උද්දාල-ස්වර්ණතිලකා පුවත සර­ච්චන්ද්‍රයන්ගේ කවි ඇස දුටු හැටි | සිළුමිණ

උද්දාල-ස්වර්ණතිලකා පුවත සර­ච්චන්ද්‍රයන්ගේ කවි ඇස දුටු හැටි

 

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර (1914 - 1996) විසින් රචනා කොට වර්ෂ 1969 දී ප්‍රථමවරට නිෂ්පාදනය කරන ලද ‘පෙමතො ජායතී සොකො’ (ප්‍රේමය නිසා ශෝකය හටගනී) යන ගීත නාටකයට මූලාශ්‍රය වූයේ සම්භාව්‍ය ගද්‍ය ග්‍රන්ථයක් වන සද්ධර්මාලංකාරය (ක්‍රි.ව. 1398 - 1410) නමැති කෘතියට ඇතුළත් ‘ස්වර්ණතිලකා වස්තුව’ යි. ස්වර්ණතිලකා වස්තුවට පාදක වනුයේ වර්තමාන කාලයට වුවද අර්ථවත්, මනෝ විද්‍යාත්මක අගයකින් යුත්, අභූතරූපී ලක්ෂණවලින් සමන්විත කථා පුවතකි.

එහි කථා පුවත මෙසේ ය. පුරාණ කාලයේ අනුරාධපුර වාසය කළ එක්තරා ස්ත්‍රියක් තමාගේ දුවත් සමඟ අභයගිරි වෙහෙර දාගැබට මල් පුදනු පිණිස පැමිණෙයි. ඈ තම දුව එහි නතරකොට මලසුන පිරිසුදු කිරීම සඳහා ජලය රැගෙන ඒමට අසල පිහිටි පොකුණට යයි. මව ජලය රැගෙන අවුත් මලසුන පිරිසිදු කිරීමට පෙර දුව මල් මිටක් ගෙන පූජා කොට ප්‍රාර්ථනාවක් කරයි. එකී ප්‍රාර්ථනාව නම් තමා මරණයෙන් පසු උපදින හැම වාරයක් පාසාම රූප සෞන්දර්යයෙන් ද සුමිහිරි කටහඬකින් ද යුක්ත වූත් අහසෙහි බබළන සූර්යයාගේ මෙන් සිරුරින් රශ්මි මාලාවක් විහිදෙන්නාවූත් තමා දෙන බලන පිරිමින් කාමයෙහි පොලඹනසුලුවූත් කෙනකු වේවායි යනුයි.

ජලය රැගෙන ආපසු පැමිණි මව තම දුව, මලසුන සෝදා පිරිසුදු කිරීමට පෙර, මල් පූජා කොට තිබෙන බව දැක අතිශයින් කෝපයට පත්වෙයි. එසේ කිරීම ගැන ඇය තම දුවට “එම්බල චණ්ඩාල (සැඩොල්, රොඩී) කෙල්ල!” යනුවෙන් අමතා දෝෂාරෝපණය කරයි. එවිට දුවත් එම වචනවලින්ම තම මවටත් බැණ වදියි. තම මවට එසේ බැණ වැද නිග්‍රහ කිරීමේ පාප කර්මය හේතුකොටගෙන ඇය මරණයෙන් පසු දඹදිව උත්තර මධුරා නුවර වීණා ගායනා කරන එක්තරා සැඩොල් බමුණකුට දුව වී උපදියි. එමෙන්ම ඇය මල් පූජා කළ පුණ්‍ය කර්මය හේතුකොට ගෙන දුටු දුටුවන් වශී කරවනසුලු රූප ශෝභාවකින් යුතුව සිටියි. මවුපියෝ ඇයට ස්වර්ණතිලකා යැයි නම් තබති.

