මෙබඳු හීන­යක් සැබෑ ­වුණු අව­ස්ථා­වක් මගේ ජීවි­තයේ නැහැ | සිළුමිණ

මෙබඳු හීන­යක් සැබෑ ­වුණු අව­ස්ථා­වක් මගේ ජීවි­තයේ නැහැ

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් යනු අපට සිටින කෘතහස්ත ගීත රචකයෙකි; කවියෙකි; විවිධ පර්යේෂණ කෘති ගණනාවක්ම රචනා කළ සම්මානනීය ග්‍රන්ථ කර්තෘවරයෙකි. ඒ වගේම විවිධ ආකාරයේ චිත්‍රපට නිර්මාණය කරමින් ශ්‍රී ලාංකේය සිනමා වංස කතාවේ නොමැකෙන නමක් තැබූ සිනමා අධ්‍යක්ෂවරයෙකි. අනූපමා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමා අධ්‍යක්ෂණයට පිවිස ඔහු පොඩිමල්ලි, සරුංගලේ, ක්‍රිස්තු චරිතය, සිරිබෝ අයියා, සුදු සෙවණැලි, කුසපබා, අලි කතාව, පත්තිනි, යශෝධරා ඇතුළු චිත්‍රපට 22ක් මෙරට සිනමාවට තිළිණ කොට තිබේ. ඩබ්ල්යු. ඒ. සිල්වා සූරීන්ගේ ‘විජයබා කොල්ලය‘ ඓතිහාසික නවකතාව ඇසුරෙන් ‘විජයබා කොල්ලය‘ චිත්‍රපටය ඔහුගේ 23 වැනි සිනමා නිර්මාණයයි. මේ වනවිට එහි වැඩ කටයුතු අවසන් කොට ඇති අතර එය නුදුරේදීම තිරගත වීමට සූදානමින් සිටියි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමඟ කළ මේ සංවාදය වෙන් වෙන්නේ ඒ වෙනුවෙනි.

මෙයට පාදක වන්නේ ඩබ්ල්යු. ඒ. සිල්වා සූරීන්ගේ ඒ ඓතිහාසික නවකතාව

ඔව්. මෙයට පාදක වන්නේ ඩබ්ල්යු. ඒ. සිල්වා සූරීන්ගේ විජයබා කොල්ලය නවකතාව. ඇත්තටම කිව්වොත් දැන් මේ වනකොට අවුරුදු 80ක් පැරැණි නවකතාවක්. නමුත් මේ කතා ශරීරය දිහා බලන විට අදටත් අලුත් අදටත් මේ තරම් සූර කතාකාරයෙක් අප අතර නැහැ කියලා. ඒ කියන්නේ මේ විජයබා කොල්ලයේ ගෙත්තම, මූලික චරිත හසුරවලා තිබෙන විදිහ මේ ඔක්කොම ගත්තම ඉතාම විශිෂ්ට ගණයේ කතාවක් බව පෙනෙනවා. ඩබ්ල්යූ. ඒ. සිල්වාගේ නවකතා වැඩි වැඩියෙන් සිනමාවට නැගෙන්නට හේතු වන්න ඇත්තේ මේ කතා රසයයි. දැන් නිදසුනක් හැටියට ගත්තොත් ලංකාවේ සිංහල චිත්‍රපට ඉතිහාසයේ සිනමාවට නැගුණු පළමුවැනි නවකතාව ඩබ්ල්යූ. ඒ. සිල්වා සූරීන්ගේ කැලෑහඳ. පළමුවැනි කෙටිකතාව ඩබ්ල්යු. ඒ. සිල්වා ශූරීන්ගේ දෙයියන්ගේ රටේ. එතකොට රදළ පිළිරුව, සිරියලතා, හිඟන කොල්ලා, හඳපාන, දෛවයෝගය මේ ආදී වශයෙන් සිල්වාගේ නවකතා පෙළක්ම සිනමාවට නැගෙන්නේ ඔහුගේ මේ සූර කතා කලාව නිසා කියලයි මට හිතෙන්නේ. මොනයම් හේතුවක් නිසා හෝ මේ විජයබා කොල්ලය ඉතිරිවෙලා තිබුණා මට සිනමා කෘතියක් කරන්න. අවංකව කියනවා නම් ඔහුගේ කතා දහරාව ඓතිහාසික නවකතා, රහස් පරීක්ෂක නවකතා, මායා නවකතා, සහ ස්වාභාවික නවකතා කියලා කොටස් හතරකින් යුක්තයි. මේ අතරින් විජයබා කොල්ලය, දෛව යෝගය, සුනේත්‍රා වැනි ඒවා ඓතිහාසික ගණයටත්, ලක්ෂ්මි නවකතාව මායා නවකතා ගණයටත්, ජූලි හත වැනි ඒවා රහස් පරීක්ෂක ගණයටත් ස්වාභාවික ගණයට කැලෑහඳ නවකතාවක් ගන්න පුළුවන්. මගේ පෞද්ගලික අදහස මේ නවකතා දහරාවන්ගේ සියලු නවකතා අතර ඔහුගේ විශිෂ්ටතම කෘතිය විජයබා කොල්ලය කියලා. එය මම විතරක් නොවේ, බොහෝ විචාරකයන් පිළිගන්න දෙයක්. ඒක නිසා වෙන්න ඇති එය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට නියමවෙන්නෙ. පේරාදෙණිය විශ්ව විද්‍යාලය, විද්‍යෝද්‍ය විශ්ව විද්‍යාලය, විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය වැනි විශ්ව විද්‍යාලවල යම්යම් අවුරුදුවල නිර්දිෂ්ට ග්‍රන්ථයක් වුණේ විජයබා කොල්ලය. ඒ වගේම මේ සම්බන්ධ විචාර ග්‍රන්ථ සෑහෙන ප්‍රමාණයක් නිකුත් වෙලා තිබෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ඔහුගේ විශිෂ්ටම නවකතාව මේ විජයබා කොල්ලය කියලා.

