අම්මලා ප්‍රාණ ඇපයට ගන්නා සරසවි සිසුන්ගේ පහත් වැඩ. | සිළුමිණ

අම්මලා ප්‍රාණ ඇපයට ගන්නා සරසවි සිසුන්ගේ පහත් වැඩ.

විශ්වවිද්‍යාල නවක වදයේ දුක්මුසු පුවත් සිළුමිණ පුවත්පතෙන් පසුගිය කාලය පුරා අප අනාවරණය කළේ නිදහස් අධ්‍යාපනයේ මුල් උදුරා දමන පහත් මානසික ක්‍රියාකරකම් තුරන් කිරීමේ සමාජ වගකීමක් ඔබ සතුවද ඇති නිසාය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නවකවද හිංසා නැවැත්වීමට විශාල උත්සාහයක් ගනිමින් සිටියද, තවමත් එහි නිමාවක් නැති බව මේ ලිපිය කියවන විට ඔබට පසක් වේවි.

මේ අප්‍රසන්න සිද්ධිය කියවීමෙන් පසු උගත්, බුද්ධිමත් මවකට හෝ පියකුට තම දරුවා කිසි දා විශ්වවිද්‍යාලයකට නොයැවීමේ දැඩි තීන්දුවකට ප්‍රවේශ වේ නම් එහි කිසිදු වරදක් නැත. අපේ මේ ලිපියේ අරමුණ මවුපියන්ට තම දරුවන්ගේ උසස් අධ්‍යාපනය ගැන එවන් දැඩි තීන්දුවකට ප්‍රවේශ විමට මාර්ගය සකසා දීම නොව අපේ නිදහස් අධ්‍යාපනයට හිමි නිසි ගෞරුත්වය ආරක්ෂා කිරීමට සැමගේ ඇස් ඇරවීමකි. නැති නම් විශ්වවිද්‍යාවල සිදු වන ම්ලේච්ඡ ක්‍රියාකාරකම් සහමුලින්ම උදුරා දැමීමට පාර කැපීමකි.

නවකවදයේ බොහෝ තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ පිහිටුවා ඇති නවකවද පැමිණිලි භාරගැනීමේ ඒකකයට දිනෙන් දින වාර්තා වෙයි. ඒ සියල්ල ඉතා රහසිගත ආකාරයෙන් විමර්ශනය කෙරෙමින් පවතී. වදහිංසා විඳ දරාගන්නට නොහැකි සිසුන්ද නවකවදයට විරුද්ධ වන්නන්ද නොබියව නැඟී සිටින්නට වෙර දරන්නේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් එල්ල වන බාධා මැදය.

නවකවදය දෙන්නන්ගේද, නවකවදයට ලක් වන්නන්ගේද, නවකවදයට විරුද්ධව නැඟී සිටින්නන්ගේද මවුපියන් තුළ ඇත්තේ සිය දරුවන් ගැන එකම බලාපොරොත්තුවයි. තම දරුවා ජ්‍යෙෂ්ඨයන්ගේ නවකවදයට විරුද්ධ වීමේ පළිය මවගෙන් ගන්නේ නම් ඊට දිය යුතු දඬුවම කුමක්දැයි සමාජය විසින්ම තිරණය කළ යුතුය.

සුළු පිරිසකගේ අමනෝඥ ක්‍රියා නිසා සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාවටම සිදු වන්නේ බරපතළ නින්දාවකි. මේ සත්‍ය සිද්ධියට අදාළ පැමිණිල්ල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත ලැබී තිබුණේ පසුගිය මාසයේ 26 වැනිදාය. නවකවදයෙන් පීඩාවට පත්වු එම සිසුවා විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේ 2017 නොවැම්බර් මාසයේ දිනයකය. එම සිසුවාගේ නිවෙස කොළඹ නාගරික ප්‍රදේශයක පිහිටි අතර අධ්‍යාපනය ලබා ඇත්තේද කොළඹ ප්‍රධාන පෙළේ පිරිමි පාසලකිනි. සිසුවාගේ මව විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි.

ජ්‍යෙෂ්ඨයන්ගේ මතයට අනුව ඒ සුදුසුකම් විශ්වවිද්‍යාල ප්‍රජාව නුසුදුසුය. පළමු වසරට පිවිසෙන එම සිසුවා ඇතුළු පිරිසට නවකවද දෙන්නේද ඔහුගේම පීඨයේ සිසුන් වන අතර සිසුවා ඒ සෑම අවස්ථාවකදීම නවකවදයට විරුද්ධ වන්නේ ඊට විරුද්ධ වීමට තමාට ඇති අයිතිය නිසාය.