උත්තර මධුරා නුවර නායක සැඩොල් බමුණාගේ පුත්‍රයෙක් ස්වර්ණතිලකා පාවා ගැනීමට යෝජනා කරයි. තමාගේම කුලයේ කෙනෙකු සමඟ විවාහ වීමට අක­ැමැති ඇය ඔහුට නින්දා අපහාස කොට ඔහුගේ යෝජනාව ප්‍රතික්ෂේප කරයි. ඉන් ලජ්ජාවට පත් වන පුත්‍රයා ඇය සමකුලයේ කෙනෙකු සමඟ විවාහ වීමට අකමැති වීම ගැන රජතුමාට පැමිණිලි කරයි. ඒ ගැන කරුණු සොයා බලන රජතුමාට, ඇය වංශවත් කෙනෙකු සමඟ පමණක් විවාහ වීමට අපේක්ෂා කරන බව, ඇගේ පියාගෙන් දැනගන්නට ලැබේ. එවිට රජතුමා පියාගේ මාර්ගයෙන් ඇයට යෝජනාවක් ඉදිරිපත් කරයි. එනම් පංච මධුරා නුවර උද්දාල නම් වංශවත් බමුණෙකු වෙසෙන බවත්, ඔහු ස්ත්‍රීන් අතිශයින් පිළිකුල් කළ යුතු ජාතියක් ලෙස සලකන බවත්, හැකිනම් ඔහු සමඟ එක්වී වෙසෙන ලෙසත් ය. ස්වර්ණතිලකා අතිශයින් ප්‍රීතියට පත්ව එකී යෝජනාවට එකඟත්වය පළ කරයි. ඇය කෙසේ හෝ උද්දාල බමුණාගේ බිරිය වීමට ඉටා ගනියි. මෙතෙක් කල් ස්ත්‍රී ජාතිය පිළිකුල් කොට සැලකූ උද්දාල බමුණා තුළ ස්වර්ණතිලකා දුටු සැණින් ඉමහත් විපර්යාසයක් හටගනියි. ඇගේ රූප සෞන්දර්ය නරඹා ඔහු ඉන් වශී වෙයි. කෙසේ හෝ ඇය තමා සතුකර ගැනීමේ මහත් ආශාවක් ඔහු තුළ පහළ වෙයි. ඔහු ඒ බව තම මිත්‍රයන්ට දන්වා සිටියි. ඇය ගැන සොයා බලන ඔවුහු ඇය සැඩොල් කුලයේ කෙනෙකු බවත් එබඳු හීන කුලයේ කෙනකු ඔහුට නොගැළපෙන බවත් කියා සිටිති. එබඳු රූප සම්පත්තියෙන් යුත් ස්ත්‍රී රත්නයක් හීන කුලයේ වුවත් බැහැර නොකළ යුතු බැවින් කෙසේ හෝ ඇය තමාට ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියි. ඊට එකඟ වන ඔවුහු ස්වර්ණතිලකා කැඳවාගෙන අවුත් උද්දාල බමුණාට පාවා දෙති.

උද්දාල බමුණා රාජ සේවයෙහි නිරතව සිටි කෙනෙකි. ඔහු සමීපයෙහි රජකුමරුවරු පන්සියයක් දෙනා ශිල්ප ශාස්ත්‍ර හදාරති. ස්වර්ණතිලකා පාවාගෙන හාරමසක් ගත වී ඇතත් ඔහු තවමත් ඉගැන්වීමේ කටයුතුවලට සහභාගි වී නැත. ඊට ප්‍රධාන හේතුව ස්වර්ණතිලකා බව දත් රජකුමරුවරු ඇගේ ග්‍රහණයෙන් ඔහු මුදාගැනීම සඳහා උපක්‍රමයක් යොදති. එනම් රා පොවා මත් කළ ඇතකු ලවා ඇය ජීවිතක්ෂයට පත්කිරීමට සැලසුම් කිරීමයි. එම ප්‍රයත්නය ද සාර්ථක නොවේ. කවර හෙයින් ද යත් රා බී මත් වී සිටි ඇතා පවා ඇය දුටු කෙණෙහි ඇය කෙරෙහි උපන් ස්නේහය කරණකොට ගෙන ඇය සොඬින් ගෙන ඔසවා තම කුම්භස්තලයෙහි තබාගත් හෙයිනි. අනතුරුව රජකුමාරවරු රාත්‍රි කාලයෙහි මිනිසුන් යවා ඔවුන් ලවා ඇය ජීවිතක්ෂයට පත් කරති. එවිට උද්දාල බමුණා ඉමහත් ශෝකයට පත්ව හඬා වැලපෙමින් මෙබඳු ස්ත්‍රී රත්නයක් නැතිව ජීවත්වීමට වඩා මිය යෑම යහපත් බව සිතා දරසෑයක් බඳවා එහි ගින්නට පැන සියදිවි නසා ගනියි.

