වැර­දුණු තැනින් අර­ඹන්න හැකි ­නම් | සිළුමිණ

වැර­දුණු තැනින් අර­ඹන්න හැකි ­නම්

කලක් ගුවන් විදුලියේ ගීත ප්‍රචාරය වූයේ එක්තරා තෝරා ගැනීමකට අනුව යැයි සිතෙන්නේ දැන්ය. එසේ සිතෙන්නට වූයේ ජගත් ගාමිණි මාවතගම පද රචනා කළ “වැරදුණු තැනින් අරඹන්න හැකි නම් නොවරදින ගමනක්.....“ නම් නන්දා මාලනී ගයන ගීතය ඇසුණු විටය.

සිහියට නැගුණේ බාල කාලයේ ගුවන් විදුලියෙන් ඇසුණු ගීතය. එකල ගුවන් විදුලියේ උදෑසන පිරිත් දේශනයෙන්, ධම්ම චින්තාවෙන් පසු ප්‍රවෘත්ති විකාශනය වන තුරු ගීත කිහිපයක් ප්‍රචාරය වුණි. ඒ ගී අතර වුයේ දවසේ ඇරැඹුමකි. දේශාභිමානය, ජාතිකත්වය, ධනාත්මක සිතුවිලි සිත්වල ඇති කරවීමට සමත් අයුරින් ගැයුණු ගී එහි ප්‍රධාන විය. ඉන් පසු උදේ කාලයේ ඇසෙන්නේ ඒ ඒ වෙලාවට අසන්නට පුළුවන් සිතට සැනසිල්ලක් දෙන ගීතය. මද්දහනේ අසන්නට ලැබෙන බයිලා හෝ වේග රිද්ම ගී එකල අද මෙන් අවේලාවල් වල අසන්නට ලැබුණේ නැත. රාගධාරි සංගීතය හෝ ශාස්ත්‍රීය ගීත අසන්නට ලැබුණේ රාත්‍රි කාලයේය. දැන් සියල්ල වෙනස්ය. බාල සන්ධියේ ගීතයකින් අප විඳි වින්දනය, සාහිත්‍ය රසය අද ඇසෙන ගීතයකින් විදින්නට හැකි වෙන්නේ නම් ඒ කලාතුරකිනි.

අප ජීවිතයේ වැටුණු තැන් බොහෝය. ප්‍රශ්න එන්නේ කලින් දන්වා නොවේ. අනපේක්ෂිත අවස්ථාවල එන ප්‍රශ්නවලට මුහුණ දෙන්නට බැරි වූ විට එය දෛවය යැයි කියා අප සිත් හදා ගත් අවස්ථා කොතෙක් නම් ඇද්ද? නමුත් ජීවිතය දෛවයට බාර නොදී උත්සාහයෙන් ධෛර්යයෙන් ජීවිතයට මුහුණ දෙන්නේ නම් ජයග්‍රහණය එතැනය. කන්දක් නැග්ගොත් පල්ලමකුත් ඇතැයි පැරැණිය කියන්නේ කට කහනවාට නොවේ. යමකින් පැරැදුණු විට පලා යෑම කළයුතු නොවේ. අප යළි උත්සාහ කළ යුතුය. විසඳුම ඇත්තේ අප සතුවමය. ජගත් ගාමිණී සිය නිර්මාණයේදි කියන්නේ එයයි. ජගත් කියූ දෑ අප සිතට තදින් කා වද්දන්නේ ඇගේ හඬ පෞරුෂයයි. ගීතය පිළිබඳ එහි පද රචක ජගත් පවසන්නේ මෙවැනි කතාවකි.

“මම හැම විටම හිතන දෙයක් තමයි අපි අපේ ජීවිතයේ පැරැදුම හමුවේ පසු බැසිය යුතු නැහැ කියන එක. මේ සමාජයේ මිනිස්සු විශේෂයෙන්ම අද සමාජයේ තරුණ තරුණියෝ පුංචි ප්‍රශ්නයක් හමුවෙත් ජීවිතෙන් පලායන්න හදනවා. එහෙම ජීවිතේ නැති කරගත් අවස්ථාත් තියෙනවා. නමුත් කිසිම ප්‍රශ්නයකදී අප පසුබැසිය යුතු නැහැ. සියල්ල දෛවයට හෝ කර්මයට භාරදී බලා සිටිය යුතුත් නැහැ. කෙනෙක් තුළ අභිමානය, උත්සාහය සියල්ල තිබිය යුතුයි. මගෙ හිත කිව්වේ මේ ගීතය නන්දා මාලනි මහත්මියට හොඳයි කියලා. ඉන්දික රාජිත මල්ලි තමයි මෙය ඇයට ලබා දුන්නේ. ඒ වගේ ම ඉන්දික මල්ලිගේ තනු නිර්මාණයත් බොහෝම අපූරුයි.“

නන්දා මාලනී මහත්මියගේ අදහස ජගත් පවසන අදහස සනාථ කරන්නාක් මෙනි.

“ඉන්දික රජින්ත ලක්මාල් කියන්නෙ අද අපට නව පරපුරේ සිටින දක්ෂතම බටනලා වාදන ශිල්පියෙක්. ඔහු ගේ තනු නිර්මාණය බොහෝම අපූරුයි. ඒ වගේම තමයි ජගත්ගේ වචනත් හරිම ලස්සනයි. මේ තනු නිර්මාණය කාටත් ගායනා කරන්න පුළුවන් නිර්මාණයක්. මම හැම විටම අලුත් දක්ෂ නිර්මාණකරුවන්ට ඉදිරියට එන්නට අත දෙන්නට කැමැතියි. මම මේ ගීතය ගායනා කළේ බොහෝම කැමැත්තෙන්. පද රචනාවේ වචනවල තියෙන අර්ථයත් සලකලා බලලා තමයි මම ගීතය තෝරා ගත්තේ.“

නන්දා මාලනිය පවැසුවේ බොහෝ නිහතමානීවය.

ඉන්දික සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත අංශයේ ගුරුවරයකු ලෙසින් කටයුතු කරන්නේය. ඔහු ගීතනු නිර්මාණයට පිවිසියා පමණි.

“නන්දා මාලනි මහත්මියට ගී තනුවක් නිර්මාණය කිරීම මට සිහිනයක්. ඒ සිහිනය සැබෑ වුණා. ඒ ජගත් අයියාගේ ගී පද නිර්මාණය නිසා. සාර්ථක නිර්මාණයක් කළා කියන හැඟීම මට තිබෙනවා. “තනු නිර්මාණ ශිල්පී ඉන්දික පවසන්නේ එලෙසිනි.

 

 

 

Comments