අමල්-නදීමාල් වෙනුවෙන් ඩුබායි ගිය උදුල් | සිළුමිණ

අමල්-නදීමාල් වෙනුවෙන් ඩුබායි ගිය උදුල්

ඔබ අන්තර්-විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ලෙස අදත් විද්‍යාර්ථීන් පිළිගන්න චරිතයක්...

පළමුවෙන්ම කියන්න ඕනෑ 2008 - 2012 වන තුරු 'අන්තරේ' කැඳවුම්කරු ලෙස ගත කරපු ශිෂ්‍ය ජීවිතය තුළ සිදු වූ ඕනෑම දේකට අදත් මම වගකියනවා. එදා අප සමඟ සටන් කළ ශිෂ්‍යයන් අද විවිධ වෘත්තීන්වල නියැළී සිටිනවා. ඔවුන් සමහරුන්ට අප කළ අරගලවලදී තමන්ගේ උපාධිය ඒ වෙනුවෙන් කැප කරන්න සිද්ධ වුණා. එහෙම වුණත් අදත් අප අතර බැඳීම එදා වගේම තිබෙනවා. ඒකට හේතුව: මම එදා පෙනී සිටි වාමාංශික දේශපාලන දර්ශනය වෙනුවෙන් අදත් පෙනී සිටීම.

ඒත් අද ඔබ දේශපාලන වේදිකාව තුළ පෙනෙන්න නැහැ...

මේ වන විට තාවකාලිකව වාමාංශික දේශපාලන ක්‍රියාකාරිත්වය නතර වී තිබෙනවා. ඒකට හේතුව: පවතින වාමාංශික දේශපාලනය පිළිබඳ කිසියම් මතවාදීමය සංවාදයක නිරතව සිටීම. මම මුලින්ම ජවිපෙ දේශපාලන සාමාජිකයකු වී සිටියා. ඊට පස්සේ පෙරටුගාමි සමාජවාදි පක්ෂයට එකතු වුණා.ඒත් මේ වන විට මා එහි පූර්ණ කාලීනයකු හෝ සාමාජිකයකු නෙවෙයි. එහෙත් ඔවුන් සමඟ සමීප ඇසුරක් මට තිබෙනවා. අද වෙනස් මත දරන වාමාංශික කණ්ඩායම් රැසක් තිබෙනවා. මේ හැමෝම එක්කම මා දේශපාලන සංවාදයක නිරතව සිටිනවා. තවමත් මා ඉන්නේ, ඉදිරියටත් ඉන්නේ වාමාංශික දේශපාලන ස්ථාවරය තුළයි.

සමහරුන් කියනවා ඔබ අනෙක් ශිෂ්‍ය ප්‍රජාව බිල්ලට දීලා, ඔබ නීතිඥයකු වුණා කියලා...

එහෙම නම් ඒ හරියට මං ගැන දන්නෙ නැති කෙනෙක් වෙන්න ඕන. මොකද මම නීතිඥයකු වුණේ විශ්වවිද්‍යාලයේ ප්‍රථම වසරෙදිමයි. මම විශ්වවිද්‍යාලයට එන්න කලිනුයි නීති විද්‍යාලයට ඇතුළත් වුණේ. ඒ මගේ පියාගේ බලපෑම නිසා. අන්තරේ කැඳවුම්කරු ලෙස කටයුතු කරන විටත් මම නීතිඥයෙක්.

විශ්වවිද්‍යාල ජීවිතයේදී උග්‍ර වාමාංශික අදහස් තිබෙන බොහෝ දෙනා ඉන් ඉවත් වූ වහා උග්‍ර දක්ෂිණාංශිකයන් ලෙස රූපාන්තරණය වෙනවා. ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?

