ලක්ෂ්මීස් එන්ටී­ආර් Laxmis NTR | සිළුමිණ

ලක්ෂ්මීස් එන්ටී­ආර් Laxmis NTR

සැබෑ වීරවරයන්ගේ ජීවන අන්දරයන් සෙලියුලොයිඩ් පටියේ ප්‍රතිනිර්මාණය වීම ඉන්දීය සිනමාවේ අන් කවර කාලයේදීටත් වඩා වත්මනෙහිදී දැකිය හැකිය. අලුතින්ම දකුණු ඉන්දීය සිනමාව කලඹමින් එන්. ටී. රාමා රාඕ චරිතය ලක්ෂ්මීස් එන්ටීආර් ලෙසින් සිනමාවලියට එක්වී අවසන්ය. ඒ 2019 මාර්තු 22 වැනිදා සිටය. නන්දමුරි රාමා රාඕ ජනප්‍රිය වී සිටියේ එන්ටීආර් අකුරු තුනෙනි. චිත්‍රපට නළුවකු, නිෂ්පාදකයකු, අධ්‍යක්ෂවරයකු, කතුවරයකු සහ දේශපාලනඥයකුවූ ඔහු අන්ද්‍රා ප්‍රදේශයේ මහ ඇමති ලෙස සත් වසක් රජ කළේය.

ඔහු ඉන්දීය සිනමාවේ විශිෂ්ටයකු ලෙස ද සැලකෙයි. ජාතික සිනමා සම්මානයෙන් වාගේම පද්මශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබූ ඔහුගේ දේශපාලන දිවිය උඩු යටිකුරු වූයේ ලක්ෂ්මී පාර්වතී සමඟ එක්ව ජීවත්වීමට ගත් පසුවයි. ලක්ෂ්මී පාර්වතී ඔහුගේ 2004 දී ප්‍රකාශයට පත් කළ චරිතාපදාන දිවිත්වයෙහි කතුවරියයි. විවාහක කාන්තාවක වූ ඇය විවාහකව සිටි රාමා රාඕ සමඟ පෙමින් වෙළී පළමු විවාහය අත්හැර රාඕ සමඟ ජීවත් වීමට පටන් ගත්තාය.

නන්දමුරි තාරක රාමා රාඕ දේශපාලනයට පිවිසි පසු ජීවිතයත් ඔහු ලක්ෂ්මී පාර්වතී විවාහ කර ගත් හේතුව සහ කෙසේ විවාහ කර ගත්තා ද යන්නත් ඔහුගේ ජීවිතයට ඇයගේ ජීවිතය කෙතරම් බලපෑවාද යන්නත් සිනමා පටයෙන් අපූර්වත්වයකින් යුතුව රූප රාමුවෙන් රූප රාමුවට දිග හැරෙයි. සිනමා පටයේ එන්ටීආර් චරිතය නිරූපණය කරන්නේ පී. විජේ කුමාර්ය. ලක්ෂ්මී පාර්වතී ලෙස යග්නා ෂෙට්ටි චරිත නිරූපණයෙහි යෙදෙන්නීය. රාම් ගෝපාල් වර්මා සහ අගස්ත්යා මංජු සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂවරුන්ය. සංගීතය කල්යාන් කොදූරි ගෙනි.

අදහස්