විවේචකයන්ගේ කට වැසූ ආණ්ඩුවේ ජිනීවා උත්තරය | සිළුමිණ

විවේචකයන්ගේ කට වැසූ ආණ්ඩුවේ ජිනීවා උත්තරය

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උනන්දු වන විදෙස් දේශපාලන කරළියේ මෙන්ම රජයේ සෑම කටයුත්තක් ම වි‍ෙව්චනය කරන මෙරට විපක්ෂ දේශපාලන කරළියට පසුගිය සතියේ පදනම් වූ මාතෘකාව වූයේ ජිනීවාහි දී පසුගිය සතියේ පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 40 වැනි සැසිවාරයයි. එහි දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාවේ අඩංගු අැතැම් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය ප්‍රකාශ කළේ රජය නියෝජනය කළ කණ්ඩායමේ නායකයා වූ

විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ය. ඔහු මේ සැසිවාරයේ දී කළ කතාවේ සංක්ෂිප්තයක් මෙ‍ෙස් පළ වෙයි.

2017 වසරේ අවසන් සමාලෝචනය කෙරුණු තැන් පටන් මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් අත් කරගෙන ඇති වැදගත් ප්‍රගතිය බෙදා හදා ගැනීම පිණිස 40 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සහභාගී වන්නට ලැබීම මට ඉමහත් සතුටක්.

ආරක්ෂාවේ සහ තිරසර අනාගතයක් පිළිබඳ මූලික සහතිකයක් ජනතාවට ලබා දෙමින්, දුගී බව මුලිනුපුටා දැමීමට ප්‍රයත්න දරමින් සියලු දෙනා හට ආර්ථික ලාභාංශ ලැබෙන බවට වගබලා ගන්නා අතර ම, මානව හිමිකම්, යුක්තිය, නීතියේ ආධිපත්‍යය සහ යහපාලනය ආදී විශ්වීය වටිනාකම් අන්තර්ගත රටක් පිළිබඳ අපේ රජය තුළ ඇති අභිරුචිය සහ දැක්ම අනුව යමිනුයි, ශ්‍රී ලංකාව මේ කවුන්සිලයේ සැසිවාර සමඟ සහසම්බන්ධතාවක් පවත්වන්නේ.

මේ කවුන්සිලයේ ක්‍රියාදාම සහ යන්ත්‍රණ මෙන්ම, රටේත් ඉන් පිටතත්, සියලු පාර්ශ්වකරුවන් කෙරෙහි ශ්‍රි ලංකා රජය අනුගමනය කරන්නා වූ විවෘත, වැඩදායක සහ සහයෝගී ප්‍රවේශය ඔබගේ වාර්තාව පුරා පිළිගැනීම සම්බන්ධයෙන්; අප මුලින්ම ඔබට ස්තූතිවන්ත වනවා. අපගේ අභිප්‍රාය වූයේ සංහිඳියාව වෙනුවෙන් අප තුළ ඇති දැඩි කැපවීම පෙන්වනු පිණිස; එසේ පූර්ණ වශයෙන් සහසම්බන්ධතාවකින් කටයුතු කිරීමයි. සංහිඳියාවට අඛණ්ඩ ව ම කැපවී සිටින ශ්‍රී ලංකාව ඒ අරමුණ කරා යන ගමනේ ස්ථිරසාර ප්‍රගතියක් ලබා තිබෙනවා.

