හත්ඡි කුච්ඡි විහාරය පිළිබඳ විශිෂ්ට අධ්‍යයනයක් | සිළුමිණ

හත්ඡි කුච්ඡි විහාරය පිළිබඳ විශිෂ්ට අධ්‍යයනයක්

කර්තෘ:- මහාචාර්ය ආරියගමුව

ප්‍රකාශනය :- ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය - අනුරාධපුරය

රටක සමාජ, දේශපාලන, සංස්කෘතික ඉතිහාසය යනු එම සමාජයේ පදනම උරුමය පිළිබඳ ගවේෂණයේ පදනම වන්නේය. ඉතිහාසය, සංස්කෘතික උරුමය නූතන පරම්පරාවන් සඳහා සමාජමය මුල්, පදනම් සකස් කරන්නේය. ලෝකයේ වර්තමාන වන විට ඩිජිටල් තාක්ෂණ යුගයක් පිළිබඳ සාකච්ඡාව ඉතා පුළුල් මට්ටමින් කෙරෙන්නේ ඒ පිළිබඳ විවිධ අත්හදා බැලීම් හා ක්‍රියාමාර්ග සමඟ ම ය. මේ වඩාත් පසුකාරක ජීවිතය ‍එසේ සැලසුම් වෙද්දී මානවයා තුළින් මානවවාදය, නිදහස, සරල බව හා සැහැල්ලු භාවය බිඳ වැටෙමින් පවතීද? මේ සඳහා ගත හැකි විකල්ප මොනවාද යන්න විවිධ සමාජ ඇසුරෙන් කතිකාවකට ලක්වෙමින් තිබේ. විශේෂයෙන් සමාජ මනෝ විද්‍යාව, මානව විද්‍යාව හා සෞන්දර්ය කලා විෂය ක්ෂේත්‍ර ඇසුරෙන් මේ පිළිබඳ කතිකාවන් හා අත්හදා බැලීම් සීමිතව යුරෝපයේ හා විවිධ ආසියානු සමාජ ආශ්‍රිතව සිදුවෙමින් පවතී. ලාංකික සමාජය තුළ එවැනි සංවාදයක් තවමත් පුළුල් මට්ටමින් සිදුවන්නේ නැත.

සමාජ, ආර්ථික හා දේශපාලන ක්ෂේත්‍ර‍ෙය් පවත්නාවූ සංකීර්ණත්වයන් හමුවේ. අප සමාජය උරුම ප්‍රාචීනවාදී දැනුම හා අත්දැකීම් ඔස්සේ විකල්ප සෙවීමට වඩා යම් බටහිරවාදී අනුකාරක විසඳුම් සෙවීමට යෑමේ ප්‍රතිවිපාක අපි අත්විඳිමුන් සිටිමු.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරිය ලගමුව විසින් රචිත විශිෂ්ට ගණයේ පර්යේෂණ අධ්‍යයනයක්වූ ‘රාජාංගණ ඓතිහාසික පබ්බත විහාරය සහ සිරි සංඝ බෝධිබෝධි සත්ව’ ග්‍රන්ථය විමසීම සඳහා වූ ප්‍රවණතාවක් ලෙස මම ඉහත සඳහන් කළෙමි. සැබවින්ම ඉවසිලිවන්ත මානව විද්‍යා පර්යේෂණ හා හැදෑරීම් සංස්කෘතියක් අප සමාජය ඉල්ලා සිටින වකවානුවක් බවට අද පත්වී තිබේ.

බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වූයේ කොහේද? ලාංකික සමාජයේ කඳු, හෙල්වැටි ගංගා, තැනිතලා බිම් අතර සිදුහත් උපත සිදුවීද?

මෙවැනි මිථ්‍යාමත, මෙන්ම හිස් සංවාද ශාස්ත්‍රීය වේෂයෙන් සමාජයේ පැතිර යද්දි ඉවසිලිවන්ත දත්ත, කරුණු, මූලාශ්‍රය මත විද්වතුන් සමූහයක පොදුස හභාගීත්වයෙන් කළ අධ්‍යයනයක් කිරීමට ලැබීම හා ඊට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය පුරෝගාමී වීම ලාංකික සමාජයේ ශාස්ත්‍රිය සාහිත්‍ය පෝෂණයේ ලා අගය කළ යුතු කාව්‍යයකි.

ප්‍රධාන අධ්‍යයනය ග්‍රන්ථයට ගොනුවීමේදී සාරගර්භ පරිච්ඡේද හතකින් එය සමන්විත කොට තිබේ.

මෙරට ඓතිහාසික ස්ථාන හා මතප්‍රවාද, ජනශ්‍රැති අධ්‍යයනය කරන විට හත්ථිකුච්ඡි විහාරය, ලෙන් ආශ්‍රිත පවත්නාවූ ප්‍රවාද අතිසමූහයකි.