මෙහි කතාවට පසුබිම් වන කතා පුවත සැකෙවින් පැහැදිලි කළොත්..

මේ කතාවට පසුබිම් වන්නේ දහසය වැනි සියවසේ කෝට්ටේ රාජධානියේ විජයබා රජතුමා රජකළ රාජ්‍ය සමය. 1505 පරංගි ලංකාවට එන්නෙ. මේ නවකතාව පටන් ගන්නකොට ඔවුන් ලංකාවට ඇවිත් අවුරුදු 16යි. ඔවුන් පරංගි බලකොටුවක් හදන්න අවසර ඉල්ලමින් ඉන්නෙ. ඒ වෙනකොට ලංකාවේ වෙළෙඳාම අත්පත් කරගෙන හිටියේ මුස්ලිම් ප්‍රජාව. ඒ මුස්ලිම් ප්‍රජාවත් එක්ක ගැටුම් ඇතිකර ගන්නවා මේ පරංගි. මෙයට සමාන්තරව ගමන් කරනවා ප්‍රේම වෘත්තාන්තයක්. අසංග, නයනානන්ද සහ නීලමනී කියන තිදෙනා අතර තිබෙන ප්‍රේම වෘත්තාන්තය. ඇතැම් විචාරකයන් කියලා තිබෙන දෙයක් තමයි මේ විජයබාකොල්ලයේ මේ ප්‍රේම වෘත්තාන්තය වෙනම තිබෙනවා. කෙනකු කියන්න පුළුවන් එයට ඉතිහාසය ආලේප කරල නැත්නම් ගාවලා විතරයි කියලා. ඇත්තටම එය අමූලික බොරුවක් මොකද මේ ප්‍රේම වෘත්තාන්තයට මේ විජයබා රජතුමාගේ රාජ සභාව විජයබා කොල්ලය සියල්ලම සම්බන්ධයි. ඒ නිසා මේ ප්‍රේම කතාවත්, ඉතිහාසයත් වෙන්කරන්න බැරි තරමට ඩබ්ල්යු. ඒ. සිල්වා සූරීන්ගේ එකට සම්බන්ධ කරලා තිබෙනවා. ඒ වගේම මම මේ චිත්‍රපටය කරන්න කලින් මෙහි පසුබිම් තොරතුරු හුඟක් කියෙව්වා. විශේෂයෙන් පෘතුගීසි යුගය ගැන. ලංකා ඉතිහාසයේ. මට පුදුම හිතුණා එතුමා කොයි තරම් හැදෑරීමක් කරලද මේ විජයබා කොල්ලය ලියන්නේ කියලා. නිකම් ආවාට ගියාට ඓතිහාසික චරිත අරගෙන නෑ. ආවාට ගියාට සමාජ තොරතුරු නිරූපණය කරලා නැහැ. ඔහු ඉතා අපූරුවට ඔහුගේ කල්පිත ප්‍රේම කතාවත්, සත්‍ය ඉතිහාසයත් දෙක එකට බද්ධ කරගෙන තිබෙනවා මෙහි පසුබිම වන 16 වැනි සියවසේ කෝට්ටේ සහ කොළඹ යුගයේ.