සත්‍ය සෙවීමේ කටයුත්ත ගත් විට, අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් නීතියෙන් ස්ථාපනය කොට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කෙරෙනවා. සත්‍ය හා සංහිඳියා කොමිසමක් ස්ථාපනය කිරීම සඳහා වූ නීති කෙටුම්පත් අමාත්‍ය මණ්ඩලය විසින් දැනට සලකා බැලෙමින් පවතිනවා. යුක්තිය සම්බන්ධයෙන් ගත් කල, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇති නඩු යළි සමාලෝචනය කිරීම ද ඒ නඩු කඩිනම් කිරීම ද කර තිබෙන අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අන්තර්ජාතික ප්‍රමිතීන්ට සහ යහ ව්‍යවහාරයන්ට අනුකූල වීම සහතික වමින් යෝජිත ත්‍රස්ත විරෝධී පනත හඳුන්වා දීම සඳහා පාර්ලිමේන්තුවේ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා. හානිපූරණය පිළිබඳව සලකා බැලීමේදී, 2018 ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තුව විසින් සම්මත කරගනු ලැබූ හානිපූර්ණ පනත හානිපූර්ණ කාර්යාලයක් පිහිටුවීමේ නෛතික ප්‍රතිපාදන සපයා දී ඇති අතර එයට පත් කිරීම සඳහා කොමසාරිස්වරුන් තිදෙනකු ව්‍යවස්ථාදායක සභාව විසින් නිර්දේශ කරනු ලැබ තිබෙනවා. ඒවාට ලැබෙන පැමිණිලි පරීක්ෂා කිරීමට, නිර්ණය කිරීමට, හඳුනා ගැනීමට සහ පිළියම් යෙදීමට මේ ආයතන බලාත්මක කොට තිබෙනවා. ඒ ආයතන පිහිටුවීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමේදී, ඒවා විසින් කරනු ලබන ව්‍යවස්ථාපිත රාජකාරි සාධාරණ ක්‍රියා පරිපාටිවලට සහ ස්වභාවික යුක්තියේ රීතිවලට එකඟ විය යුතුව තිබෙන බව සැලකිල්ලට ගත යුතුයි. ගැටුම් යළි ඇති නොවීමට වගබලා ගැනීම සඳහා සංහිඳියාවේ න්‍යාය පත්‍රය පූරණය කිරීමට අප තිර ලෙස අදිටන් කරගෙන සිටිනවා.

මේ සියලු යාන්ත්‍රණ සහ ක්‍රියා පරිපාටීන් ස්ථාපනය කොට ඇත්තේ කෙටි කාලයක් තුළයි. මේ කාලසීමාව ඇතුළත, පියවර ක්‍රියාත්මක කරන්නට මත්තෙන් සංහිඳියා යන්ත්‍රණ සම්බන්ධීකරණ මහලේකම් කාර්යාලය සහ කාර්ය සාධන බළකාය පුළුල් පරාසයක් පුරා විහිදුණු උපදේශන පැවැත්වූවා.

මහකොමසාරිස්තුමියනි, 2018 වසරේ අගභාගයේදී හටගත් දේශපාලන සිදුවීම් සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාල වාර්තාවේ 10-13 ඡේදවල සඳහන් අන්තර්ගතය විමසා බැලීමේදී, අදාළ කාලසීමාව ඇතුළත, මතු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ගැටලු විසඳීමට ශ්‍රී ලංකාවේ අධිකරණය සතු ස්වාධීන බව කෙරෙහි විශ්වාසය ගොඩනංවමින් ශ්‍රේෂ්ඨාධිකරණය කඩිනමින් කටයුතු කළා. තවද, ආරක්ෂක හමුදා සහ පොලීසිය නීතිය සහ සාමය ආරක්ෂා කළ අතර රජයේ සේවකයන් ආදර්ශවත් ආකාරයකින් කටයුතු කළා.

අප මේ වනවිට අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සම්පූර්ණයෙන් ම සක්‍රීය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලැබූ හානිපූර්ණ පනතට අනුව හානිපූර්ණ කාර්යාලය පිහිටුවීමට ප්‍රතිපාදන සපයා තිබෙනවා. ඒවාට ලැබෙන පැමිණිලි නීතිය අනුව පරීක්ෂා කිරීමට, නිර්ණය කිරීමට, හඳුනාගැනීමට සහ පිළියම් යෙදීමටත් ඒවා විසින් කරනු ලබන ව්‍යස්ථාපිත රාජකාරි සාධාරණ ක්‍රියා පරිපාටිවලට සහ ස්වභාවික යුක්තියේ රීතිවලට අනුකූලව කිරීමටත් මේ ආයතන බලාත්මක කොට තිබෙනවා. 2019 අයවැයෙන් හානිපූර්ණ කාර්යාලයට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කොට දී තිබෙනවා.

19 වැනි ඡේදය පිළිබඳව සලකා බැලීමේදී, 2018 ඔක්තෝබර් මාසයේදී නෛතිකව බලාත්මක කරනු ලැබූ හානිපූර්ණ පනත යටතේ හානිපූර්ණ කාර්යාලයට පත් කිරීම සඳහා කොමසාරිස්වරුන් තිදෙනකු ව්‍යවස්ථාදායක සභාව විසින් නිර්දේශ කරනු ලැබ තිබෙන අතර, අප්‍රාණප්ති සහතිකය ලැබූ අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල්වලට මාසික දීමනාවක් ගෙවීම සඳහා 2019 අයවැයෙන් රජය රුපියල් මිලියන 500ක් වෙන් කොට තිබෙනවා.

