සමීප රූප | සිළුමිණ

සමීප රූප

'සුළඟ අප රැගෙන යාවි'

 

ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතර පහුගිය සතියෙ හවසක තරංගනී සිනමා ශාලාවෙදි දැකපු චිත්‍රපටයක්. ඒකෙ නම ‘සුළඟ අප රැගෙන යාවි‘. ඉන්ද්‍රචාපට මේ චිත්‍රපටය බලන්න එන්න කිව්වෙ මුහුණු පොතේ මිතුරියක් වන මායා නාගහවත්ත. මායා නාගහවත්තගේ සමීපරූපෙ නම් ඉන්ද්‍රචාපට පෙනුණෙ නැතිවුණත් මායාගේ තාත්තා, සයිමන් නවගත්තේගම, අපේ රටේ හිටපු විශිෂ්ටතම කලාකාරයගෙ සමීපරූප නම් ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතර තියෙන්නෙ 70 දශකයෙ ඉඳලා, සුන්දර මිත්‍රයෙක් විදියට. තරංගනියෙදි සුළඟ අප රැගෙන යාවි බලපු හවස ඉන්ද්‍රචාපගෙ සමීපරූපෙට හසුවෙන්නෙ ඒ චිත්‍රපටය හදපු නුවන් ජයතිලක තරුණයා. පස්සෙ තමයි මතක් වෙන්නෙ නුවන් මුල් කාලෙ ඉන්ද්‍රචාපගෙ සමීප අතරට එකතුවුණේ මව්බිම පත්තරේ කවිපිටුව කරපු දවස්වල මනෝහාරි හේවාවසම් මිතුරිය එක්ක කියලා.

‘සුළඟ අප රැගෙන යාවි‘ අධ්‍යක්ෂවරයා තරුණ නුවන්. නිෂ්පාදිකාව මායා. ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතරට මේ චිත්‍රපටය එකතුවුණේ මෑත කාලයෙ දකපු ළමා චිත්‍රපටයක් විදියට. සමහර ළමා චිත්‍රපට බලන කොට ඉන්ද්‍රචාපට හිතෙන දෙයක් තමයි, මේවා ළමයින්ට හදපු චිත්‍රපට ද, ළමා චිත්‍රපට ද එහෙමත් නැත්නම් වැඩිහිටියන්ගෙ ළමා චිත්‍රපට ද කියන කාරණාව. ‘සුළඟ අප රැගෙන යාවි‘ චිත්‍රපටයත් ළමයින්ගෙ කතාවක් කියන්නෙ, ඈත දුෂ්කර ගමක සුද්දා කියන පවුලෙ ජීවත්වීමට උදව් කරපු කරත්තෙ බඳින සුරතලා නැතිවුණාම ඌ හොයාගෙන ගමේ ඉඳලා කොළඹට එන පුංචි දරුවකුගෙ කතාව.

ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතර කවදාවත් මැකිල යන්නෙ නැති විදියට ඇඳිල තියෙන ටයිටස් තොටවත්ත මහත්තයගෙ හඳයා මතක් වුණත් ඒකත් එක්ක සංසන්දනය කරන්න නම් ඉන්ද්‍රචාප හදිස්සි වෙන්නෙ නෑ. ඒ වුණත් පහුගිය කාලෙ එක දිගටම බලන්න ලැබුණු ළමා චිත්‍රපට කීපයක්ම ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතරින් මතුවෙනවා. ගෝල් ඒ අතර කැපී පෙනුණු වෙනස් විදියෙ චිත්‍රපටයක්. ජයලත් මනෝරත්නගෙ සමීපරූපෙ ගෝල් චිත්‍රපටය පුරාම. ඊ ළඟට ටවුමෙ ඉස්කෝලෙ. සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂවරයගේ සමීපරූපෙ එක්ක, රොෂාන් පිලපිටිය, තාරුකා වන්නිආරච්චි, චමිලා පීරිස්, බිමල් ජයකොඩි, කුමාර තිරිමාදුර. ටවුමෙ ඉස්කෝලෙ ළමයකුගෙ කතාවෙන් පටන් අරගෙන වැඩිහිටි කතාවකින් අවසන් වුණා වගේ කියලයි ඉන්ද්‍රචාපට හිතුණෙ. පාලිත පෙරේරගෙ සමීපරූපෙත් එක්ක තාල ළමා චිත්‍රපටය. හේමාල්, කලණි, කෞශල්‍යා, ආපහු මනෝ. තාල චිත්‍රපටයෙත් ගමේ පාසලක දරුවන්ගෙ කතාවක්. පාසලට එන අලුත් ගුරුතුමාගෙ අලුත් ඉගැන්වීම් ක්‍රම අඳුන්වාදෙන, හරිම ලස්සනට රඟපාන පොඩි එවුන් පිරිසකගෙ සමීපරූපත් එක්ක, ළමා ලෝකයට අපි ගෙනයන ගීත කීපයකුත් එහි අන්තර්ගතව තිබුණා. කොහොම හරි ළමා ගතිය නැතිවෙලා නොහිතපු වෙලාවක දේශපාලන කතාවක් එකතුවෙලා එකපාරටම පාත් වෙච්ච අලුත් ගුරුතුමියකගෙ චරිතයක් එක්ක, චිත්‍රපටය අතරමං වුණා නේ ද කියල ඉන්ද්‍රචාපට කල්පනා වුණා.

