අතවරයට ලක් වූ තරුණියගේ සාපයෙන් ප්‍රේතයා දැවෙයි | සිළුමිණ

අතවරයට ලක් වූ තරුණියගේ සාපයෙන් ප්‍රේතයා දැවෙයි

අනුන් සතු දේපළ පිළිබඳ තණ්හා ඉපදවූ සිත් ඇත්තෝ බලෙන් අයිති කර ගැනී‍ම් හා මංකොල්ලකෑම් සිදු කරති. රජයටත් නීතියටත් හොරෙන් කොයි තරම් රහසිගතව ඒවා සිදු කළත් සිතට හොරෙන් කිසිවක් කරන්නට බැරි ය. විශ්ව ශක්තියත් චිත්ත ශක්තියත් අන්‍යොන්‍ය සම්බන්ධතා ඇති ශක්තීහු ය. පෙර පුණ්‍ය ශක්ති ගෙවන්නෝ ඒ හේතුඵල දහමට අනුව නිලය බලය ලබා වැජඹුණ ද ඒ පෙර පින් ගෙවුණු විට පාප විපාකවලට ගොදුරු වෙති. එය මෙලොව දී හෝ පරලොව දී අනිවාර්යයෙන් සිදුවේ. ඊට මාර්ගය සකස් කරන්නේ ‘මතකය’ නමින් මෙලොව දී ද ‘ගති’ නමින් පරලොවදී ද ක්‍රියාත්මක වන පූර්ව කර්ම විපාකයෝමය. යහපත් හේතුවට යහපත් ඵල විපාක ලබන්නා වාගේ ම අයහපත් හේතුවලට අයහපත් ඵල විපාක දෙගුණ තෙගුණ වී ලබති.

අතීතයේ විවිධ ගුප්ත විද්‍යාබලා ක්‍රියාත්මක වූ සමාජයක ජීවත්වූ ජන ප්‍රධානීහු තමන් සතු වටිනා වස්තුන් නිධන් කොට තැබූහ. යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත විද්‍යා මගින් බලවත් භූතාත්ම සම්බන්ධ කොට ඒ නිධන් වස්තු ආරක්ෂා කිරීම භූතාත්මවලට පැවරූහ. සියල්ල ‘අනිච්ච’ බැවින් කැමැත්තට අනුව පවත්වා ගත නොහැකි ධර්මතාවයට අනුව ඒ භූතාත්මයෙන් ද කර්ම විපාක ගෙවා අවසන් වූ විට නිදහසට යන අවස්ථා ද නැත්තේ නොවේ. කෙසේ වෙතත් අහසේ සිටියත්, පර්වත කුහරයක සැඟවී සිටියත් පාප කර්ම විපාක නම් ගෙවන්නට සිදු වෙනවාම ය. නිලය, බලය හා තනතුරු පිරිහී යෑම අනිවාර්ය වේ. එදාට නම් ගැලවීමක් නැත. අණක් ගුණක් නැති අපරාධකාරයන්ට ද එසේමය. ඒක ලෝක ධර්මතාවකි.

බළන්ගොඩ පියතිස්ස හැත්තෑ හැවිරිදි වැඩිහිටියෙකි. හිටි හැටියේ ඔහුගේ ශරීරය ගලක් මෙන් තද බවට පත් විය. කතා කර ගන්නට නොහැකි විය. දෑත දෙපය හිර විය. මුළු ශරීරය වේදනාවෙන් පීඩා කරන්නට විය. ශරීරයේ සීනි මට්ටම 400 ඉක්මවා ගියේය. වෛද්‍ය ප්‍රතිකාරවලින් කිසිදු සහනයක් නොවී ය.

ඔහුගේ දරු දෙදෙනෙක් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත ඔහු කැඳවා ගෙන ආවෝ ය. අධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසී පියාගේ රෝග තත්ත්වය පැහැදිලි කළහ.

පළමු ගවේෂණයේදීම පියතිස්ස ගැහෙන්නට විය.‍ ඔහුට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව වටහා ගත් ගවේෂකවරයා දින 21 ක් ගමේ පන්සලේ දී බෝධි ‍පූජා පවත්වා නැවත එන්නැයි නියම කළේ ය.

