සැබෑ මිනි­ස­කුගේ කතා­වක් | සිළුමිණ

සැබෑ මිනි­ස­කුගේ කතා­වක්

ශ්‍රී ලාංකිකයන් වන අප වාර්ගික භේදයකින් තොරව දීර්ඝ කාලීන ව ඇදී ගිය යුද්ධයක ගොදුරු ය යන්න සත්‍යයක් වන තරමට ම; අප රටක් වශයෙන් එකී මහා විනාශයෙන් කිසිදු පාඩමක් උගන්නට සූදානමක් නැත්තේ ය යන්න සත්‍යයක් බව අපට මගහැරිය නොහැකි මහා පවුරක් ලෙස අප ඉදිරියේ පවතී. එහෙත් අප තවමත් කරන්නේ එම බාධක පවුර බිඳ හෙළීමට අරගල කිරීම නොව ඒ ඉදිරිපිට සිට එහෙ මෙහෙ ගල් වීසි කිරීම පමණි. අප කිසිවකුටත් ඒ සම්බන්ධයෙන් බැරෑරුම් කතිකාවකට යොමු වීමට අවශ්‍යතාවක් නැති සෙයකි. හුදෙක් දේශපාලන වේදිකාවල කටගැස්මක් ලෙස ගැනීම හැරුණු විට පසුගිය කාලය පුරාම රටක් වශයෙන් අප විසින් ගනු ලැබූ ඵලදායී පියවරක් නොමැති තරම් ය. ඒ වෙනුවට අප සංහිඳියාව යන වදන පමණක් එහි අරුත පවා හෑල්ලු කරමින් භාවිත වනු පෙනෙයි. රටකට මීටත් වඩා විය හැකි තවත් වින්නැහියක් නැති තරම් ය. තමන් අවට සිදුවන දෙය දකිමින් එහෙත් ඒ නොදකින බව අඟවමින් පාඩුවේ සිටින්නට තැත් දරනා ජනතාවක් කවර කලෙකවත් පුරවැසියන් බවට පත් නොවේ. ලංකාවේ ජීවත්වන සියලු ජනවර්ග මනාව තේරුම් ගත යුතුව ඇති සත්‍යය එය වුවත් මේ වන විට රටේ ඇතිව තිබෙනා දේශපාලන කලබැගෑනි හමුවෙහි සෑම ජනවර්ගයක ම සිටින අන්තවාදීන්ට ගිනි පුළිඟු නොඅඩුව ලැබෙනා තත්ත්වයක් උද්ගත වෙමින් පවතී.

රටක වෙසෙන ජනතාව විවිධ බෙදුම් රේඛා නිර්මාණය කරගනිමින් එකිනෙකා භේද වන විට අඳුරු වන්නේ කාගේ අනාගතය ද යන්න වටහා ගැනීමට අපට රටෙන් ම ඇති උදාහරණ සංඛ්‍යාව මිණිය නොහැකි තරම් ය. එහෙත් අපට නැත්තේ ඒ පිළිබඳ විචාරක්ෂිය පමණි. තමන් අත පොවනා මානයේ ඇති පාඩම් උගන්නට සූදානම් නැති රටකට වෙනත් කලාපයක සමාන සිදුවීම් පෙළක් වැදගත් සේ පෙනී යා නොහැකි වීමට ඉඩක් ඇත ද මේ සටහනෙහි අරමුණ වනුයේ අවම වශයෙන් උනන්දුවක් දක්වන්නන්ට හෝ යහපත් කතිකාවකට ප්‍රවේශයක් කරගත හැකි කෘතියක් ගැන හෝඩුවාවක් සැපයීම ය. කෘතිය මුල් බසින් පළ ව, එය සිංහල බසට පරිවර්තන කර මුද්‍රණය කිරීමෙන් අනතුරුව ද වසර ගණනාවක් ගෙවී ගොස් ඇත ද පෙනෙනුයේ මේ කෘතිය අන් බොහෝ කෘති මෙන් ම තවමත් පාඨක අවධානයට ලක්ව නැති බවකි.

