ඊළඟ සැරේ අම්මයි දුවයි එක්ක­ගෙන එන්නම් | Page 2 | සිළුමිණ

ඊළඟ සැරේ අම්මයි දුවයි එක්ක­ගෙන එන්නම්

ලංකාවේ සුන්දර ස්ථාන අතරින් කඩුගන්නාව සංචාරකයන්ගේ සිත් පැහැරගත් තැනකි. යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කඩුගන්නාව ග්‍රාම නිලධාරි වසමේ මෙම රමණීය භූමිභාගය පිහිටා ඇත.

“මචං ලොක්කාට ඩෝසන් කුලුන පෙන්නපං.”

“අනික ඔය විස්තර කියන්න මම දන්නෙ නෑ උඹම කියපං.”

යසස් රථය නතර කරමින් කීවේය. එවකට ලංකාවේ ආණ්ඩුකාරයාව සිටි රොබට් බ්‍රවුන්රිග්ගේ හමුදා නිලධාරියා දැවැන්ත ගල විද ඒ අතරින් මහාමාර්ගය සෑදූ අයුරු නීලක විස්තර කළේය. උසින් අඩි 128ක් වූ ඩෝසන් කුලුන ඝනකම් සිමෙන්තිවලින් සාදා තිබුණි. ඉංජිනේරුවරයකු වූ කැප්ටන් විලියම් ඩෝසන් 1829 මාර්තු 28දා මිය ගොස් ඇත.

මේ ගමන අතිසාර්ථක එකක් වූ බව හැඟී ගියේ නීලක විස්තර කරන අයුරිනි. රාම් මෝහන් තමා පසුපසින් එන ආරක්ෂක නිලධාරි දෙස බැලුවේ නැත.

ඇත්තටම මේ ගමනට සහභාගි විය යුතුව තිබුණේ දූ කුමරිය චම්පාය. එහෙත් කිසි ලෙසකින්වත් එය කළ නොහැකිය. ඇය පවසන්නේ ඇය උපත ලබා ඇත්තේ ගංගාවක් අසබඩ නිවෙසකය. ලංකාව කොතරම් සුන්දර රටක් දැයි හැඟී ගියේ නිල්වන් පරිසරයේ සංචාරය කරද්දීය.

“සර් මෙතැනින් තමයි පේරාදෙණිය යුනිවර්සිටි එකට යන්නෙ.”

“මට කැම්පස් එක බලන්ටත් යන්න ඕනෑ. අපි එන ගමන් යමුද?”

“අපි ඉස්සෙල්ලම දළදා මාළිගාවට යමු.”

මඳ දුරක් යද්දී රාම් මෝහන්ට දුවගෙන් ඇමතුමක් ලැබුණි. ඔහු සිතමින් ගියේ දුව ගැනය. පූර්ව ආත්මභාවය ගැන කතා කරද්දී දළදා වහන්සේ වන්දනා කිරීමට ගිය බව පැවසූ හැටි මතකය. ඇය උගත් මහාමායා බාලිකාවද ඇත්තේ ඒ කිට්ටුවය.

“අප්පා දැන් කොහෙද?”

“දුව මම දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය, මල්වත්ත පහුකරල දළදා මාළිගාවට යන ගමන්.”

“හානේ ඇත්තද?” ඇය සතුටින් යුතුව පිළිතුරු දුන්නාය.

“දුව විශ්වවිද්‍යාලය, බාලිකා විද්‍යාලය, දළදා මාළිගාව ගැන දොස්තර ළඟදී කීවා මතක නැද්ද?”

“මට ඒ කිසිදෙයක් මතක නෑ. සමහරවිට දැක්කොත් මතක් වෙන්ට බැරි නෑ.”

“දුව හොඳට විස්තර ඇතිව කිව්වා. අප්පච්චිට මොරිස්මයිනර් කා එකක් තිබුණා කිව්වා. මහවැලි ගඟ ගාව තව ගෙයක් තිබුණා කිව්වා.”

“දෙවියනේ මම එහෙම කිව්වද?”