මේ කතාව ඔබ සිනමා නිර්මාණයක් කරන්න තෝරාගත්තේ ඇයි?

මේක මගේ හීනයක්. මම චිත්‍රපට විසි ගණනක් කළාට මෙබඳු හීනයක් සැබෑවුණු අවස්ථාවක් මගේ ජීවිතයේ නැහැ. මම එහෙම කියන්නේ මම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පන්ති කාමරයේ හැදෑරුවේ මේ විජයබා කොල්ලය. මගේ ළඟ තාම තිබෙනවා ඒ පාසලේදිී මම කියවපු පොතේ පිටපතක්. එතකොට මට ඒ කාලයේ ඩබ්ල්යු. ඒ. සිල්වා පිස්සුවක්, උමතුවක් තිබුණා. ඒ විතරක් නෙමේ මම විජයබා කොල්ලය ගැනත් පිස්සු වැටිලා හිටියේ. ගොඩක් වෙලාවට පාසල් ළමයින්ට මෙවැනි නිර්දිෂ්ට ග්‍රන්ථය අප්‍රසන්න අත්දැකීමක් වුණා එය පන්ති කාමරයේ හදාරන එක.

නමුත් මම ඊට හාත්පසින්ම වෙනස්. මම ඒකට ආවේශ වුණා. ඒ ආවේශය කොච්චරද කියනවා නම් මම ඒ කාලයේම මේ කෝට්ටේ යුගය පසුබිම් කරගෙන අලකේශ්වර කියලා ඓතිහාසික නවකතාවක් ලිව්වා. ලිව්වා විතරක් නෙමෙයි ඒක මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්කළා. ඒක තුළම තිබෙනවා මම මොනතරම් දුරට මේ ඩබ්ල්යු. ඒ. සිල්වා සහ විජයබා කොල්ලය පිස්සෙක් බවට පත්වෙලා සිටියද කියලා. එදා මා පන්තියේදී උමතු කළ කෘතිය චිත්‍රපටයක් කරන්න ලැබෙනවා කියන එක මගේ පරම භාග්‍යයක් ලෙස තමයි මම සලකන්නේ. මම හිතනවා මේ රටේ කිසිම සිනමාකරුවකුට මේ භාග්‍යය උදාවෙලා නැතුව ඇති.

කොහොමද මේ සඳහා ඔබට අවස්ථාව ලැබෙන්නේ?

ඒ භාග්‍යය මට උදා කරලා දුන්න ආචාර්ය බුද්ධි කීර්තිසේන මහතාට මම ස්තූති වන්ත වනවා. ඔහු ළඟ තමයි මේ විජයබා කොල්ලය සුරක්ෂිතව තිබුණේ. ඔහු අවුරුදු 20කට විතර පෙර මේ විජයබා කොල්ලයේ අයිතිය අරගෙන තිබුණේ. ඒ විතරක් නොවෙයි. ඔහු තිස්ස අබේසේකර ලව්වා තිර නාටකයකුත් රචනා කරලා තිබුණේ. ඔහු ඔහුගේ පුතා බුඩී සමඟ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවෙන් හිටපු පිටපත. ඒ වගේම ඔහුගෙන් බොහෝ දෙනා මෙය ඉල්ලුවා. ටෙලි නාට්‍ය කරන්න. චිත්‍රකතා අඳින්න.

නමුත් ඔහු මොනම අවස්ථාවකවත් දුන්නේ නැහැ. එහෙම නොදී ඉඳලා ඔවුන් “ඔබට පමණයි මෙය කරන්න පුළුවන්. අපි වෙන කිසිකෙනකුට මෙය දෙන්න නැහැ ඔබට පමණයි දෙන්නේ“ කියලා මෙය ආරක්ෂා කරගෙන ඉඳලා මට ලබා දුන්නා. ඉතින් මගේ හීනය හැබෑ කිරිම ගැන මගේ නිෂ්පාදකවරයා වන එච්. ඩී. ප්‍රේමසිරි මහතාට වගේම මේ පොත ආරක්ෂා කරගෙන ඉඳලා මටම ලබාදුන් බුද්ධි කීර්තිසේන මහතාට ස්තූති වන්ත වෙනවා.

