අම්පාරේ මුනිවරයා මහපාරට වැටෙයිද? | Page 2 | සිළුමිණ

අම්පාරේ මුනිවරයා මහපාරට වැටෙයිද?

ඔහුට අප කීවෙ මුනිවර මිනිසා කියාය. අම්පාරේ මුනිවර මිනිසා කී විට ඔහුව හැමෝම දැනගෙන සිටියේය. ඔහු මෙත්තානන්ද රූපසිංහය. ඔහු මුනිවර මිනිසෙක් බව මුලින්ම රටට කීවේ අපය. මෙත්තානන්ද රූපසිංහ නැගෙනහිර පළාතේ දැවැන්තම මුද්‍රණාලය වූ තරිඳු ප්‍රින්ටර්ස්හි හිමිකරුවාය. සිය සේවකයෙකුගේ අතක් මුද්‍රණ යන්ත්‍රයට සිරවීමෙන් අනතුරුව සේවකයාගේ අත බේරාගන්නට කෝටි ගණන් වටිනා එම යන්ත්‍රය කැබලි කොට කපා දැමූ මනුස්සකම පිරුණු උතුම් මිනිසාය. ඒ උත්තම මනුෂ්‍යත්වය පිළිබඳ කතා කර හමාරය.

දැන් අප කියන්නේ මෙත්තානන්ද රූපසිංහගේ මුනිවර කතාවේ දෙවන කොටසය.

“ මම කළ යුත්ත කළා. ඒ සේවකයා අත ආරක්ෂා කරගෙන ජීවත් වෙනවා. මම කළ දේ ගැන කිසිම පසුතැවීමක් නෑ. ඒ කරපු දේ ගැන ආයෙ කතා කරන්නත් අවශ්‍ය නෑ. මං තීන්දු ගත්තේ මනුෂ්‍යයෙකුගේ ජීවිතේ විතරක් ගැන කල්පනා කරලා. ඒ වැඩේට කිසිම දවසක බලාපොරොත්තු වෙච්චි නැති ප්‍රතිචාරයක් මට රටින් ලැබුණා.

දැන් මං ඉස්සරහ තියෙන්නෙ සිද්ධියෙන් පස්සේ මුහුණ දෙන්න තියන අනිවාර්ය ප්‍රායෝගික ප්‍රශ්න. මම මේ යන්ත්‍රය ගත්තෙ පුද්ගලික බැංකුවක මුල්‍ය අනුග්‍රහයෙන් 100%ක් ණය පදනම යටතේ. රුපියල් කෝටියක් විතර වටිනාකමක් මේ යන්ත්‍රයට තිබුණා. යන්ත්‍රය නිසා මගේ ව්‍යාපාරය දියුණු වුණා. මම සම්මාන පිට සම්මාන ගත්තා. නැඟෙනහිර පළාතේ හොඳම සේවා සපයන්නා වුණා. හොඳම ව්‍යවාසායකයා බවට පත්වෙලා ජාතික මට්ටමෙන් රිදී සම්මානය ගත්තා.

ඒ සියල්ල අතීතයත් එක්ක බැඳුණු සිද්ධි. දැන් මං ඉස්සරහා තියෙන්නෙ මේ ගැටලුවට මුහුණ දෙන්න ඕන තනියම.

සිදුවිය හැකි ආකාරයටම එකපාරම ව්‍යාපාරය බිඳ වැටුණා.

මැෂින් එකට පුද්ගලික රක්ෂණ සමාගමක රක්ෂණ 03ක් දාලයි තිබුණෙ. ඉන් එකක් කල් වාරික මුදල් ප්‍රමාදය නිසා අක්‍රිය වෙලා තිබුණෙ. අනෙක් රක්ෂණය ගොඩනැලිගි වලට දාලා තිබුණා. රක්ෂණ සමාගමට අනුව ඒ රක්ෂණයෙන් යන්ත්‍ර සූත්‍ර ආවරණය වෙන්නෙ නෑ. තවත් රක්ෂණයක් වැඩ කරන සේවකයන් වෙනුවෙන් දාලා තිබුණා. නමුත් අනතුරට ලක්වුණු සේවකයගෙ නම තිබුණෙ නෑ කියලා ඒ රක්ෂණයට අදාල වන්දි මුදල දෙන්න බෑ කිවුවා.“

“මීට පෙර අපි වෙනින් පුද්ගලික රක්ෂණ සමාගමක තමයි අපේ ආයතනය රක්ෂණය කරලා තිබ්බේ. ඒ වෙලේ සේවකයින් නම් වශයෙන් රක්ෂණය කළේ නැහැ. අපි වෘත්තිය අනුව තමයි රක්ෂණය කළේ. අලුත් ආවරණයක් එක්ක අලුතින් රක්ෂණ සමාගම එද්දි අපි පැහැදිලි කළා සේවකයන් නමින් නොවෙයි රක්ෂණය කළ යුත්තෙ, අපේ සේවකයින්ගේ වෘත්තිය අනුව ඔවුන් රක්ෂණය කරන්න කියලා. නමුත් මෙම රක්ෂණ සමාගම මගෙන් අනුමැතියක් නොමැතිව සේවකයින්ගේ නමින් රක්ෂණය කරලා. ඒ බව මා දැනුවත් වෙන්නේ සිද්ධිය උනාට පස්සෙ. ඔවුන් අපිට මේ වෙද්දි රක්ෂණ මුදල දෙන්න බැහැ කියලා කියනවා. මම පස්සේ ඒ ආයතනයෙන් ඉල්ලා සිටියා මම කළ මේ සද් කාර්යය බලලා වන්දි මුදලක් ලබා දෙන්න කියලා. ඒ ආයතනය එහෙම කළේ නැහැ. කොහොමත් අපට පිළිගන්න වෙනවා මානුෂික පදනම් හැමෝටම තීන්දු ගන්න බැරි බව.”

