එදා කෝච්චි­යෙන් කොළඹ ආව මම අදත් එන්නේ කෝච්චි­යෙන් | සිළුමිණ

එදා කෝච්චි­යෙන් කොළඹ ආව මම අදත් එන්නේ කෝච්චි­යෙන්

අප්‍රේල් 06 වැනිදා මහ­නු­වර ධර්ම­රාජ විද්‍යා­ල­යේදී

 බොහෝ දෙනෙකු කලාව පටන් ගන්නේ පාසලෙන්. මහින්ද පතිරගේ කලාව පටන් ගන්නෙත් පාසලෙන්ද?

ඇත්තටම මම පාසල් යන කාලයේ ශිෂ්‍ය භට කණ්ඩායමට සම්බන්ධ වෙලා හිටියා. එහිදී යම් යම් රඟපෑම්වල යෙදුණා. ඒත් මහා ලොකු රඟපෑම්වල නම් යෙදිලම නැහැ.

එතකොට මුලින්ම වේදිකාවට ගොඩවෙන්නේ කොහොමද?

අනුරාධපුරේ අපි එකතු වෙලා 1976 වසරේ පිහිටුවා ගත්තා ‘ජන නළු කැල ‘ කියලා කණ්ඩායමක්. ඒ හරහා තමයි වේදිකාවට ගොඩවෙන්න අවස්ථාව ලැබෙන්නේ. එහිදී අනුරාධ රංජිත් නිර්මාණය කළ ‘අරුම නරුම‘ තමයි මගේ මුල්ම වේදිකා නාට්‍යය වුණේ. ඒ සඳහා කුසලතා සහතික පවා හිමි වුණා. ඉන් පස්සේ 1983 දී සුන්නද සිල්වා නිර්මාණය කළ වේදිකා නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් සාම්ප්‍රදායික අංශයෙන් හොඳම නළුවා විදියට යෞවන සම්මාන හිමි කර ගන්න පුළුවන් වුණා.

ඊට පස්සේ මොකද වෙන්නේ?

1979 වසරේදී තමයි රජරට සේවය පටන් ගන්නේ. එහිදි මගේ කල්‍යාණ මිත්‍රයා වන ගුණදාස මධුරසිංහ සහ මට එහි නාට්‍යයක් කරන්න අවස්ථාව හිමි වුණා. එම නාට්‍ය අහපු කොළඹ ගුවන් විදුලියෙන් ඔවුන් නිර්මාණය කරන නාට්‍යයකට එන්න කියලා ආරාධනා ලැබුණා. ඒ අවස්ථාව උදා කර දෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා. අපි බාර වුණේ විනෝද සමයේ දෙවැනි පරම්පරාව විදියට නාට්‍ය කරගෙන යන්නයි.

ප්‍රවීණයන් පිරිසක් කරගෙන ගිය ‘විනෝද සමය‘, ඔබ දෙපළට බාර දුන්නම තිගැස්මක් ඇති වුණේ නැද්ද?

ඇත්තටම එක පැත්තකින් අභියෝගයක් තමයි. හැබැයි අපි කිසිම වෙලාවක ඔවුන්ව අනුකරණය නම් කළේ නැහැ. ඔවුන් ගුරුවරුන් විදියට තියාගෙන අපි දෙන්නා අපි දෙන්න ආවේණික විදියට රඟපෑමේ යෙදුණා.

රූපවාහිනියට සම්බන්ධ වෙන්නේ කොහොමද?

ගුවන්විදුලිය ඉදිරිපිටනේ රූපවාහිනියත් පිහිටා තිබෙන්නේ. අපි කළ නාට්‍ය බලන්න එහි අය ඇවිත් තමයි ජාතික රූපවාහිනියේ ‘සිනා සාගරේ‘ කරන්න අවස්ථාව උදා වුණේ. දැන් ඉන්න අය වගේ අපි එක රැයෙන් ජනප්‍රිය වුණ අය නෙවෙයි. අවුරුදු විස්සකට පස්සේ තමයි රූපවාහිනියකින් මිනිස්සුන්ට අපිව දකින්න ලැබුණේ.

තමන්ගේ රංගනයක් මුලින්ම රූපවාහිනියෙන් දකිනකොට මොකද හිතුණේ?