“නවකයෙක් වුණාට මම නවකවදයට තදින්ම විරුද්ධ වුණා. මුල් දිනයේම ජ්‍යෙෂ්ඨයන් මට ගේන්න කියලා බඩු ලිස්ට් එකක් දුන්නා. ඒකේ තිබුණේ කාන්තා යට ඇඳුම්, සනීපාරක්ෂක තුවා, කොන්ඩම් වැනි දේවල්. තවත් දවසක ඒවා ඇඳගෙන නටන්න කියලා කිව්වා. මම ඊට තදින්ම විරුද්ධ වුණා. ‘උඹ මේවා කරපන් කරපන් කියලා ‘ මට වද දෙන්න ගත්තා. ඒත් මම තදින්ම ප්‍රතික්ෂේප කරද්දි දෙක, තුන හා හතර වසරවල ජ්‍යෙෂ්ඨයන් මාත් එක්ක තදින්ම විරසක වුණා.

දවසක් කැන්ටින් එකට මාව එක්කගෙන ගිහින් බලහත්කාරයෙන් කෑම ගිල්ලුවා. මට වමනය ගියා. ඒ නිසා මම නිවාඩු කාලයේ නේවාසිකාගාරයේ නවතින්න ගියේ නැහැ. ගෙදර ආවා. මේ වන විට පළමු වසරවල අනෙක් සිසුන් තදින්ම නවකවදයට මුහුණ දෙමින් සිටියා. මගේ විරුද්ධ වීම් හමුවේ ජ්‍යෙෂ්ඨයන්ගේ ටාර්ගට් එක වුණේ මගේ අම්මව. ඒක හරිම අප්‍රසන්න වේදනාත්මක අත්දැකීමක්.

මම නවකවදයට විරුද්ධ වුණ ඒ අය පළිය ගත්තේ මාව වදපු මගේ අම්මගෙන්. ඒ අය මගේ අම්මගේ ටෙලිෆෝන් නොම්මරය හොයාගෙන අසභ්‍ය වට්ස් ඇප් ගෘෘප් එකකට මගේ අම්මගේ ටෙලිෆෝන් නොම්මරය දැම්මේ ‘Sri Lankan Hot Aunty‘ නමින්.

ඒ සිදු වීමට කලින් මගේ උපන් දිනයකට පාර්ටි එකක් දැම්මා නුවර රෙස්ට්ටුරන්ට් එකක. ඒකට මගේ යාළුවෝ 6 දෙනෙකුයි මගේ මවුපියනුයි ආවා. ඉන් පස්සේ ඒ අය මට තවත් හිරිහැර කරන්න ගත්තා. මම තදින්ම ඔවුන්ට මගේ විරුද්ධත්වය පෙන්වුවා. අවසානයේ ඒ අය මගෙන් පළිය ගත්තේ මගේ අම්මාගේ නොම්මරය මා මුලින් කියූ ගණිකාවන්ගේ දුරකතන අංක සහිත group එකට අප්ලෝඩ් කිරීමෙනුයි. ඒ අප්‍රේල් 23 වැනි දා. අප්‍රේල් 24 වැනිදා සිට 26 වැනිදා දක්වා මගේ අම්මගේ දුරකතන අංකයට විවිධාකාරයේ නොහොබිනා ආරාධනා කරමින් නොනවත්වාම දුරකතන පණිවිඩ එන්න පටන් ගත්තා.

අපි එහෙම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඒත් නොනවත්වාම එන්න ගියහම අපි ගොඩාක් කලබල වුණා. පස්සේ වැල්ලවත්ත පොලිසියට ඒ ගැන පැමිණිල්ලක් කළා. මගේ අම්මා උගත් කාන්තාවක්. ඇය ඉගැන්වූයේ විශ්වවිද්‍යාල සිසුන්ට. මට නවකවදය දුන් අය දන්නවා මගේ අම්මගේ රැකියාව මොකක්ද කියලත්“ අදාල සිසුවා ඒ පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත පැමිණිලි කර ඇත්තේ ඒ ආකාරයටය.

පසුගිය වසරේ අප්‍රේල් 26 වැනිදාම සිසුවාගේ මවුපියන් වැල්ලවත්ත පොලීසියට පැමිණිලි කළේ සිද්ධියේ සුලමුල සොයාගැනීමටය. ඉහත WhatsApp group එකේ පිටපත් අදාළ පොලිසියට ලබා දි ඇති අතර ඒ අනුව ඊට මුල් වු පිරිස සොයා ගැනීමට පොලිසියට හැකි විය. එය එම විශ්වවිද්‍යාලයේ අවසන් වසර නියෝජනය කළ ඉංජිනේරු පීඨයේ සිසුන් කීප දෙනකුගේ වැඩකි.

මැයි පළමු වැනිදා මවුපියන් වැඩිදුර විමර්ශනය සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිලි කර ඇත්තේ එය ‘කොලු වැඩක්‘ යැයි සරලව ඉවත දැමිය යුතු දෙයක් නොවු නිසාය. එසේම මැයි මස 2 වැනිදා මවුපියන් ඒ පැමිණිල්ල විශ්වවිද්‍යාල පාලනාධිකාරියටද ඉදිරිපත් කර තිබේ.