ඔහු කියන්නේ එසේය. අප දකින්නේ මේ විශිෂ්ට ව්‍යවසායකයාගේ ව්‍යාපාරය බිඳ වැටෙමින් ඇති ආකාරය. කපා දැමූ යන්ත්‍රයේ ණය වාරිකය ඔහුට ගෙවාගන්නට බැරි වී තිබේ. දැන් බැංකුව ඔහුගේ පුද්ගලික දේපල ප්‍රසිද්ධියේ වෙන්දේසි කර සිය ණය වාරිකය ගෙවා ගන්නට සැලසුම් කරයි. ඒ පිළිබඳව ඔහුට ලිඛිතවත් දැනුම් දී ඇත. අඩුම තරමින් අඩු පොලී ණය යෝජනා ක්‍රමයක් යටතේ ප්‍රතිලෙඛණගත කර, කාලය දීර්ඝ කර අඩු වාරිකයක් ගෙවන ආකාරයට ණය මුදල සංශෝධනය කර දිය හැකි ක්‍රමවේදයක් ඔහු වෙනුවෙන් ඉදිරිපත් වී නැත.

ඔවුන් ටොකු අනිමින් මෙත්තානන්දට කියන කතාවක් තිබේ. සේවකයාගේ අත හසුවූ මොහොතේ යන්ත්‍රය අනෙක් පසට කැරකුවා නම් යන්ත්‍රය ඉතිරිවන්නේය. සේවකයාගේ අත ඔහුට අහිමි වන්නේය. සමහරවිට ඔහුගේ ජීවිතයත් නැති වීමේ අවදානමකට යන්නේය. එහෙත් මෙත්තානන්ද රූපසිංහගේ ව්‍යාපාරය රැකෙන්නේය.

අසරණ සේවකයා අතත් සහිතව ජීවත්ව හිඳී. කපා දැමූ මැෂිමේ යකඩ තරිඳු ප්‍රින්ටර්ස් ආයතනයේ පසෙක ගොඩ ගසා ඇත. මෙත්තානන්ද රූපසිංහගේ දේපල ප්‍රසිද්ධියේ වෙන්දේසි කර බැංකු ණය පියවා ගන්නට බැංකු සැරසේ. ඔවුහු මස් රාත්තලම ඉල්ලමින් සිටිති.

රක්ෂණ සමාගම් මනුස්සකම ආවරණය කරන්නේ නැත. ඉතාම සරලය. සේවකයෙකුගේ අතක් හසුවූ විට යන්ත්‍රය කපා දැමීමේ කොන්දේසියට වන්දි ගෙවීමේ ගිවිසුමක් හෝ ආවරණයක් රක්ෂණ පැකේජවල ඉදිරිපත් කර නැත. ඒ නිසා කිසිම රක්ෂණ මුදලක් ඔහුට ලැබෙන්නේ නැත.

අම්පාරේ ප්‍රසිද්ධ රාජ්‍ය බැංකුවක කළමනාකාරිවරියක් ඔහුගේ චෙක්පත් 03ක් ඔහුට කිසිදු දැනුම් දීමකින් තොරව එහි අණකරු විමසනු ලෙස සටහන් කරමින් අගරු කර ඇත. දැන් සියල්ල හමාරය.

මෙත්තානන්ද මුනිවරයෙක් වන්නට උත්සාහ කර ඇත්තේ මේ වැනි අශික්ෂිත ව්‍යාපාරක සමාජයකය. යුරෝපීය ඇඳුම් සහිතව වටිනා වාහන වලින් යන එන නමුත් සිය ගෝත්‍රික තිරිසන්කම පමණක් ඉතිරි කරගත් අමනුෂ්‍ය සමාජයකය. සියලු මානුෂික වටිනාකම් බල්ලන්ට දමා අනෙකාගේ ගෙල මිරිකා දමා හෝ ස්වකීය ඉලක්ක සපුරා ගැනීමට බලකරන සමාජයකය. ඉතින් මෙත්තානන්දට හොඳ වැඩේය.

“සිළුමිණ පත්තරේ තමයි මුලින්ම මේ සිද්ධිය අනාවරණය කළේ. ඔවුන් කියනකම් මට මං කරපු වැඩේ මෙච්චර වටින වග දැනගෙන හිටියෙ නෑ. මට මනුස්සත්වය අගය කරමු - එකට සිටිමු ජාතික සම්මානයත් හිමිවුනා.”

ඔහු සිනාසෙමින් කියන්නේය. ඔහු දැන් බාලාගෙන ඉන්නේ ඇති දා ඔහු සමග ගනුදෙණු කළ මේ මූල්‍ය ආයතන පැමිණ ඔහුගේ දේපල ප්‍රසිද්ධියේ වෙන්දේසිකොට වියදම පියවා ගන්නට එන තුරුය.

ඔබත් මුණිවර ව්‍යාපාරිකයෙක් දකින්නට අවශ්‍ය නම් අම්පාරට එන්න. තව ටික දවසකින් “මනුස්සත්වය අගය කරමු - එකට සිටිමු “ජාතික සම්මානය අතින් දරාගෙන සිටින සිටින ඔහු අම්පාර පේවමන්ට් එකේදී ඔබට හමුවිය හැකිය. අප ජීවත්වෙමින් සිටින්නේ අහවල් සමාජයකදැයි අප අපේ හදවතට තට්ටුකර ප්‍රශ්න කරගත යුතුව තිබේ.

අදහස්