කාන්තා කවි කතා මතක | සිළුමිණ

කාන්තා කවි කතා මතක

සමස්ත ලොව පුරා ම යොදාගත් ‘කාන්තා දිනය’ මාර්තු අටවනදා අප රට ද රාජ්‍ය අනුග්‍රහයෙන් අනුරපුරදී සමරන ලදී. මීට සමගාමීව තවත් සැමරුම් හා විවිධ වැඩසටහන් රට පුරා දියත් ව‍ූ බව ද වාර්තා විය. මේවායේ දී කතකගේ වටිනාකම්, ලබා ගත් වරප්‍රසාද, ලැබිය යුතු අයිතිවාසිකම්, ඇගේ වගකීම්, එදා සිටි වීරකතුන් ඓතිහාසික මහත්මා මාතාවන් ද මාතෘකා කොට බහුශ්‍රැත කථාලතා සිදු විය. බොහෝ තැනක, යශෝදරා දේවියගේ අපදානය, මතුකර වර්ණවත් කළේ ‘යශෝධරා වත’ කාව්‍ය ඇසුරෙනි. කතකගේ මහිමයන් ආදර කරුණාව, මෙත් සිත්, පරිත්‍යාගය, අනුකම්පාව, පරාර්ථකාමය යනාදි වශයෙන් ඒවා වර්ණනා විය. ඒ සියල්ල ජනකවිය තුළට එක් කළ කවියා හෝ කිවිඳිය ද පැසසිය යුතු ම ය. ඔහු හෝ ඇය මේ කවි කම් නොකලා නම් අද මේ දේවල් නො කියවෙනු ඇත. කර්තෘ නොදනී යයි යශෝධරාවතට කීවද හියුනෙ‍විල් විද්වතාගේ බ්‍රිතාන්‍ය යයි යශෝධරාවතට කීවද හියුනෙවිල් විද්වතාගේ බ්‍රිතාන්‍ය කෞතුකාගාර පිටපතේ නමක් සඳහන්ව ඇතැයි මෑතදී කියවුණි.

‘හිමයේ ගොසින් මල් යහනක සිටින වද

කොමල අනගි සිරිපා දෙක රිදෙනවද

හිගේ නැතිව දෙවියෝ මුර කරන වද

මගේ ඇත් රජුනි ඔබ අද කොතන කද’

මේ වටිනා කවි කවියා මතු කරගත්තේ ඒ උතුම් සියලු ගුණ අත්විඳුවමින් විය හැකි ය.

අපේ පෞරාණික, ගම් දනව්වල ද මේ උතුම් කත පිළිබඳ ව ලියවුණ කියවුණ හොඳ නරක වටිනාකම් බොහෝ ය. ඒ අතර කවියෙන් හෙළිදරවු වූ දුක්, සැප, වියෝග, ප්‍රයෝග සිදුවීම් එමට ය. මවක්, මිත්තනියක්, දුවෙක්, ලේලියක්, දැරියක්, සහෝදරියක්, යෙහෙළියක්, යෞවනියක්, ආදි කොටගත් භූමිකාවන් ද ස්ත්‍රියක්, විවිධාකාර වෘත්තීන්හි නියැලෙන කාන්තාවක් ලෙසින් ද ඒ උත්තම කාන්තා රත්නය මුහුණදුන්, දෙන, අවස්ථා විවිධත්වයෙන් යුතු ය.

අපේ ගැමි ජන කවිය විමසුම්ව බලන විට මේවා රාශියක් නිසඟයෙන් ම හමුවෙයි. උතුම් කාන්තාවන්ට ගෞරවයක් ලෙසින් දන්නා යමක් කියාපෑම වට පිලේ යුතුකමකැයි සි‍තන්නෙමු.

අම්මා ගැන ගැයුණ, ලියවුණ, කවි නිමක් නැති තරම් ය. අම්මා වෙනුවට කිසිදු ආදේශයක් නැත. ඒ උතුම්ම තා පූජාව ගමේ කවියාගේ මුවින් උපදේශනයක් ලෙසින් ද කැටි කොට කියවුණේ මෙසේ ය.

‘සිහිවෙයි පෙර කලේ

අම්මා කරපු අාලේ

අම්මා නැති කලේ

අප්පා කවර කලේ

දරුවාට ඇති එකම සැපත, සතුට, ආහාරය අම්මාගේ ආදරයයි. මේ ආදර මහිමය සියලු ම කාන්තා රත්නයන් තුළම පවතී. දරුවන්ට කිරි මවුවරු වෙන කතුන් පහළ වන්නේ ඒ තුළින්මයි. සත්ත්ව ලෝකයේ පවා ඇති මේ ගුණය අපේ අම්මලා දරු නැළවිල්ලකට යොදා ගැනීමට ඊට සාක්ෂියකි.

