තම­න්ගේම ආරෙට සංගීත රටා­ මුසු කරන මිනු­ව­න්ගොඩ ‘සෝලෝ රයිඩ්’ | සිළුමිණ

තම­න්ගේම ආරෙට සංගීත රටා­ මුසු කරන මිනු­ව­න්ගොඩ ‘සෝලෝ රයිඩ්’

මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයට දිනෙන් දින නව වෙනස්කම් සිදු කරන සංගීත කණ්ඩායමක් ලෙස මිනුවන්ගොඩ සෝලෝ රයිඩ් හඳුන්වා දිය හැකියි. තමන්ගේම ආරක සංගීත රටාවන් මුසු කරමින් නව ගමනක් යමින් සිටින ඔවුන් අපි මෙවර BAND OF THE WEEK සමඟ කතාබහට එක්කර ගත්තෙමු.

 

මුලින්ම ඔබ කවුරුද කියලා හඳුන්වා දෙමු?

මිනුවන්ගොඩ සෝලෝ රයිඩ් කණ්ඩායමේ නායකයා. මගේ නම විරාජ් රණසිංහ.

එතකොට අධ්‍යාපනය හැදෑරුවේ?

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ.

පාසල් යන කාලේමද සංගීතයට නැඹුරු වුණේ?

පාසල් කාලයේදිම තමයි සංගීතයට නැඹුරු වුණේ. වයස අවුරුදු අටේ ඉඳන් එඩ්වඩ් ජයකොඩි සර් ගාව ගායනය ඉගෙන ගත්තා.

ඒ තරම් පුංචි කාලේම ඇයි සංගීතයට යොමු වුණේ?

මම හිතන්නේ සහජයෙන්ම ගායනය කියන දේ මට පිහිටලා තිබුණා. ඒ නිසා කුඩා කාලයේදීම සංගීතය පැත්තට යොමු වෙන්න හිතෙන්න ඇති. ඒ සඳහා ගෙදරිනුත් හොඳ සහයෝගයක් ලැබුණා.

පුංචි කාලෙම ගායනය පටන් ගත්ත නම් දැන් ඔබේම ගීත ඇති?

ඔව්. මේ වෙන කොට මගේම ගීත හතරක් තිබෙනවා. මුල්ම එක ‘මල් යායක‘ මෙය ලියුවේ වසන්ත කුමාර කොබවක, සංගීතය ‍ෙරාෂාන් ප්‍රනාන්දු, දෙවැනි එක ‘ආදරය අරන්‘ නීතිඥ දායානන්ද රත්නායක ලියුවේ, සංගීතය ෙරාෂාන් ප්‍රනාන්දු, තුන්වැනි එක ‘මල්වැසි අතරින්‘ මෙය ලියුවෙත් සංගීතය කළෙත් මම.

‘සෝලෝ රයිඩ් ‘ පටන් ගන්න කලින් වෙන සංගීත කණ්ඩායම්වලත් වැඩ කරන්න ඇති?

පොඩි කාලේ ඉඳලා ප්‍රසිද්ධ කණ්ඩායම් එක්ක සින්දු කියලා තිබෙනවා. ඒ වගේම ත්‍රීපීස් එකක් කළා. එහෙම නැතුව කිසි සංගීත කණ්ඩායමක පූර්ණ කාලීනව ඉඳලා නැහැ. මම මුලින්ම සංගීත කණ්ඩායමකට කියලා සම්බන්ධ වුණේ මම පටන් ගත්ත සංගීත කණ්ඩායමයි.

සෝලෝ රයිඩ් කියන්නේ?

‘තනි ගමනක්‘ කියන තේරුම තමයි මෙහි තිබෙන්නේ.

ඔබේ කණ්ඩායම හැඩ කරන සමාජිකයෝ ගැනත් කියමු?

