ලෝමාලිකා | සිළුමිණ

ලෝමාලිකා

ලෝමාලිකා යනු ඉංග්‍රීසි ලේඛක ඩී.එච්.ලෝරන්ස් (1885 -1930) විසින් 1922 දී රචිත SMS නම් කෙටි නවකතාවේ සිංහල පර්වර්තනයයි.

ඩී.එච්. ලොරන්ස් යනු නවකතා, කෙටිකතා, නාට්‍ය, සාහිත්‍ය විචාර, දේශාටන චාරිකා සහ නොයෙකුත් මාතෘකා ඔස්සේ ලියැවුණු ලිපි යනාදිය විශාල සංඛ්‍යාවක් රචනා කළ ප්‍රකට සාහිත්‍ය ධරයකු මෙන්ම සිත්තරකු වශයෙන් ද සමත්කම් පෑවෙකි.

වර්තමානයේ සම්භාවනාවට පාත්‍ර වුව ද ලෝරන්ස් ඔහුගේ සමයේ හැඳින්වුණේ දක්ෂිණාංශික ද්‍රෝහියකු වශයෙනි. මේ නිසා ඔහුගේ කෘතිවල සාහිත්‍යමය වටිනාකම් සාකච්ඡාවට බඳුන් නොවූ තරම් ය. ඔහුගේ Lady chattelys lover නම් නවකථාව මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේ ය. පහත් ගණයේ අශ්ශීල එකක් හෙයින් එය තහනම් කළ යුතු ය’යි ඉල්ලා අමෙරිකානු අධිකරණයක් ඉදිරියේ නඩුවක් පවරා තිබුණු අතර අධිකරණය විසින් එය චෝදනාවලින් එය නිදහස් කරන ලදී. දැන් නම් ඔහුගේ. Son and lovers - 1913 සහ The rainbow- 1915 නූතනවාදී නවකතා අතර ප්‍රමුඛස්ථානයක ලා ගැණේ.

ලෝමාලිකා කතාව සැකෙවින් මෙසේ ය:

බේලි නම් කුඩා ගොවිපොළ පවත්වා ගෙන යනු ලබන්නේ භද්‍ර යව්වනය ඉක්මැවූ සිය මුල් නමින් නොව වාසගමින් දන්නා මාච් සහ බැන්ෆර්ඞ් නම් යුවතියන් දෙදෙනෙකු විසිනි. පිරිමි ඇඳුමින් යුතුව නිතර සිටින ළාමක සිතැති මාච් කයින් නිරෝගී ය. බැන්ෆර්ඩ් අලාමක ය. එහෙත් අබල ගතින් යුතු ය. ගොවිපොළට අවශ්‍ය මූල ධනය සපයා ඇත්තේ බැන්ෆර්ඩ්ගේ පියා ය. එහි වැඩවලින් පහෙන් හතරක් පමණ කරන්නී මාච් ය. එහෙත් මොවුන් දෙදෙනාටම ගොවිපොළ පාලනය ගැන කිසිදු අවබෝධයක් නැත.

ගොවිපොළේ කිකිළියන් කන්නට නරියෙක් එයි. මාච් තුවක්කුවත් රැගෙන කෙතරම් උත්සාහ කළ ද ඌ මරා දමනු නොසමත් ය. ඇය සිතන පරිදි නරියා සහ තමා එකිනෙකා හඳුනති. දිනක් තුවක්කුවත් රැගෙන නරියා එනතුරු බලා සිටින මාච්ගේ දෙපා අසලම නරියා සිටියි.

‘ඇය දවස් කිහිපයක් යන තුරු ම මේ සිද්ධිය බැන්ෆඩ්ට සඳහන් කළේ නැත. එක් හැන්දෑවක හිටි ගමන් ම ඇය මෙසේ කීවා ය.:

“සෙනසුරාදා නරිය මගේ කකුල් දෙක ළඟට ම ආව නේ!”