පෙමතො ජායතී සොකො (ප්‍රේමය නිසා ශෝකය හටගනී) යන ගීත නාටකය වනාහි ස්වර්ණතිලකා වස්තුව ආශ්‍රයෙන් රචනා කරන ලද්දකි. කෙසේ වුවද එහි මුල් කොටසෙහි හමුවන බොහෝ පුවත් ගීත නාටකයට ඇතුළත් නොවේ. ගීත නාටකයේ කථා පුවත ආරම්භ වනුයේ උද්දාල බමුණාට පළමු කොටම ස්වර්ණතිලකා දක්නට ලැබුණු අවස්ථාවෙහි සිටයි.

අංක තුනකින් යුත් ගීත නාටකයේ පළමුවන අංකය ආරම්භ වනුයේ ගායකයන් විසින් පාලි භාෂාවෙන් ගායනා කරන ගාථා තුනකිනි.

මෙතැන් සිට කථා පුවත විකාශනය වනුයේ මූලාශ්‍රයට වඩා බෙහෙවින් වෙනස් ආකාරයකිනි. පළමුකොටම සිප්සැලෙහි ශිල්ප ශාස්ත්‍ර හදාරන අග්නිදත්ත, දප්පුල හා පිංගල යන ශිෂ්‍යයන් තිදෙනා එහි එති. නොබෝ වේලාවකින් උද්දාල බමුණා අප්‍රාණික ලෙස එහි පැමිණේ. උද්දාල බමුණා ශිෂ්‍යයින් අමතමින් තමාට මහත් විපතක් සිදු වූ බවත්, මෙතෙක් කල් ඔවුන්ට උපදෙස් දුන් තමා, මෙම අවස්ථාවෙහිදී ඔවුන්ගෙන් උපදෙසක් අපේක්ෂා කරන බවත් පවසයි. සිසුන් තිදෙනා ඇදුරුතුමාගෙන් ඒ ගැන තවදුරටත් විමසා බලති. එවිට ඇදුරුතුමා තමා උයනේ ඇවිදිමින් සිටින අතර මහලු මිනිසෙකු සමඟ පැමිණි තරුණියක තමාට දක්නට ලැබුණු බව දන්වා සිටියි.

උද්දාල බමුණා එතනින් නික්ම ගියාට පසු ශිෂ්‍යයෝ එතුමාට පැමිණි උවදුර පිළිබඳ කතාබහ කරති. ඇදුරුතුමාට දක්නට ලැබුණු තරුණිය එතුමා පොලඹවා ගැනීමට පැමිණි මායාකාරියක විය යුතු යැයි ඔවුහු සනිටුහන් කරති.

අනතුරුව සූත්‍රධර කරන ගායනයෙන් ප්‍රථමවරට ස්වර්ණතිලකා පිළිබඳ හැඳින්වීමක් කෙරේ. දඹදිව උත්තර මධුරා නුවර සැඩොල් කුලයේ ගාන්ධර්වයකු සිටි බවත් ඔහුට ස්වර්ණතිලකා නමින් දූ කුමරියක සිටි බවත් ඉන් කියැවේ. අනතුරුව ගායකයෝ ඇගේ රූපය මෙසේ වර්ණනා කරති.

