BOLLYWOOD & HOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD & HOLLYWOOD

රඟපෑම් පැත්තක දමා මවට සුබ පැතූ ශ්‍රද්ධා

ශ්‍රද්ධා කපූර් ගෙවී ගිය සතියේ අතිශය කාර්ය බහුලවී සිටියා. ඒ චිත්‍රපට 3ක රඟපෑම් කටයුතුවල නිරත වන්නට ඇයට සිදුවුණු නිසයි. ඒ චිත්‍රපට තමයි, ‘චිච්හෝරේ’, ‘ස්ට්‍රීට් ඩාන්සර්’ සහ ‘සාහෝ’. එකිනෙකට වෙනස් චරිතවල රඟමින් මේ චිත්‍රපටවල රූගත කිරීම් වලට එක්වී සිටියත් තම මවුපියන් සමඟ කතාබහ කරන්නට ශ්‍රද්ධා අමතක කළේ නැහැ. හදිසියේම කෙටි නිවාඩුවක් ලැබුණොත් ගෙදර දුවන්නත් ඇය පැකිළුණේ නැහැ.

එක්තරා දවසකදී ‘චිච්හෝරේ’ චිත්‍රපටයේ රූගත කිරීම් අවලංගු වුණා. හේතුව හොන්න ශ්‍රද්ධා මහන්සි වුණේ නැහැ. ඇයට ඕනැ වුණේ නිවාඩුවක්. හරියට ම එදිනම තමයි, ශ්‍රද්ධා ගේ මව (ශිවන්ගි කපූර්) ගේ උපන් දිනයත් යෙදී තිබුණේ. ඒ නිසා කඩිමුඩියේම ලෑස්ති වූ ශ්‍රද්ධා, ගෝව ප්‍රදේශයේ පිහිටි තම නිවෙසට ඉගිළී ගියේ මවට සුබ පතන්නයි. උපන්දින උත්සවයකුත් නිවෙසේ පැවැත්වුණා. එයට එක්වී ආදරණීය මවට දීර්ඝායුෂ පැතූ ශ්‍රද්ධා එදිනම සවස ගුවන් යානයකින් යළි මුම්බායි නුවරට පැමිණියා. ඊට පසු දින ඇය නැවතත් රූගත කිරීම්වලට එක්වුණා.

ශ්‍රද්ධාගේ උපන් දිනයත් ‍ඊට කලින් දිනයක යෙදී තිබුණත් ඇය උපන් දිනය සැමරුවේ රූගත කිරිම් සිදුවූ ස්ථානයේදීමයි. ඇයට සුබ පතන්නට එක්වුණේ නළු නිළියන් සහ අනෙකුත් ශිල්පීන් කිහිප දෙනකු පමණයි.


තයිමූර් ගේ නැනී

සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන්නන් අතර මේ දිනවල වඩාත් ම ජනප්‍රිය බිලිඳු දරුවා බවට පත්වී සිටින්නේ සුපිරි නළු යුවළක් වන සයිෆ් අලි ඛාන් සහ කරීනා කපූර්ගේ පුතු, තයිමූර් ඛාන්. බොලිවුඩ්පුරයේ නිරතුරු සැරිසරන පැපරාසි කැමරාකරුවන්ගේ අවධානය දිනාගෙන සිටින දරුවා වන්නේත් තයිමූර්. ඒ සමඟම බොහෝ දෙනකුගේ නෙත් වල රැඳුණු තවත් කෙනකු සිටිනවා. ඒ තමයි, තයිමූර් ව බලා ගන්නා මෙහෙකාරිය.

පසුගියදා කිහිප දෙනකුම කරීනාගෙන් ඇසුවේ තයිමූර් ගේ ‘නැනී’ ගේ වැටුප කීයක් විතර වෙනවද කියලයි. ඒ ප්‍රශ්නය නැගුණේ තයිමූර් ව බලා කියා ගන්නා කාන්තාවට සැලකිය යුතු වැටුපක් ගෙවන බවට පළවූ පුවත් නිසයි. ඇතැම් මාධ්‍යවල පළවී තිබුණේ රජයේ උසස් නිලධාරියකුට ගෙවන මාසික වැටුපට සමාන මුදලක් ඇය ලබන බවයි. මේ කටකතා වරින්වර පැතිරෙද්දී ඊට ප්‍රතිචාර දක්වමින් කරීනා මෙලෙස අදහස් පළකළා.

“අපේ පුතා සතුටින් ඉන්නවා නම් ‘නැනී’ ගේ පඩිය කොච්චර කියන එක අදාළ නැහැ. පුතා හරිම සතුටින්, ආරක්ෂා සහිතව බලා ගන්නවා. එච්චරයි.’ මේ අතර, සයිෆ් අලි ඛාන් තම බිරිය කරීනා සහ පුතු තයිමූර් කැටුව ඔහුගේ ගම් ප්‍රදේශය වන පතාඋඩි බලා පිටත්ව ගියා. මීට කලින් සයිෆ්, තම බිරිය එහි රැගෙන ගියත් තයිමූර්ව ඒ ගමනට එක් කර ගත්තේ නැහැ. මේ වතාවේ තයිමූර් පැමිණ සිටිනු දුටු ප්‍රදේශවාසීන් ඔහුව වටකරගෙන කතාබහ කරන්න පටන් ගත්තා. සමහරු පුංචි තයිමූර් සමඟ සෙල්ෆි ඡායාරූප ගන්නත් පසුබට වුණේ නැහැ.