ඩ්‍රම්ස්- දනුෂ් මලීෂ- මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයේ ඉගෙන ගෙන තිබෙන්නේ. මම තමයි ඔහුට ඩ්‍රම්ස් උගන්වල ගත්තේ. ඔහු සම්බන්ධ වුණ මුල්ම සංගීත කණ්ඩායම තමයි අපේ කණ්ඩායම. ඔක්ට පෑඩ්- දසුන් සඳකැලුම්- දිවුලපිටිය ප්‍රදේශයේ, පාසල් ගියේ දිවුලපිටිය ඥානෝදය විද්‍යාලයට. ඔහුගෙත් මුල්ම සංගීත කණ්ඩායම. බේස් ගිටාර්- ඉරංග මධුෂාන්, මිනුවන්ගොඩ පොල්වත්තේ, ඔහුගෙත් මුල්ම සංගීත කණ්ඩායම. රිදම් ගිටාර්- චමී රෝස්, උඩුගම්පොළ, සංගීත කණ්ඩායම් කිහිපයකම වැඩ කර තිබෙනවා. කණ්ඩායමේ ඉන්න අද්දැකීම් වැඩිම සාමාජිකයා. ලීඩ් ගිටාර්- විරාජ් චතුරංග, ගලේවෙල ප්‍රදේශයේ, මිනුවන්ගොඩ රැකියාවකට ඇවිත් ඉද්දි තමයි අපි සමඟ එකතු වුණේ. ඔහුගේ දෙවැනි සංගීත කණ්ඩායම. කීබෝඩ්- අකලංක කුමාරතුංග, මිනුවන්ගොඩ ප්‍රදේශයේ, දිවුලපිටිය ඥානෝදය විද්‍යාලයේ. ඔහුගෙත් පළමුවැනි සංගීත කණ්ඩායම. ගායනයෙන් හා නිවේදනයෙන් සම්බන්ධ වෙන්නෙ කසුන් ජයසංඛ, ඔහු මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයේ.

ඔබට වගේම කණ්ඩායමේ බොහෝ සමාජිකයන්ට අද්දැකීම් අඩුයි. එය අභියෝගයක් නෙවෙයිද?

මම කුඩා කාලයේ ඉඳලා සංගීත කණ්ඩායම්වල ගීත ගායනා කරලා තිබෙනවා. හැබැයි අද්දැකීම් අඩුයි කියලා ගැටුලුවක් වුණේ නැහැ. අලුත් පිරිසක් නිසා අලුත් අලුත් නිර්මාණ ගොඩක් කරන්න පුළුවන් වෙලා තිබෙනවා. ඒ වගේම හොඳ විනයක් අපි හැමෝම අතර තිබෙනවා.

කුමන කණ්ඩායමද අනුකරණය කරන්නේ?

කිසිම කණ්ඩායමක් අනුකරණය කරන්නේ නැහැ. අපිට ආවේණික ගමනක් තමයි යන්නේ. ඒ නිසා වෙන්න ඇති අපිටත් ඉල්ලුමක් තිබෙන්නේ.

සංගීතය නතර කරලා තාත්තගෙ ව්‍යාපාරවලටම යොමු වෙන්න කියලා ගෙදරින් කියන්නේ නැද්ද?

මුලදි නම් අනන්තවත් එහෙම කිව්වා. හැබැයි ඒ අය තේරුම් ගත්තා මම සංගීතයට දැඩි කැමැත්තක් දක්වනවා කියලා. ඒ වගේ ම හැකිවක් තිබෙනවා කියලා. ඒ නිසා අම්මයි තාත්තයි දෙන්නත් ගොඩක් උදව් කරනවා.

ඔබ නොහිතන මොහොතක සාමාජිකයෝ ටික ඔබේ කණ්ඩායමෙන් ඉවත් වුණොත් මොකද කරන්නේ?

මුලදි පටන් ගත්ත අය පවා ඉවත් වෙලා ගිහින් තිබෙනවා. එහෙම වුණා කියලා කණ්ඩායම වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ.

කවුරුද මේ තරම් දුර එන්න අතහිත දුන්නේ?

මගේ අම්මා රම්‍යා ලාලනී, තාත්තා වජිර රණසිංහ දෙපළ. එඩ්වඩ් ජයකොඩි සර්, අතුල අධිකාරී, චාන්දනී ද සිල්වා, අජිත් අලහකෝන් මහත්ම මහත්මීන් වගේම නම් ගම් නොකිව්ව ගොඩක් පිරිස ඉන්නවා. ඒ හැමෝම ආදරෙන් මතක් කරනවා.

අනාගත බලාපොරොත්තු ?

සංගීත කණ්ඩායමක් ලෙස ලොකුම බලාපොරොත්තුව ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑර නම කියපු ගමන් දන්න සංගීත කණ්ඩායම බවට පත් වීමයි. ඒ කියන්නේ අංක එකේ කණ්ඩායම වීමයි.

Comments