැඩපිළිවෙලේ අවසානය මොකක්ද” නිලධාරියා මොහොතකට නිරුත්තරව දිග හුස්මක් හෙළුවේ ය.

“ දැන් ඔක්කොම ඉවරයි සර්... අලුත් අගමැතිවරයෙක් පත් කරලා.. දැන් අපිට කරන්න දෙයක් තියෙනවා ද” නිලධාරියා විමසීය.

“නෑ.. සියල්ල අවසන් වුණා නෙමෙයි.. දැන් තමයි පටන් ගත්තේ..”යි කියු අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයකුට අගමැතිවරයෙක් පත් කිරීමට හෝ ඉවත් කිරීමට මෙන්ම ආණ්ඩුවක් විසුරුවා හැරීම සඳහා බලය ලබා දී නැති ආකාරය පැහැදිලි කළේය..

අනතුරුව පාර්ලිමේන්තු කණ්ඩායමේ සියලු ම දෙනා අරලිය ගහ මන්දිරයට රැස් කළේය. මේ ක්‍රියාමාර්ගයේ ඇති අනීතික බව හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ව පැහැදිළි කළේය.

“අපි පටන් ගනිමු. ඔවුන් අපිව අනුගමණය කරාවි- Let’s start. They will follow us “. රටක් එතුමා ව අනුගමනය කළේය. ලෝකය ඒ ගමනේ සාධනීය බව තහවුරු කළේය.

අවසානයේ දින 52ට පසු රනිල් වික්‍රමසිංහයෝ සිව්වන වතාවටත් ශ්‍රි ලංකා ජනරජයේ අග්‍රාමාත්‍ය තනතුරේ දිවුරුම් දුන්හ. දකුණු ආසියාවේ වෙසෙන පරිණතම දේශපාලකයන් කිහිපදෙනාගෙන් අයෙක් වූ මේ විශිෂ්ට මනුෂ්‍යයා රාජ්‍යතාන්ත්‍රික බව, නායකත්ව පෞරුෂය, දේශපාලන පරිණතිය, ප්‍රඥාව හා ඉවසීම සහිත බහුශ්‍රැත නායකත්වයක් යනු කුමක්දැයි යළිත් වරක් ලෝකයට පෙන්වා දුන්නේ ය.

ඒ රනිල් වික්‍රමසිංහ ය. මේ පරිණත දේශපාලඥයා අද (24) සිය දිවි මගේ හත්වන දශකයට ළඟා වන්නේ ය.

ඔහු සිය දේශපාලන ගමන ආරම්භ කරන්නේ වර්ෂ 1977 දී ය. ඒ 28 හැවිරිදි තරුණයෙක් ලෙස ය. එවකට පාර්ලිමේන්තුව නියෝජනය කළ ළාබාල ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රනිල් ය. එතැන් සිට ඔහු පස් වරක් රටේ අගමැති ධූරයට පත් විය. ඒ 1993 මැයි 7 සිට 1994 අගෝස්තු 19 දක්වාත්, 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රියෙල් 6 දක්වාත්, 2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 17 දක්වාත්, 2015 අගෝස්තු 17 සිට 2018 ඔක්තෝම්බර් 26 දක්වාත් 2018 දෙසැම්බර් මස 16 වන දින සිට මේ මොහොත වනතුරුත් වශයෙනි.

අධ්‍යාපනය

රනිල් වික්‍රමසිංහයන් වර්ෂ 1977 දී පාර්ලිමේන්තුවට පත්ව එන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් උපාධිය ලැබූ උපාධිධරයෙක් ලෙසිනි. අපේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් අතරින් නිදහස් අධ්‍යාපනය යටතේ උසස් අධ්‍යාපනය හදාරා ඉන් ලද උපාධියක් සහිතව පාර්ලිමේන්තුව නියෝජනය කළ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ ය. ඔහු 77 ආණ්ඩුවේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා විය. අනතුරුව අධ්‍යාපන ඇමතිවරයා විය. යෞවන කටයුතු හා රැකී රක්ෂා පිළිබඳ කැබිනට් ඇමති වරයා විය. කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ ඇමතිවරයා විය.

