ජම්පටා වීදියෙන් පාතාලයට වැටී රට වටේ බිලි හොයනකොස්ගොඩ සුජීගේ අබිරහස් මිනීමරුවා... | සිළුමිණ

ජම්පටා වීදියෙන් පාතාලයට වැටී රට වටේ බිලි හොයනකොස්ගොඩ සුජීගේ අබිරහස් මිනීමරුවා...

  • කොළඹ ඉඳන් එල්.ටී.ටී.ඊයට බැඳෙන්න යන්නෙ 2002 සාම කාලෙදි
  • අත් දෙකෙන්ම වෙඩි තැබිය හැකි ඉදිරිපෙළ සටන් කළ වෙඩික්කරුවෙක්
  • පාතාලෙට තල්ලු කළේ ජම්පටා වීදියෙ කුඩු සෙල්වි

කොස්ගොඩ සුජී යනු අන්තර්ජාතික පොලිසියෙන් රතු නිවේදනයක් නිකුත්ව සිටින මෙරට එකම පාතාල කල්ලි නායකයාය. මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන සුජීද මේ වන විට සිටින්නේ ඩුබායි රටේය. කොල්ලුපිටියේ රථ ගාලකින් පසුගිය දා අල්ලාගනු ලැබූ ලොකුම මත්කුඩු තොගයටද ගෑවී ඇත්තේ කොස්ගොඩ සුජීගේ නමය.

දේශපාලන හයිහත්තියද ඇති පාතාල කල්ලි නායකයෙකු වන කොස්ගොඩ සුජී එල්.ටී.ටී.ඊ.යේ වෙඩික්කරුවෙකුගෙන්ද වැඩගත් අපූරු පාතාලයෙකි. ඒ වෙඩික්කරු කෙනඩි ප්‍රනාන්දු හෙවත් බුම්මාය. වමතින් මෙන්ම දකුණතින්ද ඉලක්කයට වෙඩි තැබීමේ අසාමාන්‍ය හැකියාවක්ද ඔහුට පවතී. ඒ නිසා එල්.ටී.ටී.ඊ.යේ වෙඩික්කරුවන් අතර බුම්මා කැපී පෙනෙන චරිතයක් බවට පත් වී සිටියේය.

යුද්ධය නිම වීමෙන් පසු කොස්ගොඩ සුජීගේ සෙවනෙහි රැඳෙමින් අබිරහස් වෙඩික්කරුවෙකු ලෙස පාතාලයේ අත්පොත් තැබූ බුම්මා දැන් මත්කුඩු ජාවරම මෙහෙයවන්නටද පටන්ගෙන ඇත්තේ කොළඹටම මත්කුඩු බෙදමිනි. පොලිස් විශේෂ කාර්ය බළකාය පසුගිය 15 වැනි දා සිකුරාදා සවස ජා- ඇළ පැත්තේ විශේෂ මෙහෙයුමක නිරතවෙමින් වටලන්නේ බුම්මාගේ මත්කුඩු සහ ආයුධ සඟවන එක් ආරක්ෂිත නිවසකි. එහි තිබී හෙරොයින් කිලෝ දහසයක්, අයිස් කිලෝ එකහාමාරක්, කොකේන් කිලෝවක්, හසීස් කිලෝ පහක්ද සොයාගන්නේ බුම්මා සෑම වර්ගයකම මත්කුඩු බෙදාහරින්නෙකු බව තහවුරු කරමිනි.

මත්කුඩුවලට අමතරව ගිනි අවි හතරක්ද ඒ නිවසේ තිබී සොයාගනු ලැබීය. ඒ අතරින් තුනක්ම මෙරට නිෂ්පාදිත ගිනිඅවිය. එම නිවසේ තිබුණු යතුරු පැදියකටද විශේෂ කාර්ය බළකායේ විශේෂ අවධානය යොමු විණි. ඒ කොළඹ මහ නගර සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු වූ ක්‍රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් හෙට්ටිවීදියේ පිහිටි ඔහුගේ වෙළඳසල තුළදී වෙඩි තබා මරා දැමීමට වෙඩික්කරු පැමිණි යතුරු පැදියට එම යතුරුපැදිය බැලූ බැල්මට සමාන කමක් පෙන්වූ නිසාය.

2018 වසරේ ජූලි 09 වැනිදා ක්‍රිෂ්ණ පිල්ලේට වෙඩි තබන්නේ උදෑසන වෙළඳසල විවෘත කරනවාත් සමඟය. කිසිදු කලබලයකින් තොරව වෙළදසලට පැමිණෙන වෙඩික්කරු ක්‍රිෂ්ණාට වෙඩි තබන අයුරු ආරක්ෂක කැමරාවල සටහන් වී තිබිණි. වෙඩික්කරුගේ ඒ හැසිරීමෙන් ඔහු වෙන කිසිවෙකු නොව බුම්මා බව පොලිස් විමර්ශකයෝ සැක පළ කළහ.

