ගාමිණී පතිරණ කලා දිවියේ වසර 35 සපුරයි | සිළුමිණ

ගාමිණී පතිරණ කලා දිවියේ වසර 35 සපුරයි

ගාමිණී ගීසර ප්‍රසංගය 28 වැනිදා කොළඹදී

ගුවන් විදුලි ගායන ශිල්පියකු හා සංගීත අධ්‍යක්ෂවරයකු වන ගාමිණී පතිරණ කලාකරුවාගේ කලා ජිවිතයට තිස් වසරක් පිරීම නිමිත්තෙන් ගී ප්‍රසංගයක්‘ ගාමීණී ගී සර, නමින් ලබන 28 වැනිදා ප.ව. 1.00 මාර්ග සංවර්ධන අධිකාරියේ එළිමහන් පරිශ්‍රයේදී ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මේ සඳහා ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් ප්‍රමුඛ කලාකරුවන් සහභාගී වන අතර ගාමීණි පතිරණ කලාකරුවා විසින් අතහිත දුන් අධිකාරියේ කලාකරුවන්ද එදිනට සහභාගී විමට නියමිතය. ප්‍රසංගය සංගීතවත් කරනු ලබන්නේ රිදම්ස් වාදක මණ්ඩලයයි. විදුලි ඕගනය ගාමිණී පෙරේරා දායක වන අතර ප්‍රියන්ත විජේසිංහ සමග නන්දන උඩුවිල කථනයෙන් දායක වේ. ඔහු ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාල කලාකරුවාගේ වියෝවෙන් පසු ප්‍රේමදාස මැතිතුමාගේ උදාගම්, ගම් උදා ඇඟලුම් කම්හල් වේදිකාවල ගීත ගායනා කිරීමෙන් ජනතා ප්‍රසාදයට පත් විය. ඔහු ගායනා කළ සෙනෙහස ඔබගේ කෙලෙස පතන්නද, සමන් චන්ද්‍රනාත් වීරසිංහ ලියූ ඔබ ආදරෙන් මගෙන්, ආචාර්ය අජන්තා රණසිංහ ලියූ ඔබට නැනිදෝ දැනෙන්නේ, ආනන්ද පද්මසිරි ලියූ ජිවිතේ ගෙවෙයි පාරේ සහ ඒරානන්ද හෙට්ටිආරචිචි ලියූ සුන්දර දවසක වැනි ගීත රසික ආදරයට ලක් විය. ඔහු විසින් තනු නිර්මාණය කළ ගීත අතර විශාරද නිර්මලා රණතුංග ගායනා කළ පෙම්පත් පුරා, ලතා වල්පොළ ගායනා කරන නිල් සාගරේ, ඇන්ජලින් ගුණතිලක ගායනා කරනු ලබන කඳුළු දුක් ජීවිතේ, උරේෂා ගායනා කරන පෙම්මල් තටාකේ, වැනි ගීත සංගීත ක්ෂේත්‍රෙයේ ජනප්‍රියත්වයට පත්ව තිබේ. ඊට අමතරව ඔහු දරුවන් වෙනුවන් බොරැල්ල සහ මාළිගාවත්ත විහාරස්ථානයේ සිය දැනුම ලබා දෙමින් අගනා සේවයක් සිදු කරයි.

සමන්ති


ප්‍රවීණ රංගන ශිල්පිනී සඳසීලී කලාභූෂණ සම්මාන ලබයි

විශිෂ්ට වූ රංගන කුසලතාවෙන් පරිපූර්ණ ප්‍රවීණ රංගන වේදිනයක වන සඳසීලී ප්‍රනාන්දු මහත්මිය පසුගියදා සංස්කෘතික කටයුතු දෙපාර්තුමෙන්තුව විසින් පැවැත්වූ රාජ්‍ය සම්මාන උත්සවයේදී 2018 වර්ෂය වෙනුවෙන් කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.

කොළඹ උපත ලබා මහනුවර ගැටඹේ සහ දෙහිවල බුද්ධ‍‍ඝෝෂ විද්‍යාලයෙන් සිප්සතර හැදැරූ ඇය මහජන බැංකුවේ වසර තිස් දෙකක් රහස්‍ය ලේකම් තනතුර හොබවා මේ වනවිට විශ්‍රාම සුවයෙන් පසුවෙයි‍.

