කොකාවිල් ප්‍රහාරයෙන් දිවිගලවාගත් තිදෙනාගේ කතාව පොතකට | සිළුමිණ

කොකාවිල් ප්‍රහාරයෙන් දිවිගලවාගත් තිදෙනාගේ කතාව පොතකට

  • චොපර්වලින් ගෙනත් දාපු අයිස් කුට්ටි වැටිලා කුඩු වුණා
  • ත්‍රස්තවාදීන් ආවේ හෙල්මට් එකේ ප්ලෑෂර් හයිකරගෙන
  • මගේ මිනිය තියන්න අහල පහල අය ඇවිත් ගේත් අස් කරලා

ඉවාන් පවුලුෂා යැයි කී විට මගේ මතකයට එන්නේ දැදිගම වී. රුද්‍රිගු ලේඛකයා විසින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද වානේ පන්නරය ලැබූ හැටි රුසියානු නවකතාවයි. නොරටක විප්ලවය, විප්ලවයට මුහුණ දුන් මිනිසුන්ගේ සත්‍ය වූත් නිර්මාණශිලි කතා කියවා අප අපමණ දේ ඉගෙන ගතිමු. රුසියන් සාහිත්‍ය අපට ඉගැන්වූ දේ බොහෝ යැයි කීවාට කිසිවෙකු උරණ නොවනු ඇත.

වානේ පන්නරය පොත පමණක් නොව සෑබෑ මිනිසෙකුගේ කතාව, ඇට මැස්සා, අම්මා , අම්මා සහ මිහිකත ආදි පොත් සාහිත්‍යයට අප තුළ ඇල්මක් ඇති කළ ලෝක සාහිත්‍යයේ වටිනා පොත්ය.

ලෝක සාහිත්‍යයේ යුද්ධය, අරගලය, විප්ලවය මුල්කොට ලියැවුණු විශිෂ්ට ගණයේ කෘති තවමත් අපේ රටේ බිහි නොවීම නම් කනගාටුවකි. කෙසේ වුවත් යුද්ධය තේමාකරගෙන ලියැවුණු පොතක් පිළිබඳ හෝඩුවාව දුන්නේ ඡායාරූප ශිල්පි සුදම් ගුණසිංහ සොයුරාය.

මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ විසින් ලියන ලද ‘අවිබිමක ගිනියම‘ අප දන්නා අතීතයක දන්නා කතාවක, නොදන්නා තොරතුරු රැසක් අනාවරණය කරයි.

යුද්ධයෙන් පසු දකුණේ ජනතාව උතුරට යන්නට වුයේ වන්දනාවේ යන්නාක් මෙනි. යුද්ධයේ සුන්බුන් මෙන්ම එදා සටන් පැවති ප්‍රදේශ ද සියැසින් දැක ගන්නට වුහ. උතුරේ ස්මාරක බොහෝය. කොකාවිල් ස්මාරකයද කාගෙත් හුස්ම මොහොතකට නතර වන තැනකි. හුස්ම නතර වන්නේ එදා කොකාවිල් කඳවුරේ සිටිය වුන්ට සිදු වුයේ කුමක්දැයි කියන කතාව දන්නා අයගේ පමණි.

කොකාවිල් කඳවුර අයත්ව තිබුණේ 1 වන ශ්‍රි ලංකා පාබල හමුදාව යටතේය. කොකාවිල් හි පිහිටි රූපවාහිනි සම්ප්‍රේක්ෂණ මධ්‍යස්ථානයට අරක්ෂාව සැලසීම මෙහි සිටි අයගේ රාකාරිය විය.‍ෙකොකාවිල් මුල්ම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන්නේ එක්දහස් නවසිය අසූ පහේදිය. කඳවුරේ ආර්.පී.ජී ගිනි අවිය භාරව සිටියේ කෝප්‍රල් ඒකනායක පාන්දර යාමයේ පැමිණි අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරයෙන් කඳවුරත් සිය සඟයනුත් බේරාගැනිමට සමත් විය. දිවි පරදුවට තබමින් සටන් කිරීම නිමිත්තෙන් වීර වික්‍රම විභුෂණ සම්මානයෙන් ඒකනායක පිදුම් ලබන්නේය.

