නාට්‍ය­ක­රු­වන්ගේ ව්‍යායා­මය සම්මා­න­ය­කින් පම­ණක් තීර­ණය කරන්න බෑ : මහා­චාර්ය පැට්‍රික් රත්නා­යක | සිළුමිණ

නාට්‍ය­ක­රු­වන්ගේ ව්‍යායා­මය සම්මා­න­ය­කින් පම­ණක් තීර­ණය කරන්න බෑ : මහා­චාර්ය පැට්‍රික් රත්නා­යක

 

 කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ, පීඨාධිපති වන මහාචාර්ය පැට්‍රික් රත්නායක එම විශ්වවිද­්‍යාලයේ සිනමා හා රූපවාහිනී පාඨමාලාවේ අධ්‍යක්ෂවරයා ද වෙයි. චිත්‍රපට සංස්ථාවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන ඔහු දිවයිනෙහි පැවැත්වෙන ප්‍රධාන සම්මාන උලෙළවල් රාශියක සමීක්ෂකයකු ලෙස ද ක්‍රියා කරයි. රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපතිවරයා ද වන ඔහු රාජ්‍ය උ‍ෙලළෙහි විනිශ්චය මණ්ඩල සභාපතිවරයා ද වෙයි. 2019 මාර්තු 27 දිනට එළඹෙන ලෝක නාට්‍ය දිනයට සමගාමීව පැවැත්වෙන රාජ්‍ය නාට්‍ය උලෙළෙහි සම්මාන ප්‍රදානෝත්ස්වය එදින නෙළුම් පොකුණ රඟහලේදී නිමාවට පත්වන අතර මේ සංවාද සටහන ඒ වෙනුවෙනි.

 

47 වන රාජ්‍ය නාට්‍ය උලෙළ නිමා වීම සිදුවෙන්නෙ සුවිශේෂ පසුබිමකයි. ඒ සම්බන්ධ ව ඔබට හැගෙන හැඟීම කුමක්ද?

රටක නාට්‍ය සංස්කෘතිය කියන්නෙ ඒ රටේ සමාජ ප්‍රතිබිම්බය මිසක් වෙනත් දෙයක් නෙමෙයි. අපට ඉතා වටිනා නාට්‍ය සංස්කෘතියක් තියෙනවා. එය ක්‍රමානුකූලව වර්ධනය වෙලා අද වෙන‍කොට එහි ස්වරූපය වෙනස් වෙලා, නාට්‍යකරුවො විවිධ අත්හදා බැලීම්වල නිරත වෙනවා; අන්තර්ජාතික වශයෙන් නියෝජනය වෙනවා.

මේ හැම දෙයක්ම අපට වටිනවා. හැබැයි ඕනම දෙයක් කිසියම් ක්‍රමානුකූල පසුබිමක බිහිවිය යුතුයි. කිසියම් පැහැදිලි විධි ක්‍රමයක් මත පෙළ ගැසිය යුතුයි. මේ පිළිවෙළ පිළිබඳ මම අවබෝධය ලබා ගත්තෙ ජපානෙදි.

දිගු කාලයක් ජපානයෙ ජීවත් වුණ නිසා මම අත්දැකීමෙන් දන්නවා කිසියම් පැහැදිලි විධි ක්‍රමයක් තිබෙන ඕනම දෙයක් සාර්ථක ව නිම කරන්න පුළුවන් කියන එක.

ඒ නිසා රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපතිවරයා වශයෙන් මගේ මුල් ම උත්සාහය වුණෙ කිසියම් ක්‍රමවේදයකට අනුව නාට්‍ය කලාවත් පෙළ ගස්වන්න. ඒ සඳහා සංස්කෘතික දෙපාර්තමේන්තුවෙ අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය ලබාදෙන සහයෝගය ඉතා විශාලයි.

ඒ වගේම එම දෙපාර්තමේන්තුවෙ අනෙකුත් නිලධාරීන් හා සාමාජික සාමාජිකාවන් ලබාදෙන සහයෝගය ද අගය කළ යුතුයි. නමුත් මේ වැඩ කරන්න අපිට තනියෙන් බැහැ. ඒ සඳහා අපෙන් බාහිර පිරිස් සමඟ සම්බන්ධ වෙනවා. ඒ සමහර පුද්ගලයන් හා ආයතන සමඟ වැඩ කරද්දි අපේ පුද්ගලයන්ගෙ ආකල්ප සමඟ අපට ගැටෙන්න වෙනවා. අපේ සමහර රාජ්‍ය ආයතනවල පුද්ගලයො තාම වැඩ කරන්නෙ පරණ ආකාරයටමයි.