දැනුම පදනම් කරගෙන අධ්‍යාපනය, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණය, මෙන්ම තරුණ කටයුතු ක්ෂේත්‍ර තුළ ඔහු විසින් කරන ලද ඉදිරිගාමී ප්‍රතිසංස්කරණ ප්‍රමාණයේ ප්‍රතිඵල ජාති, ආගම්, දේශපාලන පක්ෂ භේදයකින් තොරව මේ රටේ පුරවැසියන් මේ මොහොතේත් භුක්ති විඳිමින් සිටී.

ජේ.ආර්.ගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ 1980 සිට 1988 දක්වා අධ්‍යාපන අමාත්‍ය ධූරය දැරුවේ රනිල් ය. එතෙක් මැලේ වීදියේ කුඩා පැරණි ගොඩනැගිල්ලක පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය බත්තරමුල්ල නව ගොඩනැගිල්ලකට ගෙන යාමට හේ කටයුතු කළේය. ඉසුරුපාය නිර්මාණය වන්නේ එසේ ය. ඒ වනවිට නිදහස් අධ්‍යාපනය වසර දෙකකින් කප්පාදු කිරීමට පැවති සිරිමාවෝ රජය ප්‍රතිපත්ති තීන්දුවක් ගෙන තිබිණි. වසර 13 ක පාසල් අධ්‍යාපන කාලය රටේ දරුවන් වෙනුවෙන් තහවුරු වන්නේ එවකට අධ්‍යාපන ඇමති රනිල්ගේ තීන්දුවකට අනුව ය.

අධ්‍යාපන ඇමති ලෙස රනිල් පත්වන තුරු රටට අධ්‍යාපන පර්යේෂණ ආයතනයක් තිබුණේ නැත. ජාතික අධ්‍යාපන ආයතනයක් තිබුණේ නැත. ඒ ආයතන නිර්මාණය වන්නේ ඔහුගේ සංකල්ප ලෙසිනි. අධ්‍යාපන සේවා කොමිෂන් සභාව ස්ථාපිත කරන්නේ ඔහු ය. පර්ෂද විදුහල් ක්‍රමය ඇති කිරීම, විෂය මූල පෝෂණ සංකල්පය හඳුන්වා දීම, තාක්ෂණික විෂයයන් නව අධ්‍යාපන ක්‍රමට හඳුන්වාදීම කළේ ඔහුගේ වකවානුවේ ය.

එතෙක් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වෙනුවෙන් ගුරුවරු පත් කරගැනීම සඳහා වූ ප්‍රමිතිගත ක්‍රමවේදයක් තිබුණේ නැත. ගුරුවරුන් පත් කරන ලද්දේ මන්ත්‍රී ලැයිස්තුවෙනි. ගුරුවරියන් සඳහා ගුරු පත්වීම් දීම ලිංගික අල්ලසක් දක්වා පහළට වැටී තිබිණි. මේ තිරශ්චීන දේශපාලන ව්‍යාපෘතිය මුළුමනින්ම නවතා දැම්මේ රනිල් ය. අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වර්ධනය කරවීමට නම් දක්ෂ පුහුණු ගුරුවරුන් පත් කළ යුතු ආකාරය පිළිබඳ ඔහුගේ ප්‍රතිපත්තිමය එළඹුමට බරපතල විරෝධතාවක් පක්ෂයේ දේශපාලනඥයන් අතරින් ම මතු වූයේය. මේ මනුෂ්‍යයා වර්ෂ 1988 දී ජාතික විද්‍යා පීඨ 09ක් රට පුරා ඇති කළේය. අද ප්‍රමිතිගත ගුරුවරුන් බිහිකිරීම සම්බන්ධ ව අතිශය විපුල ප්‍රතිඵල උපදවා ඇති අධ්‍යාපන විද්‍යා පීඨ නිර්මාණය වන්නේ එතෙක් පැවති පක්ෂ විපක්ෂ අසංවර දේශපාලන ප්‍රතිපදාවන්ට එරෙහිව ඔහු රට වෙනුවෙන් ගත් විශිෂ්ට තීන්දුවක් ලෙස ය.