නැවත 1990 ජුලි 11 දින කොකාවිල් කඳවුරට එල්ල වූ දෙවන ප්‍රහාරයෙන් ලුතිනන් සාලිය අලදෙණිය ඇතුළු සෙබළු 54 දෙනෙක් හා සිවිල් සේවකයෝ 4 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුහ. දින විසි හයක් තිස්සේ අනන්ත දුක් විඳිමින් ත්‍රස්තවාදීන් සමඟ සටන් කළ සෙබළුන්ට සිදු වුයේ කුමක්ද? ආහාර හා වතුර පතුරොම් නැති නිසා පසුබසින්නට කියා තිබියදිත් ඔවුන් සටන් කළේ කෙසේද? සාලිය අලදෙණිය සිය සඟයන් සමඟ පසුනොබැස්සේ මන්ද, යන ප්‍රශ්නවලට අදටත් පිළිතුරු නොතිබෙන්නට බොහෝ දුරට ඉඩ තිබිණි. එදින කඳවුරේ සිටි සියල්ලෝම මිය ගියේ නම් අදටත් කොකාවිල් ප්‍රහාරය සිදු වුයේ කෙසේද යන්න සදාකාලික රහසකි. එහෙත් එම ප්‍රහාරයෙන් තිදෙනෙකුගේ දිවි ගැලවිණි. ඒ කඳවුරේ සිටි සෙබළුන් දෙදෙනෙකුගේ හා සිවිල් සේවකයකුගේය.

පසුගිය දිනෙක එම ප්‍රහාරයෙන් දිවි ගලවාගත් අත්තනායක මුදියන්සේලාගේ සිරිවර්ධන සමඟ කතාබහ කරන්නට අපට අවස්ථාව ලැබිණි. වයස අවුරදු පනස් එකක් වන සිරිවර්ධන යුදහමුදාවට බැඳෙන්නේ වයස අවුරුදු විසි එකේදීය.

“මම හමුදාවට බැදුණේ 1987 ජුලි විසි එක් වැනිදා. මම කොකාවිල් ගියේ 1990 . ඒ කාලේ වවුනියාවේ සාමාන්‍ය ජනතාව පදිංචි වෙලා හිටියේ නැහැ. මුරුක්කන් පැත්තට වෙන්න තමයි මිනිස්සු හිටියේ. අපිට ඒ කාලේ ගෙවල්වලින් ලියුම් ලැබෙන ක්‍රමයක් තිබුණේ නැහැ. වවුනියාවෙන් චොපර් මඟින් උඩින් තමයි කෑම්ප් එකට ලියුම් ගෙනැල්ලා දැම්මේ.

කෑම්ප් එකේ පහළට වෙන්න ළිඳක් තිබුණා. ඒකෙන් මෝටර් දාලා තමයි වතුර ගත්තේ. කොහොම හරි කෑම්ප් එකට ගහන්න ගත්තට පස්සේ මෝටරේ පිච්චුණා . ඊට පස්සේ වතුර භාජනවලට පුරවගෙන ඇවිල්ලා තමයි පාවිච්චි කළේ. නමුත් LTTE කෑම්ප් එක වට කළාට පස්සේ වතුර ගන්න ළිඳට යන්න බැරි වුණා. පස්සේ චොපර් වලින් දහයියා දාලා අයිස් කුට්ටි ගෙනැත් දැම්මා. ඒ අයිස් කුට්ටි බිමට වැටුණම කැඩිලා විසිරිලා යනවා. දයානන්ද මේවා කල්දේරම්වලට එකතු කරනවා.

අන්තිම දවස් වෙන කොට කන්න දෙයක් කෑම්ප් එක ඇතුළේ තිබුණේ නැහැ. චොපර්වලින් ගෙනැල්ලා දාන කෑමවලින් වැඩි ප්‍රයෝජන ගත්තේ ත්‍රස්තයෝ. ඒ වෙන කොට හුඟක් අය තුවාල වෙලා හිටියා. එකොළොස් වැනිදා රෑ වෙන කොට ත්‍රස්තයෝ කැම්ප් එක ඇතුළට ආවා. අපි මුහුණට මුහුණ ගහ ගත්තා. LTTE අය කතා කළේ සිංහලෙන්. කැම්ප් එකට විදුලිය තිබුණේ නෑ. ත්‍රස්තයෝ ආවේ හෙල්මට් එකේ ප්ලෑෂර් එකක් හයි කරගෙන. අපිට ත්‍රස්තයො අදුර ගන්න පුළුවන් වුණේ ඒ ලයිට් එක නිසා.