‘ඇතින්නියක් ලත් දරු පෙම් බරේයා

ඇතිනි රැළේ හැමටම කිරි එරේයා

අනිත් අතට දුන් මුදුවත් පිරේයා

ඉතින් පුතුටම වගේ ආදරේයා’

අම්මා දරුවන් ගේ බඩ පුරවාලීම ලේ කිරි කර අරඹයි. දරුවන් කොපමණ ලොකු මහත් වූවත් මේ ගුණය නොහැර තම කුස හිස්ව තබා දරුවන්ට ම කවයි; පොවයි. බොහෝ දරුවන්ට ඒ ගුණය සිහි වූයේ මව් නැතිදාකයි. අම්මාට ආදේශක නොදුටු දරුවකු මවු මනසින් මවා ගෙන මෙසේ කම්පා වූවේ ය.

‘අපෙ අම්මා දුර එනවා පෙනෙන්නා

පෙතන්ගහක මල් පිපිලා වැනෙන්නා

මලේ රුවට බඩ සාගිනි නිවෙන්නා

අම්මා නැති අරුමෙ දැන් මට දැනෙන්නා’

දරු පවුල පෝෂණයට දිවි කැප කළ අම්මලාට නොයෙක් දුක් ගැහැට කෙනෙහිලි කම්වලට මුහුණ දීමට ද සිදුවුණ අවස්ථා බොහෝ ය. එක දහස් නව සිය හතළිස් ගණන්වල දී නියං සාය වැදෙන කොට රජය සහනාධාර වැඩපළවල් පවත්වා ආධාර මුදලක් ගෙවූහ. සැමියා අහිමිවූ වැන්දඹු කතකගෙන් අයුතු ප්‍රයෝජන ගන්ට උත්සාහ කළ වැඩ බලා කියා ගත් අයෙකුට බැඳුණ කවියකින් ඇගේ දුක කියවුණි.

‘නියං සාය වැදිලා කට්ටිය කැපුවා

පුරං කුඹුර නියගෙට මැරිලා යනවා

සිලිං පහට ගිණි අව්වේ වේලෙනවා

එහෙව් අපට බණ්ඩප්පු වදදෙනවා’

ගැහැනිය මේ අයුරින් නොයෙක් දුක්ඛ දෝමනස්සයන්ට පත් විය‍. අම්මා පුතාට දැක්වූ ආදරය නිසාම තවත් ගැහැනියක් වූ තම පුතාගේ බිරිඳට ලේලියට සිදුවූ අසාධාරණකම් ද එමට ය. එබඳු අවස්ථාවලදී කෝපය මුසුව නැන්දලා ඇණුම්, කෙටුම් ආඩා පාලි දෝස්මුර දැම්මේ උපදේශන විලාශයෙනි.

‘දීගය ඇවිත් හිමියන් හට උරනු එපා

පාපය කිය කියා නැන්දට බනිණු එපා‍‍

කෝපය පපා වැඩ පල මඟ හරිනු එපා

දීගෙට ඇවිත් කණවැන්දුම් වෙන්ට එපා’

මෙසේ ස්ත්‍රිය අසරණ වන නිසා ම අපූරු ආරක්ෂක පිළිවෙතක් ද තිබුණි. ඇවැස්ස මස්සිනාවරුන්ට විවාහක නෑනලා ඇත්නම් තම ගෙදර අගුව දිගු කර හැදිය යුතු වූවේ ය. වැන්දඹු ඉරණමට මුහුණ දෙන නෑනා වරුන්ට නැවතී ආරක්ෂාව ලබාදුන්නේ ඒ නිවස්නයේ ය.

එසේ ම දරුවන්ට විවාහයක් කර දී අත පිස ගැනීමට මවුපියන්ට ඉඩක් නොවූයේ කටකාරකම, මානව හිමිකමක්ව භාවිත කළ යෞවනියන් සිය අයිතිකම් ඉදිරිපත් කළ ‍ නිසාවෙන්ම ය.

‘මුරුංගා ගහේ අතු අග යන්ඩ එපා

කරුකා පුවක් විට කට කන්ඩ එපා

ගෝනෑ කරේ මීමා ඈඳන්ඩ එපා

අප්පච්චියේ මං ඕකට දෙන්ඩ එපා’

ලෝක සොබාවය අනුව හිත් මනාපය, යටපත් කරගෙන මව් පිය ක‍ීකරු ලෝක සොබාවය අනුව හිත් මනාපය, යටපත් කරගෙන මවු පිය කීකරු කමට දීග ආ කතුන් දිය යට එබූ බැලුමක් සේ ඉඩකඩ ලද අතුරු සැනින් පලාගිය හැටි ද ස්වාමියකු කවියට නැඟුයේ මේ අයුරින් ය.