ලෝකෙ මිනිස්සු ඉතා ශීඝ්‍රයෙන් තමන්ගෙ විධි ක්‍රම රටේ සංවර්ධනය වෙනුවෙන් වෙනස් කරගෙන තියෙන පරිසරයක් තුළ අපේ සමාජ නායකත්වය තුළ පවා එහෙම ප්‍රගතිශීලි උත්සාහයක් නැහැ. එවැනි වකවානුවක තුළ තමයි අපි 47 වෙනි රාජ්‍ය නාට්‍ය උලෙළ සමරන්නෙ.

මේ වසරෙදි අපි නාට්‍යකරුවන් දිරි ගැන්වීම සඳහා මුල්‍යමය ආධාර ඇතුළු තවත් වටිනා පියවර රාශියක් ගත්තා. ඒ හැම පියවරක් ම අවසාන වටය වෙනකල් බලාගෙන ඉන්නෙ නැතුව නාට්‍ය උළෙල ආරම්භයෙදි පටන් ම ක්‍රියාත්මක කළා.

නාට්‍යකරුවන්ව දිරි ගන්වන්න නම් මූලික වශයෙන් ඔවුනට නිර්මාණ කිරීමට අවශ්‍ය පරිසරයක් සකස් කර දිය යුතුයි. ඒ පරිසරය නිර්මාණය කරන්න තමයි අපි මූලික වශයෙන් මේ වසරෙදි අවධානය යොමු කළේ. එයට අමතරව ඒ උළෙල ගම්භීර උත්සවයක් කිරීම සඳහා අපි හැම විටම උත්සාහ ගත්තා. එය සාර්ථක වෙලා තියෙනව කියලා මට හිතෙනවා. ඒ අතර එක් කරුණක් සුවිශේෂයි.

 

ඒ කුමක්ද?

මේ මොහොතෙ ඔබත් මමත් මේ සාකච්ඡාව පවත්වන්නෙ එල්ෆින්ස්ටන් රංග ශාලාවෙ. මේ රංග ශාලාව හැම පහසුකමකින් ම සම්පූර්ණයි. ඒ ශාලාවෙ තමයි මේ නාට්‍ය වේදිකාගත කරන්නෙ. මෙවැනි ශාලාවක් නියමාකාරයෙන් නොතිබුණු නිසා පසුගිය කාල වකවානුවෙදි අපට තැනින් තැනට යන්න සිදුවුණා. එය නාට්‍යකරුවන්ට කරන අගෞරවයක්.

එහෙත් මෙවැනි රංග ශාලාවක නූතන නාට්‍යකරුවන්ගෙ නිර්මාණ වේදිකාගත කිරීමට ලැබෙන අවස්ථාව පිළිබඳ අපට ඇත්තේ විශාල සතුටක්. ඒ වගේම නාට්‍යකරුවන්ගෙ පැත්තෙන් බැලුවත් එය වටිනා අවස්ථාවක්.

රංග ශාලාවක් කියන්නෙ නාට්‍යකරුවන්ගෙ පූජනීය ස්ථානයයි. නමුත් අද වෙන‍කොට ප්‍රාදේශීය රංග ශාලාවක් පිළිබඳ අහන්න නැහැ. ඒ හැම නිර්මාණකරුවකුට ම තමන්ගෙ නිර්මාණ වේදිකාගත කිරීම සඳහා කොළඹට ම පැමිණෙන්න වෙනවා.

මේ තත්ත්වයට පිළියමක් වශයනේ අවම වශයෙන් කුඩා රංගශාලා හෝ ප්‍රාදේශිකව බිහිවිය යුතුයි. ඒ සඳහා අප මැදිහත් වීමක් සිදු කරනවා. මේ හැම දෙයකටම ක්‍රියාත්මක වන නිශ්චිත වැඩපිළිවෙළක් තිබිය යුතුයි.

නමුත් අපේ රටේ සිදුවෙන්නෙ කුමන ප්‍රතිපත්තිමය තීරණ ගත්තත් ඒවා ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාත්මක නොවීමයි. මේ පසුබිම අනිවාර්යෙන් ම වෙනස් වියයුතුයි.