එය සුළුවෙන් තැකිය හැකි පැමිණිල්ලක් නොවූ නිසා අවස්ථා කිහිපයකදිම විශ්වවිද්‍යාල පාලනාධිකාරියත් මෙන්ම මාර්ෂල්වරුනුත් සිද්ධිය පිළිබඳ සොයා බලන්න විය.

ඒ අතරතුර පසුගිය ඔක්තෝම්බර් මස 27 වැනි දා එම සිසුවාට යළිත් තර්ජනය කරන්නට ජ්‍යෙෂ්ඨයන් උත්සාහ කරන්නේ නින්දිත ආකාරයෙනි. “ උඹලා මොනවා කළත් අපි මේවා නවත්වන්නේ නැහැ “

ඊට පසුද විශ්වවිද්‍යාල පාලනාධිකාරියත් මාර්ෂල්වරුනුත් දැනුවත් කළත් ඊට නිසි ක්‍රියාමාර්ග ගැනුණේ ද යන්න සැක සහිතය.

කෙසේ වෙතත් වැල්ලවත්ත පොලිසිය එම සිදුවීමට සෘජුව සම්බන්ධ සිසුවාගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කරන්න විය. එතැනින් නොනැවතුණු මවුපියන් පසුගිය ජනවාරි මාසයේ මේ පිළිකුල්සහගත සිද්ධිය ජනාධිපති, අගමැති, උසස් අධ්‍යාපන ඇමැති, නිතිපති, ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්ය දැන්වුයේ යළිත් එවැනි සිද්ධියක් කිසිවකුට වීමට ඉඩ නොතබමිනි. මහ පොළොව නුහුලන මේ නවකවද සිද්ධිය පෙබරවාරි 25 වැන දා සිවිල් නඩුවක් සේ උසාවියේ ගොනු වෙයි. සිද්ධිය පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කරන්නට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කටයුතු කරයි.

බොහෝ විශ්වවිද්‍යාල තුළ නවකවදය නැති වුවද වාර්තා වන නවකවද ප්‍රමාණයේ අඩුවක් නොපවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත ලැබෙන පැමිණිලිවලින් පැහැදිලි වෙයි.

තම විශ්වවිද්‍යාලයෙන් නවකවදය තුරන් කිරීමේ වගකීම ඇත්තේ පාලනාධිකාරියටය. එහෙත් සිදු නොවන එකම දේ එය බව බලධාරීන්ගේ අදහසය.

ලිංගික හිරිහැර හෝ ශාරීරික වද හිංසාවට රටේ සාමාන්‍ය නීතිය යටතේ ද දඩුවම් කළ හැකිය. සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමෙන් හෝ පන්ති තහනම් කිරීමෙන් හෝ එසේත් නැති නම් ශිෂ්‍යාධාර අහෝසි කිරීමෙන් නවකවද දෙන්නන්ට දඩුවම් කිරීමට ශක්තියක් විශ්වවිද්‍යාල පාලනාධිකාරියට තිබිය යුතුය. එහෙත් කනගාටුවක මහත වන්නේ මේ නවකවදකාරයන්ට විශ්වවිද්‍යාල පාලනාධිකාරය බිය වීමය. උපකුලපතිවරුන්ට දෙන තොරතුරු ඒ දුන් සැණින් ජ්‍යෙෂ්ඨයන්ට ආරංචි වීම සිතාබැලිය යුතු කරුණකි. පසුගිය මස 19 වැනි දා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලැබුණු පළමු වසරේ සිසුවියකගේ පැමිණිල්ලක කොටසකි මේ. “ දිනක් සිසුවෙකු උපකුලපතිතුමාගේ පෞද්ගලික දුරකතනයට නවකවදය පිළිබඳ යම් තොරතුරක් ලබා දි තිබේ.

ඊට පසු දිනම එය නවකවදය දෙන සිසුන් දැනගෙන තිබිණි. පසුව තොරතුරු දුන් සිසුවාට අප ඉදිරියේම කනට ගසන ලදී. එදන රාත්‍රියේ තිදෙනෙකු පැමිණි ඔහුට හොඳට පහර දි තිබිණි.

එහෙත් විශ්වවිද්‍යාලයට පැමිණි දිනයේම උපකුලපතිතුමා අපට පැවැසුවේ කුමන ආකාරයක හෝ නවකවදයක් දුන්නහොත් වහාම තමාට පවසන ලෙසයි.

එහෙත් අපට උපකුලපතිතුමා විශ්වාස කළ නොහැකිය. අනේ සර් පුළුවන්නම් මේක නවත්වන්න කියලා පරිපාලනයට කියන්න. පාඩම් කරන්න කාලයක් නැහැ. විසැඳුමක් ලබා දෙන්න සර් වඳින්නම්“

 

අදහස්