මේ අය කොටස් දෙකකට හඳුන්වා දෙන්න කැමතියි. එක පිරිසක් පූර්ණකාලීන සැලසුමකට අනුව තමයි වාමාංශික ශිෂ්‍ය ව්‍යාපාරයට එක් වන්නේ. ඔවුන් ශිෂ්‍ය ව්‍යාපාරය තුළදී අරගලවලට සහභාගි වෙනවා; ගුටිකනවා; හිරේ යනවා; මේ ඔක්කෝම ඡායාරූපගත කරල සංරක්ෂණය කරලා තියාගන්නවා. ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරය තුළ කිසියම් භූමිකාවකට පණපොවන්නත් මේ අය අමතක කරන්නේ නැහැ. අනෙක් පිරිස විශ්වවිද්‍යාල ජීවිතයේදී මුහුණ දෙන විවිධ ගැටලු නිසා ශිෂ්‍ය ව්‍යාපාරයට එකතු වෙනවා. ඔවුන් එන්නේ වාමාංශික ව්‍යාපාරය පිළිබඳ අවබෝධයකින් නොවෙයි. ශිෂ්‍ය ව්‍යාපාරය තුළ සාමූහික පැවැත්මක් හදල තියෙනවා. ඒ නිසා ශිෂ්‍ය ව්‍යාපාර තුළ ඉන්න අයට ලොකුවට මුදල් අවශ්‍ය වෙන්නෙ නැහැ. කන්න-බොන්න, ඉන්න-හිටින්න, අඳින්න එහෙම ලොකු ගැටලුවක් නැහැ. හැමෝම බෙදා-හදාගෙනයි කටයුතු කරන්නේ. ඉතිං ඒ අය විශ්වවිද්‍යාලය තුළ ඉන්නකල් වාමාංශික ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ඉන්නවා. එළියට ගිය ගමන් තිබුණ 'ඇරියස් කවර් කරන්න' පටන් ගන්නවා. මේ දෙකම නැතත් පවතින අධ්‍යාපන ක්‍රමය තුළ වුණත් තිබෙන්නේ තරගයක්. ශිෂ්‍යත්වය, ඕලෙවල්, ඒලෙවල් පාස් වෙලා විශ්වවිද්‍යාලයට ඇවිත් එම් ඒ එකක් කරගෙන ආචාර්යවරයකු වෙලා පිටරටකට යන්න තමයි හැමෝම ට්‍රයි කරන්නේ. ඒ අතරතුර තමයි ශිෂ්‍ය ව්‍යාපාරවලට එකතු වෙන්නේ. ඒ අයත් එළියට ගියාම වෙනස් වෙනවා. සමහරවිට දක්ෂිණාංශික පක්ෂයක කෙනකුට වඩා අන්ත දක්ෂිණාංශිකයකු විදියට මේ අය කටයුතු කරනවා.

ඔබට වෙනත් පක්ෂවලින් ආරාධනා ලැබිලා නැද්ද?

ඔය කියන ධනපති පක්ෂවල මගේ මිතුරන් සිටිනවා. මට ඕනෑ තරම් ඔවුන්ගෙන් ආරාධනා ලැබෙනවා. විශේෂයෙන්ම මම පක්ෂයෙන් අයින් වුණා කියල දැනගත් ගමන් මට කතා කරපු ඇමැතිවරු හිටියා. මම ඔවුන්ට කිව්වේ මේ දේශපාලන දර්ශනය එක්ක තමයි මම වැඩ කරන්නේ, මම ‍ඔතෙන්ට ආවොත් ඔයාලටත් මගෙන් වැඩක් නැහැ; මටත් මගෙන් වැඩක් නැහැ කියලා.

අද අපේ රටේ ග්‍රාමීය ප්‍රජාව දේශපාලන තීන්දු-තීරණ ගන්නේ වැඩවසම්, ජාතිවාදි මතවාදයට සීමා වෙලා. ඒත් ග්‍රාමීය තරුණ ප්‍රජාව මූලික කරගෙන ගොඩනැගිච්ච වාමාංශික ව්‍යාපාරයක් විදියට ජවිපෙට බැරිවෙනවා මේ දෘෂ්ටිවාදය වෙනස් කරන්න...