මා මේ කතා කරන්නෙ නාට්‍ය සම්බන්ධයෙන් පමණක් නෙමෙයි. සෑම කාර්යයක් සඳහාම අඛණ්ඩ ව ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් තිබිය යුතුයි.

ඒ වගේම අපිට ඉතා වටිනා සම්පත්ති වෙන එල්ෆින්ස්ටන් රංග ශාලාව ඇතුළු අපට දැනට තියෙන අවම රංග ශාලා ප්‍රමාණයවත් අපි ආරක්ෂා කර ගත යුතුයි.

එවැනි සමාජ වගකීමක් අපේ ප්‍රේක්ෂක ජනතාව ද සතු විය යුතුයි. මේ රංග ශාලාව තුළ ඉඳගෙන වේදිකා නාට්‍ය නරඹන කොට මම තාම හිතන්නෙ සිනමා රංග ශාලාවක ඉඳ නාට්‍යයක් නරඹනවා කියලා.

ඇත්තට ම කියන්නෙ එල්ෆින්ස්ටන් රංග ශාලාව කියන්නෙ චිත්‍රපට රංග ශාලාවක් වුණත් මේ නාට්‍ය උළෙලත් සමඟ ම සැබෑ වේදිකා නාට්‍ය අත්දැකීමක් ලැබෙනවා. ප්‍රේක්ෂකයො යළිත් වරක් මේ ශාලාවට නාට්‍ය බලන්න පැමිණෙයි. ඔවුනට සෑම පහසුකමක් ම මෙහි තියෙනවා. සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ට සියලු පහසුකම් සහිතව මේ රංග ශාලාව මෑතදී යළි විවෘත වීම අප ලද වාසනාවක්.

 

රාජ්‍ය නාට්‍ය උලෙළ සඳහා ඇති ප්‍රේක්ෂක සහභාගීත්වය ඉතා විශාලයි.

ඔව්. සෑම දිනක ම පාහේ එල්ෆින්ස්ටන් රංග ශාලාව අතුරු සිදුරු නැතුව පිරී ගියා.

බොහෝ අවස්ථාවලදි ප්‍රේක්ෂකයන් හිටගෙන පවා නාට්‍ය නැරඹුවා. එය දිගු නාට්‍ය සඳහා පමණක් නෙමෙයි. කෙටි නාට්‍ය සඳහා වලංගු වුණු කාරණයක්. මෙයින් පැහැදිලිව පෙනෙන දෙයක් තමයි වේදිකා නාට්‍ය සඳහා අතිවිශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් අපට ඉන්නවා කියන කාරණය. ඔවුන් අපිට ඉතා වැදගත්. ඔවුන් නිසා තමයි අපේ නාට්‍ය කලාව ඉදිරියට යන්නෙ. ඒ නිසා ඔවුනට අපි ගරු කළ යුතුයි.

රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසාන වටයට තේරී පත්වීම සඳහා අදියර කිහිපයක් පසු කළ යුතුයි. පිටපත් කියවීමේ ඉඳන් අවසාන වටය දක්වා ම එය විනිශ්චයට ලක් වෙනවා. එය ඉතා සංකීර්ණ තත්ත්වයක්. සමහර වෙලාවල් වලදි ඒ විනිශ්චය අභියෝගයට ලක්වෙන අවස්ථා තියෙනවා. ඒ සම්බන්ධ ව අධිකරණ ක්‍රියාමාර්ගයන්ට පවා ගිය අවස්ථා තියෙනවා.

මම එවැනි දේවල් වලට මුහුණ දුන්නු කෙනෙක්. විනිශ්චයන් පිළිබඳ ව නොයෙක් නොයෙක් අදහස් උදහස් පවතින්න පුළුවන්. නමුත් හැම මොහොතකම අපි සාධාරණ විනිශ්චයක් කරා යොමු වෙනවා.

විනිශ්චයකරුවන්ගෙ අපක්ෂපාතී තීරණවලට අපි කිසිදු බලපෑමක් කරන්නෙ නැහැ. නමුත් අපි පුළුල් ලෙස ඒ සම්බන්ධව සාකච්ඡා කරනවා.

විනිශ්චයකරුවන් කියන්නෙත් මේ සමාජයෙන් ම අපිට හඳුනාගන්න වෙන පිරිසක් මිසක් බාහිර පිරිසක් නෙමෙයි. ඒ නිසා එකිනෙක සාමාජිකයා සතුව එකිනෙකට වෙනස් අදහස් තියෙන්න පුළුවන්.