“ස්වර්ණතිලකා වීය ඇගෙ නම.

ස්වර්ණ වර්ණය ඇගේ දේහය.

ස්වර්ණ මාලා කලඹ සදිසිය

සිහින් සිරුරින් නිකුත් රශ්මිය.....”

අනුරාගයෙන් දිලිහෙන ඇගේ ඇස් කොනින් හෙළන බැල්ම දප්පුලට පෙනෙනුයේ මිනිසුන්ගේ සිත් නමැති මසුන් ඩැහැගැනීම පිණිස දැමූ දැලක් මෙනි. අනතුරුව දප්පුල, අග්නිදත්ත හා පිංගල තමන් ශිල්ප ශාස්ත්‍ර හදාරන ස්ථානයට පැමිණීම ගැන බමුණාට හා ඔහුගේ දියණියට දොස් කියති. ඒ ගැන කිසිවක් නොදැන පැමිණි බව පවසන සැඩොල් බමුණා එසේ කිරීම ගැන සමාව අයැද සිටියි. තවද ඔහු එවිටම තම දුවත් සමඟ ආපසු යාමට සූදානම් වේ. එකෙණෙහිම උද්දාල බමුණා එහි පැමිණෙයි. අමුත්තන්ට නොසලකා පිටමන් කිරීමට තැත් කිරීම ගැන ඔහු තම ශිෂ්‍යයන්ට දොස් නඟයි. අනතුරුව සියලුදෙනාම එතනින් නික්ම යෑමත් සමඟ ම පළමුවෙනි අංකය නිමාවට පත් වේ.

දෙවන අංකය ආරම්භයේදී ම සුත්‍රධර ගායනා කරන ගීතයට අනුව සැඩොල් බමුණා රාජ සේවය ලැබ තම දියණියත් සමඟ පංච මධුරා නුවර යහතින් වාසය කරන අතර උද්දාල බමුණා කිසිම සැනසුමක් නොලැබ කනස්සල්ලට පත්ව තම ශිෂ්‍යයන්ට පවා ඉගැන්වීමෙන් වැළකී සිටියි. ඊට ප්‍රධාන හේතුව සැඩොල් දුවට ඔහු වසඟ වී සිටීමයි. ඇය අත්පත් කරගන්නා තුරු ඔහුට කිසිදු සැනසුමක් නැතිවීමයි.

ගැහැනියකගේ ස්වභාවය ඔහු විස්තර කොට ඇත්තේ මෙසේය.

“පිය තෙපුල් ලෙල නුවන්

ඡවි වර්ණ මුව කමල

ඈ සියල් මුත් කවර දේ

වේද අඟන නම්..... මෙම අවස්ථාවෙහි ස්වර්ණතිලකා නැවත වරක් කරළියට පිවිස උද්දාල බමුණා සමඟ කතාබහක යෙදෙයි. ඔහුගේ සිතුම් පැතුම් දත් ඇය ඔහු අමතා මෙසේ පවසයි.

“නොවෙමි සම ඔබ බිරිඳ තනතුරට

ඇදුරිඳුනි, මම සැඩොල් දුවක් වෙමි

හීන කුලයේ උපන්....”

මූලාශ්‍රයට අනුව මෙම අවස්ථාවෙහි ස්වර්ණතිලකා ක්‍රියා කරනුයේ මීට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකිනි. එහිදී උද්දාල බමුණා සමඟ සහවාසය කිරීමට රජතුමා කළ යෝජනාවට ඇය තම එකඟත්වයත් ප්‍රසාදයත් පළකොට ඇත්තේ මෙසේය.