මට මෙය ලැබෙන්නේ බුඩි තමයි මට කිව්වේ තාත්තා ගාව මේ පොත තිබෙනවා. ඔබ තාත්තා සමඟ මේක කරනවා නම් මගේ විරුද්ධත්වයක් නැහැ කියලා. මෙය දැවැන්ත නිෂ්පාදනයක්. බුද්ධි මහතා කිව්වා අපි පසුව වෙනත් චිත්‍රපටයක් කරමු මෙය ඔබේ නිෂ්පාදකවරයා සමඟ කරන්න. ඒකට මගේ පූර්ණ ආශීර්වාදය ඔබට තිබෙනවා. ඕන උදව්වක් අපි කරන්නම් කියලා. ඇත්තටම බූඩි ඊට පස්සේ බාරගත්තා මෙහි දෘශ‍ය ප්‍රයෝග අංශය කරන්න. ඔහු මිට පෙර මගේ කුස පබා චිත්‍රපටයේ දෘශ්‍ය ප්‍රයෝග කටයුතු කළෙත් ඔහු. ඒ අනුවයි මේ කතාව මට ලබා දුන්නේ.

මෙය දැවැන්ත නිෂ්පාදනයක්. එහෙත් ලෝකයේ වෙනත් රටවල ඓතිහාසික කතා සිනමාවට නැඟුණු පසු ඒවා ඉතා උසස් ලෙස නිර්මාණය වනවා. අපේ රටේ ඓතිහාසික කතා සිනමා නිර්මාණ බවට පත්කිරීමෙන් පසු ඒවා බොහොම බාල ගණයේ නිර්මාණබවට පත් වනවා. ඔබ ඒ පිළිබඳව එකඟ වනවාද?

මම ගතවූ කාලය පුරාම කුසපබා, පත්තිනි සහ යශෝධරා වැනි චිත්‍රපට වලදී මේ විසිවැනි සියවසෙන් ඔබ්බට ගිය කාල පරිච්ඡේදයක් තමයි නිරූපණය කළේ . සමහර ඒවා ක්‍රිස්තු පූර්ව අවධිවල. සමහර ඒවා ඉන්පස්සෙ මෑත අවධියේ. ඒ හැම අවස්ථාවකම මේ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීම ගැන මම සෑහෙන අධ්‍යයනයක් කළා.

අපේ රසිකයන් මේ රූපවාහිනියේ පැය 24ම පෙන්වන චිත්‍රපට අතරේ ඓතිහාසික චිත්‍රපට විශාල වශයෙන් දෙමළ හින්දි සහ ඉංග්‍රීසි නරඹලා තිබෙනවා. ඒ කියන්නේ ඒ අයගේ ඇස රවට්වන්න බැහැ. කිසිකෙනෙක් කිව්වෙ නෑ කුසපබා හෝ පත්තිනි හෝ යශෝධරා බාල අවර ගණයේ ඓතිහාසික චිත්‍රපටයක් කියලා කිව්වේ නැහැ.

ඉතින් මට විශාල විශ්වාසයක් තිබෙනවා ඒ චිත්‍රපටවලින් ලබාපු අත්දැකීම් අනුව ඊටත් වඩාහොඳ ඓතිහාසික චිත්‍රපටයක් කරන්න විජයාබා කොල්ලය චිත්‍රපටයේදී මට ලැබුණයි කියලා මම විශ්වාස කරනවා. මොකද අපි ඒ චිත්‍රපට එකින් එකේදී අපි අතින් වුණු යම් යම් වැරැදි හදා ගත්තා. ඉතින් මේ හතරවැනි චිත්‍රපටයට එද්දි ඒ බොහෝ වැරැදි අඩුකරගෙන තමයි මේ චිත්‍රපටය කරන්නේ.

