කවි මඬල | සිළුමිණ

කවි මඬල

ආද­ර­ණීය පියා­‍ෙණනි!

පුංචි සන්දියේ ඔබ මට
රජකු ලෙසින් පෙනුණේ‍
ඈත දකින - ළඟට පෙනෙන‍
විශ්ව දැනුම් සයුරේ‍‍‍
ඔබ දුන් ඔව­දන් හමුවේ‍
‍අපේ ලෝකෙ ගොඩ නැඟුණේ...
අපට දෙන්න මසුරං පොදි
නැති වුණාට ගොඩ ගැසුණේ
දුන්නු සවිය හොඳට ම ඇති
ආදර බර පියා­ණනේ...
ගියත් අපව හැරදා ඔබ
පිය ගුණ කඳ නො නිමි වුණේ
තෙව­සක් පිරු­ණත් අහි­මිව
ඔබේ සුවඳ තවම දැනේ...
පතමි ඔබට නිවන් සුවය‍‍‍‍
මතු බුදු වන ලෙසිනේ!
(2019 මාර්තු 16 දිනට පී. කුල­සේන පෙරේරා ආද­රණී පියා­ණන්ගේ තෙවර්ෂ පූර්ණ පුණ්‍යා­නු­මෝ­ද­නාව වෙනු­වෙනි)

පී. එනෝකා පුෂ්ප­කු­මාරි
බණ්ඩා­ර­ගම.


වැහි එන­ තුරු

යට ගිය දෑසෙ ළෙන්ග­තු­කම රැඳිලා
දෑතේ ගෙලේ රන්බඩු ටික සින්න වෙලා
කර්කශ පොළොව මෙන් නිති ලෙස සැන­සීලා
අම්මා ඉඳී වැල් ඇඳ උඩ හේබාලා
හුළං පිරුණ බඩ ගෙඩි ටික පුර­වන්ට
මුද­ලා­ලිගේ මහ සද්දෙන් බේරෙ­න්නට
හිස් වුණ අහස් කුස මෙන් සැන­සෙන්ට
පිය­තුම සුසු­ම්ලයි පවු­ලම රැක ගන්ට
කඳු­ළක උරු­ම­යක් මිස හස­රැල් දකි­න්නට
නැති හෙට දවස අත­ළඟ වග පෙනෙ­න්නට
පොළො­වත් එක්ක උර­ණව පිළි­වෙත් රකි­න්නට
වියැ­ළුණ සුළඟ එයි පණි­විඩ කිය­න්නට
නැවුම් පසේ විලි­ ලන බිජු දකි­න්නට
දෑසම තවම නෑ පින් කළ බව දකි­න්නට
මන්දා­රමේ වග­තු­ග­වත් අහ­න්නට
ළිහි­ණින් රෑන නෑ නොවැ තව පෙනෙ­න්නට

උපුල් වික්‍ර­ම­නා­යක


පරි­ණාමය

එදා ජාතක පොතේ කථා­වකි
අද ත්‍රීවි­ලර් සංගමේ කථා­වකි
එදා සුවි­සල් පහු­රකි
අද පහු­ර ­මත දුහු­වි­ල්ලකි‍‍‍‍‍‍...
එදා පෝරුවේ චාරි­ත්‍ර­යකි
අද උසා­වියේ නඩු­වකි...
එදා නිර්මල වූ හැඟු­මකි
අද අසැබි නිල් දසු­නකි...

කැලුම් ගුරුගේ


නුවරු සිර­කරු

නුවරු බැඳ පවුරු
පවුරු තුළ මහ­මැ­ඳුරු
මැඳුරු නෙක විසි­තුරු
නුවරු විසි­තුරු මැඳුරු සිර­කරු

බෝදා­ගම සුමන හිමි


මිදු­ණෙමි

ඇසි­ල්ල­කට හෝ ඉඩ නොදී
නුඹේ නෙත් තුළට කිඳා බැස
විමසු කල්හී
හද­වත පුරා විසි­රුණු
ස්නෙහ ප්‍රති­බි­ම්බ­යක්
එහි දුටි­මි­
ප්‍රේමා­න්විත වර්ණා­ලාප හමුවේ
නුඹට බැඳු­ණෙමි
ඇසි­ල්ල­කට හෝ ඉඩ නොදී
නුඹ වෙන්ව ගිය පසු
පුන­රා­ග­ම­න­යක සේයා­වන් ඔස්සේ
කාලත්‍රය අහි­මිවී
කල් මැරිමි
පුපුරු ගසන ආත්මය
වෙන­ස්වී­මට පවරා
නුඹෙන් මිදු­ණෙමි