විශේෂයෙන් ම මෙරට ජන සාහිත්‍යයේ මත සිරිසඟබෝ රජතුමා ඇසුරේ ගොඩ නැඟී ඇති ප්‍රවාදයන් ඉන් කැපී පෙනෙයි. එසේම තවමත් විධිමත් පුරා විද්‍යාත්මක අධ්‍යයනයකට ලක් නොවී ඇති රාජාංගණ හත්ථිකුච්ඡි විහාර සංකීරණය පිළිබඳ ශාස්ත්‍රීයමය වගකීමකින් යුත් පුළුල් අධ්‍යයනයක අවශ්‍යතාවය පැන නැඟී තිබුණි. ඒ අරුතින් ගත් කල පුරාවිද්‍යාව, ‍මානව විද්‍යාව, බෞද්ධ සංස්කෘතිය, ඉතිහාසය, භූ විද්‍යාව වැනි විවිධ විෂයයක විනයකින් යුත් පර්යේෂණ කණ්ඩායමක වෑයමක් ලෙස මේ ග්‍රන්ථ හැඳින්වීම විය හැකිය.

තවමත් පුළුල් අධ්‍යයනයකකට, ගවේෂණයකට ලක් නොමැති රාජාංගණ හත්ථිකුච්ඡි විහාර සංකීර්ණ භූමියේ ඇති සිය ගණනක් වූ සෙල්ලිපි හා විවිධ නටබුන් අතරින් ලෙන් ලිපි හාරදහසකට (4000) අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ. මේවා පිළිබඳ විධිමත් අධ්‍යයනයක් සිදු නොවුවද මූලික අධ්‍යයන මඟින් ‘පූර්ව බ්‍රහ්මී’, මෙන්ම පශ්චාත් බ්‍රහ්මී ලේඛන කලාවන්ට නෑකම් කියන ලේඛන සමූහයක් සොයාගෙන තිබේ.

ක්‍රි.ව. 4 - 8 අතර දිගුකාලයක ඉතා සශ්‍රික, භික්ෂූන්වහන්සේලා වාසය කළ ඉතා දියුණු ශිෂ්ටාචාරයකට අයත් ආගමික ස්ථානයක් බවට සාක්ෂි මෙම සෙල්ලිපි ඇසුරෙන් සන්නිවේදනය වෙයි.

ශ්‍රී ලාංකික ආරාම සංස්කෘතිය වැඩීම සමඟ භූ දර්ශන විද්‍යාව වර්ධනය වූ ආකාරය හඳුනාගත හැකිය. විසල් හත්ඡි කුච්ඡි විහාරය සංකීර්ණය තුළ දැකිය හැකි ආරාම, ථූපාරාමයන්, බුදුපිළිම, විහාර මන්දිරය, විශ්‍රාම ශාලා මෙන්ම භාවනානුයෝගී භික්ෂූන්ට උචිත පරිදි භූ දර්පණ විද්‍යා ලක්ෂණ හඳුනාගත හැකිය. සරල චාම්, බවුන් වඩන භික්ෂූන්ට උචිත පරිදි ජලය, වනය හා ගොඩනැගිලි සමතුලිත කරමින් කෙරෙන භූ දර්ශන හා ගෘහ නිර්මාණමය ලක්ෂණ හඳුනා ගැනීමට හා අගය කිරීමට පර්යේෂකයින් උනන්දුවී තිබේ. මෙම සමතුලිත පරිසර සාධක හත්ඡි කුච්ඡි තුළින් හඳුනාගැනීමට හා හඳුන්වා දීමට දරන වෑයම කැපී පෙනෙයි.

ලොව ඉපැරණි තම සැදැහැවන්ත නිර්මාණය ලෙස සැලකෙන අනුරපුර මහමෙව්නාව ගොඩනැඟීමෙන් පසු මෙරට භූමියේ ඉදිවන මෙවැනිම නිශ්චිත හා ගෘහනිර්මාණමය ඉදිකිරීම් සීගිරිය, සිතුල්පව්ව වැනි සුවිසාල ඉදිකිරීම් සිදුවීමෙන් පෙනෙන්නේ ලාංකික අතීත සමාජ සංස්කෘතිය තුළ ඉතා දියුණු පරිසර හිතකාමී, මෙන් ම තිරසර වාදි දර්ශනයක් බුදුසමය පදනම් කොටගෙන සමාජගත කර තිබුණු ආකාරයයි.

පර්යේෂණයේදි ඉතා සවිස්තරාත්මකව නිදර්ශන දක්වමින් හත්ඡි කුච්ඡි විහාර සංකීර්ණය තුළ ඉදිකර තිබී දැනට නටබුන් බවට පත්ව ඇති. වෙහෙර, විහාර, මුරගල, පිවිසුම් මඟ, සඳකඩපහණ, විවිධ මුරගල් ආශ්‍රිත කැටයම් නිර්මාණ. රමණීය ස්වාභාවික පිහිටීම් එලෙස රැක ගනිමින් ඉදිකළ විවිධ කුටි, ආරාම, උපෝසථාගාර, පිළිම ගෙවල්, මණ්ඩප, වටදාගෙවල්, ප්‍රථමාක්ෂර, ප්‍රාසාද, ධර්මශාලා පිළිබඳ කරුණු දක්වා තිබේ. මෙමඟින් හෙළිදරව් කෙරෙන්නේ ඉතා දියුණු ශිෂ්ටාචාරයක ක්‍රමවත් සැලැස්මක් මත මෙම විහාර සංකීර්ණය ඉදිකළ ආකාරයයි. අක්කර 300කට අධික බිමක භූමිය අවශ්‍යතාවන් සිරිලන ලෙස කළමනාකරණය කරන්නේ කෙසේද? හත්ඡිි කුච්ඡි විහාරය ඊට දක්වන කදිම නිදසුන සවිස්තරාත්මකව ඉදිරිපත් කර තිබේ.

