පැවැත්මේ සුන්දරත්වය | සිළුමිණ

පැවැත්මේ සුන්දරත්වය

තනි ඇහැ මාස්ටර්ව ඉස්කොලෙන් අයින් කරල දාපු වීරය තමයි පණ්ඩිත් ෂම්භූරතන් ඩුඬේ. අපි එයාට කිව්වෙ ෂම්භු බාබු කියලයි. එයා කවියෙක්. හැබැයි එයාට කවිපොත් ගහන ආසාව තිබුණෙ නෑ. ඒක කලාතුරකින් කවියකුගෙ දකින්ඩ පුළුවන් ලක්‍ෂණයක්. මං දැකල තියෙන සිය ගානක් කවියො කවිපොත් අච්චු ගස්සන ආසාවෙන් තමයි හිටියෙ. ඒ නිසා ඔවුන්ගෙ කවිකම දෙවැනි තැනට වැටිලයි තිබුණෙ. ආශාවෙන් භරිත පුද්ගලයන්ට මං කියන්නෙ දේශපාලයො කියලා. හැබැයි ෂම්භු බාබු ඒ විදිහෙ කෙනෙක් නෙමේ.

එයා උප සභාපති හැටියට චන්දෙන් පත්වෙච්ච කෙනා විතරක් නෙමෙයි. එයාව නම් කරල තිබුණෙ මං අර කලිං ගොමගොඩකට සමාන කරල තිබුණු සභාපති තමයි. එයාට තමන්ගෙ වැඩ කරවගන්ඩ බුද්ධිමත්තු ටිකක් ඕනැ කෙරුවා. සභාපති නම් නියම ගොම ගොඩක් ම තමයි. ඔහු අවුරුදු ගානක් ඒ තනතුරේ හිටිය. අනිත් ගොමයො නැවත නැවතත් මිනිහව පත් කරගත්තා.

ඉන්දියාවෙදි ශුද්ධවන්ත ගොමගොඩක් බවට පත්වෙලා ඉන්න එක මහ ලොකු දෙයක්. එතකොට ඉබේම මහත්මා කෙනෙක් බවට පත්වෙනවා. ඒ විදිහටයි මේ සභාපතිත් මහත්මා කෙනෙක් වෙලා හිටියෙ. ඒ ඔක්කොම වාගෙ බොරුකාරයො. එහෙම නැතුව ඒගොල්ලන්ට මහත්මාවරු වෙන්ඩ බෑ. නිර්මාණශීලි, බුද්ධිමත් මිනිහෙක් ගොම ගොඩක් බවට පත්වෙන්ඩ හදන්නෙ ඇයි? ඉතින් එහෙම ගොමගොඩක් තමයි ෂමුභු බාබුව උප සභාපති විදිහට නම් කරල තිබුණෙ.

ෂම්භු බාබුගෙයි, මගෙයි ඇස් එකට ගැටුණු වෙලේ මොකක්දෝ යමක් සිද්ධ වුණා. කාල් ගුස්ටාව් ජුන් (ස්විස් ජාතික මනෝචිකිත්සකයෙකි) ඒක හඳුන්වල තියෙන්නෙ ඒකභූතභාවය (එකවර සිදුවීම) කියලයි. ඒ වෙනකොට මං ළමයෙක්. නිකම්ම ළමයෙක් නෙමෙයි කැලේ ඉඳන් ආපු එකෙක්.

අධ්‍යාපනයක් නැති විනයානුකූල හැදියාවක් නොතිබ්ච්ච මායි, ෂම්භු බාබුයි අතරෙ කිසිම සමානකමක් තිබුණෙ නෑ. ඔහු බලය තිබුණු, මිනිස්සුන්ගෙ ගරුසරුවට භාජනය වෙච්ච ශක්තිමත් කෙනෙක්. ඒ විතරක් නෙමේ ඉහළ ම නීති උපාධිය ලබපු කෙනෙක්. නීතිඥ සංගමයෙත් සභාපති. රොටරි සංගමය වගේ සමිති සමාගම්වලත් සභාපති. හුඟක් කමිටුවල එක්කො සභාපති නැත්නම් උප සභාපති. ඒ විදිහට හැමතැනම ඉහළින් හිටිය කෙනෙක්.

ඔහු කවියෙක් විතරක් නෙමේ, හොඳ කතා රචකයෙක්. අද ඔහු මිය ගිහින්. ප්‍රසිද්ධ සිනමාකරුවෙක් හදපු දෙස් විදෙස් සම්මාන රැසක් හිමි කරගත්තු ජාන්සි රැජින කියන චිත්‍රපටියට පාදක උණෙත් ඔහුගෙ කතාවක්. එහෙව් පුද්ගලයෙක් තමයි එදා කැලෑ කොල්ලෙක් වෙලා හිටිය පුංචි මං එක්ක හාද වුණේ.

පළමු හමුවීමෙදිම ඔහු මට කිව්වෙ මොකක්ද දන්නවද? ‘කරුණාකරල අසුන් ගන්ඩ’ එතකොට ඔහුත් නැගිටලයි හිටියෙ. මං පුදුම වුණා.