ඒ වගේම මට ඉතාම හොඳ කැමරා ශිල්පියෙක් වන චන්න දේශප්‍රිය සහ කලා අධ්‍යක්ෂවරයෙක් වන බිමල් දුෂ්මන්ත සිටිනවා. මම හිතනවා මම කළ චිත්‍රපට විසිගණනටම ලැබුණු හොඳම කලා අධ්‍යක්ෂවරයා තමයි ඔහු. අවුරුදු විසි ගණනක තරුණයෙක්. මේ චිත්‍රපටයේ අංග රචනය කරන හර්ෂ මංජුල, වස්ත්‍රාභරණ නිර්මාණය කරන දිනුක වික්‍රමාරච්චි, සහාය අධ්‍යක්ෂ විමල් දේශප්‍රිිය යන මේ සියල්ලම තරුණ අය. ඉතින් මම කැමැති මේ තරුණ ජවයත් එක්ක ඒ අයගේ නිර්මාණාත්මක කුසලතාවයෙන් වැඩ ගන්න. මම හිතනවා ඒ අය තමන්ගේ දක්ෂතාවෙන් උපරිම ඵල මේ චිත්‍රපටයට ලබා දීලා තිබෙනවා කියලා.

නළු නිළි වරණය පිළිබඳව විස්තර කරන්න.

මෙහි ප්‍රධාන චරිත තමයි නයනානන්ද, නීලමණී, අසංග, ද ලසර්දා නමැති පරංගි නායකයා, හමිදුම්මා නමැති මුස්ලිම් ස්ත්‍රිය තමයි ප්‍රධානම චරිත බවට පත්වෙන්නේ. අද සිනමා නිර්මාණකරුවන්ට මුහුණ දීමට තිබෙන දැවැන්තම අභියෝගය තමයි සිනමා නළු නිළියන්ගේ අහේනිය. අද ඉන්නේ රූපවාහිනී ටෙලි නාට්‍ය නළු නිළියන් මිසක් සිනමා නළු නිළියන් නෙමෙයි.

ඉස්සර චිත්‍රපටයක් කරන කොට එක චරිතයකට නළු නිළියන් හතර පස් දෙනෙක් හිටියා. අපට තෝරාගන්න බැහැ. ඒත් අද එහෙම නැහැ. එහෙම අභියෝග අතර හේමාල් රණසිංහ (නයනානන්ද), සෙනාලි ෆොන්සේකා (නීලමණී), අශාන් ඩයස් (අසංග), හාන්ස් බිලිමූරියා (ද ලසර්දා), චුලක්ෂි රණතුංග (හමිදුම්මා) මම තෝරාගත්තා.

මේ කවුරුවත් ටෙලි නළු නිළියන් නෙමෙයි. සෙනාලි ෆොන්සේකා එක ටෙලි නාට්‍යයක රඟපාලා තිබෙනවා. මම ඇයව තෝරාගත්තේ මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වන තුරු ටෙලි නාට්‍යවල රඟපාන්න එපා කියන කොන්දේසිය මත. අපේ සිනමාවයි ටෙලි නාට්‍යයයි අතර ගැටුමක් නැහැ. එහෙත් සිනමා නළු නිළියන් කියන්නේ වෙනම පිරිසක්. රසිකයන් සිනමා ශාලාවක් තුළට මුදල් ගෙවා යන්නේ වෙනම අත්දැකීමක් ලබන්න. ඒ අත්දැකීම නිවෙසේ ආලින්දයේ ලබන අත්දැකීමට වඩා වෙනස්. ඒක නිසා අපි දැනගන්න ඕන නළු නිළියන් මේ හැම කෙනෙක්ම ඒ සිනමා අත්දැකීමට සූදානම් කරන්න. ඒ නිසා මම හුඟක් පරිස්සම් වුණා නළු නිළියන් තෝරා ගැනීමේදී.

3D තාක්ෂණයෙන් නිකුත් වන බව දැනගන්න ලැබුණා.

ඔව් එය මෙම චිත්‍රපටයේ තවත් විශේෂත්වයක්. මෙරට 3ඣ තාක්ෂණයෙන් ප්‍රදර්ශනය කරන පළමු සිංහල චිත්‍රපටය බවට පත්වෙන්නේ මෙම විජයබා කොල්ලය. මීට කලින් චිත්‍රපට කිහිපයක් ත්‍රිමාන කරණය පිළිබඳව යම් යම් අත්හදා බැලීම් කෙරුණා. නමුත් ඒ අත්හදා බැලීම් කෙරුණේ ඒ ඒ චිත්‍රපට සම්පූර්ණයෙන් රූගත කරලා අවසන් වුණාාට පස්සෙ. සංජය විජය රත්න සහ සමින්ද වතවනවිතාන කියන තරුණයන් දෙදෙනා මේ දවස් 40 රූගත කිරීම් කෙරෙන ස්ථානවල ඉඳගෙන ඔවුන් ගේ ත්‍රිමාණ තාක්ෂණයට අදාළ රූප රාමු වෙනම රූගත කළා. ඇත්තටම මමත් මෙහි නිෂ්පාදක ප්‍රේමසිරි මහතාත් මෙයට කැමැති වුණේ තරුණයින්ගේ වෑයම නිසා.