මෙහිදී අවධානය යොමු කෙරෙනා කෘතිය An Ordinary man යනුවෙන් ඉංග්‍රීසි බසින් පළ ව මේ වනවිට 'සුවිශේෂී මිනිසෙක් නොවෙමි' යන නමින් සිංහල බසට පරිවර්තනය වී ඇති ස්වයං ලිඛිත අපදානයයි. සමන්ත පතිරණ විසින් පරිවර්තනය කරන ලද මෙහි කර්තෘ පෝල් රුසෙසබාගිනා නම් රුවන්ඩානුවෙකි. සාමාන්‍ය මිනිසෙක් වෙමි, නැතිනම් සුවිශේෂී මිනිසෙක් නොවෙමි යන නමින් රචනා කර ඇත ද මේ කෘතිය අපට පෙන්වනුයේම මිනිසකුට කෙතරම් සුවිශේෂි පුද්ගලයකු බවට පත්විය හැකිද යන්න ම ය.

සතියෙන් සතිය විවිධ මාතෘකා ඔස්සේ පුවත් මවන, පුවත් හඹන අපට රුවන්ඩාව යනු තවදුරටත් වැදගත් තැනක් නොවේ. එය දැන් ඇත්තේ අතීත මතක තුළ ද අන්තයෙහිම වැලි තලා යට ය. එහෙත් ගිනි කන්දක මුව විටෙහි බුලත් සපනා අප රටට ඒ අතීතය නැවතත් සිහි කැඳවීම බෙහෙවින් වටී. ඒ සඳහා පෝල් රුසෙසබාගිනාගේ අපදානය මනරම් සේවයක් සලසයි.

සැබැවින් ම 1994 වසරේ ලෝක ඉතිහාසයට තවත් කළු පැල්ලමක් එක් කරමින් ඇරඹි රුවන්ඩාවේ වර්ග සංහාරය තෙක් ම පෝල් යනු සාමාන්‍ය මිනිසෙකි. ඔහු ද අන් අය පරිද්දෙන් ම තම දිවි පැවැත්ම උදෙසා රැකියාවක් කරමින්, සමාජයෙහි යම් වරප්‍රසාදිත තත්ත්වයක පසු වූවෙකි. දරුපවුලක් රකිමින් තම පාඩුවෙහි ඉන්නට ආශා කළ තැනැත්තෙකි. එහෙත් ඔහුගේ අපදානය අපට පවසන එක් දෙයක් වනුයේ එවන් මිනිසකු පුපුරා හැලෙන වර්ගවාදයේ ගිනි කන්දක ලාවා ප්‍රවාහය හමුවෙහි ඉන් දැවී නොගිය අයෝමය මිනිසකු බවට පත්වූ ආකාරයයි.

විසිවෙනි සියවසෙහි වර්ග සංහාර ඉතිහාසය ක්‍රෑරතම අයුරින් සටහන් කරන ලද්දේ පිරිසුදු ආර්යයන් වෙනුවෙන් යුදෙවු සංහාරය අරඹන ලද හිට්ලර් විසිනි. ඉන්පසුව 1994දී මිහිකත නැවත ලෙයින් තෙත් කරන ලද රුවන්ඩා වර්ග සංහාරය විසින් සටහන් කරන ලද්දේ එකී සියවසෙහි ක්‍රෑර අවසානයෙහි පිටුවකි. කෙතරම් බියකරු වුවද රුවන්ඩා වර්ග සංහාරය පෝල් වැනි මිනිසුන් හේතුවෙන් අඳුරුතම පැයක අපේක්ෂාවෙහි සහන් එළියක් දැල්වීමට සමත් ව තිබේ. යටත් විජිතවාදීන්ගේ බෙදා වෙන්කිරීමේ උපාය මාර්ගයෙහි ගොදුරක් බවට පත්ව හුටූ සහ ටුට්සි වශයෙන් වාර්ගික භේදයක් මත එකිනෙකා මරා ගැනීමේ ඉතිහාසයකට උරුම කියනා රුවන්ඩාවෙහි හුටූ ජනවර්ගය පාලන බලය අතට ගැනීමෙන් පසුව පැරණි තුවාලවලට ලුණු ඉසීමේ පිළිවෙත හරහා මේ ජනවර්ගයන් දෙක ම ගෙන ගිය මරා ගැනීමේ පිළිවෙත සහ ආණ්ඩු බලය හිමි හුටූ වරුන් විසින් එකී කාලපරිච්ඡේදයෙහි සිදු කළ අති අමානුෂික ක්‍රියා අදටත් යුක්තිය අගයන මිනිසුන් තුළ ඇති කරනා තැතිගැන්ම ඉතා ප්‍රබල ය.