‘සුළඟ අප රැගෙන යාවි‘ මේ අතරට එකතුවුණු අලුත්ම ළමා චිත්‍රපටයෙ සමීපරූපය. ඒ කාලෙ ළමා චිත්‍රපට හදපු අධ්‍යක්ෂවරු අතරෙ ඉන්ද්‍රචාපගෙ සමීපරූපෙ ඉන්න සෝමරත්න දිසානායක අමතක කරන්න අමාරුයි. කොහොම කිව්වත් ඔහුට ළං වෙන්න ළමා චිත්‍රපටයක් හදපු අලුත් නිර්මාණකරුවකුගෙ සමීපරූපයක් ඉන්ද්‍රචාපට පෙනෙන්නෙ නෑ. ඔහු බොහෝ වෙලාවට ළමා ලෝකය හොඳට අල්ල ගන්නව දක්ෂ විදියට. ගමේ පරිසරය, ගහ කොළ, සතා සීපාවා, ගංගා, ඇළ දොල, ළමයින් අතර ජනප්‍රිය වෙන ගීත, දක්ෂ වැඩිහිටි නළු නිළියො වගේම, රඟපාන්න දක්ෂ පුංචි දරු දැරියො සෝමරත්න දිසානායකගෙ ළමා චිත්‍රපටවල ජයග්‍රහණයෙ පිටුපස කතාව. ඒත් ඔහුගෙ චිත්‍රපටවල දකින්න තිබුණු ළමා ගතිය, ඒ ආරෙම ගිහිං ළමා චිත්‍රපට හදන්න උත්සාහ ගත්ත අනෙක් බොහෝ දෙනාගෙ චිත්‍රපටවල තිබුණු බව සමීපරූප අතර සටහන් වෙලා නෑ.

‘සුළඟ අප රැගෙන යාවි‘, ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතරට එක්වෙන්නෙ තවත් ළමා චිත්‍රපටකට වඩා වෙනස් අපූරු චිත්‍රපටයක් විදියට. චිත්‍රපටය පටන් අරගෙන දරුවන්ගෙ සුරතලා සුද්දා හොරු අරගෙන යන තෙක් කතාව අපූරුවට ගලාගෙන යනවා. ඒත් සුද්දා හොයාගෙන සුද්දට ආදරේ කළ ගමේ දරුවා කොළඹට ආවට පස්සෙ සිදුවීම් පෙළ තරමක අභව්‍ය ගතියක් පෙන්වනවා. ඒත් ඉන්ද්‍රචාපට ඒ අභව්‍ය ගතිය දැනුණෙ නෑ, අධ්‍යක්ෂ නුවන්ගෙ දක්ෂකම නිසා. ඔහු සුද්දා හොයන්න නගරයට එන ගමේ දරුවගෙ උදව්වට එන නගරයෙ අක්කගෙ චරිතය අපූරුවට නිර්මාණය කරලා, නරඹන්නන්ගෙ කුතුහලය චිත්‍රපටය අග දක්වාම රඳවගන්න සමත්වෙලා තියෙනව. චිත්‍රපටයෙ ප්‍රධාන චරිත රඟපාන අයිරාංගනී සේරසිංහ, ප්‍රියංකර රත්නායක, සුරංගා රණවක, සම්පත් ජයවීර, සුජීව ප්‍රියලාල්, අංජන ප්‍රේමරත්න වගේ වැඩිහිටි ප්‍රවීණ නළු නිළියන්ගෙන් වගේම ළමා චරිත රඟපාන දරුවන් හැමෝගෙන්ම උපරිම ප්‍රයෝජන ගන්න නුවන් සමත්වෙලා තියෙනව. ස්ටයිනර් ඇඩම්ස් ගෙ විශිෂ්ට කැමරාකරණය සුළඟ අප රැගෙන යාවි අතිශයින්ම සුන්දර රූපාවලියක් අතර අතරමං කරනව. දුෂ්කර ගම වගේම කලබල කොළඹ නගරයෙත් ප්‍රතිවිරෝධී සුන්දරත්වය, කර්කශ බව ඇඩම්ස්ගෙ කැමරා කාච තුළ අපූරු සමීපරූප බවට පත්ව තිබුණ කියල ඉන්ද්‍රචාපට හිතෙනව. සුළඟ අප රැගෙන යාවි ළමයින් කැමැති ළමයින් ආදරේ කරන කතාවක් සහිත චිත්‍රපටයක් කියල සමීපරූප අතර ඇඳී හමාරයි.ගමේදි වගේම නගරයෙදිත් අපට දකින්න ලැබුණු සෑම දරුවකුගෙම රඟපෑම් සුළඟ අප රැගෙන යාවි සමග අපූරු ලෝකයකට රැගෙන ගියා වගෙයි අවසානයෙදි දැනුණෙ. නුවන් ජයතිලක දරුවන්ගෙ ලෝකය අල්ලා ගත් තරුණ අධ්‍යක්ෂවරයකුගෙ ප්‍රතිභාව පෙන්වා තියෙනව තමන්ගෙ පළමු නිර්මාණයෙන්ම. 

අදහස්