බුම්මාගේ නිවෙසේ තිබී එකී යතුරු පැදිය පමණක් නොව, වෙඩි තබන විට ඔහු පැලඳ සිටි ආරක්ෂක හිස් වැසුමද හමු විණි.

එසේ බුම්මාගේ ආරක්ෂක නිවස වටලන්නට පොලිස් විශේෂ කාර්ය බළකායට හැකියාව ලැබෙන්නේ වත්තල හේකිත්තේදී ඉකුත් ජනවාරි 13 වැනි දා සිදු වන ද්විත්ව මිනිස් ඝාතන විමර්ශනය අනුවය. රෝස පැහැති වැගන් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට එදා එම ප්‍රහාරය එල්ලකරන්නේ එහි ඉදිරිපස අසුනේ සිටි දෙදෙනා මරා දමමිනි.

පිටුපස ආසනයේ කාන්තාවන් දෙදෙනෙකු සහ දරුවන් දෙදෙනෙකුසිටියද ඒ අයට හානියක් නොකරන්නට වඩික්කරුවන් වගබලාගෙන තිබුණේ ඉලක්කය නිසි පරිදි ලබාගනිමිනි. ටී 56 ගිනි අවි දෙකකින් එදා එම ප්‍රහාරය එල්ල කළ අය අතර මුස්ලිම් කාන්තා වෙස්ගත් වෙඩික්කරුවෙක්ද සිටියේය.

එකී ප්‍රහාරයෙන් ඝාතනය වන්නේ කලක් ජම්පටා වීදිය හොල්ලාගෙන සිටි කුඩු සෙල්වි නැමැති කාන්තාවගේ දියණිය විවාහ ගිවිසගෙන සිටි ස්ටීවන් රාජේන්ද්‍රන් සහ සෙල්විගේ වැඩිමහල් පුත්‍රයා වන ශිරාන්ගේ බිරිඳගේ සහෝදරයා වන සුප්පයියා මදිවානන් යන දෙදෙනාය. මෝටර් රථයේ සිට වෙඩි නොකා දිවි ගලවාගත්තේ ශිරන්තගේ බිරිඳ සහ දරුදෙදෙනාත් නැඟණියත්ය.

එම ප්‍රහාරයේ සැකයද එල්ලවූයේ බුම්මාටය. ඒ කුඩු සෙල්විගේ පවුලේ සාමාජිකයන් සමඟ බුම්මා ආරවුලක පැටලී සිටි නිසාය. එකී ආරවුල වසර කිහිපයක් ඈතට දිව යන්නෙකි.

බුම්මා එල්.ටී.ටී.ඊ.යට එක් වන කොළඹ තරුණයෙකි. 1987 වසරේ මැයි 03 වැනි දා උපන් ඔහු අධ්‍යාපනය ලබන්නේ කොළඹ කොච්චිකඩේ පැත්තේ පාසලකිනි. ඒ අටවැනි ශ්‍රේණිය දක්වාය. බුම්මා එල්.ටී.ටී.ඊ.යට එක්වන්නේ පාසල් ගමනට සමුදීමෙන් පසු සිය පියා සමඟ කොළඹ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සේවයට ගොස් සිටියදී දැන හඳුනාගත් නාදන් මාර්ගයෙනි. නාදන් එල්.ටී.ටී.ඊ.ය සමඟ සම්බන්ධකම් පැවැත්වූවෙකි.

2002 වසරේ සාම සාකච්ඡා පැවැති වකවානුවේදී නාදන් සමඟ වන්නියට යන බුම්මා එල්.ටී.ටී.ඊයේ සටන්කරුවෙකු ලෙස එක්වන්නේ එලිලෝවන් නම් කොටි නාමයද සහිතවය. එහිදී ඔහු පුහුණුව ලබන්නේ සුබන් මාස්ටර් යටතේය. දක්ෂ වෙඩික්කරුවෙකු ලෙස පුහුණුව නිම කරන ඔහු යොදවන්නේ ඉදිරිපෙළ සටන්වලටය. එහිදී තෙවරක්ම ඔහු හමුදා ප්‍රහාරවලින් තුවාලද ලබා ඇති බව සඳහන්ය.

යුද්ධය නිමා වීමෙන් පසු 2009 මැයි 14 වැනි දා හමුදාවට භාරවූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් අතර බුම්මාද සිටියේය. මුලින්ම ඔහු යොමු කෙරෙන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයටය. මාස 21ක්ම ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ බූස්ස කඳවුරේ රඳවනු ලැබ සිටියේය. අවි ආයුධ තොගයක් සමඟ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට පත් වී සිටි කොස්ගොඩ සුජී ද එකල රඳවා සිටියේ බූස්සේය. කොස්ගොඩ සුජී සමඟ බුම්මාගේ හිතවත්කම ඇති වන්නේ එහිදීය.