හුටූවරුන්ගේ මන්නා පහරින් දිවි ගලවාගැනීමට තැත් දැරූ ටුට්සින්ගේ සහ මනුෂ්‍යත්වය උදෙසා කැපවූවන්ගේ ජීවිත ගලවා ගැනීම පිණිස වූ පෝල්ගේ ප්‍රයත්නය එක් අතකින් දෙවන ලෝක සංග්‍රාමයේදී යුදෙවු පිරිස ගලවා ගැනීම සඳහා ඔස්කා ෂීන්ඞ්ලර් විසින් දරන ලද ප්‍රයත්නය අතර දැකිය හැකි සමානකම් බොහෝ ය. දෙදෙනාම පිරිස් ගලවාගැනීම පිණිස සිය සිවිල් බලය, මුදල්, පෞද්ගලික සම්බන්ධකම් භාවිතා කළ අතර දෙදෙනාම මුහුණපා සිටි තත්ත්වය කෙසේවත් අනතුරින් මිදුණක් නොවේ. සිය ප්‍රයත්නය අතර කොයි මොහොතේ හෝ තමන් ද වියරුවෙහි ගොදුරක් ව වධයට, මරණයට පාත්‍රවීමේ අනතුර ඔවුන් හිස මත ලඹ දෙමින් තිබිණි. එහෙත් මේ දෙදෙනා ම ශ්‍රේෂ්ඨත්වයට පත්වනුයේ තම පෞද්ගලික ආරක්ෂාව පසෙකලා මරණය වැලඳ ගැනීමට සූදානමින් අසීරුතම කාර්යයකට උර දීමයි.

ඔස්කා ෂීන්ඩ්ලර් විසින් දෙවන ලෝක යුද සමයේ ගලවා ගන්නා ලද පිරිස 1200 පමණ වේ. එලෙසින්ම පෝල් විසින් ගලවා ගන්නා ලද පිරිසේ සංඛ්‍යාව 1268කි. ගැටුම්වලදී මියගිය සංඛ්‍යාවන් සමග සසඳන කල අවස්ථා දෙකෙහිම දිවි ගලවන ලද සංඛ්‍යාව සාපේක්ෂව සුළු බව පැහැදිලිය. එහෙත් මෙහිදී වැදගත් වනුයේ සංඛ්‍යාව නොව ඔවුන් වෙනුවෙන් ඉදිරිපත්වූ පුද්ගලයන්ගේ ආත්ම පරිත්‍යාගී ගුණයයි.

පෝල් වාර්ගික පදනමින් පීඩකයාගේ පාර්ශ්වයට අයත් වුව ද ඔහු පෙනී සිටිනුයේ පීඩිතයාගේ ආරක්ෂාව වෙනුවෙනි. ඔහු ම පවසන පරිදි ඊට බලපෑ ප්‍රධානම හේතුවක් වනුයේ සිය දෙමවුපියන් වෙත පැවති පුළුල් දැක්මයි. අනෙක් අතින් ඔහු තම ජීවිත අරමුණ පිහිටුවා ගන්නා ආකාරය ඔහුගේ ක්‍රියාවන්ට අවශ්‍ය දිරිය සපයයි. ඔහු මේ මුළුමහත් ක්‍රෑරත්වය අවසන ආපසු හැරී බලනුයේ මේ අයුරිනි.

‘නපුර ගැන මා උගත් වැදගත් ම දේ කුමක්දැයි ඔබට පැවසීමට මට ඉඩ දෙන්න. නපුර සුවිසල්, විරූපී සහ තරබාරු අයෙකි. මුහුණට මුහුණලා සටන් කළොත් එය භයානක සතුරෙකි. එහෙත් එය එතරම්ම වේගවත් හෝ කඩිසර කෙනෙක් නොවේ. එය වටකර පහර දෙන්නට හැකිනම් යමකුට ඔහු පරාජය කළ හැකිය. ඔබ දුර්වලයයි සිතන මිනිසුන්ට නපුර දුර්මුඛ කළ හැකිය. නපුර පරාජය කිරීමට සමත් වන්නේ නිශ්ශබ්ද සාමාන්‍ය මිනිසුන්ය.’ (පිටුව 247)

