දිව සිඳ දැමූ ගේ කුරුල්ලා | සිළුමිණ

දිව සිඳ දැමූ ගේ කුරුල්ලා

එක් කලෙක ජපානයේ සොඳුරු මනස්කාන්ත කඳු මුදුනක මහලු යුවළක් වාසය කළහ. ඔවුන්ගේ දිවිය එතරම් සොම්නස දනවන්නක් නොවිණි. බිරිය සැමියාට වඩා වයසින් වැඩි ය. එසේම ඇය නපුරුකමේ සංකේතයක් බඳු ය. ‘ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය’ යන වැකිය ඇයගේ පරම්පරාවේ කෙනකු විසින්වත් නාසන ලද්දකි. ඇය, තම සැමියාට සුමුදු වදනින් ඇමතූ අවස්ථාවක් මුළු ජීවිත කාලය පුරාම නොවීය. ඇගේ මුව විවර වූ අවස්ථාවක් වේ නම් එය ඔහුගේ දෙසවනට යවුල් අනින්නාක් මෙන් විය. ඇය ඊර්ෂ්‍යා පරවශ වූවා ය. මේ අහිංසක සැමියාගේ හු‍ෙදකලාව තුරන් කිරීමට මෙලොව උන්නේ ගේ කුරුල්ලෙකි. ඌ, ඔහුගේ එක ම සදාතනික වස්තුව විය. මේ කීකරු පක්ෂියා පවා ඇගේ නොමද උදහසට ලක්විය.

එක් දිනක් ඔහු සිය බිරියට කිලිටි වස්ත්‍ර පිරිසිදු කිරීමට පවරා සිය කුඹුරට පියවර මැන්නේ ය. මෙවැනි දිනයක ඇය වෙනදාටත් වඩා යක්ෂාරූඪ වන්නීය. ඇඳුම් පිරිසිදු කිරීමේ දී ඒවායේ කුණු අතුල්ලා හොඳින් පිරිසිදු කළ යුතු නිසා ඇගේ පිටේ අමාරුව වැඩි වන වග සිහියට නැ‍ඟෙන විට ඇය වඩාත් ‘දුම්මල’ අතට ගන්නීය. රෙදිවලට දැමීමට කැඳ සෑදූ, ඇය, රතු ලී බඳුනක බහා එය නිවෙන්නට හැරියා ය. එය නිවෙන තුරු සිටි ඇය බඳුන වෙත පැමිණියා ය. ඇගේ නෙත් අදහාගන්නට අපහසු පරිද්දෙන් ගේ කුරුල්ලා බඳුනේ විට්ටමේ රැ‍ඳෙමින් කැඳ ගිල දමමින් උන්නේය. ඇයට මතු වූ කේන්තිය මැනීමට මාපක තැනීමට ලොව ශ්‍රේෂ්ඨ ම විද්‍යාඥයාටත් අපහසු වනු ඇත. ඇගේ හිසට යක්ෂ මණ්ඩලාරූඪ විය. ඇගේ ග්‍රහණයට ඌ නතු කරගත් ඇය, කතුරකින් වහා උගේ දිවේ කෙළවර කපා දැම්මා ය.

“මින් පස්සෙ හොරෙන් නොකන්න ඉගෙන ගනින් යස පාඩමක්” ඇය බෙරිහන් දුන්නාය. “පලයං මගේ දෑහැට නොපෙනී. ආයිමත් මේ පළාතේ ආවොත් උඹ මරනවා.” ඇගේ කෝපය නිම්හිම් නැතිවිය.

ලේ පෙරමින්, වේදනාවෙන් පෙළුණු කුරුල්ලා, ඇය ඈත අහසට විසිකර දැම්මාය. රවුමක් දෙකක් කැරකුණු ගේ කුරුල්ලා ඉතාමත් වේදනාවෙන් අහස්තලය කරා පියාහැඹීය.