අපි එය රඟපෑවට පස්සේ එක්කගෙන ගිහින් ඒ රඟපෑ දේවල් රූගත කළ දේ පෙන්නුවා. සත්තයි කියන්නේ සතුට වැඩිකමට ඇස් දෙකට කඳුළු ආවා.

මහින්ද පතිරගේ රඟපෑමට විතරක් නෙවෙයි චිත්‍ර ශිල්පියකු ලෙසත් ප්‍රසිද්ධයි නේද?

අපේ තාත්තා පින්තූර රාමු කරන ව්‍යාපාරයක් තමයි කරගෙන ගියේ. මට අවුරුදු 16 දි විතර තාත්තා මිය ගියා. ඒ වෙනකොට පවුලේ 11 දෙනෙක්. අයියල තාත්තාගේ ව්‍යාපාරය කරගෙන යන්න ඒ තරම් කැමැත්තක් දැක්කුවේ නැහැ. ඒ නිසා පවුලේ බර කරට ගන්න වුණේ මට. මම සාමාන්‍ය පෙළින් පාසල් ගමන අවසන් කරලා තාත්තගේ ව්‍යාපාරය කරගෙන ගියා. ඒත් ඒක කරගෙන යන්න සල්ලි තිබුණේ නැහැ. ඒ වේලාවේ මට හිතුණා මගේ චිත්‍ර ඇඳීමේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා. ඒ කාලේ අනුරාධපුරේ තිබුණා විජේන්ද්‍ර කියලා සිනමා ශාලාවක්. එහි අයිති මහත්තය බැඳලා හිටියේ සිංහල නෝනා කෙනෙක්. ඔවුන්ගේ පුතා මගේ යාළුවෙක්. එහි ප්‍රතිපලයක් විදියට එහි ෆිල්ම් එකක කටවුට් එක අඳින්න ලැබුණා. මාව දැක්කම කවුරුවත් හිතුවේ නැහැ මට අඳින්න පුළුවන් කියලා. අවසානේ එහි තිබුණ විජේන්ද්‍ර, නිව් විජේන්ද්‍ර සහ සිත්තම්පලම් කියන සිනමා ශාලා තුනේම චිත්‍ර අඳින්න අවස්ථාව ලැබුණා.

පස්සේ ඒ ව්‍යාපාරයට කණකොකා හඬන්න ගන්නවා නේද?

ඩිජිටල් තාක්ෂණය ඒමත් එක්ක තමයි එය වුණේ. අපි දවස් ගණන් අතින් අඳින දේ විනාඩි ගානෙන් එළියට ආව. හැබැයි එකෙන් වුණේ මහින්ද පතිරගේ ඇඟ ඇතුළේ හිටිය නළුවා එළියට ආවා.

රාජ සභාව ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් කිව්වොත්?

අපේ රඟපෑම් දැකලා තමයි රාජ සභාව කරන්න ආරාධනා ලැබුණේ. කැමරා තුනක් එහෙම දාලා සජීවීව තමයි කළේ. මේ නාට්‍යයේ ගොඩක් දේවල් අපි දෙන්නා කතා කරගත්තේ පුරුදු වුණේ කෝච්චියේ එනගමන්.

දෙපිට කැපෙන කතා නොකියා හාස්‍ය රඟනයෙ යෙදෙන්න බැරිද?

අපිත් දෙපිට කැපෙන කතා කියනවා. ඒත් කවදාවත් එයින් කාටවත් හානියක් වෙන විදියට නම් කියලා නැහැ.

ඔබට පුළුවන් හාස්‍ය රංගනය විතරද?

රාජ සභාවේදි අපි පෙන්නුවා හාස්‍යය විතරක් නෙවෙයි ඕනෑම දෙයක් රඟපාන්න පුළුවන් කියන දේ. අති වේගවත් රංගනය වෙනුවට මන්දගාමී රංගනයේ යෙදෙන්න අපිට පුළුවන් වුණා. වෙලා තියෙන්නේ තාමත් ලැබෙන්නෙම හාස්‍ය හා සම්බන්ධ චරිතයි.