පෝල් සිය උත්සාහය සාර්ථක කරගන්නේ තමන් ප්‍රගුණ කර සිටි ප්‍රබල ම ගුණය වන අන් අය සමඟ සාකච්ඡා කිරීමේ හැකියාව මඟිනි. එහිදී ඔහු මිතුරන් සමඟ මෙන්ම තම මරුවන් බවට පත්වීමට නියමිත පාර්ශ්ව සමඟ ද කතා කරයි. නොගැටෙයි. ඔහු සතු අසීමිත ඉවසීම, සිය අරමුණ කරා යෑම සඳහා වන අදිටන මෙන්ම ඒ සඳහා නොපැකිළ තමන් අතැති සම්බන්ධතා මෙන්ම භෞතික සම්පත් ද භාවිත කිරීමේදී ඔහු දක්වන ආත්ම පරිත්‍යාගී ගුණය අසීරු අවස්ථාවල මිනිසුන් කෙරෙන් දක්නට ලැබෙනා විරලම ගුණයක් බව අවිවාදිත ය.

පෝල් ගේ අපදානය පුරාම දක්නට ලැබෙනා විශේෂ ලක්ෂණයක් වනුයේ දේශපාලකයන් මෙන් තමන් මතුවීමට, තම ක්‍රියාවෙහි උදාරත්වය මතු කිරීමට උත්සාහ නොදරා ඉතිහාසයෙහි සාක්ෂිකරුවකු වීමට, එක් යුගයක් පිළිබඳ විචාරවත් වීමට දරනු ලබනා උත්සාහයයි. ඔහුගේ කෘතිය ජීවන චරිතයකට වඩා යුගයක අන්ධකාරය කෙරේ එල්ල කරනා ආලෝක දහරාවකට සමාන ය. ඔහු ස්වකීය ක්‍රියා තුළින් ඉහළට මතුව පෙනෙන්නේ ම කැපී නොපෙනීමට දරනා අව්‍යාජ උත්සාහය තුළ ම ය. ඔහුගේ වදන් තුළ කිසිවකු කෙරෙහි විශේෂ ක්‍රෝධයක් හෝ වෛරයක් නැත. ඒ වෙනුවට හෙතෙම එවන් තත්වයක් ඇතිවීමට බලපෑ දේශීය මෙන්ම අන්තර්ජාතික තත්ත්ව කෙරේ අවධානය යොමු කරයි. තමන් ඇවිළෙන ගිනි කන්දෙහි මධ්‍යයේ ම සිරව සිටිය ද භාවාතීශය නොවී, අන්ත කරා යොමු නොවී ඔහු මැදහත් සිතින් සත්‍යය කෙරේ ළංවෙන ආකාරය මේ කෘතියෙහි වටිනාකම වැඩි කරයි.

නාසින් විසින් මරා දමන ලද මිලියන ගණනක ජනතාව යනු ප්‍රබන්ධයකැ යි විශ්වාස කරනා මිනිසුන් සැමදා හමුවන ලෝකයක රුවන්ඩාවෙහි ඛේදවාචකය ද අතිශයෝක්තියක් ලෙස දකින අය ද නැත්තේ නොවේ. එහෙත් පෝල්ගේ මැදිහත්වීම එලෙස කෙනකුට සත්‍යය මඟහැර යෑමට ඉඩ නොදෙයි. පෝල්ගේ කෘතියෙහි ඇති සුවිශේෂතා ගණනාවක් දැකිය හැකිය. ඉන් පළමුවැන්න රුවන්ඩා ඛේදවාචකය හමුවේ ලොව බලවතුන්, විශේෂයෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානය, බෙල්ජියම, ප්‍රංසය සහ ඇමරිකා එක්සත් ජනපදයේ හැසිරීමෙහි ඇති ජුගුප්සාජනක පිළිවෙතයි. මහා ඝාතනයක් වැළැක්වීමට හැකියාව තිබියදීත්, එයට මැදිහත්වීමේ වගකීම තම දෙවුර මත පැවතියදීත් මේ පාර්ශ්ව අනුගමනය කරනා නොදුටු පිළිවෙත සහ උදාසීනත්වය යුක්තිය සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතු කරයි.