එමෙන්ම එතෙක් දේශපාලන බලයට නතුව පැවති ගුරු පත්වීම්, ගුරුමාරුවීම්, විනය පරීක්ෂණ සියල්ල අධ්‍යාපන සේවා කොමිසමට පැවරිණි. අධ්‍යාපන පරිපාලන සේවය ස්ථාපිත කළේ රනිල් ය. දුරස්ථ ඉංග්‍රිසි ගුරු පුහුණුව හෙවත් ඩෙලික් ගුරු පුහුණුව, පුර්ණ සේවා දුරස්ථ සේවා ගුරු පුහුණුව, පාසල් දිවා ආහාරය, මීපේ සෞන්දර්ය ආයතනය ඇරඹීම, නොවිධිමත් අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම, ගුරු හිඟයට පිළියමක් වශයෙන් දිස්ත්‍රික් ගුරු සේවය ඇරඹීම, ගුරු සේවය වයස 60 තෙක් දීර්ඝ කිරීම, පිරිවෙන් අධ්‍යාපනය විධිමත් කර භික්ෂු ගුරු පුහුණුව ආරම්භ කිරීම, පාසල් සංවර්ධන සමිති ඇරඹීම, පාසල් සුපරීක්ෂණ ඒකක පිහිටුවීම, පාසැල් සැලසුම් ඒකක, නොමිලයේ පෙළ පොත් ලබාදීම, පරිගණක අධ්‍යාපනය පාසලට හඳුන්වා දීම, කොට්ඨාස අධ්‍යාපන කාර්යාල පිහිටුවීම, ජාතික තරුණ සේවා සභාව හා ශිෂ්‍ය උපදේශන සේවාවක් ඇරඹීම රනිල්ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ය. තුන්වන ලෝකයේ රටවල් අතරින් සුක්ෂ්ම විද්‍යුත් තාක්ෂණය Micro Electronic පිළිබඳ කටයුතු කළ ලෝකයේ එක ම රට ශ්‍රි ලංකාව බවට පත්වන්නේ රනිල් අධ්‍යාපන අමාත්‍යවරයා ව සිටි කාලයේ දීය.

රනිල් කිසි කලෙක ක්‍රීඩා අමාත්‍යවරයා වී නොසිටියේ ය. එහෙත් ඔහු මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය නැන්වීමට කළ විශිෂ්ට සේවය මෙතෙක් ඇගයීමකට ලක් වී නැත. ජාතික මට්ටමේ හා අන්තර් ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහි කළ ජාතික පාසැල් ක්‍රීඩා උළෙළ රනිල් ගේ සංකල්පයකි. ඔහු අධ්‍යාපන අමාත්‍යවරයා ව සිටි අට වසරක කාලය තුළ රටේ දරුවෝ නව ක්‍රීඩා වාර්තා 188 පිහිටවූහ. ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශාරීරික අභ්‍යාස ගුරුවරු ලෙස බඳවා ගැනුණි. තරුණ තරුණියන් 16,000කට විධිමත් ක්‍රීඩා ගුරු පුහුණුවකින් අනතුරුව ක්‍රීඩා ගුරු පත්වීම් ලබා දුණි; අනතුරුව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කෙරිණි; බණ්ඩාරවෙල ක්‍රීඩා හා තාක්ෂණික පුහුණු විද්‍යාලය නිර්මාණය කෙරිණි; ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්විද්‍යාලය පිහිටටුවීමට මුල්වන්නේ රනිල් ය. උසස්පෙළ විද්‍යා විෂයයන් උගන්වන පාසල් සංඛ්‍යාව සියයට 40 කින් වර්ධනය කළේ ඔහුය.