බෝධි පූජා පවත්වාගෙන යන විට ඔහුට යම්තමින් ඇවිදගෙන යන්නටත් කතා කරන්නටත් හැකි විය. දෙවැනි ප්‍රතිකාර දිනයේ දී පියතිස්සට භූතාත්මයක් ආවිෂ්ට වී ගැහෙන්නට විය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරයට ඇතුළු‍ වෙලා ඉන්නේ?”

“මම කළුවා” භූතයා උත්තර දුන්නේ ය.

“මොන කළුවාද? කවුද කළුවා කියන්නේ?”

“මම රාජා. මේ පියතිස්ස මගේ අයියා.”

“කොයි කාලෙද මැරුණේ?”

“අවුරුදු තිහකට විතර කලින්”

“මොනවා වෙලාද මැරුණේ?”‍

“පොලීසියෙන් වෙඩි තියලා” යි භූතයා අඬන්නට විය.

“ඇයි අඬන්නේ?”

“අනේ මාව මේ දුකෙන් මුදවන්න කියලා මගේ අයියාට කියන්න”

භූතයා යළිත් අඬන්නට විය.

එදින ගවේෂණ නතර කළ ගවේෂකවරයා පියතිස්සට ප්‍රකෘති සිහිය ලබාදී “මේ රාජා කවුදැ” යි ඇසීය.

“රාජා මගේ මල්ලී. ගමේ අය කිව්වේ කළුවා කියලා. හරිම නරක චරිතයක්. ඒ නිසා අපි එයාව පවුලෙන් ඈත් කරලයි තිබුණේ. 1988/89 කාලයේ රටේ කලබල තිබුණු කාලයේ මෙයා හොරකම් මැරකම් කළා. ඒ කාලේ අපරාධයකට ගිහින් දුවන කොට පොලිසියෙන් වෙඩි තියලා මැරුවා” යැයි මල්ලිගේ කැරැට්ටුව විස්තර කළේ ය.

ගවේෂකවරයා පියතිස්සගේ ශරීරයේ චක්‍ර පද්ධතිය ශුද්ධ කළේ ය‍. එයින් ඔහුගේ ශරීරයේ තද ගතිය ලිහිල් වී සහනයක් ලැබිණ.

තවත් සතියක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ඔහුට නියම කළේ ය.

නැවත පැමිණි දිනයේ යළිත් භූතාත්මය පියතිස්සගේ ශරීරයට දිෂ්ටි ගන්වා ප්‍රශ්න කරන්නට විය.

“තමුන් තවමත් අයියාට කරදර කරනවා නේද?”

“අනේ මහත්තයා තරහකින් නොවෙයි මේ දුකෙන් මා මුදා ගන්න කියන්නයි අයියාගේ ඇඟට රිංගන්නේ? ප්‍රේතයා කීවේ ය.

“නමුත් ජීවත්ව ඉන්දැද්දී මොනවද කළේ? ඇත්ත කියන්න. අපට පිහිටක් වෙන්න පුළුවන් ද කියලා බලන්න. මොනවද දැන් තමුන්ට තියෙන වේදනා.”

“අනේ බුදු මහත්තයෝ මට කන්න නෑ. බඩ ඇතුළේ මහා ගින්නක් ඇවිළෙනවා. කෑම තිබුණත් කන්න බෑ.”

“ඕක මහා අකුසල විපාකයක්. කරන ලද අකුසල කර්මවල ආදීනව ජීවත්ව ඉන්දැද්දී මොනවද කළේ? ඇත්ත කියන්න.”

“හොර මැරකම් තමයි කළේ. දවසක් කැලේට දර කඩන්න ආපු කෙල්ලක් දූෂණය කළා. ඒකි දැන් මහ ගෑනියෙක්. තවමත් ඒකි මට හිතෙන් සාප කරනවා. ඒ හැම වෙලාවකම මගේ ඇඟ දැවෙනවා. දැවිල්ල ගන්නවා.

“වෙන මොනවද කළේ?”

“දවසක් දොරවක පන්සලේ හාමුදුරුවන්ට මරණ තර්ජනය කරලා ඇ‍ඳේ බැඳලා කටේ රෙදි ඔබලා විහාරයේ පිළිම කැඩුවා. නිධන් ගන්න. ලොකු පිළිම දෙකක් කැඩුවා. මට විරුද්ධව ගමේ පොලිසියට තොරතුරු දීපු සිරිපාලට පොල්ලකින් ගහලා මැරුවා. කැලේ ගස් කපලා හොරෙන් වික්කා. දඩයමේ ගිහින් සතුන් මරාගෙන කෑවා. වෙළෙඳ සල් තුනක් කැඩුවා. එක කඩයක් කඩලා බඩු අරගෙන යන කොට පොලිසියෙන් වෙඩි තිබ්බා. මම පොළොවේ පස් කාගෙන මැරුණා” ප්‍රේතයා අඬන්නට විය.