අවසානයෙදි සාමූහික එකඟතාවකින් තමයි අප අවසාන තීරණයකට එළඹෙන්නෙ. කෙසේ නමුත් නාට්‍යකරුවන්ගෙ ව්‍යායාමය සම්මානයකින් පමණක් තීරණය කරන්න පුළුවන්කමක් නැහැ. එය එතැනින් නැවතිය යුතු නැහැ. ඔවුන් දිගටම එම ව්‍යායාමයෙ නිරත විය යුතුයි.

 

මෙවර අවසාන වටය නියෝජනය කරන දිගු නාට්‍ය එක් කේන්ද්‍රයකට යොමු කරගැනීම ඉතා අපහසු බව පැහැදිලිව පෙනෙන සත්‍යයක්...

ඔබගේ නිරීක්ෂණය ඉතා ම නිවැරදියි. මෙවර අවසාන වටය නියෝජනය කරන නාට්‍ය මීට පෙර වසරවලදී රඟ දක්වනු ලැබූ නාට්‍යවලට වඩා ඉතා සංකීර්ණ ස්වභාවයක් ගන්නවා. සමහර දිගු නාට්‍ය වාර්තා රංගයක්. සමහර දිගු නාට්‍යවල ඉන්නෙ එකම එක නිළියක් පමණයි. සමහර නාට්‍ය සම්ප්‍රදායික නාට්‍ය සම්ප්‍රදායට අයත්.

සමහර නාට්‍ය පරිවර්තන. ඒ පරිවර්තන නාට්‍යත් අපි මෙතෙක් නරඹල තියෙන නාට්‍යවලට වඩා වෙනස් වෙනස් තේමා යටතේ නිර්මාණය වෙන නාට්‍ය. මේ අනුව ප්‍රස්තුතය අතින් මෙන්ම ආකෘතික වශයෙන් ද මේ නාට්‍යය ඉතා විසිරුණු පරාසයක බිහිවෙන්නක්. ඒ නිසා ඔබ කිවූ පරිදි එය එක කේන්ද්‍රයකට යොමු කර ගැනීම නාට්‍ය සමීක්ෂකයන් වශයෙන් අපි ඉදිරියෙ තියෙන බරපතළ අභියෝගයක්. නාට්‍ය පිළිබඳ අවසාන තීරණයකදි අපිට ප්‍රේක්ෂකයන් දිහාත් අවධානය යොමු කරන්න වෙනවා.

මොකද නාට්‍යයෙ ගුණාත්මක බව තීරණය කරන අවසාන පුද්ගලයා වෙන්නෙ ප්‍රේක්ෂකයා.

සමහර දිගු නාට්‍යය පිළිබඳ අවධානය යොමු කරද්දි අපට පැහැදිලිව පෙනෙන ලක්ෂණයක් තමයි ඒ නාට්‍යයෙ විශාල පිරිසක් එකම තලයක රඟපෑමක නිරත වීම.

ඒ නිසා එවැනි නාට්‍යයකින් හොඳ ම නිළියක් හෝ නළුවෙක් කියන සම්මාන වලට කෙනෙක් තෝරා ගන්න හැකියාවක් නැහැ.

ඒ වගේම කිසියම් නාට්‍යයක එකම නිළියක් හෝ නළුවෙක් පමණක් රඟපෑමෙන් ඔවුන් ඒ සම්මානවලට සුදුසුකම් කියනවද කියන එක අපිට සලකා බැලිය යුතු වැදගත් කරුණක්. මේ හැම දෙයක් ම තීරණය වෙන්නෙ අපේ සාමූහික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසයි.

වර්තමාන නාට්‍යවල තාක්ෂණික අංශය ඉතා ප්‍රබල ලෙස ඉස්මතු වෙනවා. අලෝකකරණය, රංග වස්ත්‍ර, වේශ නිරූපණය ඇතුළු මේ හැම අංශයක ම ඉතා පොහොසත් අවස්ථා නිරූපණය කරනවා. ඒ නිසා මෙවර අන් හැම වසරකට වඩා විශාල තරගකාරිත්වයක් තියෙනවා. එය නාට්‍ය කලාවේ වර්ධනයට ඉතා හොඳයි. අපිට අවශ්‍ය වෙන්නෙත් එවැනි තත්වයක් ඇසුරේ නාට්‍යයෙහි ගුණාත්මක බව පෝෂණය වෙනවා දකින්නයි.