ගැමියා නැවත නි‍ෙවසට ආ කල ගේ කුරුල්ලාට වූ ඇබැද්දිය දැනගත්තේය. ඔහුගේ සිත්හි ඇති වූ වේදනාව මොහොතකින් කෝප ගින්නකට පෙරළිණි. මහ රෑ වනතුරු ඔහු බිරිය සමඟ රණ්ඩු වුණේය. ඇයට තදින් දෝෂාරෝපණය කළේය. එහෙත් ඉන් ජනිත වූ වෙනසක් නොවීය. තම තනියට කවුරුන් ‍හෝ නැති ලොවක ඔහු තනිවිය. සාංකාව නෙරපා දැමීමට සමීපයෙක් ඔහුට නොවීය. තම කරදරකාරී බිරිඳගේ හිර කූඩුවට ඔහු පත්විය. අනන්ත පාළුව, තනිකම විඳි ඔහු දිනෙක, නිමේෂයකට හෝ අබිනික්මන් කිරීමට සිතුවේය. ඔහු කඳු මුදුනේ අසිරිය විඳිමින් තව තවත් මුදුනට පියමං කළේය. “ආයුබෝවන්, සුබ උදෑසනක්” ළෙන්ගතු හඬකින් ඔහු දෙසවන පිරිණි. අතු රිකිල්ලකින් මතුවුණේ තමා තනිකර දමා ගිය ගේ කුරුල්ලා ය. ඔහු පුදුමයට පත්විය. ඇගේ කටහඬ මිනිස් හඬක් විය. තම නි‍ෙවසේ හුන් පක්ෂියාට වඩා බොහෝ වෙනස් එකෙක් විය. ඉතා කුලුපග ජපන් ජාතිකයකු පරිද්දෙන් ඌ හිස පාත්කොට ආචාර කළේය. තමා සමඟ සිය නි‍ෙවසට ගොස් තම බිරිය හා දැරියන් බැහැදැකිය යුතු බව කී ගේ කුරුල්ලා, ඔහුට ආරාධනා කළේය. ආයාචනා කළේය.

උණ බටවලින් සැදුම්ලත් චමත්කාර ජනක නිවහන පිහිටා තිබු‍ණේ කඳු ගැටයක් ඉස්මත්තේය. එය දුටු ඔහු විමතියට පත් විය. දිය ඇල්ලක් අසල විය. මලින් පිරි තුරුලතා ය. පිටුපසෙහි කෙමෙන් ක්ෂිතිජය තෙක් විහිදී යන කඳු වළල්ලකි. තන්හි තන්හි පලල්විතය. ගේ කුරුල්ලාගේ බිරිය ගෞරව සම්ප්‍රයුක්තව අමුත්තාට සිය ආචාරය පුද කළාය. මිහිරි ආහාරපාන බන්දේසි පිළිගැන්වූවාය. ලක්ෂණට හැඩවැඩ දැමූ අහර බුදින කුරු දෙකක් ද ඇය ඔහුට පිළිගැන්වූවාය. ඔහු කුස පුරා අහර ගත්තේය. ගේ කුරුල්ලාගේ දියණිය ඔහුට රස තේ, දණ නමා පිළිගැන්වූවාය. ආගන්තුක සත්කාරය ඉහළම තත්ත්වයේ එකක් විය.

“මගේ හිතට මොකක් ද වගේ. මං හිතන්නේ අපි ඔබට පිළිගැන්වූවේ ඉතාම දුප්පත් කෑමක්. ඔබ අපිට සමාව දෙන්න ඕනේ, හොඳට පිළියෙල කළ ආහාර වේලක් පිළිගන්වන්නට අපොහොසත් වූවාට” ගේ කුරුල්ලාගේ බිරිය ඔහු අබිමුව පිණ්සෙන්ඩු වූවාය.

අහිංසක ගැමියාට අදහා ගන්නට අපහසු තරම් ය. මෙවන් ආහාර වේලක් සිය බිරියගෙන් ඔහු මෙතෙක් රස විඳ නැත. බැරි වෙලාවත් ඔහුට දාව දරුවන් සිටියේ නම් ඔවුන් කුසගින‍්නේ මියෙනු නොඅනුමානය. ඒත් පුදුමයක මහත මේ කිරිල්ලියගේ ස්වභාවය. ඔහු තේ කෝප්ප කිහිපයක් ම රස වින්දේය. එදා රාත්‍රී නිවහනේ ගත කළයුතු බවට ගේ කුරුල්ලාගෙන් ලැබුණු ඇරියුම පිළිකෙව් කිරීමට ඔහු අපොහොසත් විය. සියොත්හු මියුරු සරයෙන් ගයති. ඔහු තමා අත්විඳින මේ ආගන්තුක සත්කාරයේ චමත්කාරය දිනෙන් දින දීර්ඝ කිරීමට අදිටන් කළේය. ගේ කුරුල්ලා පස්වනක් ප්‍රීතියෙන් පීනා ගොස් ය. ඔහු ගේ කුරුලු දියණිය සමඟ කෙළිදෙළෙන්, විනෝදයෙන් පසුවිය. ගේ කුරුලු බිරිය ඔහුට වයින් වර්ග පානය පිණිස දෙන්නීය; නටන්නීය; ගී ගයන්නීය; රසවත් බොජුන් පිරිනමන්නීය; උත්සවයක් පිරි‍ද්දෙනි. ගැමියා මහත් සේ ප්‍රහර්ෂයට පත්විය.