“කොහේ දි ද!” උපැස් පිටුපසින් දෑස් විවර කරමින් බැන්ෆර්ඩ් ඇසුවා ය.

“මම පොකුණ ගාව ම උඩහ හිටගෙන ඉන්න කොට.”

“ඔයා වෙඩි තිබ්බ ද?” බැන්ෆර්ඩ් හඬ නැගුවා ය.

“නෑ මම වෙඩි තිබ්බෙ නෑ”

“ඇයි වෙඩි තිබ්බෙ නැත්තෙ?”

“මං දන්නේ නෑ. මගේ හිතේ මම ඕනවට වැඩිය පුදුම උණා.”’

දවසෙක සවස තරුණයෙක් හදිසියේ එහි සම්ප්‍රාප්ත වෙයි. දොළොසැවිරිදි වියේ දී තමා සිය සීයා සමඟ මෙහි ගත කළ බව කියන ඔහු වෘද්ධයා කොහිදැ’යි ඔවුන්ගෙන් විමසයි. ඒ වනාහි ඉඩම තමන්ට විකිණු පුද්ගලයා බව වටහා ගන්නා බැන්ෆර්ඩ් ඔහු කලකට පෙර මිය ගිය බව කියයි. බැන්ෆර්ඩ්ට පෙනෙන්නේ ඔහු තමාගේ බාල සහෝදරයකු ලෙස ය. මාච්ට සිතෙන්නේ ඔහු නරියා බවයි. රාත්‍රියේ ඔහු ගොවිපොළ නිවස්නයේ අතිරේක කාමරයේ ලැගුම් ගන්නේ තරුණියන්ගේ එකඟත්වය ඇතිව ය. එදින මාච් සිහිනෙන් නරියා දකියි. උගේ වලිගය ඇගේ මුහුණේ ඇතිල්ලෙන අතර ඉන් තොල් පිලිස්සෙයි. හෙන්රි නම් මේ නව යොවුන් තරුණයා මාච්ට ඇලුම් කරයි. දින දෙක තුනක් ඔවුන් සමග රැඳි සිටින අතරතුරේ දී ඔහු ඒ බව මාච්ට කියයි. එයට විරුද්ධ වන්නට ඇයට නොහැකි ය. එහෙත් ඇය ඍජු ව ම බහක් නොදෙන්නී ය. මේවා සිදු වන්නේ බැන්ෆර්ඩ් නොදැනුවත්ව නමුත් පසුව ඇයට එය අවබෝධ වෙයි. එවිට හෙන්රි ඒ ගැන ඇයට කියයි. මෙයින් ඇය කෝපයට පත්වන අතර මාච්ට හා හෙන්රිට වෙන් වෙන් ව දෝෂාරෝපණය කරයි. තමා සමඟ විවාහ වී කැනඩාවට යන්නට එන ලෙස හෙන්රි මාච්ට බල කර කියයි. හෙන්රි ඉදිරියේ දී එයට එකඟ වන මාච් බැන්ෆර්ඩ් අබිමුව දෙගිඩියාවෙන් සිටියි.

තමා බැන්ෆර්ඩ්ට ආදරය කරන නිසා ඇය දමා යා නොහැකි බව වරෙක මාච් හෙන්රි හා පවසයි. මාච් හා බැන්ෆර්ඩ් නිදන්නේ එක යහනේ ය. එහෙත් ඔවුන් අතර ලිංගික සම්බන්ධයක් ඇත් ද යන්න සිතා ගැනීම පාඨකයාට බාර කටයුත්තකි. මේ පළමුවන ලෝක මහා යුද්ධය අවසන් වුණු සමයයි. එ සමයේ පිරිමින් යුද බිමට ගොස් සිටි හෙයින් යුවතියන් අතර එබඳු සබඳතා තිබූ බව විචාරක මතයයි.