පෝල් සිය රටෙහි දේශපාලන වාතාවරණය පිළිබදව කරනා විස්තර භූගෝලීය වෙනස්කම් පරයා ලොව කෙතරම් සමාන ද යන්නට සාක්ෂි සපයයි.

‘අප්‍රිකාවෙහි වෙනත් නායකයන් මෙන්ම හබියරිමානා ද රට පුරා සියලු ස්ථානවල සිය රුව ප්‍රදර්ශනය කිරීමට මහත් රුචියක් දැක්වීය.

එපමණකින් නොනැවතුණ ඔහු රටවැසියන් සියලු දෙන ඔහුගේ ඡායාරූපය සිය පපුවෙහි පැලඳිය යුතු යයි විධාන කළේය.’ (පිටුව 83) පෝල් මෙහිදී කරන්නේ තමන්ට පෞද්ගලිකව අත්විය හැකි අනතුරු නොතකා ඒ විධානය පිළිකෙව් කිරීමයි. ප්‍රාදේශීය දේශපාලකයාගේ සිට ඉහළ ම ස්තරය දක්වා ස්වරූපකාමයෙන් පෙලෙනා දේශපාලකයන් බහුල වර්තමානයක මෙය හුදෙක් රුවන්ඩා අත්දැකීම පමණක් ලෙස අපට බැහැර කළ හැකිද? අනෙක් අතින් ආත්මාර්ථකාමී දේශපානය තුළ මිනිසුන් එකිනෙකාට එරෙහිව මෙහෙයවීමේදී පුද්ගලයන් එක් නිමේෂයක් තුළ වෙනස්වන ආකාරය පිලිබඳ ව අපට ඔහුගේ උදාහරණය මෙපරිදිය.

මාර්සෙල් නම් කරුණාවන්ත අයකු බවට ප්‍රසිද්ධව සිටි පුද්ගලයෙකු සමඟ වන සංවාදය තුළ පෝල් මිනිසකුට නරුමයකු බවට පත්වීමට ඇති දුර කෙතරම් කෙටිදැයි පෙන්වා සිටියි. ටුට්සිවරුන් ඝාතනයට එක සිතින් සූදානම් ව සිටිනා මේ මිනිසාගේ වදන් අප කෙතරම් වාරයක් නම් අසා ඇතිදැයි ඒ කියවන විට සිහිවෙයි. සැම විට ම වැදගතකු සේ හැසිරුණ මේ මිනිසා සැකය තුළ වෙනස්ව ඇති ආකාරය පවසන ඛේදය ඉතා බරපතළ ය.

‘සතුරන් ඉන්නෙ අප අතරේමයි.’ කී ඔහු එය පුනරුච්ඡාරණය කළේය. ‘සතුරන් ඉන්නෙ අප අතරේමයි. ඒක ඉතාම පැහැදිලියි. අපි දැන අඳුරගෙන හිටි, ආශ්‍රය කළ හුඟ දෙනෙක් ද්‍රෝහියෝ.’ (පිටුව 109)

රුවන්ඩාවෙහි දේශපාලනයේ අවස්ථාවාදීත්වය මනාව හෙළි කරනා පෝල්ගේ කෘතිය තවත් අතනික් සුවිශේෂී වෙයි. ඒ ඔහු වර්ග සංහාරයට පෙර සහ ඒ සිදුවන අතර එහි මාධ්‍ය හැසිරීම පිළිබඳ කරනා විවරණයයි. ජනතාවට බුද්ධිය සැපයීම වෙනුවට ජනතාව අතර වෛරය සහ සැකය වැපිරීමට මාධ්‍ය නිර්ලජ්ජිත ලෙස මැදිහත්වන ආකාරය ඔහු විසින් විස්තර කරනු ලබන්නේ අපට ද අවට බැලීමට බලකරනා තරම් ප්‍රබල ආකාරයකිනි. ටුට්සින්ට එරෙහි හිංසනය ඇරඹීමට මාධ්‍ය විසින් කරන ලද කාර්යය මෙන්ම එහිදී අනෙකා ඝාතනය සඳහා ඔවුන් භාෂාවට මුවහ වී කළ තිරශ්චීන මාධ්‍ය මෙහෙයුම මාධ්‍යයෙහි වගකීම් සහගත බව නැමති රැවටිල්ල නිර්දය ලෙස නග්න කර දක්වයි.