එහෙත් එළඹුණු පස්වන දිනයේ දී, මා ‍බොහෝ කලක් සිය නි‍ෙවසින් බැහැරව සිටියා නේ දැයි හදිසියේ සිහියට නැඟුණේය. තමාට සිය නි‍ෙවසට යෑමට කාලය උදා වී ඇතැයි ඔහු ගේ කුරුල්ලාට කීවේ ය. ගේ කුරුල්ලා තුළ දුකක් උපනි. මේ වෙන්වන අවස්ථාවේ දී තමා විශේෂ තෑග්ගක් ඔහුට පිරිනමන වග ගේ කුරුල්ලා කීවේය. ගේ කුරුල්ලා නි‍ෙවස තුළට ගොස් වේවැල්වලින් වියන ලද මලු දෙකක් රැගෙන එළියට පැමිණියේය. එකක් බර ය. අනෙක සැහැල්ලු ය.

‘මින් එකක් ඔබ තෝරාගන්න ඔබේ මේ ගමන සිහිපත් වීමේ සිහිවටනයක් හැටියට’ ගේ කුරුල්ලා යෝජනා කළේය.

බොහෝ අල්පේච්ඡ දිවියක් ගෙවූ ගැමියා අන් වස්තුවට ‍ලොබ කරන්නෙක් නොවීය. කෑදර නොවීය. ඒ‍ හේතුවෙන් ඔහු සැහැල්ලු බෑගය තේරීය. මුව නොසෑහෙන සේ ස්තුති කළ ඔහු, ඔවුනට ආචාර කොට බෑගය රැගෙන නික්මුණේ ය. ඔහුගේ බිරිය සිය සැමියා කොහේ යන්නට ඇත්දැයි විමසිලිමත් වූවා යයි ඔබ සිතනු නොඅනුමානය. දහසකුත් එකක් සිතුවිලි ඈ සිත්හි ජනිත වන්නට ඇතැයි ඔබ සිතනු ඇත. මේ කථාව කියවන ඔබ වැරදි ය; ඇයට ගානක්වත් නැත. ඔහු නි‍ෙවසේ ගේට්ටුවෙන් ඇතුළට පය තබනවාත් සමඟම බිරිය ‍ගෝරනාඩුව පටන් ගත්තාය. ඇය නොසැලකිලිමත්ව, හැරදා ගියා යැයි චෝදනා මුඛයෙන් බැන වැදිණි. නමුත් ගැමියා සිය චාරිකාව පිළිබඳ විස්තර දිග හරින්නට පටන්ගත් විට ඇය නිසොල්මන් වූවාය. අවසානයේ ගේ කුරුල්ලා විසින් දෙන ලද තෑග්ග පෙන්වීය. දෙදෙනාම එකතු වී එහි පියන විවර කළහ.