ක්‍රිස්ටිනා පෙරීට යළි සතුට උදා වෙලා

ක්‍රිස්ටිනා පෙරී ගීත රසික රසිකාවන් අතර වඩාත් ජනප්‍රිය වූයේ ‘ද ට්වයිලයිට්’ චිත්‍රපට මාලාවේ ‘බ්‍රේකින් ඩෝන් -2’ චිත්‍රපටයට ගැයූ ‘අ තවුසන්ඩ් ඉයර්ස්’ ගීතය ගැයීමෙන්. එතැන් සිට අද දක්වා ම ඇගේ ජනප්‍රියත්වය නොසිඳී පවතිනවා.

ඒ වුණත් ගතවුණු වසර කිහිපය ක්‍රිස්ටිනා ගේ ජීවිතයට නොයෙකුත් දුක් පීඩාවන් ගෙන දුන්නා. ඇය පවසන්නේ ඒ කිසිවක් හෙළි නොකර සිටිමින් ජීවිතය ජය ගන්නට තමන් උත්සාහ කළ බවයි. “මම ඒ කිසිම දෙයක් ලෝකයාට හෙළි කළේ නැහැ.

ගතවනුණු කාලයේදි මගේ තැන්පත් බව, සිහි බුද්ධිය, අවංක කම වගේ දේවල් මගෙන් ඈත් වුණා. නමුත් දැන් මගේ ජීවිතය ඉදිරියට ම යනවා. මාව ඉදිරියට ගෙනාව හැමෝටම ස්තුතියි.” ක්‍රිස්ටිනා සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි එලෙස සටහන් කර තිබුණා.

ක්‍රිස්ටිනා ගේ ජීවිතය පසුගිය වසරක පමණ කාලයක් තිස්සේ ද දැඩි පීඩනයකට හසුවූ බවයි පැවසෙන්නේ. ඇගේ දියණිය පසුගිය වසරේ ජනවාරි මාසයේදී මෙලොවට බිහිවුණා. ඉන් පසුව ක්‍රිස්ටිනා ගේ සෞඛ්‍ය තත්වයේ පිරිහීමක් සිදු වුණා. එහෙත් දැන් ඒ සියලුම වේදනා සමනය වෙලා. ක්‍රිස්ටිනාගේ ජීවිතයට යළි සතුට උදාවෙලා.

ක්‍රිස්ටිනා විවාහ වුණේ ගාක පෝල් කොස්ටබයිල් සමඟයි. ඔවුන් දෙදෙනාගේ බිලිඳු දියණිය කාමෙලාගේ වයස තවම අවුරුද්දක් පමණයි. දියණිය නිසා තම ජීවිතයට සුව සහනය හිමි වූ බවයි ක්‍රිස්ටිනා පවසන්නේ.


ජෙනිෆර් - ඇලෙක්ස් ගු වනේදී විවාහ ගිවිසගනී

ජෙට් යානයකදී යුවළක් විවාහ ගිවිස ගත්තාය කියලයි හොලිවුඩ් මාධ්‍ය පසුගියදා ප්‍රකාශ කළේ. මේ යුවළ තමයි, ජනප්‍රිය ගායිකා සහ නිළි ජෙනිෆර් ලෝපස් සහ හිටපු බේස් බෝල් ක්‍රීඩකයකු වන ඇලෙක්ස් රොඩ්‍රිගූස්. පෞද්ගලික ජෙට් යානයක සිදුවූ මේ විවාහ ගිවිස ගැනීම විචිත්‍රවත් අයුරින් පැවතුණු බවයි පැවසෙන්නේ.

ඇලෙක්සැන්ඩර් එම්මානුවෙල් රොඩ්‍රිගූස් සහ ජෙනිෆර් ලෝපෙස් පෙම් කතාව 2017 දී ඇරැඹුණා. ඒ දිනවල හොලිවුඩ් මාධ්‍ය වලින් මේ දෙදෙනාව හැඳින්වූයේ ‘ජේ - රොඩ්’ යනුවෙන්. “ජෙනිෆර්ගෙයි මගෙයි ජීවිත හුඟක් දුරට සමානයි. අපි දෙන්නා ම ඉපදුණේ නිව්යෝක්වල.

අපි දෙන්නගේම මවුපියන් ලතින් ඇමරිකානුවෝ. මගේ මවුපියන් ඇමරිකාවට ආවෙ ඩොමිනිකන් ජනරජයේ ඉඳල. ජෙනිෆර්ගෙ මවුපියන් ඇවිත් තියෙන්නෙ පුවටෝ රිකෝවල ඉඳල.

අපි දෙන්නගෙම ජීවිත ගතවෙලා තියෙන්නෙ ගොඩක් හැල හැප්පීම් සහ සුන්දර මතකයන් එක්කයි. අපි දෙන්නම ජීවිතේ හතර වැනි දශකයේයි ජීවත් වෙන්නෙ.” ඇලෙක්ස්, හොලිවුඩ් මාධ්‍ය අමතමින් කීවා.

 

අදහස්