අප වසඟ කරගෙන සිටින ‘සිත’ | සිළුමිණ

අප වසඟ කරගෙන සිටින ‘සිත’

අද අප සාකච්ජා කරන්නේ සංයුක්ත නිපාතයේ ‘චිත්ත සූත්‍ර’ දේශනාවයි. මෙය ඉතා කුඩා සූත්‍රයක්. මුලින්ම අපි ‘සූත්‍ර’ කියන වචනයේ තේරුම පිළිබඳ කතා කරමු. මෙය නිවැරදිව දැනගන්න-එක ඉතා වැදගත්.

මෙහිදී සූත්‍ර යන්නෙන් හැඟවෙන අරුත් රැසක් තිබෙනවා. ලෞකික ලෝකෝත්තර අර්ථ පවතින නිසා අප සූත්‍ර කියලා කියනවා. අනුන්නේ තමන්ගේ ලෞකික සැප-සම්පත් ලබන්නේ කොහොමද කියන මේ දේවල් විස්තර කරන නිසා සූත්‍ර දේශනාවක් කියලා කියනවා. ඒ වගේම ලොකේ හැමදෙනාම හික්මවන්න අවශ්‍ය අදහසට ගැළපෙන නිසා කියනවා සූත්‍ර කියලා. ඒ කියන්නේ තවත් පැහැදිලි කරනවා නම් හික්මවිය යුතු පුද්ගලයන්ට ගැළපෙන නිසා සූත්‍ර කියලා කියනවා. අප දන්නවා ගොයම් සරුසාර වෙනවා. එයින් අපට පලයක් ලබා දෙනවා. සූත්‍රයත් ඒ ආකාර නිසාම කියනවා සූත්‍රය කියලා. ධර්ම මාර්ගයේ ගමන් කළොත් ඒ තැනැත්තාට පල ලැබෙනවාමයි. කිරි වගුරන ගවදෙනක් වගේ ධර්මය වගුරුවන නිසාත් සූත්‍ර දේශනාවට සූත්‍ර කියනවා. අනෙක් අර්ථය තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරන කෙනාව ධර්මය විසින්ම රැකගනු ලබනවා. ‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි’එනිසාක් සූත්‍රය කියනවා.

අප දන්නවා වඩුවන් නූල් ගහනවා. මේ නූල් ගහන්නේ වැඩකට නැති දේවල් අයින් කරන්න. ධර්මයට යොමු වුණාම නූල් ගහනවා වගේ නරක දේවල් අයින් කරලා, හොඳ දේවල් ගන්න අපටත් පුළුවන්. නූලක මල්මාලාවක් ඇමිණුවාක් මෙන් අර්ථ එකට එකතු කර පෙළගස්වලා තිබෙන නිසාත් කියනවා සූත්‍ර කියලා. ‘සූත්‍රය’ කියන්නේ නූලට නමක්.

සර්පයා වලගින් ඇල්ලීම

මේ ධර්මය ඉගෙනගන්න අය උගත යුතු කරුණු තුනක් තිබෙනවා.

මෙයින් පළමුවැනි කාරණාව: ‘අලගද්ධ පරියත්ති’. ‘අලගද්ධ’ කියලා කියන්නේ සර්පයාට. යමකු සර්පයකු ළඟට ගොස් වලිගයෙන් අල්ලාගත්තොත් මොකද වෙන්නේ? සර්පයා දෂ්ට කරනවා. සර්පයකු අල්ලන්න ඕනෑ හිස පෙදෙසින්. ඒ වගේ ම තමයි ධර්මයත් නියමාකාරයෙන් උගත යුතුයි. සමහර කෙනකු ධර්මය ඉගෙනගන්නවා ලාබ-සත්කාර අපේක්ෂාවෙන්. එයින් තමන්ට විපතක්මයි වෙන්නේ. ධර්මය තිබෙන්නේ වාද-විවාද කරලා අනෙක් අයව පාගන්න නොවෙයි. ධර්මය තියෙන්නේ අනෙක් අයට වඩා ප්‍රසිද්ධ වෙන්න නොවෙයි. ඒ නිසා ඒ දේට ධර්මය යොදාගන්න හොඳ නැහැ. වැරදියට ධර්මය ඉගෙනගත්තොත් ධර්මය නිසාම දුගතිගාමි වෙනවා. ධර්මාවබෝධය සඳහාම පමණයි ධර්මය ඉගෙනගන්න අවශ්‍ය වන්නේ.

අනෙක් කාරණාව: ‘නිස්සරණ පරියත්ති’. ‘නිස්සරණ’ කියන්නේම සිල්ගුණය සම්පූර්ණ කරගන්න ඕනෑ කියන අරමුණින්. මේ ධර්මය ඉගෙනගන්න ඕනෑ අනුන්ට ගරහන්න නොවෙයි; ධර්මය නිසා ප්‍රසිද්ධ වෙන්නත් නොවෙයි. මේ ධර්මය ආරක්ෂා කරන්න, බුද්ධ සාසනය ආරක්ෂා කරන්න, පිළිවෙත් පිරීමෙන් සංසාර දුකින් එතෙර වීමටයි අපි මේ ධර්මය පුරන්නේ කියලා අප කල්පනා කළ යුතුයි. සිල් ගුණ පුරන්න, මාර්ගඵල ලබන්න සංසාරෙන් එතෙර වීමටයි අප ධර්මය ඉගනගන්නේ කියලා මුලින්ම සිතේ තබාගත යුුතුයි.