පේරාදෙණියෙන් බිහිවූ නූතන නාට්‍ය කලාවේ ආරම්භය මේ වන විට ඔබ නි‍යෝජනය කරන විශ්වවිද්‍යාලයට මාරු වෙලා.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ පූර්වගාමී කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස අපේ නූතන නාට්‍ය වංශය බිහිවීම සැබවින් ම අප ලද වාසනාවකි. එය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය ප්‍රබෝ‍ධයේ ම තවත් එක් අවස්ථාවක්. ඒ ඉතිහාසය සදානුස්මරණීයයි.

නමුත් මේ වන විට නාට්‍ය නිෂ්පාදනය අතින් බැලුවොත් කැලණිය විශ්වවිද්‍යාලය අන් හැම විශ්වවිද්‍යාලයකටම වඩා පෙරමුණට ඇවිල්ලා. වසරකට වේදිකා නාට්‍ය ඉතා විශාල සංඛ්‍යාවක් එහි රංග ගත වෙනවා.

ඒ හරහා අති විශාල ශිල්පීන් රාශියක් බිහිවෙලා තියෙනවා. ඒ ගැන විශ්වවිද්‍යාලය සතුටු වෙනවා වගේම පෞද්ගලිකව මමත් සතුටට පත්වෙනවා.

මම කිසි දවසක නාට්‍ය පිටපතක් ලියලා නැහැ. ඒ වගේම කිසිදු නිෂ්පාදනයක් බිහිකරල නැහැ. නමුත් මම ගුණාත්මක වේදිකා නාට්‍ය බිහි කිරීමේ පසුබිම විශ්වවිද්‍යාලය තුළ ගොඩනඟල තියෙනවා. ඒවාට අවශ්‍ය පහසුකම් සපයල දීලා තියෙනවා. අපි කොපමණ දක්ෂ වුණත් ඒ වගේම අපිට කොපමණ වුවමනාව තිබුණත් කිසියම් දෙයක් බිහි කිරීමට අවශ්‍ය පසුබිම නියමාකාර ලෙස ගොඩනැගිල තිබුණෙ නැත්නම් අපේ ඒ වුවමනාව අපිට අවශ්‍ය පරිදි නිම කිරීමට හැකියාවක් ලැබෙන්නෙ නැහැ. ඒ නිසා ඕනම දේකට පසුබිමක් සකස් කිරීම තමයි මූලික වශයෙන් අපි අතින් සිද්ධ විය යුත්තෙ. මම ඒ කාරිය කිසිදු පැකිලීමකින් තොරව සිද්ධ කරනවා.

මේ අධ්‍යයන ක්ෂේත්‍රය වුණත් නාට්‍ය හා රංග කලාව නෙමෙයි. මගේ මහාචාර්ය පදවිය තියෙන්නෙ රූපවාහිනි හා සිනමා අධ්‍යයනය‍ වෙනුවෙන්. නමුත් එහෙම කියලා මේ හැම කලාවකට ම වගේ මූලික වෙච්ච නාට්‍ය කලාව මගේ ජීවිතෙන් අයින් කරන්න බැහැ. ඒ නිසා තමයි මම මට පුළුවන් හැම මොහොතකම නාට්‍ය කලාව වෙනුවෙන් පෙනී සිටින්නෙ. සමහරවිට අපි කරපු දේවලින් උපරිම ඵල ලැ‍බෙන කොට අපි ජීවතුන් අතර නොසිටිය හැකියි.

එවිට අපේ අනාගත පරම්පරාව අපේ සේවය හඳුනා ගනියි. එතෙක් මම මගේ ගමන යනවා. මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළෙහි සමාප්ති උත්සවය පවත්වන්නෙත් ලෝක නාට්‍ය දිනය සමරන දවසෙ. එයත් මේ වසරෙදි අපිට විශේෂත්වයක්. මේ හැම දෙයක්ම අපි කරන්නෙ අපේ අනාගත පරපුර ගුණාත්මක වශයෙන් පිරිපුන් ලොවක් කරා රැගෙන යන්නයි.

මගේ එකම පැතුම මගේ උපරිම උත්සාහයෙන් කලාවේ අභිවෘද්ධියට ශක්තිමත් පදනමක් සකස් කරල ඒ දිහා සතුටින් බලල උපේක්ෂා සහගතව ඔබ සැමගෙන් විශ්‍රාම ගන්නයි. 

අදහස්