ජවිපෙ හදපු වාමාංශික මතවාදයේ ඛේදවාචකය මම පිළිගන්නවා. ඒකට හොඳම උදාහරණය 'ගින්නෙන් උපන් සීතල' චිත්‍රපටය. එය මුළුමනින්ම ජවිපෙ අනුදැනුම ඇතිව නිපදවූ චිත්‍රපටයක්. ඔවුන්ගේ වර්තමාන දැක්ම තමයි මේ චිත්‍රපටය තුළ අන්තර්ගත වන්නේ. එහි දර්ශනය ගත්තොත් නැවතත් ජනතාව වසර ගණනාවක් ආපස්සට ඇදල දානවා. ඒ වගේම ජනතාව වාමාංශික ව්‍යාපාරයෙන් තව තවත් ඈතට තල්ලු කරපු චිත්‍රපටයක් මේක. අප දන්න දේශපාලන ඉතිහාසය අනුව ඒ කාලසීමව තුළ මේ රටේ නිලලත් සහ නිලනොලත් ආණ්ඩු දෙකක් තිබුණා. නිලලත් ආණ්ඩුව නිල නොලත් ආණ්ඩුවට බය වෙලයි හිටියෙ. මේ චිත්‍රපටයෙ පෙන්නන්නේ මොකක්ද? බයෙන් පැනල යන, තැන් තැන්වල හැංගෙන නායකයෙක්ව. එහෙම පක්ෂයකට මිනිස්සු එකතු වෙයිද? විජේවීර රුසියාවේ ලුලුම්බා සරසවියේ ඉගෙනගත් කෙනෙක්. ඒ රටේ සාමාන්‍ය බීමක් තමයි වොඩ්කා කියන්නේ. මේ චිත්‍රපටයේ විජේවීර විස්කි බෝතලයක් අරන් ඉඹල හරිම ග්‍රාම්‍ය හැසිරීමක් පෙන්නනවා. මේකෙන්ම පේනවා ජවිපෙ විසින් වාමාංශික දේශපාලනය දර්ශනය නැවත වටයකින් වතාවතක් බවට, ආගමක් බවට පත්කරමින් තිබෙන බව. මතුපිට පැවැත්මක් යෝජනා කරමින් වාමාංශික දේශපාලන දර්ශනය මොට කරන මේ ප්‍රතිගාමිත්වය එළිදරවු කළ යුතුයි. එහෙම නැතුව මේ දේශපාලන ගමන යන්න බැහැ. මොවුන් තමයි මේ තට්ටුමාරු ක්‍රමය පවත්වාගෙන යන්නේ. ඒක ලෙහෙසියි. පවුල්වාදය වන්දනා කරන දීන වහල් භාවය නැති කරන්න මොවුන්ට ඇත්ත වුවමනාවක් නැහැ.

නීතිඥ වෘත්තීය ඇතුළේ ඔබ රඟ දක්වන භූමිකාව මොකක්ද?

මම නීතිඥයකු ලෙස දිවුරුම් දීලා අවුරුදු 11ක් වෙනවා. එහෙත් මට 'නීතිඥයා' කියන වෘත්තීය රාමුවට ඔළුව හදාගන්න සෑහෙන කාලයක් ගියා. ඒ වගේම මගේ පෙර ක්‍රියාකාරිත්වය නිසාම නොවැළැක්විය හැකි විදියට මට කටයුතු කරන්න සිද්ධ වුණේ මානව හිමිකම් ක්ෂේත්‍රයට අදාළවයි. බට්ටිගේ නඩුව ගත්තත්, කොණ්ඩයගේ නඩුව ගත්තත් එහෙමයි. ඒ මේ ‍රටේ පීඩිත මිනිස්සු. ඔවුන් මේ සමාජය විසින් බැහැර කළ මිනිස්-බාග; නැත්නම් දූවිලි වගේ. මම ඒ අය වෙනුවෙන් පෙනී ඉඳලා ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දෙන්න තීරණාත්මක මැදිහත් වීමක් කළා. වසර 4කට පස්සේ බට්ටිට පහර දුන් පොලිස් නිලධාරියට දඬුවම් ලබාදී වන්දියක් අරන් දෙන්න මට හැකි වුණා. ඒ වගේම කොණ්ඩයා වැරදි නැහැ කියලා ඔප්පු කරන්න මට පුළුවන්කම ලැබුණා. නැතිනම් වැරදිකරුවා වෙනුවට නිවැරැදිකරුවකු දඬුවම් ලබනවා. මේ දේවල් එක්ක අපරාධ නීතියට අදාළව වැඩි වශයෙන් නඩු ලැබෙන්න ගත්තා. මේ වෘත්තියේ නැහැ විභාග පාස් කරල තමන් කැමති ක්ෂේත්‍රයක් තෝරගන්න. මම පෙනී හිටපු නඩු නිසා මගේ නීතිඥ භූමිකාව මානව හිමිකම් පැත්තට යොමුවෙලා තියෙනවා.

ඔබටත් සමහරක් නීතිඥයන්ට වගේ එන්ජීඕවලින් මුදල් ලැබෙනවද?