“තමුන් එදා කරපු අපරාධවල විපාක තමයි ඔය දැවි දැවී විඳවන්නේ. හාමුදුරුවන්ට හිරහැර කළා. පිළිම වහන්සේ කැඩුවා.

ඒ පාප කර්මවල විපාක තමයි ගෙවන්නේ, මේවා බරපතළ අපරාධ. තමුන්ට ගෙවන්නම සිද්ධ වෙනවා. මොනවා කළත් තමන්ව තව කෙනෙකුට බේරගන්න බැහැ. දැන් මේ අයියාගේ ඇඟට රිංගලා ලෙඩ කරලා දුක් දීලා තමන් පාපකර්ම සිද්ධ කරනවා. මේ අයියාට තමුන්ව ගොඩ ගන්න බැහැ. ඔය විපාක තමුන්ට ගෙවන්න ඕනෑ. අයියාට හිරිහැර කරලා තවත් දුක් විපාක ගෙවන්න වෙනවා. අපේ රටේ ආචාර ධර්මවල හැටියට ගැහැනු ළමයෙක් දූෂණය කළාම ඒ ළමයගෙ ජීවිතයට කැළලක්. විවාහයට බාධාවක්. විවාහ වුණත් අසමඟිය මතු වෙනවා. ඒ වෙලාවට සාප කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නෑ. අහිංසකයකුට කරපු අපරාධයට කරන සාපය හරියට ම වදිනවා. ඔය වගේ පාප කර්ම විපාක අපට පිහදාන්න බෑ. දැන්වත් අනුන්ට හිරිහැර නොකර අයියගේ ශරීරයෙන් ඉවත්වෙලා යන්න. කොයි එක වුණත් මම අයියට කියන්නම් පන්සලට දානයක් දීලා තමුන්ට පින් අනුමෝදන් කරන්න කියලා” යි ගවේෂකවරයා ප්‍රේතයාට කීවේ ය.

පියතිස්ස පියවි සිහියට පත් කොට, ගමේ පන්සලට දන් වේලක් පිරිනමා මිය ගිය සහෝදරයාට පින් අනුමෝදන් කර නැවත එන්නැයි කීවේය.

“ජීවත්ව ඉන්දැද්දිත් අපට හිරිහැර අපහාස නින්දා කරලා මූ මැරිලත් කරදර කරනවා” යැයි කී පියතිස්ස ගවේෂකවරයා කියන නිසා දානයක් දී පින් දෙන්නට පොරොන්දු විය.

දානය පිරිනමා පින් අනුමෝදන් කර පියතිස්ස නැවත පැමිණියේ ය. එදින ද ගවේෂකවරයා ප්‍රේතයා දිෂ්ටි ගන්වා ප්‍රශ්න කළේ ය.

“අයියා දානය දී පින් දෙන කොට තමුන් පන්සලට ගියාද?”

“අනේ මහත්තයා. මට පන්සල් වත්තට ඇතුළු වෙන්න බැරිවුණා. එතැන ඉන්න මම වගේ අය ‘තෝ වනචරයා පාපතරයා’ කියලා මට ගහලා පැන්නුවා” ප්‍රේතයා අඬන්නට විය.

“නුඹ කළ දේවල් නුඹම ගෙවන්න ඕනෑ” යි කී ගවේෂකවරයා පියතිස්සගේ චක්‍ර පද්ධතිය පිරිසුදු කොට ශරීරයට අධ්‍යාත්මීය ආරක්ෂා යොදා දිනපතා නි‍ෙවසේ කළ යුතු බෞද්ධ පිළිවෙත් කීපයක් නියම කළේ ය. ප්‍රේතයා පන්නා දැමීය.

රජයේ පොදු දේපළ බලෙන් අයිති කරගන්නා, නිධන් හාරන, අපරාධ කරන කාටත් මෙවන් පාපකර්ම විපාකවලින් ගැලවෙන්නට නම් බැරිය. පවට පින් දෙන්නට බුදුවරයෙකුට ද නොහැකි ය. තමන්ම විඳව විඳවා ආදීනව ගෙවිය යුතුය.

අදහස්