වාර්තාවේ 23 වැනි ඡේදයේ ඇති, 2018 මැයි 29 වැනි දින මන්නාරමේදී මිනිස් ඇටසැකිලි සොයාගැනීම සම්බන්ධයෙන් වූ මෑතදී හෙළි වූ කරුණු අප යමක් විමසීමේදී කොතරම් පරිස්සම් විය යුතු ද යන්න පෙන්වන කදිම අවස්ථාවක්. පූර්ව වශයෙන් දැරූ මතයට පටහැණි ව, එසේ සොයාගත් ඇටසැකිළිවලට ගැටුම හා කිසිදු සම්බන්ධයක් නොමැති බව විද්‍යාත්මක වශයෙන් තහවුරු වුණා. මේ සම්බන්ධයෙන්, අතුරුදන් වූ තැනැත්තන්ගේ කාර්යාලයේ පහසුකම් සැපයීම හරහා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලබා ගත් පරීක්ෂණ ප්‍රතිඵලවලින් එකී ඇටසැකිළි ශ්‍රී ලංකාව විශාල වශයෙන් යුරෝපීය යටත්විජිත පාලනයට නතු වූ ක්‍රි .ව. 1499-1719 යන කාල වකවානුවට අයත් වූ වග හෙළි වී තිබෙන බව සැලකිල්ලට ගැනීම වටිනවා. එය, චෝදනා සහ හුදු දත්ත එකතු කිරීම අයුක්ති සහගත අපවාද නැඟීමේ අරමුණෙන් පූර්ව විනිශ්චයට භාජනය නොකළ යුතු බව පැහැදිලි කර පෙන්වන තවත් එක් උදාහරණයක්.

ස්ථාපිත නෛතික පටිපාටීන්වලට අනුකූලව කෙරෙන නිසි විමර්ශන ක්‍රියාදාමයකට එවැනි චෝදනා නිරතුරුවම යටත් කිරීම අවශ්‍ය බවත්, සාවද්‍ය උපකල්පන තහවුරු කිරීමට ඒවා කඩිමුඩියේ යොදා නොගත යුතු බවත් එයින් මනාව පැහැදිලි වෙනවා.

මහකොමසාරිස්තුමියනි,

දිනෙන් දින ඉහළ යන ත්‍රස්තවාදී ක්‍රියා හා ප්‍රචණ්ඩ අන්තවාදයට ලෝකය මුහුණ දී ඇති සමයක, මා මේ කවුන්සිලයේදී පසුගිය වසරේ ප්‍රකාශ කළ ආකාරයට, ගැටුම අතරතුරදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ගත් පියවර ගනු ලැබූයේ බොහෝ රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට නම් කොට තිබූ කණ්ඩායමකට එරෙහිවයි; එසේ නැතිව කිසියම් ජන කොටසකට එරෙහිව නොවෙයි. මෑත ඉතිහාසයේ පළමු වරට සිතාමතාම සිවිල් වැසියන් ඉලක්ක කරගත් ඒ ත්‍රස්ත සංවිධානයේ ක්‍රියා දැන් ලොව පුරා ත්‍රස්තවාදී සංවිධාන අනුගමනය කරනවා. මගේ රටේ පැවැති ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් එකට එක්සත් වුණා. දැන් ත්‍රස්තවාදය පරාජය කොට තිබෙන නිසා අද සියලු ම ජනකොටස් සංහිඳියාව වෙනුවෙනුත් ආර්ථික ප්‍රගතිය වෙනුවෙනුත් එකා මෙන් වැඩ කරමින් සිටිනවා.

