ඉසු­රු­මුනි පෙම් යුවළ නෑකම් කියන්නේ රජ පවු­ලටයි | සිළුමිණ

ඉසු­රු­මුනි පෙම් යුවළ නෑකම් කියන්නේ රජ පවු­ලටයි

ජනවාරි මස 20 වැනි ඉරිදා පුන්කලස අතිරේකයේ ‘ඉසුරුමුනි පෙම් යුවළ සංග්‍රාමයක සංකේතයක් ද?’ යන මැයෙන් පළ වූ ලිපියට පිළිතුරකි.

 

 

අනුරාධපු‍රයේ තිසාවැවට යාබද ව, රන්මසු උයනට දකුණෙන් පිහිටි ඉසුරුමුනිය විහාරය ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදී පමණ දේවානම්පියතිස්ස රජු විසින් කරවූ බව මහාවංසයේ සඳහන් ය. ඒ මිහිඳු මහ රහතන් වහන්සේ උදෙසා ය. “පන්සියයක් ඉසුරු දරුවන් මහ තෙරහු වෙත පැවිදිව විසූ තැන කළ වෙහෙර” ඉසුරුමුනිය නම් විණැයි කියැවේ. මෙහි සඳහන් මහ තෙරහු නම් මිහිඳු මහ රහතන් වහන්සේ ය.

ඉසුරුමුනිය විහාරය සම්බන්ධව විවිධ මත පවතී. වර්තමාන ඉසුරුමුනිය විහාරයට දකුණු පසින් පිහිටි වෙස්සගිරියෙහි ව‍ූ පළමු වැනි සියවසට අයත් සෙල්ලිපියක මේ ස්ථානය ‘ඉසිරමණ’ යනුවෙන් හැඳින්වේ. (‘ඉසිරමණ’ යන්න සිංහලට බිඳී ආවේ ‘ඉසුරුමුනි’ යනුවෙන් විය හැකි ය) වර්තමාන වෙස්සගිරිය පාලි මහාවංසයෙහි ඉස්සරසමණ (ක) යනුවෙන් ද, සමන්තපාසාදිකාවෙහි ‘ඉස්සරනිම්මාණ’ යනුවෙන් ද හැඳින්වුණු ඉසුරුමුනිය විහාරය බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහසයි. මේ අදහස් දැක්වීම අනුව නියම ඉසුරුමුනිය විහාරයට වර්තමානයේ වෙස්සගිරිය යැයි කියන බව පෙනෙයි.‍

මේඝගිරි (මෙයිගිරි) විහාරය වර්තමානයේදී ඉසුරුමුණි විහාරය ලෙස හඳුන්වන බවට ද මත පවතී. 12 වැනි සියවසේ රචිත මහාබෝධිවංශ ගැටපදයෙහි සඳහන් මෙත්ගිරි විහාරය වූ කලී වර්තමාන ඉසුරුමුනිය විහාරය බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසයි. ක්‍රි.ව. 312 දී රාජ්‍යත්වයට පැමිණි කීර්ති ශ්‍රී මේඝවණ්ණ රජු සමයේදී දඹදිව කාලිංගනුවර සිට ලක්දිව අනුරාධපුරයට දළදා වහන්සේ වැඩම කෙරිණි. දාඨාවංසයට අනුව දළදා වහන්සේ මේඝගිරි විහාරයට වැඩමවා තාවකාලිකව තැන්පත් කොට තබා ඇත. 13 වැනි සියවසේ රචිත දළදා සිරිතේ දැක්වෙන ආකාරයට මේඝගිරි විහාරය පිහිටියේ මහාමේඝ වනයෙහි (මහමෙවුනා උයන) ය.

වර්තමාන වෙස්සගිරිය ක්‍රිස්තු පූර්ව අවධියේ බ්‍රාහ්මී ශිලාලේඛන රැසකින් හා ගල්ගුහා විසිතුනකින් පමණ යුක්ත ය. කඳු පර්වත තුනකින් සමන්විත මෙහි එක් පර්වතයක පැරණි දාගැබක නටබුන් ද ඇත. ලෙන්වල බිතුසිතුවම් තිබූ බවට ද නෂ්ටාවශේෂ විය. ගුහා දෙසට විහිදුනු ගල් පඩිපෙළක් ද වෙයි. මේ ගල්ලෙන් අනුරාධපුර යුගයේ මුල් භාගයේ බෞද්ධ භික්ෂූන්ට වාසස්ථාන වූ බව සෙල්ලිපිවල සඳහන් ය. ඇතැම් තැනක බිත්ති ආදිය වූ බවට ද සාක්ෂි තිබේ.