මට ඔය චෝදනාව අදාළම නැහැ. ඒත් එහෙම සල්ලි අරන් වෙන වෙන දේවල් කරන අය ඉන්නවා. ඒ අය තමයි රාජ්‍ය නොවන සංවිධානවලින් මේ රටට ලබාගන්න තියෙන සහාය නැති කරන උදවිය; සිවිල් සමාජ ක්‍රියාකාරිත්වය විනාශ කරන උදවිය. මගේ මතය නම් රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ගත්තාට කමක් නැහැ. හැබැයි ඒවා ඇත්තට මේ රටේ ජනතාව වෙනුවෙන් යොදවන්න ඕනෑ. මටත් එහෙම ලැබෙනවා නම් මම කැමතියි. මට ඒකෙන් මිනිස්සුන්ට ගොඩක් උදවු කරන්න පුළුවන්.

මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගත් වෙලාවේ ඔහු වෙනුවෙන් පෙනී ඉන්න ඔබ ඩුබායි ගිය බවට චෝදනා එල්ල වුණා?

අද වෙද්දී ලංකාවේ මතවදාය මෙහෙයවන්න ගොසිප්වලට හැකි වී තිබෙනවා. ඒ නිසයි ඔබ ඔය ප්‍රශ්නය අහන්නේ. ලංකා ඊ-නිව්ස් එක මම ඩුබායි ගිය බව කොහෙන් හරි දැනගෙන මට කෝල් කළා. මගේ දුරකතනය රෝමින් වැටෙන නිසා ඔවුන් ප්‍රවෘත්තියක් නිර්මාණය කළා. ඒ ප්‍රවෘත්තිය තමයි රට පුරාම මාධ්‍යවල ගියේ. නැතුව ඇත්ත හොයල වාර්තා කළා නෙමෙයි.

එහෙනම් ඔබට අනුව ඇත්ත මොකක්ද?

ඇත්තටම මම ගියේ මගේ මිත්‍රයකු වන අමල් පෙ‍රේරා වෙනුවෙන්. මේක පෞද්ගලික ගමනක්. මාත් එක්ක තවත් මිතුරන් දෙදෙනකු මේ ගමනට සහභාගි වුණා. ඒ එක්කෙනෙක් අමල්ගෙ ළඟම මිත්‍රයෙක්. අපි මේ සිද්ධිය දැනගත්තම එකතු වෙලා සොහාන්වයි එයාගේ ගෙදර අයවයි හම්බවෙලා මේ ගැන සාකච්ඡා කළා. අමල්ගේ නදිමාල්ගෙයි පාස්පෝට්වල ෆොටෝ කොපිත් අරගෙන තමයි අපි එහෙට ගියේ. ඒ යනකල් අපි දැනගෙන හිටියේ නැහැ ඔවුන් රඳවා ඉන්නේ කොහේද කියලවත්. එහෙත් දවසගානේ ගොසිප් හැදෙන්න ගත්තා. අපි එහේ ගියේ අමල්ටයි නදිමාල්ටයි කරන්න පුළුවන් උදවුව මොනවද කියලා සොයා බලන්නයි. අපි යනකොට ඔවුන්ට අඳින්න ඇඳුමක්වත් ලැබී තිබුණෙ නැහැ. කෝල් එකක් ගන්න ඔවුන් ළඟ සල්ලි තිබුණෙත් නැහැ.

ඒත් ඔබව එහෙට යැවුවේ ඔවුන් නෙමෙයි නේද?

මේක අප පෞද්ගලික තීරණයක් මත ගිය ගමනක්. ඒත් සෙහාන් මේ ගමන ගැන දන්නවා. ඔහු කියපු දේ හොඳට අහන්න. අපේ රටේ මාධ්‍ය විසින් විකෘති කරලයි ප්‍රචාරය කළේ. අවශ්‍යනම් වගකිව යුතු මාධ්‍යක් විදියට ඔබට ඒ ගැන හොයල බලන්න පුළුවන්. ඒකෙන් වැරදි චිත්‍රයක් ජනතාවට මැවුණා.‍‍ අප එහේ ගියාම දැනගත්තා අමල්ව බලන්න කවුරුවත් ගිහින් නැති බව. මමයි නිරෝෂණුයි, බණ්ඩාරයි අමල් වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥයන් සොයන්න මහන්සි වුණා. මධූෂ්ලා ඒ වෙනකොටත් නීතිඥයන් හොයාගෙන තිබුණා. අප මේ තාත්තටයි පුතාටයි නීතිඥයකු හොයලා දීලා කිසියම් විදියකින් පිටුවහල් කිරීමක් කළොත් ට්‍රැවල් බ්ලෑන්ක් කිරීමක් කරන්න දෙන්න එපා කියලා පොලීසියෙන් ඉල්ලීමක් කළා.