“කුරක්කන් කපති අඹරති අපේ එකී

ලිග්ගල් මූවාවට ඉඳගෙන බෙදන එකී

තලප ටික කන්ඩ හොදි ටික නොදෙන එකී

ඊයේ පලච්චියි මා ළඟ හිටපු එකී”

අපේ කාන්තා පරපුර පතිවතට, පිරිසිදු බාවය රැක‍ගැනුමට, පණ දෙවැනි කොට ක්‍රියා කළ හ. රාජබලය, ධනය ඉදිරියේ නියාලු නොවූහ. මීට කියවුණ කවි කථා බොහෝ වෙති. ඉන් එකක් මෙසේ ය.

‘මිණි මිණි පොදේ ගන අඳුරේ කන මදුරූ

බල්ලෙක් ඉඳන් උඩබුරුලයි උගෙ නපුරූ

කෙල්ලෙක් ඉඳන් දොර නාරී ඇගෙ නපුරූ

මල්ලක් කදුරු කන්නෙමි විගස දොර අරූ’

මේ අණ ලැබුණේ රාජකීයකුගෙන් බව ජන ශ්‍රැතියේ කියවෙයි. එහෙත් තරුණ කුලඟන මේ අදෝනාවට පිළිතුරු සැපයුවේ ආගම දහම ද සිහි ගන්වා ලජ්ජාවට පත් කරවමින් ය. එසේ කළ නිසා කෝපයක් ඇතිවී හානි කිරීම ද, දඬුවමක් දීමට ද ඔහුට අපහසු විය. ඈ එතරම්ම හික්මී උත්තර බැන්දා ය.

“අට පහ ‍නොදන්නා තෝ කාගේ කවුද

බසක් නැතිව එන්නට කීවේ කවුද

ගසක් නැතිව දලු ලියලන්නේ කොහිද

මල්ලට දෙමල්ලක් කාපිය මට මොකද”

අපේ අම්මලා නෙතේ නිදි නැතුව දිව රෑ වෙහෙසුණේ දරුවන් හදන්ටයි. කවර දාකවත් ඒවාට වන්දි ඉල්ලුවේ නැත. මුරණ්ඩු දරුවෝ අද මෙන් ම එදත් සිටියහ.

‘බඩ ගිනිවෙලා මා ගිය කල පුතුගෙ ගෙට

මැනලා නැලි දෙකක් දුන්නයි මල්ලකට’ එහෙව්

දරු ලැබූ කුසේ ම උපන් අයියා විසින් මල්ලි මෙසේ නිවැරදි කර මෙල්ල කළේ ය.

‘මල්ලියෙ ඔහොම නොකරන් අප අම්මාට

දෙතනේ කිරි දුන්නෙත් අපි දෙන්නාට

තියෙන දෙයක් දුන්නෙත් අපි දෙන්නාට

බුදුන් වදින ලෙස වැඳපන් අම්මාට’

අද මෙන් මාපිය වැඩිහිටියන් නො සැලකූ අය එදා සමාජය කොන් කළේ ය. ඉතා වටිනා උපදේශන දී ඔවුන් යහ මඟට ගැනීමට වැඩිහිටි දැනමුත්තන් ක්‍රියා කළේ මේ ලෙසින් ය.

‘බිම ඉරි තළාලයි බිම්මල් පිපෙන්නේ

කඳ ඉරිතළා ලයි කඳරඹ පිපෙන්නේ

දස මස පිරිල යි දරුවන් වදන්නේ

එහෙව් අම්මාට ඇයි තොපි බනින්නේ’

අපේ ගම්වල ඇත්තෝ සෑම අම්මා කෙනෙකුම ගැහැනියක බවත් සෑම ගැහැනියකටම අම්මා කෙනෙකු විය නොහැකි බවත් හොඳින් අවබෝධ කර ගෙන සිටියේ ය. ගමේ, වැවේ, වෙලේ, පංසලේ කළයුතු වැඩවලදී වැන්දඹු අම්මලාට, තනි කඩ ඇත්තියන්ට අ‍යත් වැඩ පොදු‍වේ කවුරුත් කරදුන්නේ ඒ නිසා ය. වැවේ මුලු මස් බෙදීමේ දී දඩයම් මස් ලැබීමේදී පවා ඇයට වෙනම පංගුවක් දුන්නේ ය. ගැහැනිය අම්මා‍ කෙනෙකුට සැලකීම තම දියණියන්ට බාල දරුවන්ට, ‘දුව අම්මා’ කියා ඇමතීමෙන් ම සනාථ වෙයි. අද සමාජයේ නිතර කියවෙන බාල අපචාර, වනචර කම් එයින් බොහෝ විට වැලකුණි. අම්මාගේ පතිවෘත්තාව නිසා ම නොව ඇගෙන් පවුලට කෙරුණ සියලු සේවා සේ ම ආදරයන් නිසා මව, ගැහැනිය. ‘පත්තිනිමෑණි’ කොට සැලකුවේ ය. පත්තිනි මෑණියන් ද මවක ලෙස සැලකුවේ ය.