වර්තමාන ඉසුරුමුනි විහාරය පර්වතයක් ආශ්‍රිතව ගොඩනඟා ඇති අතර, එය අනුරාධපුර අටමස්ථානයට අයත් සිද්ධස්ථානයක් ද වේ‍. වනයට සැඟව ගිය මේ විහාරස්ථානයෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹූයේ 1872 දී මානෙලෙඹුවේ එගොඩපිටියේ සංඝරක්ඛිත නම් හිමිනමක විසිනි.

විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවස්ථ‍ාවෙහි තැන තැන විසිර තිබී, විහාරයේ ගල් බැම්ම බැඳීමට යොදාගන්නා ලද කැටයම් පුවරු දෙකක අගනා කලා නිර්මාණ දෙකක් විය. ස්ත්‍රී පුරුෂ යුවළක් දක්වන කැටයම (ඉසුරුමුනි පෙම් යුවළ) හා ප්‍රභූ පුරුෂයෙකු හා තවත් සතර දෙනෙක් දැක්වෙන අර්ධකවාකාර කැටයම (රජපවුල/ රජවාසල දර්ශනය) ඒ නිර්මාණ දෙකයි. මීට අමතරව පර්වත මුහුණත නෙළා ඇති කැටයම් දෙකක් ද තිබේ. ‘දිය කෙළිනා ඇත් රංචුව’ එක් කැටයමකි. ‘වාඩිගත් මිනිසා හා අශ්ව හිස’ අනෙක් කැටයමයි.

මීට අමතරව ඉසුරුමුනියෙහි ගණ රූප ආදී අවශේෂ කැටයම් ද දක්නා නමුදු ‘ඉසුරුමුනි කැටයම්’ ලෙස ජනප්‍රිය ව හා අවධානය දිනා ඇත්තේ ඉහත දක්වන ලද කැටයම් හතර ය.

‍පොළොව මට්ටමේ සිට අඩි 15 ක් පමණ ඉහළින් පිහිටි ගල හාරා අඩ උන්නතව නෙළා ඇති වාඩිගත් මිනිසා සහ අශ්ව හිස කැටයම විචාරක අවධානය දිනා ගත්තකි. ප්‍රමාණයෙන් කුඩා මිනිස් රූපය වාඩි වී සිටින ඉරියව්වකින් නිරූපිත නමුත් ආසනයක් නොදැක්වේ. කඳ ඍජුව තබා ගෙන ඇත. වම්පස පාදය නමා පැත්ත දමා බිම තබා සිටියි. දකුණු පාදය දණහිස ළඟින් නමා වම් පතුල අසල පය බිම තබා ඇත්තේ දණහිස එසවෙන පරිද්දෙනි. දකුණත දිගු කොට දකුණු දණහිස මත රුවා සිටියි. වමත දිග හැර බිමට බරකොට තබා ඇත. උඩුකය නග්න ය; ගෙල පැළඳි මාලයකි; හිස වැස්මකින් හිස වසා ඇත. හිස වමට බරව දුරට යොමු වූ බැල්මකින් බලා සිටින්නා සේ ය. දකුණු කණෙහි වටකුරු කර්ණාභරණයකි. අත්පාවල සළඹ/ වළලු පැලඳ ඇත.

යටිකය වැසුනු දුහුල් කෙටි ඇඳුමකි. මෙම රූපයේ නෙලා ඇති වාඩි ගත් ඉරියව්ව මහාරාජ ලීලාසන ඉරියව්ව ලෙස හැඳින්වේ. මිනිස් රුව අතිශය තේජාන්විත පෙනුමකි. දිගු කල දකුණතේ උඩුබාහුවට ගෑවෙන තරම් සමීපව අශ්ව හිස නෙළා ඇත. උඩුබාහුවේ පෙනෙන්ට ඇති ලණුව (bridle) අශ්ව යා හා සම්බන්ධ බවක් ද වෙයි. මේ අනුව අශ්වයා මිනිසාට පිටුපසින් සිටින අයුරක් දිස් වෙයි.

මේ කැටයම ක්‍රි.ව. 12 වැනි සියවසට අයත් බව ආචාර්ය විලියම් කුක් මහතා පවසයි. මහාචාර්ය ෆෝගල්, ආනන්ද කුමාරස්වාමි, බෙන්ජමින් රෝලන්ඩ් යන විද්වතුන් දක්වනුයේ මෙම කැටයම ක්‍රි.ව. 7 වැනි සියවසට අයත් බවකි. වාඩිගත් මිනිසා සහ අශ්ව හිස කැටයම ඉන්දියානු පල්ලව සම්ප්‍රදායේ නිර්මාණ හා සාදෘශ්‍යතා (සමානකම්) දක්වන බව මහාචාර්ය ෆෝගල් මහතා පවසයි.

ඉන්දියාවේ මාමල්ලපුරම් හි පල්ලව මූර්තිවල දැකිය හැකි ශරීර අවයව වල දිගටි බව, අබරණ විරල බව, ඇඟට ඇලෙන සේ සළුපිළි දැක්වීම වැනි ලක්ෂණ මෙම මිනිස් රුවේ දැකිය හැකි බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසයි.