හෙන්රි වෙඩි තබා නරියා මරා හම ගසයි. පසු දවසෙක මාච් දකින සිහිනයක දී මිය යන බැන්ෆර්ඩ්වල ලනු ලබන්නේ ඒ නරි සමේ දවටලා ය. ඇගේ මුහුණ කොටස වසනු ලබන්නේ නරි වලිගයෙනි.

හෙන්රිට මාච් ගෙන යන්නට ඇති එකම බාධාව බැන්ෆර්ඩ් ය. බැන්ෆර්ඩ් හෙන්රි අරභයා මාච්ට දොස් නඟනු ඔහුට ඇසී තිබේ. ඒ නිසා ඔහු ඇය සමඟ පසුවන්නේ කේන්තියෙනි. කෙසේවෙතත් ඇය මරා දැමිමේ අභිප්‍රායක් ඔහුට නැත. එහෙත් අහම්බෙන් දවසක හෙන්රි කපන ගසකට යට වී බැන්ෆර්ඩ් මිය යයි. දැන් මාච් අයිති කැර ගන්නට ඔහුට බාධාවක් නැත. ඔවුහු විවාහ වී කැනඩාව බලා යති. එහෙත් මාච් සිටින්නී ප්‍රීතියෙන් නොවේ. ඒ නිසා හෙන්රිට ද සතුටක් නැත.

ගාඩියන් වෙබ් අඩවියේ පළ වු ඩොරිස් ලෙස්ලින්ගේ විචාරයකට අනුව ලෝරන්ස්ගේ මේ කෙටි කෘතිය මුළුමණින්ම ස්ත්‍රීවාදී ය. අවසානයේ හෙන්රිට අයිති වන මාච් මෙසේ සිතයි:

‘...තමාට උවමනා කරන්නේ බලන්ට, දැන ගන්නට සහ තෙරුම් ගන්නට ය. තමාට හුදෙකලාව සිටින්නට උවමනා ය: තමාගේ පසෙකින් සිටිනා ඔහුත් සමග.

ඔහු! තමා තවදුරටත් බලා සිටීමක්, තවදුරටත් දැකීමක්, තවදුරටත් තෙරුම් ගැනිමක් ඔහුට එපා ය. ඔහුට උවමනා වන්නේ තමාගේ ගැහැනු ජීවය වසා සඟවා ලන්නට ය. ඔහුට අවමනා වන්නේ තමා ඔහුට කැප කරවා ගැනිමටත් තමාගේ ස්වාධීන ජීවය නිද්‍රාගත කරවන්නටත් ය.......’

මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ කෘතියක් වන ලෝමාලිකා 1974 වසරේ ප්‍රථම වරට ගොඩගේ ප්‍රකාශකයින් විසින් පළ කරන ලද අතර 2007 දී සරසවි ප්‍රකාශකයින් විසින් පුනර්මුද්‍රණයක් එළි දක්වන ලදී. මේ එම මුද්‍රණයේ පිටකවරයයි.


ප්‍රේමචන්ද්‍ර දිසානායක අධ්‍යාපන හා සමාජ සම්ප්‍රදානය 24 දා ජනගත වේ

මහාචාර්ය ජිනදාස දනන්සූරිය හා කරුණාතිලක හඳුන්පතිරණ සංස්කරණය කළ 'ප්‍රේමචන්ද්‍ර දිසානායක අධ්‍යාපන හා සමාජ සම්ප්‍රදානය' කෘතිය මේ මස 24 වැනිදා ප.ව. 2.30 ට කුලියාපිටිය නගර සභාවේදී ජනගත වීමට නියමිතය. මේ උලෙළේ මුලසුන හොබවනු ලබන්න‍ේ වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක මුගුණුවටවන සිද්ධාර්ථ නාහිමිපාණන් විසිනි. පූජ්‍ය හේනේගෙදර සිද්ධාර්ථ නාහිමි, මහාචාර්ය ජිනදාස දනන්සූරිය, ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ, හෙළබස් මිණි අ. ආ. ගුණතිලක යන විද්වත්හු මෙහි දේශන පවත්වති.

අදහස්