චාමරි ෆොන්සේකා


කවිය

අම්මාගේ ආච්චිගෙ සහ පුංචිල ගේ
නැළ­විලි කවි ඇසු­වෙමි මුල­දිම වා‍ගේ
ඒ කවි හඬට මා නැළ­වුණ බවක් හැ‍ඟේ
හඬ නැති කවිය අලි බෙට්ටක දිවුලෙ වගේ!
අම්මගෙ ආච්චිගෙ පුංචි­ලගෙ හු‍රතලා
මා දරු­වෙකි අඬන වය­සේදි හඬ­තළා
ලොකු අය කවි කියා, ගති මාව නළ­වලා
නැළ­විලි කවි තිබුණි මට කිරි­ව­ගෙම වෙලා!
පාසල් අව­දියේ කවි තුබුණු පොත්වල
කිව්වෙමි උස් හඬින් හැම සිත් පහන් කළ
සත­යක් දෙකක් පහ, නෑසි­යන් දුන් කල
ගන්නට ලොසි­න්ජර් හැකි­වුණා කඩ­වල
සද­හම් ගුප්ත පිරි­වෙන් බිමෙහි දොඹ­වල
ඉගෙ­නුම ලබද්දී තුළ දහම් පාසල
නාහිමි කවක් ලියලා බෝඩ් එක තුළ
‘හයි­යෙන් කෙනෙක් කියන්න හඬට නැගි­ටල’
“ස‍ඳේ මෙන් පතළ පැර­කුම් - දුටු ගැමුණු
උදේ සවස මුනිදුට පසු සිහි කරනු
විදේ­සින්ගෙ දුසි­රිත් පිළි­කුල් කරනු
මෙදේ කරන තුරු නැත වන්නේ දියුණූ”
බණ මඩුවේ පැවති හැම පන්ති­ය­ක­ටම
ඇහෙන්න කව හඬට විරි­තට කිව්වෙ මම
සර­ණං­කර නා සමිඳු ‘හොඳයි’ කිව්වම
ලොකු සතු­ට­කට එවෙලේ පත්වු­ණෙමි මම
සිංහල රජු­න්ගෙන් ගම්වර ලද කවිය
අන්ද­රේල - ගජ­මන්ලා කිව් කවිය‍
නිද­හස් සට­න්ව­ල­ටත් දුන්නා සවිය
උප­තෙහි - මර­ණ­යෙහි කි‍යවෙ­නවා කවිය!

කලා­භූ­ෂණ උඩු­ග­ම්පොළ සම­ර­තුංග


පුතේ ‘මුග­ලන්’

කියා­දු­න්නෙමි කිහිප විට­කම
දෙපා සතු­නගෙ නැති බවක් සෙනෙ­හස හදේ
මෙමා නැති­විට හොරෙන් ඇදුණේ
ඇයි මිනිස් ඇසු­රට පුතේ?
තාම සෙල්ලම් වයසෙ හින්දා
බරක් නොති­බිණි නුඹෙ හිතේ‍
කවුද ගිනි බිඳි තිරි­සනා බට
මගේ මුග­ලන් ලොකු පුතේ
කන්න ගත් තණ පිඬ මුවට දාග­න්න­වත්
ඉඩ නොදී නුඹ­හට
බින්දෙ ගිනි නුඹෙ නළල මැදට ම
මොළය කැබ­ලිති වෙලා යන්නට
මන්ද නරු­මැති මිනි­සුනේ
හද­ව­තක් වත් නැත්ද නුඹ­ලට
පින්නෙ සීතල රැයේ මගෙ පුත
ඇයි ගියේ රුදු මරුගෙ තුරු­ලට?
රැහේ රජ­කම ගන්න සිටි නුඹ
දණ නමා බිම වැටී සිටි හැටි
දුටුව මගෙ හද කැබලි වේ යැයි
වාව­ග­න්නට බැරි ‍උනේ
කෝම මේ දුක දරා­ග­න්නද කියා
දෙනු මැන මිනි­සුනේ
මෙතේ බුදු දැක නිවන් දැක­පන්
මගේ මුග­ලන් බුදු පුතේ

වෛද්‍ය පද්මිණී බෙන­ර­ගම


මිරි­ඟුව

නොපෙ­නෙන නොදන්න
මන­සින් අප සැම
හොඳ­ටම හඳු­නන
නම් දැරු දෙවි රජ වරුනි
හීයක වේග­යෙන්
එන්නකෝ මනු­ලො­වට
අත්අ­ඩං­ගු­වට ගෙන
කුදලා ගෙන යන්න
‘කම්මැ­ළි­කම’
මනු ලොවට
සුව සරණ‍‍
ඇති කළ‍
‘වීර්යය’
අල්ලස් දීලා
වළ­ප­ල්ලට යවලා
පස් වලින් වසා දමලා
ඔබ සැම සම­ඟි­යෙන්
රැගෙන ගියොත්
‘කම්මැ­ළිකම’
පූජා වට්ටි­යට
පුද පඬු­රු­ව­ලට
බැති බර සිතට
පනවා ඇති බඳු බරට
නිද­හස ලබා දෙනවා සත්තයි
රජ කරන ඇත්තෝ
දෙවොල් මාළිගා
ජාතික වස්තූන් ලෙස
නම් කරාවි
ලොව පුදුම ස්ථාන
ලෙස නම් කර­න්නැයි
ඉල්ල­මින් ජාත්‍ය­න්ත­ර­යෙන්

මොහා­න්දාස්
සම­ර­ක්කොඩි


 

අදහස්