ඇස් අදහාගන්නට අපොහොසත් ය. එහි දියමන්ති ය; රන් ය; රිදී ය; බෙරලියන්තු මාල ය; මුතු - මැණික් ය. දෙයියනේ කුමන අසිරියක් ද? මිල මුදලින් පිරි පසුම්බියක් එහි විය. සිතන පතන දේ දෙන පිළිමයක් විය, ඔහේ මෝඩයෙක්. ඇයි බර මල්ල තෝරා නොගත්තේ? මම යනවා. දැන්ම ම යනවා. ගිහිල්ලා බර මල්ල තෝරාගන්නවා, ඔහු සිය බිරියගේ ගමන වළක්වාලීමට අසාර්ථක උත්සාහයක යෙදුණේය. ‘මේ වස්තුව පරිහරණය ‍කොට කවදා නිම කරන්න ද? අපට මේ ඕනෑ තරම් තියෙන්නේ. එපා යන්න. අපි මහා ලෝභයෝ කියලා ගේ කුරුල්ලාගේ කට්ටිය හිතාවි, ඇයගේ ගමන වළක්වාලීමට සමතෙක් නොවීය. ඇය ඔහුගෙන් ගමන් විස්තර අසා දැනගත්තාය. යන එන මාර්ග හොඳින් සිත්හි තබා ගත්තාය. ගේ කුරුල්ලාගේ නිෙවසට අවතීර්ණ වූ ඇය, ආචාර සමාචාරශීලී වූවාය. නොමැති නුපුරුදු ගති සිරිතක් වඩම්මවා ගත්තීය. බොහෝ විශිෂ්ට සම්පන්න බවත් හුවා දැක්වූවාය. නමුත් එහි වූ කෘත්‍රිම ගතිය ගේ කුරුල්ලාට අරුමයක් නොවීය. ගේ කුරුල්ලාට ඇගේ දසුන පවා නෙත් රිදවන්නක් විය. නමුත් තම නිවහනට ආ සතුරකු පවා කැඳවා පිළිගැනීම, සංග්‍රහ කිරීම ගේ කුරුල්ලාට නුහුරු දෙයක් නොවීය. ඔහු ඇයට තේ - පැන් පිළිගැන්වූවාය. නමුත් ගේ කුරුලු පවුලේ අනෙක් සාමාජිකයෝ පේනතෙක් මානයක නොවූහ. ඇගේ යටි හිත ඔවුනට ඉවෙන් මෙන් දැනෙන්නට ඇත.

ඇය තේ තොල ගාමින් වඩාත් වේලාවක් රැඳුණාය. නමුත් තෑග්ගක් ගේන වගක් නැත. ඇය අවසානයේ තමාටත් තෑග්ගක් අයැද සිටියාය. ගේ කුරුල්ලාගේ සිත්හි අමනාපයක් මෝදුවිය. ඔහු කිසිත් නොදොඩා නිවහන තුළට ගොස්, ගැමියාට සේම මලු දෙකක් රැගෙන එළියට ආවේය. එකක් බර ය. අනෙක සැහැල්ලු ය. මේ කෑදර මැහැල්ල බර බෑගය ඉක්මනින් ඩැහැගත්තීය. ස්තුති කිරීමක් හෝ ආචාරශීලී බවක් නොපෙන්වා අතුරුදන් වූවාය.

අධිරාජ්‍යයක් ජය ගත්තියක සේ ආඩම්බරකමකින් යුතුව ඇය හති දමමින් නිවසට ආවාය. ඔහේ මොන තරම් මෝඩයෙක් ද? පේනවා නේ ද මේකෙ බර? මේකෙ වස්තුව ඔය වගේ දෙකක් බරයි. ඇය එහි බැමි ඉරා දැම්මාය.

එයින් මතු වූ හුමාලය නි‍ෙවස පුරා පැතිර ගියේය. සර - සර ගා, සූ - සූ යන ශබ්දයෙන් ගේ දෝංකාර දුනි. මුතු - මැණික් වර්ෂා වෙනුවට බූවල්ලෙකු වැනි දැල්ලෙක් එළියට වන්නේය. මකර හිසකින් යුතු නාගයෙක් එළියට විත් ඇයව වෙළා ගත්තේය. ඇය බෙරිහන් දෙන්නට පටන් ගත්තීය. ඌ ඇයගේ මුළු ඇඟ ම වෙළා, ඇයගේ අවසන් හුස්ම පිටවන තෙක් මිරිකාගෙන හුන්නේය. ඒ විෂඝෝර සත්තු ගැමියාට කිසිදු හිරිහැරයක් නොකොට නි‍ෙවසින් පිටව ගියෝය.

ගැමියා, ඔහු සතු වූ වස්තු සම්භාරයෙන් දැකුම්කලු නි‍ෙවසක් මිලට ගත්තේය. පුතකු හදාවඩා ගත්තේය. ඔහු නිරතුරුවම තම හදාගත් පුතාට කීවේ ශිෂ්ටසම්පන්න බවේ අරුමයයි; කෑදරකම පිටුදැකීමයි; පර හට උපකාර කිරීමයි; ආචාරශීලී වීම ගැනයි.

(ද වර්ල්ඩ්ස් ග්‍රේටස්ට් ෂෝර්ට් ස්ටෝරීස් පොතෙන් උපුටාගත් ජපන් ජනකථාවක අනුවාදයකි. කතුවරයකුගේ නමක් සඳහන් කොට නැත.)

(ජපන් ගැමි කථාවකි)

 

අදහස්