දකුණු ආසියාවේ විශාලතම තරුණ සේවා මධ්‍යස්ථානය මහරගමදී ගොඩනැඟෙන්නේ රනිල්ගේ සැලසුමකට ය. ලංකාවේ විශාලතම තරුණ සංවිධානය වන යෞවන සමාජ අරඹන්නේ ඔහු ය. යොවුන් පුරය එහි අර්ථාන්විත ප්‍රකාශනය ය. ජාතික යෞවන ක්‍රීඩා උළෙල ඇරඹෙන්නේත්, බෙල්වුඩ් රූපවාහිනී ගම්මානය ඇරඹෙන්නේත් රනිල් වික්‍රමසිංහ නැමති යෞවන කටයුතු අමාත්‍යවරයා යටතේ ය.

දීර්ඝකාලයක් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් 1989 දී පත් කරනු ලැබීය. කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පැවැති අඩුපාඩු නිරීක්ෂණය කරමින් බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපය ආරම්භ කළේ රනිල් ය. කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපය බිහි කළේත්, සීතාවක කර්මාන්ත පුරය ඇරඹුවේත් ඔහු ය. කර්මාන්ත අමාත්‍යාංශයට විද්‍යා තාක්ෂණික අංශය ද එකතු කර තිබිණි; එබැවින් ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් සකස් කිරීමට ද, තාක්ෂණික අධ්‍යාපනය නැංවීම ද කටයුතු කළේය. කටුනායක තාක්ෂණික ශිල්පීන් පුහුණු කිරීමේ ආයතනය (TTI) බිහිවන්නේත්, මෝටර් රථ කාර්මික විද්‍යාව ඉගැන්වීමට මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේදී ඉදිවන්නේත්, කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවන්නේත්, වර්ෂ 1990 දී ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවන්නේත් අනාගතය දුටු මේ විශිෂ්ට දේශපාලනඥයාගේ අදහස් ප්‍රකාර ව ය.

වර්තමානයේ අප රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල අවධානය යොමු වී ඇති මාතෘකාවක් වන්නේ නව තාක්ෂණය ජයගැනීමයි. විශේෂයෙන් ම තොරතුරු තාක්ෂණය හා පරිගණක තාක්ෂණය මඟින් ලෝකය හසුරවනු ලබන මෙවන් මොහොතක අන්තර්ජාලය ශ්‍රි ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමියා වන්නේ රනිල් වික්‍රමසිංහ ය. රනිල් මුල් වරට රටේ අගමැතිවරයා වන්නේ වර්ෂ 1993 මැයි 17 දා ය. 1994 අගෝස්තු 19 දක්වා ඔහු රටේ අගමැතිවරයා ලෙස කටයුතු කළේය. අන්තර්ජාතික ඇගයීමට ලක්වෙමින් 1994 දී පැවැත්වූ “ඉන්ෆොටෙල් තාක්ෂණික ප්‍රදර්ශනය”, එනම් මෙරටට විධිමත් ව තොරතුරු තාක්ෂණය හඳුන්වා දෙනු ලැබූ මුල් ම අවස්ථාව නිර්මාණය කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් ය.

එමෙන්ම මේ රටේ ව්‍යාජ දේශප්‍රේමින් නොදන්නා කාරණාවක් තිබේ. එනම් දිගුදුර විහිදුම් බලකාය මෙන්ම ජාතික ආරක්ෂක බලකාය ආරම්භ කරන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වකවානුවේදී බව ය.