ශ්‍රී වික්‍රම රාජසිංහ හා වීදිය බණ්ඩාර යන වේදිකා නාට්‍යවලින් රංගනයට අවතිර්ණ වූ මෙතුමිය පාසල් වේදිකාවේ සිය රංගන හැකියාව පෙන්වූ ශිල්පිනියකි. 1960 වසරේදී ගුවන් විදුලියේ ළමාපිටිය, බෝසත් ළමා ළපටියෝ ආදී වැඩසටහන් සඳහා රංගනයෙන් හා ගායනයෙන් දායකත්වය සැපයූ ඇය තඹපාට හැන්දැව ටෙලි නාට්‍යයෙහි ප්‍රධාන චරිතයට පණ පෙවීය.

එපමණක් නොව මාතානන්දය, ධර්මාධිකරණය ඇතුළු කතාංග හතරකින්ද සමණලී, සූර්ය කුසුම, නාඩගම් ආදී ටෙලි නාට්‍ය රැසකින්ද සිය රංගන ප්‍රතිභාව පෙන්වීය. එපමණක් නොව බැංකු සේවක කලා කවයේ උප‍ලේකම් තනතුරද හොබවමින් මහජන බැංකුව සංවිධානය කළ අමරදේව අඩපැය, නිකාඩෝ අඩපැය වැනි වැඩ සටහන්වල විවිධ චරිත සඳහා සිය රංගන දායකත්වය ලබා දුන්නාය.

ගායනයේද දක්ෂතා ඇති මෙතුමිය ළමා වියේ සිටම තමා සතු දක්ෂතා වෙනුවෙන් ඇගයීමට ලක්වූ අතර සමාජීය කටයුතු වලටද සහභාගී වෙමින් සම්මානයන්ට හා ගෞරව බහුමානයන්ට ලක්වූ කලාකාරිනියකි.


එඩ්වඩ් - චරිතා - චන්දීප ‘නෙතුදැහැන්’ අද (24) දා මහරගම යොවුන් රඟහලට

විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද චරිතා ප්‍රියදර්ශනී පිරිස් සමග යොවුන් පරපුරේ සංගීත ශිල්පී සිය පුතු චන්දිප ජයකොඩි එක්ව ඉදිරිපත් කරන නවතම ත්‍රි පුද්ගල ආදර ගී දැහැන නැරඹීමේ අවස්ථාවක් ආදරණීය රසික රසිකාවන් වෙත උදාවෙයි. මෙම ප්‍රසංගය නම්කර ඇත්තේ “නෙතු දැහැන් - ආදර ගී ප්‍රසංගය” යනුවෙනි. 2019 මාර්තු 24 ඉරිදා මහරගම යොවුන් රඟහලේ දී සවස 6.30 ට පැවැත්වෙන නෙතු දැහැන් ප්‍රසංග ඇමතුමෙන් විචිත්‍රවත් කරනු ලබන්නේ ජනප්‍රිය රූපවාහිනී නිවේදක මහේෂ් නිශ්ශංක විසිනි. සංගීත අධ්‍යක්ෂණය විශාරද සම්පත් ශ්‍රී චමින්ද ගෙනි. එඩ්වඩ් - චරිතා ගැයූ හදා හද රැඳි ආදර ගී රැසකින්ද චන්දීපගේ යොවුන් ගායන අංග කීපයකින්ද නෙතු දැහැන් රසවත් වේ.

නුගේගොඩ ව්‍යාපාරික හා වෘත්තිකයන්ගේ එකමුතුව මෙම නෙතු දැහැන් - ආදර ගී ප්‍රසංගය සංවිධානය කරයි.


සඳකඩපහණ 30 දා ගම්පහ සිරිකුරුස විද්‍යාලයේදී

ගම්පහ ශ්‍රී බෝධි ප්‍රාථමික විද්‍යාලයේ අභිවෘද්ධිය උදෙසා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් පවත්වනු ලබන සුනිල් එදිරිසිංහ ශූරීන්ගේ “සඳකඩපහණ” ගී ප්‍රසංගය ලබන සෙනසුරාදා (මාර්තු 30) ගම්පහ සිරිකුරුස විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

ගී රසවින්දනයට කැමැති ඔබ සැමට ආරාධනා.