අලදෙණිය සර් හිටියේ ඇතුළේ. පසුබසින්න කියලා අපිට කියලා තිබුණත් සර් කැමති වුණේ නැහැ තුවාල ලබපු අය දාලා යන්න. සර් කිව්වේ අපි මේකට මුහුණ දෙමු කියලා. ඒ සටනෙදි අපේ අය වගේම ත්‍රස්තයොත් ගොඩක් මැරුණා. කෑම්ප් එක ඇතුළේ ජෙනරේටරයක් තිබුණා. ත්‍රස්තයෝ ගැහුව RPG වැදිලා තෙල් ටැංකිය ගිනි ගත්තා.“

සිරිවර්ධන අතීතය සිහිපත් කරමින් කොකාවිල්හි ගෙවුණ බිහිසුණු දින ගණන ගැන කියයි.

“ වෙඩි වැදිලා මගේ කන් අඩි පිපුරුවා. කකුල් දෙකට, පිටට වෙඩි වැදුණා. මගේ පිටිපස්සෙන් හිටිය අනෙක් දෙන්නට මට වඩා දරුණුවට වෙඩි වැදුණා. අපි බඩගාගෙන ආවා. මට ඒ පාරවල් හුරුයි අනෙක් දෙන්නා අලුත්. මම එයාලට කිව්වා නැඟිටින්න එපා බඩගාගෙන යමු කියලා. නමුත් ඔවුන් පහත් වෙන්න හදන කොටම වෙඩි වැදුණා. මම දිගටම පාරට ගියා. ඉස්කෝලේ වත්තේ පොල් ගහකට නැඟලා කුරුම්බාවක් කඩා ගත්තා. මගේ ළග තිබුණ උල්පිහියෙන් කපාගෙන වතුර බිව්වා. කොහොම නමුත් මට බයවෙලා පාරේ හිටපු හරක් දුවන්න ගත්තා. මමත් හරක් එක්කම දිව්වා.

හමුදාව චොපර්වලින් ඇවිත් පැරා ගැහුවා. ඒ පැරා එළියෙන් තමයි පාරේ ආවේ. මම මාන්කුලම් වෙනකම් ආවා. මාන්කුලම් කැම්ප් එක හොයා ගත්තේ හිතේ හෝදිසියට. කෑම්ප් එක ගාව අඹගහක් තියෙනවා මම අඹ ගහ ළඟ බිම නිදාගෙන තමයි බංකරේ හිටිය අයට කතා කළේ. මං දන්නවා ඔවුන් සැකේට වෙඩි තියන බව. ඒ ගොල්ලෝ මා ඉන්න පැත්තට වෙඩි තිබ්බා. ඒ වෙඩි වැදුණේ අඹගහට. මම සද්ද නැතිව හිටියා. එහෙම ඉදලා එළිය වැටීගෙන එනකොට ආයේ කතා කළා. වේලාව පාන්දර පහමාරට විතර ඇති. මම ආයෙත් කතා කළා. ඒ ගොල්ලෝ මට එන්න කිව්වා. ඒත් මට නැඟිටලා ඇවිද ගන්න විදිහක් නැහැ. මගේ පිටට බෝම්බ වැදිලා තිබුණේ. කැප්ටන් වීරසූරිය සර් ඇවිල්ලා මාව උස්සගෙන අරන් ගියා.

ලේවලින් තෙත් වෙලා තිබුණ මගෙ ඇඳුම් ඇඟටම වේළිලා. ඇඟට වතුර දාලා පෙඟෙන්න ඇරලා තමයි ඇඳුම් ගැලෙව්වේ. ඉන්පස්සේ තුවාලවලට බෙහෙත් දැම්මා. පස්සේ මා ඇතුළු තවත් තුවාල වෙලා හිටිය සෙබළුන් ගුවනින් ආනුරාධපුරය රෝහටත් පසුව හමුදා රෝහලටත් එව්වා. කොහොම වුණත් කොකාවිල් කෑම්ප් එකට ගහලා හැමෝම මැරුණා කිව්වම ගෙදරින් හිතලා තියෙන්නේ මමත් මැරිලා කියලා. අහල පහල අය ඇවිල්ලා ගේ අස්කරලා මගේ මිනිය තියන්න.