ගැටුමේ අවසන් අදියරවලදී මියගිය සංඛ්‍යාව මේ යැයි අතිශයෝක්තියට නඟන ලද සංඛ්‍යාව මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ සහ මේ කවුන්සිලයේ නිල ලියකියැවිලිවල අනවරත ලෙස මෙන්ම යළි යළිත් සඳහන් කෙරී තිබෙනවා. මේ ප්‍රකාශ, විදේශ තානාපති කාර්යාල, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන මෙන්ම ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ද ඇතුළු සෙසු අන්තර්ජාතික සංවිධාන විසින් යවනු ලැබූ ස්වාධීන තක්සේරුකිරීම්වලට ඍජුව ම පරස්පර විරෝධීයි. ගැටුමේ අවසන් අදියරවලදී කොළඹ සිටි එක්සත් රාජධානි ආරක්ෂක පරිවාර නිලධාරීවරයා විසින් යවනු ලැබූ එවැනි පණිවිඩ උපුටා දක්වන, දැඩි ලෙස වාරණය කරනු ලැබූ වාර්තා 2017 ඔක්තෝබර් 12 වැනි දින එක්සත් රාජධානියේ සාමි මණ්ඩලය වෙත ඉදිරිපත් කළා පමණක් නොවෙයි, විද්වතුන් සහ ජනමාධ්‍යවේදීන් විසින් ලියනු ලැබ ප්‍රසිද්ධියට පත් කළ ලියැවිලිවලත් අන්තර්ගත වනවා.

සත්‍යය සොයා ගත යුතු, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු නියෝජිතායතන, ඉහත සඳහන් කළ තොරතුරුවලට වැඩිපුර අවධානයක් යොමු නොකිරීම සැබැවින්ම වැරදි සහගත යැයි ශ්‍රී ලංකා රජය විශ්වාස කරනවා.

31 වැනි ඡේදය සම්බන්ධයෙන් සලකා බැලීමේදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වනාහී පාර්ලිමේන්තුවේ ක්‍රියා පරිපාටිවලට අනුකූල ව අඛණ්ඩ ව කෙරී ගෙන යන ක්‍රියාදාමයක් බව සැලකිල්ලට ගත යුතුයි.

රටේ සෙසු දේශපාලන වෙනස්කම් තිබියදී වුවත් ඒ ක්‍රියාදාමය බාධාවකින් තොරව ඉදිරියට ගොස් තිබෙනවා. මේ ක්‍රියාදාමය ශ්‍රී ලංකාවේ බහුවිධ මහජනතාවට අදාළ සියලු ගැටලුවලට ආමන්ත්‍රණය කිරීම අවශ්‍ය බවත්, එය අවශ්‍යයෙන්ම ඉදිරියට ගෙනයන්නේ සියලු පාර්ශ්වකරුවන්ගේ අභිලාසයන් හඳුනා ගනිමින් බවත් සැලකිල්ලට ගත යුතුයි.

මහකොමසාරිස්තුමියනි,

32 වැනි ඡේදය සලකා බැලීමේදී, ත්‍රස්ත විරෝධී පනතෙහි කෙටුම්පතට බහුවිධ පාර්ශ්වකරුවන්ගෙන් අදහස් ද, අන්තර්ජාතික සම්මතවලට සහ යහපත් ව්‍යහාරයන්ට ඒ කෙටුම්පත අනුකූල වන බවට වගබලා ගැනීම සඳහා එකී යෝජිත කෙටුම්පත සකස් කිරීමට පූර්ණ වශයෙන් සහභාගී වූ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවලින් තාක්ෂණික සහයෝගය ද ලැබුණු බව සැලකිල්ලට ගත යුතුයි. මේ කර්තව්‍යයේදී යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගතය ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කරන්නට සියලු ම පාර්ශ්වකරුවන්ට අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව, අභියෝගයට ලක් කෙරුණු ඡේද ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලීමට තීරණය වූ අතර ඒ සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස් මේ වන විට පාර්ලිමේන්තුවේ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවට ඉදිරිපත් කොට තිබෙනවා.

ආරක්ෂක හමුදා විසින් අත්පත් කරගෙන සිටි ඉඩම් මුදා හැරීමෙහිලා ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබූ පියවර කවුන්සිලය විසින් හඳුනා ගැනීම ශ්‍රී ලංකාව අගය කරනවා.

2019 මාර්තු 14 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී මා ප්‍රකාශ කළ පරිදි, මුදා හරිනු ලැබ ඇත්තේ 2009 දී ආරක්ෂක හමුදා විසින් රඳවාගෙන සිටි ඉඩම්වලින් 75% ක් පමණකැයි යන බවට මහකොමසාරිස්වරියගේ වාර්තාවේ සඳහන් වී ඇති දත්ත සැබෑ සංඛ්‍යාවට වඩා බෙහෙවින් වෙනස් බව අවධාරණය කිරීමට මා කැමැතියි.