මොකද, එහෙම කළොත් ඩුබායි ඉඳල යුරෝපයට යන්න මේ අයට ඉඩක් ලැබෙන්නේ නැහැ.‍ ඊට පස්සේ අපි ඩුබායි පොලීසියේ ඉන්න පබ්ලික් පෙස්කියුටර් නිලධාරියා හමුවෙලා මේ අය ලංකාවේ ජනප්‍රිය ගායකයන් කියලා සරල පැහැදිලි කිරීමක් කළා.

ඒකට අපි යූටියුබ්වල මේ දෙන්නා සින්දු කියන වීඩියෝ දර්ශන ඔවුන්ට පෙන්නුවා. ඒකත් පහුවදා වැරදි විදියට ලංකාවේ ප්‍රචාරය වුණා.‍

අමල් මේ දේවල්වලට ඇත්තටම සම්බන්ධ නැද්ද?

මට සීයට දෙසීයක් කියන්න පුළුවන් අමල් හෝ නදිමාල් හෝ මේ මත්ද්‍රව්‍ය ජාවාරමටවත්, දියමන්ති ජාවාරමටවත්, ජනාධිපති ඝාතනයටවත් සම්බන්ධ නැහැ කියලා. මේ තාත්තයි පුතයි ගියේ සින්දු කියන්න.

කවුරුද මේ ගමනට වියදම් කළේ?

මේ සිද්ධිය ආරංචි වුණාට අමල්ගේ මිතුරනුයි අපි කිහිප දෙනෙකුයි එකතුවෙලා සාකච්ඡා කළ එහෙ තමයි මේ ගමනට මුදල් හොයාගත්තේ. ඩුබායි යන්න අප් ඇන්ඩ් ඩවුන් ටිකට් එකකට යන්නේ රු. 50,000යි.

අපි ගිහින් නැවතිලා හිටියේ එහේ හිටපු අපේ, අමල්ගේ යාළුවන්ගේ ගෙවල්වල. ඒත් මෙහේ ගොසිප් ‍ගියා මම ලොකු හෝටල් කාමර අරගෙන එහේ ඉන්නවා කියලා.

ඔබ ගිය වැඩේ කරගෙන එන්නේ නැතුව සති තුනක්ම එහි රැඳී සිටියා.

අමල් බලන්න ගිය වෙලාවේ ඔහු මට කිව්වා ඊළඟ උසාවි දවසට ඇප ගන්න පුළුවන් වේවි. ඒකට මටයි පුතාටයි උදවු කරන්න කියලා. එක්කෙනෙක්ට ඇප දෙන්න ඩුබායි සිටිසන් තියෙන දෙන්නෙක් හැඳුනුම්පත් හෝ පාස්පෝට් දීලා ඇප වෙන්න ඕන.

එහෙම ඇප ලැබුණාම ඩුබායිවලින් පිට නොවී තාවකාලික වීසා යටතේ නඩුව ඉවර වෙනකම් එළියෙ ඉන්න පුළුවන්. ඉතිං මම එහේ නැවතිලා ඩුබායි පාස්පෝට් අයිඩන්ට් තියෙන මගේ යාළුවො දෙන්නෙකුයි අමල්ගෙ යාළුවො දෙන්නෙකුයි ඒ වැඩේට ලෑස්ති කර ගත්තා. නමුත් අපේ වැඩේ අසාර්ථක වුණා. ඔවුන් ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළා. මම එදා රෑම ලංකාවට ආවා.

මේ වෙද්දි අමල් ලංකාවට පැමිණීම පරක්කු වීම ගැන සැකයක් ඇතිවී තිබෙනවා.‍

ඒ අය එන්න ප්‍රමාද වෙන්නේ මධූෂ්ලා එක්ක මොනයම් හෝ සම්බන්ධතයක් තිබෙන නිසා කියලා ගොසිප් හැදෙනවා. ඩුබායි පොලිසිය විමර්ශනය කරන්නේ ලංකාවේ වගේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකට ඕනැ විදියට නෙමෙයි. බොහෝම නිවැරැදිව අපක්ෂපාතීවයි.