අධ්‍යයනයේ වඩාත් සුවිශේෂි හා සිත්ගත් ක්ෂේත්‍රය ලෙස මා හඳුනාගත්තේ මෙරට ජනාසාහිත්‍ය පුරා මහත් බලපෑමක් කළ ‘සිරිස‍ඟබෝ රාජ පුවත හා අත්තනගල්ල’ පිළිබඳ ප්‍රවාදය දත්ත කරුණු මත ඉවසිලිවන්ත ලෙස මහාචාර්ය ලගමුව විවරණය කිරීමට දරන ලද වෑයමයි.

කුමාරතුංග මුනිදාසයන් මයුර සංදේශයට විවරණයක් සපයමින් එහි මයුරා ගමන් ගන්නා ගමන් මඟ සඳහන් අත්තනගල්ල විහාරය හා පාලියෙන් සඳහන් වන ‘හත්ථ වත ගල්ල’ යෙදුම සිංහලයට අත්තනගල්ල ලෙස විවරණය වූයේ කෙසේද? යන ශාස්ත්‍රීය විවාදයට මහාචාර්ය ලගමුව මැදිහත්වන්නේ ඒ මතවාද ද මතු කරමින් ඊට පෙරළා පිළිතුරු දෙමිනි.

මෙහිදී ශාස්ත්‍රීය වශයෙන් ලියැවී ඇති පොතපත ලේඛන ඇසුරින් විද්වතුන් දක්වන අදහස්වලට අමතරව රාජාංගණය, මහගල්කඩමල, ගල්ගමුව ප්‍රදේශවල පැතිර ඇති ජනප්‍රවාද, පුරාවෘත පිළිබඳවද පර්යේෂකයා ඉවසිලිවන්තව සිය මතවාදය තහවුරු කිරීමට අදහස් දක්වා තිබේ.

මෙහිදී පර්යේෂකයා මහාචාර්ය ගුණපාල මලලසේකරයන්ගේ අදහස්, මහාචාර්ය විමල් විජේරත්නයන්ගේ අදහස් මෙන්ම ඓතිහාසික ලේඛන වූ මහාවංශය, වංසත්ථපකාසිනිය, පාලි හත්ථවත ගල්ල විහාරවංශය හා පූජාවලිය ඇසුරින් සිරිසඟබෝ රාජ පුරාවෘත්තය හා තුලනය කරමින් විමර්ශනය කරයි.

මෙහිදී ශාස්ත්‍රීය පර්යේෂණයක තිබිය යුතු ඉවසිලිවන්ත බව හා විවිධ මතවාදයන් කෙරෙහි දක්වන විචාරශීලී භාවය මෙම අධ්‍යයනයේ කැපී පෙනෙන ගුණය ලෙස සැලකිය හැකිය.

සෑම මතවාදයක් කෙරෙහිම ගෞරවයක් දක්වමින් නැවත නැවත ඒවා විමසමින් මහාචාර්ය ලගමුව සිය පර්යේෂණ උපකල්පනය සාධනය කිරීමට උත්සාහ ගෙන තිබේ.

මෙරට ජනප්‍රවාද හා විද්වතුන් අතර පුළුල් කතිකාවක් හා සංවාදයක් ගොඩනඟමින් හත්ඡි කුච්ඡි විහාරය පිළිබඳ යම් විශිෂ්ට ප්‍රාමාණික අධ්‍යයනයක් ලෙස මෙම පර්යේෂණ අධ්‍යයන ග්‍රන්ථය හැඳින්විය හැකිය.

එහිලා පුරෝගාමීත්වය ගත් මහාචාර්ය ආරිය ලගමුවන්ගේ සේවාව මෙන් ම එම පර්යේෂණ කණ්ඩායමේ වෑයම අගය කළ යුතුය. මෙරට විශ්වවිද්‍යාල සංස්කෘතිය තුළ මෙවැනි දේශීය ජන සමාජයේ පැවැත්ම අභිවෘද්ධිය මෙන්ම ආගමික - ජන සංස්කෘතියේ කතිකාවත් පිළිබඳ විධිමත් අධ්‍යයන මඟින් විසම්මුතික අදහස් පිටුදැකීම සඳහා මෙවැනි විද්‍යාත්මක අධ්‍ය්‍යන සඳහා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය නායකත්වය දීම විශිෂ්ට ආදර්ශයකි.

මෙවැනි අධ්‍යයන තව තවත් අවශ්‍ය යුගයක ඒ සඳහා ධෛර්ය දෙන මෙවැනි අධ්‍යයනය පාඨක - විචාරක අවධානයට යොමුවිය යුතු යැයි මම සිතමි.

 

Comments