කෝඩුකාර නාට්‍ය උලෙළ 2019 කැලණිය විශ්වවිද්‍යාලයේදී

කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය සමඟ Academic Players නාට්‍ය සංගමය විසින් පවත්වන කෝඩුකාර නාට්‍ය උලෙළ හෙට (25) සිට අප්‍රේල් 02 වැනිදා දක්වා කැලණිය විශ්වවිද්‍යාලයීය පරිශ්‍ර යේදී පැවැත්වේ.

ඒ අනුව හෙට (25) සහ අනිද්දා (26) පස්වරු 3.30ට සහ 6.30ට ප්‍රියංකර රත්නායක, සංජීව ගුණරත්න සහ අසංක කෝදාගොඩ අධ්‍යක්ෂණය කළ ‘Killer අපේ වීරයා‘ නාට්‍යය ශ්‍රී ධර්මාලෝක ශාලාවේද, ලබන 27 සහ 28 දිනවල පස්වරු 6.30ට හර්ෂිකා රත්නායක අධ්‍යක්ෂණය කළ ‘සන්නි‘ නාට්‍යය මී අඹ සෙවණ පරිශ්‍රයේදී ද 29 වැනිදා පස්වරු 3.30ට සහ 6.30ට අකලංකා පිටවල අධ්‍යක්ෂණය කළ ‘සංචාරක කෝකිලාව‘ නාට්‍යය ශ්‍රී ධර්මාලෝක ශාලාවේදීද, අප්‍රේල් 01 සහ 02 වැනිදිනවල පස්වරු 3.30ට සහ 6.30ට ‘නොමියෙන ගැහැනු‘ නාට්‍යය ශ්‍රී ධර්මාලෝක ශාලාවේදීද වේදිකාගතවේ.


සුසර ගී අද කුමාරතුංග මැදිරියේදී

මීට වසර 10 කට පෙර ප්‍රවීණ කලාකරු සුසන්ත ප්‍රියදර්ශන විසින් ආරම්භ කළ සුසර කේන්ද්‍රයෙන් සංගීතය හැදෑරූ සිසු සිසුවියන්ගේ ගායනා ඇතුළත් ගී ප්‍රසංගයක් මාර්තු මස 24 වැනිදා සවස 5.00 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදී පැවැත්වේ. වයස අවුරුදු 18 - 78 පසුවන ශිල්පීන් ශිල්පිනියන් ගණනාවක්ම තම හැකියාවන් ඉදිරිපත් කරන මෙම ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ගීත කෝකිලා ලතා වල්පොල මහත්මිය සහභාගී වන අතර සංගීත ශිල්පී මර්වින් ප්‍රියන්ත විසින් සංගීතය මෙහෙයවීමට නියමිතය.


සිනමා කතිකාවත 27 වැනිදා කොළඹ මහවැලි කේන්ද්‍රයේදී

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිනී අනූෂා ගෝකුල මහත්මියගේ උපදේශකත්වය යටතේ චිත්‍රපට සංස්ථා සිනමා සංස්කෘතික අංශය, සිනමා ප්‍රේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීම හා සිනමා සංස්කෘතිය පෝෂණය කිරීමේ අරමුණින් සංවිධානය කරන සිනමා කතිකාවත දෙවැනි වැඩසටහන ලබන 27 වැනි බදාදා පස්වරු 2.45ට කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වේ. ‘21 වැනි සියවසේ සිනමාව ‘මෙවර මාතෘකාව වන අතර දේශකය වන්නේ ආචාර්ය සුනිල් රණසිංහ මහතාය. මේ සිනමා කතිකාවත සිනමා අධ්‍යයන ක්ෂේත්‍රයේ යෙදී සිටින පාර්ශ්වයන්, සිනමා රසික රසිකාවන්, චිත්‍රපට විචාරකයන් සඳහා වඩාත් හරවත් දේශනයක් වනු ඇත.


හන්තානට පායන සඳ 29 ගල්නෑවේදී...

ගල්නෑව ප්‍රාථමික විදුහලේ ඉදිවෙමින් පවතින ක්‍රීඩාගාරයේ ඉතිරි වැඩකටයුතු සදහා ආධාර ලබාගැනීමේ අරමුණින් ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ප්‍රවීණ ගීත රචක සහ විචාරක ධම්මික බණ්ඩාරගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය හන්තානට පායන සඳ මේ මස 29 වන දින ගල්නෑව ප්‍රාෙද්ශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

 

Comments