“ඊළඟ ගමනකදි අම්මයි දුවවයි එක්කගෙන එන්නම්. ඉන්දියාව වගෙ ලංකාවටත් පෘතුගීසි, ලන්දේසි බලපෑම් සිද්ධ වෙලා. ඉංග්‍රීසින් ලංකාව යටත් කරගෙන ඉඳලා 1948 පෙබරවාරි 04 වැනිදා නිදහස ලැබිලා තියෙනවා.”

රාම් මෝහන් ඔවුන්ගේ භාෂාවෙන් දිගු කතාවක යෙදෙමින් සිටියේය.

“යසස්, ලොක්කා කතා කරන්නෙ දුව එක්ක වගෙයි.”

“මටත් හිතණා. කොහොම හරි කෙල්ලවත් දවසක එක්ක එනවා. අපි ඉස්සෙල්ලා යන්නෙ දළදා මාළිගාවට.”

ක්‍රි.ව. 310දී සිරිමේඝවර්ණ රජ ලංකාව පාලනය කරන සමයේ කාලිංග දේශයේ තැන්පත් කර තිබූ බුදුරජාණන් වහන්සේගේ වම් දළදා වහන්සේ ගුහසිව සහ පඬිරජ අතර වූ යුද්ධයෙන් ආරක්ෂා කිරීමට ලංකාවට ගෙන ආ බව පැවසේ.

ශ්‍රී ලංකාවේ සිදු වූ දැනට සිද්ධ වන හැම කටයුත්තකට ම ඍජුව හෝ වක්‍රව ඉන්දීය බලපෑම් සිදුව ඇති බව නීලක පැවසුවේය. ඉන්දියානු ව්‍යාප්ත වාදය හැම යුගයකදී අපට බලපා ඇති බව නීලක විස්තර කර දුන්නේය.

ලංකාව ඉංග්‍රීසි යටත් විජිතයක් වූ පසු වික්ටෝරියා රැජින අස්ගිරි මල්වතු විහාරද්වයට හා දියවඩන නිලමේ වරුනට දළදා වහන්සේ බාර කර ඇත.

දළදා වහන්සේ රාජ කෞතුක භාණ්ඩයකට වඩා රාජත්වයට බලපෑ උරුමයක් විය. දඹදෙණිය, කුරුණෑගල, ගම්පළ, කෝට්ටේ, කන්ද උඩරට, සීතාවක හැම රජෙක් ම දළදා වහන්සේට උරුමකම් කීමට සටන් කළහ. රාම් මෝහන් හින්දු බැතිමතෙකි. හේ පුද බිමක විනයගරුකව ගෞරව පූර්වකව හැසිරීමට දැන සිටියේය.

සුදු ඇඳුමින් සැරසී සිටි හෙතෙම සමන් මල් වට්ටියක් රැගෙන තේවාව අවසන් වන තෙක් බලා සිටියේය. නීලක මහාරාජා අසලට වී දෑත් බැඳ සිටියේ ඔහු ආරක්ෂා කිරීමට නොලියවුණු අයිතියක් ඇති හෙයිනි. මහාරාජාගේ ආරක්ෂක නිලධාරීන් යැයි සිතෙන අය පසුපසින් එන හැටි නීලක දුටුවේය.

දන්ත ධාතූන් වහන්සේ ‍වන්දනා කළ පසු ඔවුහු යාබදව තිබූ කෞතුකාගාරය නැරඹීමට ගියහ. ඇත්තටම මෙවන් මොහොතක සිටිය යුත්තේ චම්පාය.

“කොහෙද ඉන්නෙ?” කුමරිය ඇසුවාය.

“මම ඉන්නෙ ඔයාලගෙ ගමේ. ගර්ල්ස් කොලේජ් එක පේන දුරක.” නීලක කීවේය.

“මට හිතෙන දකින දේ ඇත්ත නේද? අපි ආත්මයක් පාසා එකට හිටපු කතාව අප්පා දැන් පිළිගන්නවාද?”

“එයාට දැන් මුකුත් කියන්ට බෑ. අනේ ඔයා ආව නම්?”

“ආවොත් යන්න දෙන එකක් නෑ. සීතාට වාගෙ යන්න දෙන එකක් නෑ.”