“එ තෙපුල් අසා ස්වර්ණතිලකා තොමෝ මම ඉදින් සැබවින්ම ගැහැනියක් වීම් නම් ඒ උද්දාල බ්‍රාහ්මණයා එක්ව වාසය කෙරෙම්ම ය. ඊට කිසි සැකයක් නොසිතා ප්‍රපඤ්ච නොකොට කල් නොයවා උදාසන්හි ම නික්මුණ මැනැව. සෙට දවස්ම යෙමියි කිව.” මින් පැහැදිලි වනුයේ කුමක් ද? ගීත නාටකයෙන් නිරූපණය කෙරෙන ස්වර්ණතිලකා ගේ චරිතය මූලාශ්‍රයේ දැක්වෙන ස්වර්ණතිලකා ගේ චරිතයට වඩා බොහෝ දුරට වෙනස් වූවක් බවයි.

ස්වර්ණතිලකා ඇය පිළිබඳ පළ කළ මතයට උද්දාල බමුණා එකඟ නොවේ. එබැවින් තමාගේ හදවත නමැති මැදුර තුළ අරක්ගෙන ඇති අඳුර දුරු කරනු වස් ප්‍රේමයේ දැල්ල එහි දල්වන මෙන් උද්දාල බමුණා ස්වර්ණතිලකාගෙන් ඉල්ලා සිටියි. ඒත් සමඟම දෙවන අංකය නිමාවට පත් වේ.

සූත්‍රධර ගායනා කරන ගීතයකින් තුන්වන අංකය ආරම්භ වේ. ඒ අනුව, ස්වර්ණතිලකා පාවාගැනීමෙන් පසුව උද්දාල බමුණාගේ සිත බෙහෙවින් සන්සුන් බවට පත් වේ. රාත්‍රි කාලයේ හැමූ තද සුළඟින් කැලඹුණු මහ මුහුද උදය වන විට නිසසල වූවාක් මෙනි. කෙසේ වුවද ඔවුන් දෙදෙනාගේ ජීවිතයට කිසියම් අනතුරක් සිදුවිය හැකි යැයි සැකයක් ශිෂ්‍යයන් තුළ පහළ වූ බව ගායනයෙන් අනාවරණය වේ.

අනතුරුව ස්වර්ණතිලකා හා උද්දාල බමුණා කරළියට අවුත් සුහද ලෙස කතාබහ කරමින් සිටිති. මෙසේ එක් වී වාසය කිරීමට ලැබීම ගැන දෙදෙනා ම සිය සතුට පළ කරති. කෙසේ වුවද ස්වර්ණතිලකා තුළ ඔවුන් ගත කරන ප්‍රීතිමත් ජීවිතය ගැන කිසියම් සැකයක් පහළ වී තිබෙන බව ඇගේ පහත දැක්වෙන ප්‍රකාශයෙන් හෙළි වේ.

“ගෘහවාසේ ඇරඹූ අප දෙදෙනාහට

ගත නොවී ද සාරමසක් ඇදුරිඳුසඳ?

බලා සිටිති කුමාරයෝ

ඔබ එන තුරු ශිල්ප දෙන්ට.

නොපමාව යනු යෙහෙකි

සමීපෙට ඔවුන්ගේ..... ගීත නාටකයෙන් නිරූපණය වන ස්වර්ණතිලකා මූලාශ්‍රයේ චරිතය මෙන් නොව ප්‍රායෝගික දැනුමකින් ද යුත් කෙනෙකි. ටික වේලාවක් මෙසේ කතාබහ කරමින් සිට දෙදෙනාම කරළියෙන් නික්ම යති.

ඉන් පසු සූත්‍රධර පැමිණ ගීතයක් ගායනා කරයි. විවාහයෙන් පසු ඇදුරුතුමා ඉගැන්වීමේ කටයුතුවලට සහභාගි නොවීම ගැන ශිෂ්‍යයින් තුළ මහත් අප්‍රසාදයක් ඇති වී තිබෙන බව ඉන් කියැවේ.