ඇත්තටම අපට හරිම ආඩම්බරයි මීට ඉස්සර චිත්‍රපටවල වර්ණ සංයෝජනය කියලා දෙයක් තිබුණේ නැහැ. නමුත් අද ඒ කලරිස්ට්ලා (වර්ණ සංයෝජකයන්) ඉතාම ඉහළ ගණයේ අය පස්දෙනෙක් වත් ඉන්නවා. ඒ ඔක්කොම තරුණ අය. ඒ වගේම මේ තරුණයන් මේ ත්‍රිමාන චිත්‍රපට නිර්මාණ තාක්ෂණය හැසිරවීමට දැඩි ආයාසයක් අරගෙන අත්හදා බැලීම් කරපු අය. ඉතින් මමත් ප්‍රේමසිරි මහතාත් ඔවුන්ටත් කරන අනුග්‍රහයක් හැටියට තමයි මේ චිත්‍රපටය ත්‍රිමාන තාක්ෂණයෙන් කරන්න තීරණය කළේ.

අපේ රටේ ත්‍රිමාන චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න අවශ්‍ය තාක්ෂණය සිනමා ශාලා තුළ තිබෙනවද?

මෙම චිත්‍රපට ප්‍රදර්ශනය කරන්නේ ඊඒපී සිනමා ශාලාවල. ඔවුන්ගේ සිනමා ශාලා 75ක් වගේ ප්‍රමාණයක් තිබෙනවා. එයින් මේ නව ත්‍රිමාන ප්‍රක්ෂේපන යන්ත්‍ර තිබෙන්නේ 15ක් 20වගේ ප්‍රමාණයක් පමණයි. එහෙත් අපි තීරණය කළා ඒ සිනමා ශාලා වලට අවශ්‍ය 3D පිටපත් ලබා දෙන්න. ඒක මේ චිත්‍රපටයේ විශේෂත්වයක්. මෙහිදී ගායක ගායිකාවන් පවා වෙනස් වුණා. මෙහි තිබෙන්නේ ගීත 2යි. එකක් ගායනා කරන්නේ උමාරියා සිංහවංශ. අනෙක් ගීතය ගායනා කරන්නේ සනුක වික්‍රමසිංහ. මම මුල් බැස ගත්ත ගතානුගතික ලෝකයේ ඉන්න මම කැමැති නැහැ. ඒ නිසා මම කැමැතියි හැමතිස්සෙම අලුත් වෙන්න.

මෙහි සංගීතයේත් විශේෂත්වයක් තිබෙනවා.

මෙහි සංගීතය අධ්‍යක්ෂණය කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහ. මගේ යශෝධරා චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කළේත් ඔහු. මම එහිදී ඔහුගෙන් ඉල්ලා සිටියේ සම්පූර්ණයෙන්ම උත්තර භාරතීය රාගධාරී සංගීතය පමණක් උපයෝගී කරගන්න කියලා. මේ චිත්‍රපටයට මම ඔහුගෙන් ඉල්ලා සිටියේ සම්පූර්ණයෙන්ම බටහිර පරංගි යුගය පරංගි කියන්නේ ලංකාවට බයිලා කලාව ගෙනාපු යුරෝපීය ජාතිය. මේ යුගයේ බටහිර සංගීතය අපේ රටේ ප්‍රචලිත වෙන්න පටන් ගත්තා. ඒනිසා පුළුවන් තරම් බටහිර සංගිතයට නැඹුරු සංගීතයක් ඔහු නිර්මාණය කරාවි.

මෙහි රූගත කිරීම් සිදුකළේ මොන ප්‍රදේශවලද?