අනෙක් කාරණාව: ‘භාණ්ඩාගාරික පරියත්ති’ රහතන් වහන්සේලා ධර්මය ඉගෙනගන්න ඕනෑ ‘අප මේ ධර්මය උගෙන බුද්ධ සාසනය ආරක්ෂා කරන්න ඕනෑ’ කියලා සිතාගෙනයි. අප එයටයි ‘භණ්ඩාගාරික පරියත්ති’ කියලා කියන්නේ.

විවිධ සූත්‍ර ගැන කතා කළත් ‘සුත්‍රය’ කියන්නේ කුමක්ද කියලා මේ තාක් කතා කළේ නැති නිසයි මෙවර ඒ පිළිබඳව කතා කළේ. දැන් අපි මේ සතියේ සූත්‍ර දේශනාව වන ‘චිත්ත සූත්‍රය’ ගැන කතා කරමු.

දිව්‍ය පුත්‍රයකු බුදුන් වහන්සේගෙන් මේ ආකාරයට ප්‍රශ්නයක් නඟනවා: ‘‘තිලෝකෝ චිත්තේන පරිකස්සතී, චිත්තස්ස ඒක ධම්මස්ස, සබ්බේව වසමන්වගූතී, කිස්සස්ස පරිකස්සතී; ‘මුළුලෝකයම වසඟ වී තිබෙන්නේ එක දේකට, ඒ කුමක්ද?’ කියලා අහනවා. ‘සත්ත්වයා පමුණුවන්නේ කුමකින්ද? ලෝකය ඇදගෙන යන්නේ කුමකින්ද?’ කියලා අහනවා.

නොයෙක් දේට පමුණුවනවා: ද්වේෂයට, වෛරයට, ක්‍රෝධයට සිත යොමු වනවා. මෙතැන ‘ලෝකය’ කියලා කියන්නේ සත්ත්වයාටයි. මේ ලෝක සත්ත්වයා මේ නරක සහ හොඳ දේට පමුණුවන්නේ සිතයි. සිත කියන එකම එක දේට ලෝකයම වසඟ වෙලා ඉන්නේ?

සැම දේ ම කරන සිත

මේ සිතේ තිබෙන පාලනයෙන් ඉවත් වනවා නම් අපට හිත දමනය කරගන්න පුළුවන්. බුදුන් වහන්සේ තමයි අපේ සිත දමනය කරගැනීම පිළිබඳ අවබෝධ කරගත් ශාස්තෘෘන් වහන්සේ.

සමහර වෙලාවට අපේ හිත් තුළ ලෝබ සිත් හට ගන්නවා. සමහර වෙලාවට ද්වේෂ සිත් හට ගන්නවා. තවත් සමහර වෙලාවට අපේ සිත තුළ මෝහ සිත් හට ගන්නවා. මේ සිත විසිරෙන වෙලාවේ තියෙන්නේ මෝහ සිතයි. අප සියල්ල කරන්න ඕනෑ සිහියෙන්. මෛත්‍රිය මෙනෙහි කරන්න ඕනෑ සිත විසිරෙන අවස්ථාවලදී.

ඒ වගේම බුද්ධ රත්නය, සංඝ රත්නය සහ සංඝරත්නය පිළිබඳව සැක ඇති වනවා. ඒ වගේ සීල, සමාධි, ප්‍රඥා පිළිබඳ සැක ඇති වනවා. අතීතයේ ආත්මය ගැන සැක ඇති වනවා. මෙයට අප කියනවා මෝහ සිත් කියලා.

අහේතුක සිත්

ආසාවත් සමග ඇති වන හිතට කියන්නේ ලෝබ සිත් කියල‍‍ා. තරහත් සමඟ ඇති වන සිතට කියනවා ද්වේෂ සිත් කියලා. හිතේ විසිරීමයි සැකයටයි එනම් උද්දච්චයටයි, විචිකිච්ඡාවටයි පදනම් වන සැකයට කියන්නේ මෝහ සිත් කියලා. එවායේ වසඟයට පත් වෙලා ඉන්නේ අපි. නාම රූපවලට අමතරව ඒ වගේම අප තව-තවත් වසඟ වෙලා ඉන්නවා අහේතුක සිත්වලට. සිතක් හටගන්නා කාරණා තිබෙනවා. එනම්: අලෝභය අදෝසය අමෝහය.

මේවාට අමතරව තවත් ආකාරවලින් සිත් හට ගන්න පුළුවන් අකුසල් විපාක සිත් තිබෙනවා. එනම්: අපට අකැමැති දේවල් දකින්න ලැබෙනවා.

මේ පෙර සංසාරයේ කරන ලද අකුසල කර්ම නිසා හටගත් දෙයක්. මේවා දකින්න ලැබෙන්නේ අකුසල කර්මයක් නිසා ඒ වෙලාවේ චක්ඛු විඥානය අහේතුක සිතක් නිසා හටගන්නා දෙයක්. අපට අකැමැති දෙයක් අහන්න, ස්පර්ශ, කරන්න, දකින්න, රසයක් විඳින්න වනවා. එසේ වන්නේ පෙර සංසාරයේ කරන ලද අකුසලකර්මයක් නිසයි. ඒ වගේම කැමැති දේවල් දකින්න, අහන්න, විඳින්න ලැබෙන්නේ කුසල විපාකයක් නිසයි. අහේතුක සිත් කියලා කියන්නේ මේ අවස්ථාවටයි.

අද අප කතා කළේ සිත ගැනයි; එනම්: චිත්තය ගැනයි. මේ සිතට අප වසඟ වෙලා ඉන්නේ.

මේ සිත් ගැන අප හොඳින් තේරුම් ගන්න ඕනෑ. සිත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් වැඩුව හොත් සිතට වසඟ වෙලා ඉන්න අපට එයින් නිදහස් වෙන්නට පුළුවන්.

 

අදහස්