ආරක්ෂක හමුදා විසින් අත්පත් කරගෙන සිටි රජයේ ඉඩම් අක්කර 71, 172.56 න් 2009 මැයි මාසයේ සිට 2019 මාර්තු 12 වැනි දින වන විට අක්කර 63, 257.48 ක් මුදා හැර තිබෙනවා. එය මුලින් අත්පත් කරගෙන සිටි ඉඩම්වලින් 88.87% ක් මුදාහැරීමක්. ආරක්ෂක හමුදා විසින් අත්පත් කරගෙන සිටි පෞද්ගලික ඉඩම් අක්කර 28, 215.29 න් 2009 මැයි මාසයේ සිට 2019 මාර්තු 12 වැනි දින වන විට අක්කර 26,005.17ක් මුදාහැර තිබෙනවා. එහි ප්‍රතිශතය 92.16%ක්.

කෙසේවුවත්, ජාතික ආරක්ෂාව යන සන්දර්භයේදී අත්‍යවශ්‍ය සාධකයක් වන ඉතිරි ඉඩම් තවදුරටත් ආරක්ෂක හමුදාව අත්පත් කරගෙන සිටිනු ඇති. එහිදී පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් වන්දි ලබා දීම සිදු කෙරෙනවා.

ඉඩම් මුදාහැරීම සම්පූර්ණ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලබා දුන් ප්‍රතිඥාවත් 2018 ජූනි 05 වැනි දිනැති ගැසට් නිවේදන අංක 2074/11 මඟින් උතුරු සහ නැගෙනහිර පළාත්වල සංවර්ධනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බළකායක් පිහිටුවීමත් පසුගිය වසර තුළ සැලකිය යුතු මට්ටමකින් එම ක්‍රියාදාමය කඩිනම් කොට තිබෙන බව මා මෙහිදී අවධාරණය කරන්නට කැමැතියි.

“යළි භාරදීමට පෙර දේපළ විනාශ කළේ” යැයි නැඟෙන චෝදනා පිළිබඳ පළ කොට ඇති කනස්සල්ල සම්බන්ධයෙන් කතා කිරීමේදී එවැනි රාජ්‍ය ප්‍රතිපත්තියක් නොමැති බව ඒකාන්ත වශයෙන් කිව යුතුයි. සිදුව අැත්තේ ඒ ඉඩම් භාර දීමේදී ඒ්වායේ තිබූ ඉදිකිරීම් යටිතල පහසුකම් අාදිය ඉවත් ඒම දේපළ භාරදීමට පෙර තිබූ පරිදිම බාර දීමයි.

ශ්‍රී ලංකාවේ දොස් දකින්නන් විසින් කරනු ලබන පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් භාවිත කරන්නා වූ සාක්ෂිවල සහ ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් සලකා බැලෙන සාක්ෂීන්ගේ ප්‍රමිතිය පිළිබඳ ව සංසන්දනය කිරීෙම්දී මන්නාරමේ සමූහ මිනීවළ ඊට එක් උදාහරණයක්.

මේ වාර්තාව ඉකුත් මාස ගණනාවක් තිස්සේ පිළියෙළ කරන්නට ඇති වූවත්, එය නිකුත් කරන මොහොත වන විටත් වෝහාරික සාක්ෂි පදනම් කරගෙන එම ඇටසැකිළිවල කාලය සම්බන්ධයෙන් තීරණයක් ලබා දී තිබුණා.

මේ වැදගත් තොරතුර වාර්තාවේ ඇතුළත් කොට ඇති බවක් අපට පෙනෙන්නේ නෑ. තවද, “වෙනත් සමූහ මිනීවළවල් අනාගතයේදී හමුවීම අපේක්ෂා කළ හැකි” යැයි වාර්තාව පූර්වකල්පනය කරනවා. මෙවැනි වැදගත් හා බැරෑරුම් කාරණයක් සම්බන්ධයෙන්, ප්‍රසිද්ධ වාර්තාවක මේ ආකාරයේ උපකල්පනයක් කිරීම පිළිගත නොහැකිවාක් මෙන්ම මේ වාර්තාවේ සඳහන් සෙසු ප්‍රකාශ සම්බන්ධයෙන් ද ඉන් සැකයක් ඇති වීමට ඉඩ තිබෙනවා.