“මගේ පැතුමත් ඒකයි.”

“මගේ පැතුමත් ඒකයි.”

“ශ්‍රී වික්‍රම රාජසිංහ කියන්නෙ සිංහල රජ කෙනෙක් නෙවේ නේද?”

“ශ්‍රී වික්‍රම රාජසිංහ නායක්කර් වංශික දෙමළ රජ කෙනෙක්. 1798 ඉඳල 1815 දක්වා පාලනය කළා.”

“මට ඉක්මනින් ලංකාවට එන්න වෙයි.”

“ඇයි එහෙම කිව්වෙ. මුකුත් ප්‍රශ්නයක්ද?”

“ඔව් ප්‍රශ්නයක්. ඔයා අප්පාගෙ ආරක්ෂාවට ඇවිදින් ඉන්න අයගෙන් පරිස්සම් වෙන්න.”

“තවත් කට්ටියක් අපි කිට්ටුවෙන් එනවා.”

“ඔයා මේ ගමන දමාගත්ත එක වැරැදියි. ඔයාට ජීවිත හානියක් කරන්නයි ඔය ලෑස්ති වෙන්නෙ.”

“කුමාරි බයවෙන්න එපා. අප්පා එනවා පස්සෙ කතා කරන්නම්.”

ඉන්දියාව ඉංග්‍රීසීන්ට යටත් වූයේ ජාතික අසමගිය නිසාය. ලංකාව මෙන්ම තම රටද පෘතුගීසි, ලන්දේසි, ස්පාඤ්ඤ හා ඉංග්‍රීසින්ට යටත්ව සිටි හැටි මහා රාජා දනී. නිදහසින් පසුව වුවද මහාරාජාවරුන්ගේ බලතල තරමක් දුරට ආරක්ෂා වී තිබිණි.

“1815 උඩරට ගිවිසුමට රදලයෝ අත්සන් කරල තියෙනවා.” මහාරාජා කීවේය.

“ඔව්, සර් මොල්ලිගොඩ, පිළිමතලාවෙ මොනරවිල, දුලෑවෙ මිල්ලෑවෙ, ගලගමු ගලගෙඩ කියන නිලමෙවරු අත්සන් කරල තියෙනවා. සමහර අය අත්සන් කරල තියෙන්නෙ දෙමළෙන්.”

හැම රටකම මෙවන් කුමන්ත්‍රණ තිබීම පිළිබඳ පුදුම විය යුතු නැත. තමා මේ ගමන ආවේ ‍කාටත් රහසිනි. තමාගේ තනතුර කොල්ල කෑමට පවුලේ බාල සහෝදරයන් කුමන්ත්‍රණ කරමින් සිටි බව රාම් මෝහන් දනී. පවුලේ වැඩිමලා සිට මෙම තනතුර දැරීමට නීත්‍යනුකූ අයිතියක් ඇත. එහෙත් ඔවුන් පවසන්නේ තමා මෙය වංචනික ලෙස පැහැර ගත් බවය. මල්ලිලා ඉවසා සිටියත් ඔවුන්ගේ කුමාරිකාවන් සටන අතැර නැත.

“ශ්‍රී වික්‍රම රාජසිංහ 1814 මැයි 17 වැනිදා සතර මහදේවාලයේ වැලිබෝධිය අසලදී මද්දුම බණ්ඩාර කුමාරයාගේ බෙල්ල කපල මැරුවා.” යසස් කීවේය.

ඉන්දියාවේ, මෙවන් දඬුවම් තිබී ඇත. දැන් තමා පැමිණ සිටින්නේ නීලක මරා දැමීමට මිනී මරුවකුට බාර දීමෙන් පසුවය.

“රාජ ද්‍රෝහියකුට දඬුවම් දෙන්න බැරි වුණාට පවුලෙ අයට දඬුවම් දෙන ක්‍රමයක් තිබුණා. ඇහැළේපොළ කුමාරිහාමිගෙ කකුලෙ ගලක් බැඳල බෝගම්බර වැවේ ගිල්වල මැරුවේ ඒකයි.”

 

ලබන සතියට... 

අදහස්