වාඩිගත් මිනිසා සහ අශ්ව හිස කැටයමට දකුණු දෙසට වන්නට පොකුණේ ජල මට්ටමට මදක් ඉහළින් දියකෙළින ඉරියව් සහිත ඇත් රංචුවක් (රූප හතරක්) කැටයමට නඟා ඇත. ගල් පර්වතයේ ස්වාභාවික විවරයක දෙපස ‍අඩ උන්නත ශිල්ප ක්‍රමයට නෙළා ඇති මේ ඇත් රංචුව ජීවමාන බවක් පෙන්වයි. සොඬ ඉහළට ඔසවා වතුර ඉසින ඉරියව්වක ඇතකුගේ රූපයකි. මේ රූපයට ඉහළින් අඩි 2 1/2 x 2 ½ පමණ කුහරයක් හාරා ඇත. පියුම් පත් නෙළා තිබීම නිසා ඇතුන් ජල තටාකයක බැස සිටින අන්දම හැඟවෙයි. මේ කැටයම් ද 7 වැනි සියවසට අයත් බව පිළිගැනේ.

වාඩිගත් මිනිසා සහ අශ්ව හිස කැටයමත්, ඇත් රූප කැටයමත් පිළිබඳව විද්වත්හු විවිධ අදහස් පළ කරති. ඇතැෙමක් මේ කැටයම් දෙක අතර එකිනෙකට සම්බන්ධ අරුතක් ද දකිති. එච්. පාකර් මහතා පළ ‍කරනුයේ මිනිස් රුව සෙබළකු පිළිබිඹු කරන බවයි. මේ මිනිස් රුවෙන් ශෛව සාධුවරයෙකු නිරූපිත බව ඒ.එච්. ලෝංහර්ස්ට් මහතාගේ මතය වී ඇත.‍

මහාභාරත‍යේ කපිල වෘත්තාන්තයේ එන ගංගානදී අවරෝහණයේ සඳහන් කපිල ඍෂිවරයා හා අශ්වයා නිරූපණය කරන බව ආනන්ද කුමාරස්වාමි, වින්සන්ට් ස්මිත් යන වියත්හු පවසති. කැට‍යමෙහි එන මිනිස් රුවින් කපිල ඍෂිවරයා නිරූපිත බව පැවසීමට, ඒ අසල නෙළා ඇති අශ්ව හිස ප්‍රමාණවත් සාධකයක් නොවන බව මහාචාර්ය ‍ෆෝගල් මහතාගේ අදහසයි. මිනිස් රුව නිරූපිත මහාරාජ ලීලාසන ඉරියව්ව භාවනානුයෝගී කපිල ඍෂිවරයා දැක්වීමට යෝග්‍ය නොවන බව ආචාර්ය විලියම් කුක් මහතා කියයි.

මේ මිනිස් රුවේ ඉරියව්ව පමණක් නොව තවුසකුට තිබිය යුතු කෙසඟ සිරුර, අක් බමරු හිසකෙස් මෙහි දක්නට නොලැබෙන නිසා මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ද ආනන්ද කුමාරස්වාමි මහතාගේ මතය බැහැර යයි. ඒ අනුව වාඩිගත් මිනිස් රුව හා අශ්ව හිස කැටයමින් සංකේතාර්ථයක් දැක්වෙන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කියයි. මිනිස් රුවින් වර්ෂාවට අධිපති පර්ජන්‍ය ද අශ්ව හිසෙන් අග්නි ද නිරූපණය වන බව පරණවිතාන මහතාගේ අදහසයි.

සිංහල විශ්වකෝෂයේ (සිවුවැනි කාණ්ඩය) එන පහත විස්තරය බලන්න.

“... මහාචාර්ය පරණවිතාන මිනිස් රුවෙහි හා අස් හිස කැටයමේ සංකේතාත්මක අර්ථයක් ගැබ් වී ඇතැයි නව මතයක් ඉදිරිපත් කරයි. මිනිස් රූපයෙන් වර්ෂාවට අධිපති පර්ජන්‍ය ද අස් රුවෙන් අග්නි ද නිරූපණය වෙතැයි ඔහුගේ මතය වේ.