‘රනේ රුවට මුව බබළන අම්මා

දෑත කොහොඹ අතු මතුරන අම්මා

පෙනේ මවක ලෙස පත්තිනි අම්මා

ගුනේ ඇතිව තන කිරිපෙව් අම්මා’

මහවනස්පතිය ද ‘ක‍ෑලෑ අම්මා ය.’ පොළොව ‘මිහිකත’ විය.

බොහෝ පසිඳු ‘ඉරුගේ එළියත් මවගේ කිරිත් එකතුව ලොව බිහි විය’ යන කීම සනාතන ධර්මතාවකි. ‘මායම් හැට හතරක්’ ගැහැනියට ඇතැයි පවසන්නේ උපහාසයට වුව ද ඒ ඇගේ ආරක්ෂාවට, සමාජ යහපතට පිහිටිය ගුණයකි. පිරිමියා ද ගැහැනියට අසීමිත ගෞරව ආදරයක් දක්වන්නේ ඇය නැතිව කිසි කලෙක දරුවෙකු, පරපුරක, ඉදිරියක් නැති නිසාම ය. දරු ප්‍රසූතියේදී ලබන වේදනාව ලොව වැඩිම වේදනාව උහුලා නෙතට සතුටු කඳුළක් දරු දැක්මෙන් ගැනීමට තරම්ම ඇය පරිත්‍යාගශීලීය. අපේ පුරාණ ගම්වල පිරිමි ඇත්තා ඒ අවස්ථාවේත් වේදනාව බෙදා ගනිමින් ඇයට ඇසෙන මානයේ වංගෙඩියට පොල් කටු දමා මෝලෙන් කොටන්නේ කෘතවේදී බව ඇයට හඟවනු පිණිසය. ආදර ආරක්ෂා ගෞරවයදීමට ය.

කාන්තාව, රන් ලෙස ‘රන් කඳ’ වෙයි. මැණික් ලෙස ‘මැණික’ වෙයි. එසේ වන්නේ ‘මුළුතැන්ගෙයින් පෑල දොරට යන ගමනට ද වැඩ එකසිය විස්සක් කර පවුල රැකීමෙනි. මවු වත්කම අත නොහැරි ඇය පිරිමියාගේ හරි හම්බ කිරීමට ද හරි හරියට උරදුන්නේ ය.‍ එසේ කර දරු පෝෂණය මිස උදර පෝෂණය පසෙක තැබුවා ය.

“හඳ පායාගෙන එනකොට ඉඳ ගත්තා

ඉර පායා ගෙන එනකොට පිටි ගත්තා

ඇට හැරලා පොතු හැරලා අර ගත්තා

ඒ කොරලත් මාගේ බඩ කොස් පොත්තා”

අපේ අම්මලාට අපේ පියවරුන් ඇමතුවේ ‘අපේ පවුල’ කියා ය. අම්මා පවුලේ සියලු දේ බලා රැක ගත්තා ය. රන් රිදි මුතු මැණික්වලටත් වඩා වටිනා නිසා අපේ ‘මැණිකේ’ කීවාය. කාන්තා රත්නයට ගැට ගැහුණු තවත් බොහෝ දේ ඇත. ඒ දේවල් සුරක්ෂිත කරගන්ට ඔවුන්ට ශක්තිය බලය, වීර්යය ලැබේවායි පුරාණ උපදේශනයක් ද සිහි ගන්වමින්ම පතන්නෙමු...

“කලේ අරන් ළිඳ ළඟ ගොස් සිටිනු එපා

පිලේ පැදුර හිමි නැති විට තබනු එපා

කැලේ ගොසින් තනියම දර කඩනු එපා

කුලේ නසන වැඩකට ඉඩ තබනු එපා”

ඕපාදූප කේලම් වළකා, හිමි නැති ඇසුරේ නපුර වළකා, තනි නොවී සිටියොත් කාන්තාරත්නයෙන් මනුෂ්‍ය කුලය නිසි ලෙස රැකෙනු ඇත‍.

Comments