ඉන්පසු සූත්‍රධර ගායනා කරන ගීතයෙන් ඇය ඇදුරුතුමා ගෙන් සදහටම වෙන් කිරීමට සිසුන් කිසියම් උපක්‍රමයක් සොයමින් සිටින බව පැවසේ. මොළ ඇතකු රා පොවා මත් කොට ඌ ලවා ඇය ඝාතනය කරවීමට සිසුන් බිහිසුණු උපක්‍රමයක් යොදන බව ඉන් අනාවරණය වේ. සිසුන් විසින් වීදියට කැඳවාගෙන ආ ස්වර්ණතිලකා ඇතාට ගොදුරු වූ ආකාරය විස්තර කොට ඇත්තේ මෙසේය.

“චකිත ළඳ දැක ඇතා කිපියේ.

මඳක් නැවතී බලා සිටියේ.

කුංච නාදය වරක් නද කොට

දුව ගියේ ඇය වෙතට සැණිනා.

ස්වර්ණතිලකා සොඬින් ඔසවා

උඩ දමා ඇය බිමට හෙළුවේ.....”

රාජ සේවය නිමකොට සිය නිවසට ආපසු එන උද්දාල බමුණා ‘මොළ ඇතා විත් ස්වර්ණතිලකා සොඬින් ඔසවා උඩ දමා යළි බිම් හෙළුෑ සැටි’ දැක සිහිසන් නැතිව බිම ඇද වැටෙයි. සිසුහු ඔහු නිවසට රැගෙන එති. සදාකාලයටම පහන නිවී අන්ධකාරය අරක්ගත් තම නිවස තුළට තමා රැගෙන ආවේ කවර හෙයින් ද යනුවෙන් ද ඇතාගේ පයට පෑගී තමාට මැරෙන්නට ඉඩ නොහැරියේ කවර හෙයින් ද යනුවෙන් ද ඇදුරුතුමා සිසුන් ගෙන් ප්‍රශ්න කර සිටියි. ඊට පිළිතුරු දෙන සිසුහු එම පව්කාරියගේ ග්‍රහණයෙන් ඇදුරුතුමා මුදවාගැනීම උදෙසා ඇය මැරවූ බව කියති. එවිට ඇදුරුතුමා මෙසේ පවසයි.

“එසේ වේ නම් ස්වර්ණතිලකා

මැරුම් කෑවේ මා අතින්මයි.

මගේ පණ හා සරිව ඉන්නා

සිසුන් ගෙන් නම් මැරුම් කෑවේ

මා අතින් මයි මැරුම් කෑවේ.

ස්වර්ණතිලකා ළඳුනි මම ඔබ

කුරිරු මරුගේ මුවෙහි හෙළුවෙමි.”

තවද ඇදුරුතුමා, සිසුන් කෙරෙහි තම සිත් තුළ ස්වල්ප වූ වෛරයක්වත් නැති බවත් තමා ඔවුන්ට සමාව දෙන බවත් කියා සිටියි. එහෙත් තමා අතින් ස්වර්ණතිලකාට සිදුවූ වරදට ඇය සමා කරවා ගන්නේ කෙසේ දැයි ඔහු ප්‍රශ්න කරයි.

අවසානයේ දී උද්දාල බමුණා තම කලකිරීම මූර්තිමත් කොට දක්වන වියරු නැටුමක් නටා එතනින් නික්ම යයි. ශිෂ්‍යයෝ ඔහු පසුපස ලුහුබඳිති. ඉන්පසු සිදු වූ දේ සූත්‍රධාර ගායනා කරන පහත සඳහන් ගීතයෙන් විස්තර කෙරේ.

“වළකාගත නොහැකිය ඔහු

ලුහුබැඳ යෑමෙන් නැත පල.