මහා භාරතයේ එක් කථාවක අශ්වයකු හා අශ්වාරෝහකයකු පිළිවෙළින් අග්නි හා පර්ජන්‍ය වශයෙන් හඳුන්වා තිබේ. කෘෂිකර්මයේ සශ්‍රීකත්වය අරමුණු කොට ගෙන පැරණි ලක්දිව ද මේඝය හා ගින්න දේවත්වයට නංවා පුදන ලද බවට ශිලා ලේඛනමය හා සාහිත්‍යමය සාධක ගෙන හැර දක්වන මහාචාර්ය සෙනරත් පරණවිතාන ඉසුරුමුණි (පැරණි මේඝගිරි) විහාරයෙහි පර්ජන්‍ය හා අග්නි වෙනුවෙන් ප‍ූජා පවත්වන ලද බව ද පෙන්වා දෙයි. හස්තියා මේඝයේ සංකේතයක් හැටියට ඉන්දියානු ආගමික සාහිත්‍යයේ සඳහන් ය. ඉසුරුමුනියේ දක්නට ලැබෙන හස්ති රූප ද එම ස්ථානය වර්ෂාව ලබාදීම සඳහා පූජා පවත්වන ස්ථානයක් බව හඟවන සාධකයකැයි ද ඇත් රූ හා පියුම්පත් මගින් පර්ජන්‍ය, අග්නි යන දෙවිවරුන් පහළවීමේ ප්‍රතිඵල ප්‍රකාශ කැරෙන බව ද මහාචාර්ය පරණවිතාන වැඩිදුරටත් සඳහන් කරයි. රාජ හෝ දේවරාජ යනුවෙන් පර්ජන්‍ය සිංහල ලේඛනයෙහි සඳහන් වේ. එබැවින් යථෝක්ත මිනිස් රූපය මහාරාජ ලීලාවෙන් නිමාව තිබීම ද එය පර්ජන්‍ය වශයෙන් ගැනීමට බාධකයක් නොවේ. සොඬ දිගු කරන ඇතාගේ රූපයට ඉහළින් ඇති කුහරය, වදුලු ශාස්ත්‍රයට අනුව නම් නිදන් වස්තු තැන්පත් කොට තිබුණු තැනක් ලෙස ගිණිය හැකි යැයි ඇතැම්හු සලකත්. එහෙත් බොහෝ විට කවිසමයෙහි වලා ගල ගුහා සහිත හැටියට විස්තර කැරෙන හෙයින් ‍එම කුහර සැබෑ ලෙනක් දැක්වීම අදහස් කොට කරන ලද්දක් විය හැකි යයි පරණවිතාන මහතා කල්පනා කරයි.” (280 පිටුව)

මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ ‘ඉසුරුමුනිය’ ග්‍රන්ථයෙහි සඳහන් කරන්නේ, මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ මතය පිළිගැනීම අපහසු බවකි.

“... දෙවියන් දක්වන වෙනත් තැන්වල අනිවාර්යයෙන් තිබිය යුතු කිරීට මකුඨය නොතිබීම නිසා මොහු දෙවියකු ලෙස සැලකිය නොහැකි ය. එනිසා පර්ජන්‍ය මෙහි මිනිස් රූපයෙන් දැක්වෙනවාය යන අදහස භාර ගැනීමට අපහසු ය. මෙයින් සෙනෙවියෙකු දැක්වෙනවා යැයි කීම වඩාත් නිවැරැදි ය.” (10 පිටුව)

මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන්ගේ ‘පුරාණ අනුරාධපුරය’ (ආරාමික නගරය) ග්‍රන්ථයේ මෙවන් විස්තරයක් එයි.

“අතීතයේදී පර්වතයක් සහ රජ කෙනෙකු අතර ඇති සබඳතාවය විශ්වීය පර්වතය පිළිබඳ ඇති විශ්වාසය හා බැඳී පැවතියේ ය. ඒ මගින් රජුට අතිපූජනීය තත්ත්වයක් ද හිමි විය. මේ අනුව ගුණවාචක පදයක් වන ‘පබ්බතරාජ’ යන නාමය ද සහිතව යටත් වැසියන් පාලනය කිරීමට මොහු සුදුසුකම් ලැබීය. එමෙන් ම මිහිමත දෙවියෙකු ලෙස ඔහුම හඳුන්වා ගනිමින් යටත් වැසියන්ගේ සුවසෙත උදෙසා වර්ෂාව ලබාදීමේ ශක්තිය ද තමා සතුව ඇතැයි ඔහු විශ්වාස කළේ ය.

පරණවිතාන මහතා ද මෙම ස්ථානය වර්ෂාවට අධිපති පර්ජන්‍ය දෙවියාට සම්බන්ධ උත්සව පැවැත්වූ ස්ථානය යැයි මතයක් ඉදිරිපත් කළේ ය. එහි ගලේ කොටා ඇති අශ්ව හිස සහ මිනිසාගේ කැටයම, අග්නි සහ පර්ජන්‍ය ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව ඔහු මේ මතය තවදුරටත් ශක්තිමත් කළේ ය. විල අසල ඇත් රූප දැකිය හැකි අතර එයින් වළාකුළු සංකේතවත් කෙරෙතැයි ඔහු පවසයි.” (198 පිටුව)

 

ලබන සතියට...

අදහස්