නායකත්වයට ගරු කිරීම

නායකත්වයට ගරු කිරීමේ සංස්කෘතික ශික්ෂණය රනිල් වික්‍රමසිංහ තුළ තිබිණි. ඔහු අන් මත වලට සවන් දුන්නේ ය; ඒවාට ගරු කළේය. මේ විශිෂ්ට ලක්ෂණ මතුවී පෙනුණ වැදගත් ම අවස්ථාව වන්නේ දිවංගත රණසිංහ ප්‍රේමදාසයන්ට එරෙහිව දෝෂාභියෝගය එල්ලවූ මොහොත ය. ඒ මොහොතේ තම පක්ෂයත්, නායකයාත් ආරක්ෂා කරගැනීමට ඔහු ඉදිරිපත් වූ ආකාරය තුළ රනිල්ගේ දේශපාලනයේ සංස්කෘතික සුවිශේෂීතාව සලකුණු වන්නේ ය. එවකට සභානායකවරයා වූයේ රනිල් වික්‍රමසිංහ ය. ඔහු ජනාධිපතිවරයාට විශ්වාසය පළ කරමින් යෝජනාවක් ගෙන ආවේය. ඊට පක්ෂයේ සියලු දෙනා විශ්වාසය පළ කර අත්සන් තැබීය. දෝෂාභියෝගය පරාජයට ලක් විය.

වර්ෂ 1994 දී ගාමිණී දිසානායක මහතා නැවත එක්සත් ජාතික පක්ෂයට එක් විය. 1994 පැවැති ජනාධිපතිවරණයට එකසත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණේ ගාමිණී දිසානායක මහතා ය. එවකට අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ ය. රනිල් ගාමිණීගේ ජයග්‍රහණය වෙනුවෙන් කොන්දේසි විරහිතව කැපවුණේ ය. තොටළඟ බෝම්බයෙන් ගාමිණි දිසානායක ඇතුළු නායකයන් විශාල පිරිසක් ඝාතනය වු විට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාව ලෙස යෝජනා වූයේ ශ්‍රිමා දිසානායක මහත්මිය ය. රනිල් ඊට පුර්ණ සහයෝගය පළ කළේය. ඔහු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වන්නේ වර්ෂ 1994 දීය. එවන් උපේක්ෂාවක් ඇති විනය ගරුක දේශපාලකයන් අද දේශපාලනයේ විරල ය.

මේ නවීන මනුෂ්‍යයා මේ මොහොත වනවිටත් රට වෙනුවෙන් විය යුතු ස්වකීය ප්‍රගතිගාමී ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය නිමා කර නැත. තොරතුරු දැනගැනීමේ පනත ස්ථාපිත කිරීම, සෑම පාසල් දරුවෙක් සඳහාම වසර 13ක අධ්‍යාපන අයිතිය අනිවාර්ය කිරීම, පාසල් දරුවන්ට සුරක්ෂා රක්ෂණ ක්‍රමය හඳුන්වා දීම, ගම්පෙරළිය එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැනි ව්‍යාපෘති හඳුන්වා දීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, ජනමාධ්‍යවේදන්ට එරෙහිව ක්‍රියාත්මක වූ සාපරාධී අපහාස නීතියට යටත් නීති ඉවත් කිරීම ආදිය සිදුවන්නේ යහපාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයන්ගෙ නායකත්වය යටතේය. ජී.එස්.පී. ප්ලස් බදු තහනම හා යුරෝපා මත්ස්‍ය තහනම රටට එරෙහිව ක්‍රියාත්මක වූ ජාත්‍යාන්තර වාරණ වූයේය. ඒ වාරණ ඉවත් කරගැනීමට හැකිවන්නේ රනිල් වික්‍රමසිංහ නැමැති රාජ්‍යතාන්ත්‍රිකයාගේ මැදිහත් වීමෙනි.

විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයා

ඔක්තෝබර් 26 කලබැගෑනියෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අගමැති වීමෙන් අනතුරුව විපක්ෂයේ විද්වත් ක්‍රියාධරයෙක් හමු විය.