සිරිවර්ධනට නොදැනීම දිගු සුසුමක් නැඟෙයි. “වෛද්‍යවරුන් මට කිව්වේ ආයේ යුද බිමට යන්න එපා කියලා. ඒත් කොකාවිල් කෑම්ප් එකේදි අලදෙණිය සර් ඇතුළු මගේ යාළුවන්ට වෙච්ච දේ මතක් වෙන කොට මට ආයෙමත් යුද බිමට යන්නමයි ඕන වුණේ. මම හමුදාවට බැඳුණේ මගේ තරුණ හිතේ තිබුණ ආසාවට. මම ආයෙත් වවුනියාවට ගියා. නමුත් 1998 දි නැදුන්කර්නිවලදි බට්ටෙකුට දකුණ කකුල ගියා. මේ වෙන කොට මම වෛද්‍ය හේතුන් මත සේවයෙන් අයින් වෙලා ඉන්නේ. මගේ පුතාලා දෙන්නම දැන් හමුදාවේ. මොනවා අහිමි වුණත් දුකක් නැහැ. හැම දේම කළේ රට වෙනුවෙන්.“ සිරිවර්ධන පවසන්නේ අභිමානයෙනි.

කොකාවිල් ප්‍රහාරයෙන් දිවි ගලවාගත් සිරිවර්ධනට මෙන්ම , නිමල් සිරිවර්ධනට කැලැත්තෑවේ දයානන්දටද ඔවුන්ට කියා විශේෂ වු කතා ඇත. ඒ කතාවලින් පත්තර පිටු ගණන් පිරවිය හැකිය.

යුද්ධයේ බිහිසුණු බව දන්නේ යුදබිමේ දී අත්දැකීම් ලැබුවෝය. යුද බිම රැදෙමින්,ඒ අත්දැකිම් ද ලබා පසු කලෙක කොකාවිල් ප්‍රහාරයට මුහුණ දුන් මිනිසුන් සොයා යමින් වසර විසි ගණනක් පැරණි තොරතුරු සොයා ගොස් ඔහු පොතක් ලියූවේය. ඒ ‘යුදබිමක ගිනියම‘ නම් වූ කෘතියයි. මේ පොත ලියන්නට සිත් වුයේ ඇයි. අපි මේ ප්‍රශ්නය ඇසුවේ පොතේ කර්තෘ මේජර් සුජිත් චමින්ද එදිරිසිංහගෙනි.

“ දවසක් මම පවුලේ අය සමඟ කොකාවිල් ස්මාරකය ඉදිරියේ ඉන්නවා. මගෙ පුතා මගෙන් අහනවා අප්පච්චි අලදෙණිය කියන්නේ කවුද කියලා. මම පුතාට ඒ ඉතිහායසය කියලා දුන්නා. වසර තිහක් පමණ හමුදාවේ සේවය කරන කැප්ටන් කෙනෙකුගේ බිරියකගෙන් ඇහුවා අලදෙණය සර් ගැන දන්නවද කියලා. ඇය කියනවා හසලක ගාමිණි ගැන දන්නවා අලදෙණිය ගැන දන්නේ නැහැ කියලා. මගේ පුතා නියෝජනය කරන පරම්පරාව වගේම, අර කැප්ටන්ගේ බිරිය නියෝජනය කරන පරම්පරාව අලදෙණිය විරුවා ගැන දන්නේ නැහැ. ඉදිරි පරම්පරාව කොහොමටවත් මේ ගැන දන්න එකක් නැහැ. ඒ නිසා මම හිතුවා කොකාවිල් ප්‍රහාරය ගැන මෙන්ම එහිදි මිය ගිය විරුවන් පිළිබඳ ලියන්න ඕන කියලා. ඒ අනුවයි මේ පොත ලියවුණේ. මේජර් සුජිත් පවසන්නේ ය.

අවිබිමක ගිනියම අපේ රටේ යුද සාහිත්‍යයක ඇරඹුක් දෝ යන හැඟිම නිකමට මෙන් සිතේ මතුවේ.

 

අදහස්