සිනා කතා | සිළුමිණ

සිනා කතා

කොහොම කන්නද?

 

“සිංහල අවුරුද්දට අපි කිරිබත් එක්ක බොහොම සතුටින් කන්නෙ කැවුම් ජාතිනෙ. මෙදා සිංහල අවුරුද්ද ලබන්න කලින් ඒකටත් පොල්ලක් වැටුණු එක නොවැ පුදුමේ!” සෙනෙවිරත්න පුවත්පත බලමින් සිටියදී කීවේ තම බිරිය දෙස බලමිනි.

“ඒක යස කතාවක් නෙ. මොකෝ! සිංහල අවුරුද්දට කැවුම් කන එක කවුරුවත් තහනම් කරලා තියෙනවයැ.” තුෂාරි කීවේ තම සැමියා පැවසූ අන්ඩර දෙමළ කතාව ගැන කුතුහලයක් නඟමිනි.

“තහනම් කරලා නැති එක නං හැබෑව හාමිනේ. මේ ඊයේ පෙරේදා ‘කැවුමා’ කියලා එකෙක් පොලීසියෙන් අල්ලලා නෙවැ. ඉතින් අපි කොහොමද සන්තෝසෙන් කැවුම් කන්නෙ.” සෙනෙවිරත්න කීවේය.

 

එහෙම වුණොත් හොඳයි

 

“දැන් ආයිත් පාරක් කසාද බැඳලා අලුත් මනමාලියෙකුත් ගෙදර ඉන්න හින්දා මෙදා සැරේ නං අයියට ජයටම සිංහල අවුරුද්ද සමරන්ඩ බැරියැ.” තිලක්, උත්සවයකදී හමු වූ අල්පෝන්සෝ දෙස බලා කීවේ ඉඟිමරමිනි.

“මගෙ අලුත් මනමාලි ඔය පරණ ගෑනු වගෙ නැතුව ලබන සිංහල අවුරුද්ද පහු වෙනකං වත් මගෙත් එක්ක පවුල් කෑවොත් යාන්තං ඇති මල්ලි” අල්පෝන්සු කීවේ සැනසුම් සුසුමක් හෙළමිනි.

 

සම්මානෙත් එක්ක මුදල්

 

“අපරාදෙ! අර චන්ද්‍රසිරිට කලින් මට හැට පිරුණේ. එහෙම නොවුණා නං මටත් පහුවෙලා කලාභූෂණ සම්මානෙ ගන්ඩ තිබුණානෙ.” දයාපාල තම බිරිය දෙස බලා කීවේ පශ්චත්තාප වෙමිනි.

“හරි පුදුම කතාවක් නෙ අනේ, ඔයා ඔය කියන්නෙ! ලැබුණු දවසෙ ඉඳලා නමට ඉස්සරහින් ඕනෑ එකටයි එපා එකටයි කලාභූෂණ දයාපාල කියල දාගෙන බැබැළුණේ”එහෙම නං අහවල් දේකටද? බිරිය ඇසුවේ කට ඇද කරමිනි.

“ඇයි හාමිනේ, සම්මානෙත් එක්ක අපට ලැබුණේ රුපියල් 10000ක් විතරනෙ. මෙදාපාර 25000ක් දීලා නොවැ. සම්මානෙ වගේද 25000ක් ලැබෙන එක?’ දයාපාල කීවේ ශෝක වෙමිනි.

 

එහෙමද කියල කවුද දන්නෙ?

 

“මේ නාට්‍ය උලෙ‍ළෙදී තරග කරන්නෙ සිංහල සහ දෙමළ නාට්‍ය විතරයිනෙ. එහෙව් එකේ මොකද මේ සමහර සිංහල නාට්‍ය කාරයෝ තමන්ගෙ නාට්‍යවලට ඉංග්‍රීසි නම් දාලා තියෙන්නෙ? ඒ වගේම කෙළවරක් නැතුව ඉංග්‍රීසියෙන් දොඩන දෙබස් වලින් පිරුණු නාට්‍යයකුත් ඊයෙ පෙරේදා පෙන්නුවනෙ.” සෙනෙවිරත්න, චන්ද්‍රසිරි සමඟ කීවේ නාට්‍යයක විරාමයේදීය.

“එහෙත් මෙහෙන් ඉංග්‍රීසි සැරසිලි දාලා ඒ අරුමෝසම් වලින් විනිශ්චය මණ්ඩලය මත් කරලා සම්මානයක් ඩැහැගන්ඩ ඒ ගොල්ලො ට්‍රයි කරනවාද කියලා කවුද දන්නෙ?” චන්ද්‍රසිරි කීවේ සාවඥ සිනාවක් පාමිනි.

 

ඇත්ත කතාව ඒකයි.

 

“පෝය දවසට පන්සලට ඇවිත් සිල් සමාදන් වුණාට ඉරිසියාව - ක්‍රෝධය - වෛරය - කුහකකම වගෙ දුශ්චරිත දුරින්ම දුරු කරගන්ඩ පහසු වෙනවා පින්වත්නි.” ධර්මශාලාවේ දී බණ දේශනා කරමින් සිටි තෙරුන් වහන්සේ වදාළෝය.

“ඇහුණා නේද හාමුදුරුවෝ කියපු දේ. මම ඔයාට කී දවසක් කිව්වද අපිත් එක්කම සිල්ගමු කියලා.” සිල් සමාදන් වී ධර්මය ශ්‍රවණය කරමින් සිටි ශාන්ති තම සැමියා දෙස බලා කීවේ අවලාදයක ස්ව‍රයෙනි.

“සිල් නොගන්න හින්දම තමයි උපාසකම්මේ මගෙ ළඟ ඔය කියන නරක ගති මුකුත්ම නැත්තෙ.” චන්ද්‍රසිරි තම බිරිය දෙස බලා කීවේ සෝපහාසීව ය.

අදහස්