“ඇත්තම කියන්නම්. මහින්ද තුන්පාරක් තානාපතිවරුන්ටයි, මහකොමසාරිස්ලාටයි කතා කළා රැස්වීමකට. හැබැයි ආවේ චීනයෙන් විතරයි; ඒත් එක දවසයි; අනිත් දින තුනේ එයාවත් ආවේ නැහැ. අපේ අය තේරුම් ගන්න ඕනෑ අන්තර්ජාතිකත්වය ඉන්නේ රනිල් එක්ක කියලා.” එය දේශපාලනය ලෝකය අත්දුටු යථාර්ථය ය. ලෝකය පිළිගත් රටේ ඉන්න ප්‍රමුඛතම දේශපාලනඥයා රනිල් ය. ලාංකේය දේශපාලනයේ ජීවමාන මහත්මා ලකුණ ඔහු ය. ඔහු මහත්මා දේශපාලනයේ එක් යුගයක් තීරණාත්මක ව බෙදා වෙන් කරන නිශ්චිත රේඛාව ය.

රනිල් වික්‍රමසිංහයන් ගේ චරිතය පුරාම තිබෙන්නේ ඔහුගේ පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් ගන්නා ලද තීන්දු හා තීරණ නොවේ. ඔහුගේ දේශපාලන ක්‍රියාවලියේ අර්ථය වූයේ පරාර්ථය ය. රටේ අනාගතය, පක්ෂයේ අනාගතය හා සමස්ත සමාජයේ අනාගතය විමසා තීන්දු ගැනීමේ නායකත්ව ලක්ෂණය ඔහු සිය දේශපාලන ජීවිතය පුරාම ප්‍රකට කළේ ය. තමාට මොනතරම් දේශපාලනිකව අවාසි වුවද හේ බොරු නොකීවේය. අපේ රටේ බිහි වු නායකයන්ගෙන් පොත් පත් කියවන, සාහිත්‍ය , කලාව, දර්ශනය , අන්තර්ජාතික දේශපාලනය, ලෝකයේ නව ප්‍රවණතා සබුද්ධික ව අධ්‍යයනය කරන නායකයන් සිටියේ කිහිප දෙනෙක් පමණි. රනිල් යනු ඒ අතර සිටින විචක්ෂණ ම කියවන්නා ය. ඔහු දේශපාලනයෙන් පුද්ගලික ව උපයාගත් ධනයක් නැත. සිය දේශපාලන සහචරයන් ප්‍රාසාද තනද්දී, බහු භාණ්ඩික වෙද්දී සිය පියා තනාදුන් පුද්ගලික නිවස්නය ඔහු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකින් යුතු චාම් තැනක් කළේය. එහි වර්ධනය වූ යමක් ඇත්නම් ඒ ඔහුගේ පුස්තකාලය ය.

ඔහුගේ කොල්ලුපිටියේ නිවසේ ඉදිරිපස ඇඳි පුටු දෙකක් තබා තිබේ. අග්‍රාමාත්‍යවරයා විවේකීව සිටින මොහොතක කොල්ලුපිටියේ ඔහුගේ නිවසට ගියහොත් ඔහු හා මෛත්‍රී මැතිණිය මෙම පුටු දෙකෙහි වාඩි වී පොතක් කියවමින් සිටින අයුරු අදටත් දැකගන්නට හැකිය.

රටක් ප්‍රාර්ථනා කළ යුතු වන්නේ මෙවැනි නායකයන් ය. එහෙත් ප්‍රචාරකවාදී නොවූ මෙවැනි මිනිසුන් ජීවත් ව සිටින කාලය පුරා ම සමාජයේ පුහුදුන් මිනිසුන්ගේත් අවිනීත දේශපාලනයේත් ගර්හාවට ලක්වන්නේ ය. විශේෂත්වය වන්නේ මේ යථාර්ථය ඔවුන් උපේක්ෂාවෙන් දරාගැනීම ය.

 

Comments