ලංකාව නිර්දෝෂීභාවයට පමුණුවන ශක්තිමත් සාක්ෂි මඟින් විඛණ්ඩනය කළේ වුවත්, ශ්‍රී ලංකා රජය වරදෙහි පටලවන්නට ඇතැම් සංශයවාදීන් තැත් කළ මන්නාරම් සමූහ මිනීවළේ සිද්ධියේදී මෙන්, තව දුරටත් විමර්ශන කිරීම සඳහා එවැනි සාක්ෂි පසෙකට දමන බවක් පෙනෙන්නට තිබෙනවා. ‍

ඒ අතරම, මීට පෙර කියන ලද ආකාරයට, ගැටුමේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් සහ පොලීසිය සිතා මතාම සිවිල් වැසියන්ට හානි කරන ලද බවට නැඟෙන දෝෂාරෝපණ අභියෝගයට ලක් කරන සාක්ෂි මතු වූ විට, ඒ සාක්ෂි වහා නොසලකා හරිනු ලබනවා.

මහකොමසාරිස්තුමියනි,

‘අන්තර්ජාතික නීතිය සහ අන්තර්ජාතික මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳව නැඟෙන චෝදනා විමර්ශනය කිරීම පිණිස දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමෙහිලා ඇවැසි නීති සම්මත කරගන්නා’ ලෙස ශ්‍රී ලංකා රජයට කෙරෙන නිර්දේශ අඩංගු මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාල වාර්තාවේ (A/HRC/40/23) 68 (සී) ඡේදය සම්බන්ධයෙන් කතා කිරීමේදී, මේ කරුණ පිළිබඳ ව අපගේ ස්ථාවරය පහත සඳහන් ආකාරයෙන් පැහැදිලි කරන්නට මා කැමැතියි.

සිය අධිකරණමය ක්‍රියා පරිපාටිවලට පුරවැසියන් නොවන පුද්ගලයන් ඇතුළත් කිරීමෙන් තමන් වළකාලන ව්‍යවස්ථාමය සහ නෛතික අභියෝග පිළිබඳව ශ්‍රී ලංකා රජය ඉහළම දේශපාලන මට්ටම්වලින් ප්‍රසිද්ධියේත්, වර්තමාන සහ හිටපු මානව හිමිකම් මහකොමසාරිස්වරුන් සහ සෙසු සංවාදකයන් සමඟ පැවැති සාකච්ඡාවලදීත් පැහැදිලි කර දී තිබෙනවා. ඉදින් පුරවැසියන් නොවන විනිශ්චයකාරවරුන් එවැනි ක්‍රියා පරිපාටියකට පත් කරන්නේ නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් මෙන්ම ජනමත විචාරණයකදී ජනතාවගෙන් ලැබෙන අනුමතියෙන් කෙරෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කිරීමට නොහැකි බව පැහැදිලි කොට දී තිබෙනවා. මේ පසුබිම තුළ, සම අනුග්‍රාහකයන් ද ඇතුළු රටවල් සාකච්ඡාවලදී මෙම යථාර්ථයන් පිළිගන්නා අතර ඒ නොගැළපීම් ලිඛිතව ද වෙනස් කළ යුතු වනවා.

මහකොමසාරිස්තුමියනි,

මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සාධාරණීකරණය කළ හැකි යැයි ශ්‍රී ලංකාව විශ්වාස කරන්නේ නෑ.

එසේ වුවද, එක්සත් ජාතීන් සහ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සිය විශේෂඥ දැනුමෙන් සහ සහයෝගයෙන් ලබා දෙන ප්‍රතිලාභය, විශේෂයෙන් ම සත්‍යය, යුක්තිය, හානිපූරණය සහ නැවත ඇති නොවීමේ සහතික පිළිබඳ විශේෂ නියෝජිතවරයාගේ තාක්ෂණික උපදේශකයන් ලබා දෙන ප්‍රතිලාභ ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම පිළිගන්නවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණ සහ ක්‍රියාදාම සමඟ අඛණ්ඩ ව ම සහසම්බන්ධයෙන් කටයුතු කිරීමටත්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් මෙන්ම සමාජ-ආර්ථික හා සංස්කෘතික අයිතිවාසිකම් ලබා ගැනීම කරාත් අපගේ ජනතාව වෙනුවෙන් කල් පවත්නා සාමය සහ සංහිඳියාව තහවුරු කර ගැනීම කරාත් අප යන ගමනේදී අන්තර්ජාතික ප්‍රජාව සමඟ සමීප සහයෝගයෙන් කටයුතු කිරීමටත් ශ්‍රී ලංකා රජය උදක්ම අපේක්ෂා කරනවා.

Comments