ඒ අයට දේශපාලන හෝ මුදල්මය බල පෑමක් කළ නොහැකියි. සින්දු කියන්න ගිය තාත්තෙකුයි පුතෙකුයි අපරාධකාරයෝ කරන්න තරම් ඒ රටේ පොලිසියට පිස්සු නැහැ. ඒ නිසා විමර්ෂණ කටයුතු ඉවර වුණ හැටියේ තීන්දුව දේවි. මම විශ්වාස කරනවා නුදුරේදීම ඔවුන් ලංකාවට පැමිණේවි.

මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ගැන මොනවිදියේ අදහසක්ද ඔබට තිබෙන්නේ?

මත්ද්‍රව්‍ය ව්‍යාපාරය කියන්නේ ලංකාවේ නොවිසඳුණු අපරාධයක්. දේශපාලනය සම්බන්ධ නොවන සියලු අපරාධ පොලිසිය මේ වෙද්දී විසඳල ඉවරයි. මේ නොවිසඳුණු සියලු අපරාධය පැහැදිලිවම දේශපාලන සම්බන්ධකම් මත ක්‍රියාවට නැංවෙන අපරාධ. එනිසා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න ඕනැ දේශපාලනඥයන්වයි. ඔය හැච්චෝ පැච්චෝ අල්ලල ප්‍රශ්න කරල වැඩක් නැහැ. ඔබට මතක ඇති පසුගිය පාලන සමයේ එවැනි දේශපාලනඥයකුව පොලිසිය විසින් සාක්ෂි සහිතව අත්අඩංගුවට ‍ගන්න යන වෙලාවේ මේ රටේ රාජ්‍ය නායකයා හෙලිකොප්ටර් එකක ගිහින් ඔහුව වැලඳගත්තා. මොකක්ද මේ අනියමින් කියන්නේ? 'මේ මගේ මිනිහෙක්, අත තියන්න එපා.' කියලානේ? දැන් එක ඇමැතිවරයකු මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය ගැන පරීක්ෂණ පවත්වන්න කියනවා.

ඒක හොඳයි. හැබැයි වෙන්න ඕනැ ඒ‍ක නෙවෙයි; මේ ජාවාරම්වලට සම්බන්ධ අයව හෙළිදරවු කරන එකයි. මේ අය පෞද්ගලිකව කරන කටයුත්තක් වීඩියෝ කරල පෙන්නන පුළුවන්කමක් ඔහුට තියෙනව නම් මේ ජාවරම් කරන්නේ කවුරුද කියලත් ඔහු දන්නවා. එහෙම නොදැන ඉන්න විදියක් නැහැ. ඒ නම් ටික අපරාධ විමර්ශන ඒකකයට භාරදෙන්න.‍

අංගොඩ ලොක්කා, මාකඳුරේ මදුෂ්, වම්බොට්ටා... එහෙම ගණ පිහිටවපු නම් කියපු ගමන් අපිටත් හිතෙනවා මුන් තමයි මේව කරන්නේ කියලා. ඇත්තටම මේ අය ඉත්තො විතරයි. දාමා අදින්නේ වෙන කෙනෙක්. ඔවුන් මේ ජාවාරම්වලට සම්බන්ධ මතුපිට රූකඩ විතරයි. ඒ නිසා මේ යට ඉන්න සුදු ඇඳගෙන පන්සල් යන උපාසකවරුන් රටට හෙළි කරන්න ඕනැ. මම බය නැතුව කියනවා ඒ අය ඉන්නේ දේශපාලන ක්ෂේත්‍රයේ.‍

ජනාධිපතිවරයටත් මත්ද්‍රව්‍ය ජාවාරම නවත්වන්න සැබෑ ඕනැකමක් තිබෙනවා නම් මේ මතුපිට රෝග ලක්ෂණයට නෙමෙයි රෝගය පතුරුවන වාහකයා නැති කරන්න. ඔවුන් ඉන්නේ දේශපාලන ක්ෂේත්‍රයේ. ඔවුන් තමයි මේවා මෙහෙයවන්නේ. ඒ නිසා ඔය අල්ලන් ඉන්න අයට දඬුවම් දෙන ගමන්ම මේ ජාවාරම් යට ඉන්න මහ මොළකරුවනුත් අල්ලන්න; දඬුවම් දෙන්න. නැත්තම් මේ මතුපිට චරික ඇල්ලුවයි කියල මේ ප්‍රශ්නය විස‍ෙඳෙන්නේ නැහැ.

 

Comments