‘ඉස්සරවෙලා ඔයා අසුන් ගන්ඩ!’ මං කිව්වා. ඔහු හිටගෙන ඉන්දැද්දි මං ඉඳන් ඉන්න එක මොකක්දෝවගේ හින්දයි මං එහෙම කිව්වෙ. ‘ඔයා වැඩිහිටියෙක්. අපේ තාත්තටත් වැඩිය වයසයි වගේ’

‘ඒ ගැන එච්චර හිතන්ඩ එපා! මං ඔයාගෙ තාත්තගෙ යාළුවෙක්. පොඩ්ඩක් සන්සුන් වෙලා මට කියන්ඩ ආපු දේ කියන්ඩ!’

ඔහු මං දිහෑ බැලුවා. මං ඔහු දිහෑ බැලුවා. අපේ ඇස් එකට මුණගැහිච්ච ඒ නිමේෂයෙ තමයි මං අර කලින් කියපු ඒකභූතභාවය ඇති වුණේ.

’මං ඒගැන දෙවනුව කියන්නන්. ඊට ඉස්සරවෙලා මට කියන්ඩ ඔයාගෙ ඇසුයි, මගෙ ඇසුයි එකට මුණ ගැහෙනකොට මොකක්ද ඒ වුණේ කියලා’ මං කිව්වා. ඔහු ඇස්දෙක පියාගත්තා. ඇස් දෙක අරින්ඩ මිනිත්තු දහයක් විතර යන්ඩ ඇති.

‘මට සමාවෙන්ඩ. මට ඒක අල්ල ගන්ඩ බැරුව ගියා. නමුත් යමක් නම් සිද්ධ වුණා’ ඔහු කිව්වා.

අපේ මිත්‍රත්වය ඔහු මිය යන තුරුම පැවතුණා. අවුරුදු විස්සකට විතර පස්සෙ මං කාල් ගුස්ටාව් ගැන කියවද්දි තමයි මට අර ඒකභූතභාවය කියන වචනෙ අහු වුණේ. ෂම්භූ බාබුට එදා අල්ලගන්ඩ බැරිවෙච්ච වචනෙ කාල් ගුස්ටාව් අල්ලගෙන තිබුණ. ඒක තමයි ඒකීභූතභාවය. අන්න ඒ දේ තමයි එදා අපි දෙන්න අතරෙ සිද්ධ වුණේ. වචනෙ තමයි මඟ ඇරුණෙ.

ඒකභූතභාවය කියන්නෙ බොහෝ දේවල් එකට සිදුවෙන එකටයි. ඒක බහුපරිමාණිකයි. ඒකට එක්තරා රිද්මයානුකූල හැඟීමක් තිබිය හැකියි. මිනිස්සු එක්තරා විදිහකින් ආදරේ කියල හඳුන්වන දේකුත් එතන තිබිය හැකියි.

මිත්‍රත්වය කියන දෙයත් ඒකෙ අන්තර්ගතවෙලා තිබිය හැකියි. හදවත් දෙකක් කිසිම හේතුවක් නැතුව එක විටම ස්පන්දනය වෙනවා කියන එක තමයි ඕකට සරල ම උත්තරය. මේ වගේ දෙයක් සිද්ධවෙන්නෙ කලාතුරකින්. හරියට ජිග්ෂෝ ප්‍රහේලිකාවක කෑලි හදිස්සියෙම එකට සම්බන්ධ වුණා වගේ වැඩක්.

සිද්ධවෙලා තිබුණෙ හිතවත්කමක් ගොඩනැඟීමයි. හිතවත්කම තියෙන්නෙ ආදරයට වඩා ඉහළ තලයකයි. හිතවතකම මිතුරුකමට වඩා ශ්‍රේෂ්ඨයි.

මිත්‍රත්වය ආදරය වගේම බැඳීමකිනුයි වෙළී තියෙන්නෙ. ඒක නැතිවෙලා යන්න පුළුවන් කියන ඉරිසියාවක්, අයිතිකර ගැනීමේ කැමැත්තක්, නැතිවේය කියන බියක් තිබිය හැකියි. ඒ බය නිසා ළතැවිල්ලක් ඇතිවිය හැකියි. මිනිස්සු තමන්ගේ ආදරය වෙනුවෙන් නොනවතින අරගලයක යෙදිල ඉන්නෙ ඒකයි. විශ්වාස කරන්ඩ බැරි තරමට පුදුමයි.

හිතවත්කම කියන්නෙ මිනිස්සුන්ට දැනෙන හැඟෙන සියල්ලට ම ඉතා ඉහළින් තියෙන දෙයක්. ඒක හරියට පැවැත්මේ සුන්දරත්වය වගෙයි. පැවැත්මේ මල් හට ගැනීමක් හැටියට හැඳින්විය හැකියි. හිතවත්කම කියන්නෙ අප දන්නා හඳුනන සියල්ලෙන් මිදුණු නිදහසයි.

 

ලබන සතියට... 

අදහස්