දවස් 40ක් රූගත කිරීම් කළා. අපිට තිබුණු ලොකුම අභියෝගය මේ 16වැනි සියවසේ කොළඹ සහ කෝට්ටේ නිර්මාණය කරන එක. දැන් මෙහි තිබෙනවා තොටළඟ. පාමංකඩ. බලපොකුණ, වැලිකඩ. ඒත් අද ඒ සැබෑ ස්ථාන ගැන අද අපට හිතන්නවත් බැහැ. ඒ නිසා අපට යන්න සිද්ධවුණා නෝනාගම වැලිපටන්විල ප්‍රදේශයට මේ දර්ශනතල සොයාගෙන. කුසපබා පත්තිනි සහ යශෝධරා චිත්‍රපටවල වගේම මට බොහෝ උපකාරී වුණා රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය. එහි දැවැන්ත පසුතල අපි ඉදිකළා. වැලි පටන්විල දැවැන්ත පරංගි වාඩියක් ඉදිකළා එළිමහනේ මුහුදු වෙරළේ.

සියලු රූගත කිරීම් මේ වනවිට නිමාකරලා තිබෙන්නෙ. තව තිබෙන්නේ ත්‍රිමාණ තාක්ෂණ කටයුතු සහ දෘශ්‍ය‍ ප්‍රයෝග කටයුතු පමණයි. මේ වසරේ මැද වන විට ඒ කියන්නේ මෙය තිරගත කරන්න කටයුතු කරනවා.

අප මෙය ආරම්භ කරන්න පෙරම ඊ.ඒ.පී. මණ්ඩලය ආරාධනා කළා ඔවුන්ගේ මණ්ඩලයේ මෙය තිරගත කරන්න කියලා. මොකද එයට හේතුවක් තිබෙනවා. ඔවුන් කුසපබා, පත්තිනි සහ යශෝධරා කියන චිත්‍රපටවලදී ලක්ෂ දෙදහසක ආදායම් වාර්තා තිබ්බා. ඒ අනුව අපේ නිෂ්පාදකවරයාත් ඊ.ඒ.පී. සමාගමත් ගිවිසුමක් අත්සන් කළා මේ චිත්‍රපටය ආරම්භ කරන කොටම ඔවුන්ගේ මණ්ඩලයේ ප්‍රදර්ශනය කිරීමට කැමැත්ත ලබාදීලා. ඒ අනුව මැයි ජූනි වනවිට මෙය තිරගත වේවි.

ඓතිහාසික චිත්‍රපටය රැල්ලක් නිර්මාණය වී තිබුණත් එයින් බොහෝ ඒවා පිළිබඳව අපට සෑහීමකට පත්විමට බැහැ

ඇත්තටම ඓතිහාසික චිත්‍රපටයක් නිර්මාණය කිරීම ඕනෑම කෙනකුට විශාල අභියෝගයක්. ඒක හරියට කළේ නැත්නම් ඒක වෙසක් නාට්‍යයක් බවට පත්වෙනවා. වෙසක් නාට්‍යය කියන්නේ රජ ඇඳුම් ඇඳගත්ත ඇය වේදිකාවේ කතා කරනවා. සිංදු කියනවා. බොහෝ දෙනා සිතනවා මෙවැනි සිනමා නිර්මාණයක් කිරීම පහසු කටයුත්තක් කියලා. මම කුසපබා චිත්‍රපටයේ ඉඳලම ජයගන්න උත්සාහ කළේ මේ තත්ත්වය. ඒ චිත්‍රපට ආදායම් වාර්තා පිහිටෙව්වේ ඒ හිතපු තත්ත්වයන්ට ළඟාවූ නිසා. මොකද රජ ඇඳුම් අඳිනකොට නූතන දෙබස් කතා නොකරන කොට අපි හරියට පරිස්සම් වෙන්න ඕන වෙසක් නාට්‍ය වලින් මිදෙන්න. අද වන කොටත් ඓතිහාසික චිත්‍රපට කිහිපයක්ම තිබෙනවා ප්‍රදර්ශන මණ්ඩල වලින් ලබා නොගත්. එතකොට එහි යම් හේතුවක් මම ඉතිහාසහයට බොහෝ ආදරය කරනවා. පන්සිය පනස් ජාතක පොත, මහා වංශය තවත් චිත්‍රපට සිය ගණනක් කරන්න පුළුවන් මොකද දැවැන්ත භාණ්ඩාගාරයක් ඒවායේ තිබෙනවා. ඒ නිසා නිර්මාණ කරුවන් ලෙස අපි හරි පරිස්සම් වෙන්න ඕන ඒ කතාන්තර අපතේ නොයවන්න. සහ මේ ඉතිහාසය ඉතිරි කරන්න ඕන අනාගත නිර්මාණ කරුවන්ට හොඳ නිර්මාණ කරන්න. 

අදහස්