ක්ෂමා කරවා ගන්ට ඒ ළඳ

සෑය පිට ඔහු පනී ඇයගේ

එකම ගින්නට පුද කරන්නට

එකම අළු ගොඩ වී දැවෙන්නට.....”

මූලාශ්‍රයට අනුව මෙම සිද්ධිය විස්තර කොට ඇත්තේ “එකල්හි ඒ උද්දාල බ්‍රාහ්මණයා ද මෙබඳු ස්ත්‍රීරත්නයෙන් වියෝව ජීවත්වීමට වඩා මිය යෑම යහපතැයි මහත් වූ ශෝකයෙන් ප්‍රලාප කිය කියා හඬමින් රාජාංගණයෙහි දරසෑයක් බඳවා ගිනි වැද මළේය” යනුවෙනි. ගීත නාටකයට අනුව උද්දාල බමුණා ස්වර්ණතිලකා සමඟ ‘එකම ගින්නට පුද කරන්නට එකම අළු ගොඩ වී දැවෙන්නට’ ඇගේ මළ සිරුර පිලිස්සෙන දරසෑයට පැන සිය දිවි නසා ගනියි. උද්දාල බමුණාගේ සිතුම් පැතුම් අනුව සලකා බලන විට ඔහු ඇගේ මළ සිරුර දැවෙන දර සෑයට පැන සිය දිවි නසා ගැනීම ඔහුගේ චරිතයට වඩාත් අනුකූල වේ. එමෙන්ම එය වඩාත් නාට්‍යෝචිත වේ.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ගේ පෙමතො ජායතී සොකො (ප්‍රේමය නිසා ශෝකය හටගනී) නමැති ගීත නාටකය ප්‍රථම වරට ඉදිරිපත් කොට ඇත්තේ පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල නාට්‍ය මණ්ඩලය විසිනි. එය වර්ෂ 1969 පෙබරවාරි මස 25 වෙනිදා සිට මාර්තු මස 2 වැනිදා දක්වා සතියක් මුළුල්ලේ රාත්‍රියෙහි 8 ට එම විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ සුඛාවතී රඟහලේ (ඊ.ඕ.ඊ. පෙරේරා රඟහලේ) දී වේදිකා ගත කෙරිණි. එම ගීත නාටකය සඳහා සංගීතය නිර්මාණය කරන ලද්දේ ජී.ඩබ්ලිව්. ජයන්ත (ජයන්ත අරවින්ද) විසිනි. උද්දාල බ්‍රාහ්මණයා ගේ වියරු නැටුම නිර්මාණය කරන ලද්දේ වසන්ත කුමාර විසිනි. නර්තනයට අවශ්‍ය කරන මුද්‍රා හා කරණ හඳුන්වාදී ඇත්තේ මිරැන්ඩා හේමලතා විසිනි. නාටකයේ උද්දාල බ්‍රාහ්මණයා ගේ චරිතය ජයලත් මනෝරත්න විසිනුත් ස්වර්ණතිලකා ගේ චරිතය මනුලා බටුගෙදර විසිනුත් පිංගල ගේ චරිතය නිස්සංක දිද්දෙණිය විසිනුත් රඟ දැක්විණි. මෙම ගීත නාටකය එම අවස්ථාවෙහි ප්‍රධාන වශයෙන්ම වේදිකාගත වූයේ එම විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයන්ගේ මාර්ගයෙනි.

ගායනයට යෝග්‍ය පද්‍යයෙන් රචිත පෙමතො ජායතී සොකො බටහිර ඔපෙරා ගණයට අයත් කෘතියක් බවත් එසේ වුවද එය බටහිර ඔපෙරාවට වඩා චීන ඔපෙරාවට සමාන බවත් කතුවරයා රංග පත්‍රිකාවෙහි සඳහන් කොට තිබෙන බව අවසාන වශයෙන් කිවමනා ය.

අදහස්