# අලුත් වැඩකට අතගහලා නේද?

මම මීට කලින් වේදිකා නාට්‍ය තුනක් කරලා තිබෙනවා. ‘කෝරලේ මහත්තයා, කලියුග කෝලං සහ සක්‍ර භවන‘ කියලා. අලුත්ම නාට්‍ය තමයි ‘අල්ලයි වල්ගේ‘ මෙහි රචනය, අධ්‍යක්ෂණ්‍ය වගේම නිෂ්පාදනයත් මගේමයි.

# ‘අල්ලයි වල්ගේ‘ නාට්‍යයෙන් සමාජයට දෙන පණිවුඩය මොකක්ද?

මෙය අතීතය, වර්තමානය සහ අනාගතය යන කාල තුන පදනම් කරගෙන එම කාලවලදි රටේ ආර්ථිකය, දේශපාලනය, සමාජයීය හැසිරීම තමයි පෙන්නුම් කරන්නේ. මෙහි හතර දෙනයි රඟපාන්නේ. හැබැයි චරිත හතක් තිබෙනවා.

එහි චරිත ගැනත් කියමු බලන්න?

මම මෙහි මාස්ටර් සර්ගේ චරිතය තමයි කරන්නේ. ඊට අමතරව එරික් අබේවර්ධන, කේප්ප සුමනේ සහ ඩයිනෝසර්ලේ චරිත කරනවා. මෙහි මගේ නෝනා විදියට රඟපාන්නේ ධනුෂ්කා ජයරත්න. ඇය එම චරිතයට අමතරව වඟුරී නමින් ආදීවාසී චරිතයක් කරනවා. ජනක රණසිංහ නවරා නමින් ආදීවාසී චරිතයක් වගේම රොබෝ ගේ චරිතය කරනවා. මෙහි සංගීතය ප්‍රියන්ත ගමගේ, ගී තනු සහ ගායනය කුමුදිනී ගුණවර්ධනගෙන්.

කොහොමද පවුලේ තොරතුරු?

මගේ බිරිය කුමුදිනී ගුණවර්ධන. අපි විවාහ වුණේ පාසල් කාලයේ ඇති කරගත් ප්‍රේමයකට අනුවයි. ඇය ගායන විශාරදවරියක්. මට දරුවෝ දෙන්නයි. ලොකු දුව නිපුනි ශාරදා පතිරගේ ඇය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක විදියට සේවය කරනවා. පුතා නඳුන් නිසංක පතිරගේ. ඔහු 3D ඇනිමේටර්වරයෙක් විදියට සේවය කරනවා.

දරුවෝ කලාවට සම්බන්ධ නැද්ද?

දුව කුඩා කාලයේම කාලාවට සම්බන්ධ වුණා. සින්තටික් සිනය කියන නාට්‍යයේ පුංචි යාළු තාරකාව ගීතය ගයමින් රඟපාන්නේ ඇයයි. මීට අමතරව ජයලත් මනෝරත්න මහත්මයගේ නාට්‍යයක ප්‍රධාන චරිතය කරනවා. මේ දවස්වල ඕස්ට්‍රේලියානු නිර්මාණය සඳහා ඒ රටේ පුහුණුවීමවල යෙදමින් ඉන්නවා.

එදා අනුරාධපුරෙන් කෝච්චියේ නැඟලා ආව මහින්ද පතිරගේද තවමත් මිනිසුන් අතර ඉන්නේ?

මෙහිදී එකක් කිව යුතුයි. ඒ එදා මාත් එක්ක ආව ගුණදාස මධුරසිංහ අද අසනීපෙන් ඉන්නේ. ඒකෙන් මගේ කපල් එක කැඩිලා. එය මට ලොකු පාඩුවක්. මේ මොහොතේ එතුමාව ආදරෙන් මතක් කරනවා. ඔබ ඇහුව ප්‍රශ්නයට පිළිතුර තමයි. අපි රසිකයෝ නිසයි මේ තැන ඉන්නේ. එදා කෝච්චියෙන් ආව මහින්ද පතිරගේ අදත් කොළඹ එන්නේ කෝච්චියෙන්මයි. ඊට එහා මම දන්නේ නැහැ මම මොනවගේ කෙනෙක්ද කියන්න. එයින් රසිකයෝ මම කවුද කියනදේ අවබෝධ කරගනීවි කියලා මම හිතනවා.

 

අදහස්