‘ඔබේ යුතුකම ඉටු කරන්න.’ එහි නිවේදකයන් කියනු ඇසිණි. ‘ඔබේ වටපිටාව පිරිසිදු කරන්න. උස ගස් කපා දමන්න.’ (පිටුව 108)

මේ වර්ගවාදී විෂ පැතිරවීම පිණිස රාජ්‍ය අනුග්‍රහයද සහිතව ක්‍රියාත්මක වූ ආර්ටීඑල්එම් නම් නාළිකාවෙහි හඬය. මෙහි උසගස් යනුවෙන් හඳුන්වන ලද්දේ ටුට්සින්ය. ඒ අනුව පණිවුඩය ඉතා පැහැදිලිය.

පෝල් සිය කෘතියෙහිදී වැඩියෙන් ම අසාධාරණයට ලක්වූ ටුට්සින් වෙනුවෙන් පෙනී සිටින බව සැබැවි. එහෙත් ඒ කොන්දේසි විරහිත පෙනී සිටීමක් නොවේ. හුටුවරුන්ට එරෙහිව ටුට්සින් විසින් කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම අන්ත නරුමයන් සේ පෙනී සිටි මිනිසුන් අතර ඉතා විරල ව දක්නට ලැබුණු සුබවාදී නිමේෂ ද මතුකර දක්වන්නට ඔහු උත්සුක වෙයි. ඒ සියල්ලේ මුඛ්‍ය අරමුණ අන්කිසිවක් නොව යළි මෙවන් ඛේදවාචකයක් නොවනු පිණිස අනාගතය සකස් කිරීමයි.

පෝල් රුසෙසබාගිනා තමන් ගැන පවසන මේ වදන් වාර්ගික අසමගිකම්වල ගිනි පුළිඟු දැල්වීමට අවස්ථාව එනතුරු සෑම ජනවර්ගයක් තුළ ම කල් බලනා පිරිස් මෙන්ම අසීරු අවස්ථාවල නිහඬ වන්නා වූ යහපත් යැයි කියනා මිනිසුන්ගේ ද අවධානයට ලක්විය යුතුය.

‘වර්ග සංහාරය අතරතුරදී සිදුවූ දේ මා අනපේක්ෂිත ලෙස ගිනි ගොඩක් මැදට වැටුණාක් බඳු සිදුවීමක් වූ නමුත් ඒ කාලයේදීද මගේ කාර්යභාරය වෙනස් නොවීය. මා භාවිත කළේ සාමාන්‍ය සහ යහපත් සිහිකල්පනාවෙන් හෙබි මිනිසුන් භාවිත කරන්නේ යයි මා සිතූ වචන පමණකි; මා ඉටු කළේ සුවිශේෂ නොවූ කාර්යයකි. ඕනෑම කෙනකු විසින් කරනු ඇතැයි මා සිතූ පරිදි මම සාහසික ක්‍රියාවන්ට එරෙහි වීමි. එහෙත් බොහෝ දෙනකු එසේ නොකිරීම මා තුළ තවමත් විමතිය දනවයි.’

මේ කෘතිය කල් පසුවී හෝ සිංහලෙන් කියවන පාඨකයා අතට පත්වීම ඉතා අගනා දෙයක් බව මෙහිලා සටහන් කළ යුතුය. එසේම ස්වකීය පළමු පරිවර්තන කාර්යයට මෙවන් වැදගත් කෘතියක් තෝරා ගැනීම මෙන්ම එහිලා පරිවර්තකයකු ලෙස අත්කරගෙන ඇති සාර්ථකත්වය ද සම්බන්ධයෙන් සමන්ත පතිරණ ඇගයුමට ලක් කළ යුතු ම ය. අප සිටින්නේ යහපත් යැයි කියනා බොහෝ අය නිහඬ වන වර්තමානයක බව පැහැදිලි ය. පෝල් රුසෙසබාගිනා වැනි අදිටන් සහගත මිනිස්සු අපට එසේ නොවී සිටීමට හැකි බව භාවිතයෙන් ඔප්පු කරති. අපට මේ කෘතිය වැදගත් වන්නේ ඒ අරුතිනි.

අදහස්