මරදමඩු හී එකල පිහිටි පුනරුත්ථාපන කඳවුරට බුම්මා යොමු කෙරෙන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් දීර්ඝ කාලයක් තිස්සේ රඳවාගෙන කළ විමර්ශනවලින් අනතුරුවය.

මෝදර කේන්ද්‍ර කරගනිමින් එකල කොළඹ පාතාලයේ රජ කළ කිඹුලා ඇල ගුණා සමඟද බුම්මාට සම්බන්ධකම් තිබිණි. ඒ කිඹුලා ඇළ ගුණාගේ සහෝදරයා වන සුරේෂ් සහ බුම්මා පාසල් මිතුරන් වූ බැවිනි. මේ වන විට කිඹුලා ඇළ ගුණා සහ සුරේෂ් සිටින්නේ ඉන්දියාවේය.පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට බුම්මා මත්කුඩු ජාවාරමට පිවිසෙන්නේ කිඹුලා ඇල ගුණා හරහාය. ඔහු දැන් කොළඹ බෙදාහරින්නේ කුඩු ගුණාගේ බඩුය. ඒවා ගෙන එන්නේ ඉන්දියාවේ සිට බෝට්ටු මඟිනි.

මරදමඩුහීදී වසරක කාලයක් පුනරුත්ථාපනය වූ බුම්මා නැමැති එල්ටිටීඊ වෙඩික්කරු පාතාලයට පිවිසෙන්නේ කුඩු සෙල්වි නිසාය. එකල ජම්පටා වීදියම හොල්ලාගෙන සිටියේ කුඩු සෙල්විය. පොලිසිය පවා සිටියේ සෙල්විගේ අතේය. සෙල්වි සිය ප්‍රතිවාදී මත්කුඩු ජාවාරමක්කරුවන් පොලිසියට හසු කර දෙමින් ජයටම මත්කුඩු ජාවරමේ නිරතව සිට ඇත්තේ දූෂිත පොලිස් නිලධාරීන්ගේද ආශිර්වාදය ඇතිවය.

සෙල්විට පිරිමි දරුවන් තිදෙනෙක් සහ දියණියකි. වැඩිමලා පලනි ශිරාන්ය. මවගේ හයියෙන් ඔහුද ජම්පටා වීදියේ නැඟී එන චණ්ඩියෙකු බවට ඒ වන විට පත් වෙමින් සිටියේය. දිනක් ඔහු සිය බලය යොදන්නේ බුම්මාගේ වැඩිමහල් සහෝදරිය වන ශිරෝමිටය. ඇය ඇහැට කනට පෙනෙන රූමත් තැනැත්තියක් වූවාය. ශිරාන් ඇගේ අතින් ඇද කළ අනවශ්‍ය විහිළුව දුරදිග යන්නේ සහෝදරයෙකු ලෙස එය විඳ දරාගන්නට නොහැකි වූ බුම්මාගේ බාල සහෝදරයන් දෙදෙනාගෙන් අයෙකු වන මැරන්ස් ඒ ගැන විමසන්නට ශිරාන් මුණ ගැසීමට ගිය විටදීය. එහිදී ඇති වන බහින්බස් වීම දුරදිග යන්නේ බුම්මාගේ සහෝදරයාගෙන් ශිරාන්ට පහර කිහිපයක් වැදීමෙනි.

ඊට ශිරාන්ගෙන් ප්‍රතිප්‍රහාරය එල්ල වන්නේ දකුණු ඉන්දියානු චිත්‍රපට ජවනිකාවක් ආකාරයටය. බුම්මාගේ නිවසට තිහ හතලිහක මැර හමුදාවක් සමඟ කඩාවදින ශිරාන් මුළු නිවසම පොඩි පට්ටම් කරන්නේය. එම මැරයන් බුම්මාගේ මුළු පවුලටම පහරදී තිබුණේ අමානුෂික ආකාරයටය. එම පහරදීම්වලින් තුවාල ලැබූ බුම්මාගේ මවත් සහෝදරියෝ දෙදෙනාත් සහෝදරයෝ දෙදෙනාත් කොළඹ ජාතික රෝහලේ සති කිහිපයක්ම ප්‍රතිකාර ලැබූහ. එහෙත් පොලිසිය ඒ පැත්ත බැලුවේ නැත. ඒ කුඩු සෙල්විගේ හයියට පොලිසියද බිය වී සිටි නිසාය. අවසානයේ බුම්මාගේ පවුලේ සාමාජිකයන්ට සිදු වන්නේ ගේදොර අතහැර මෝදර පැත්තේ කුලී නිවසකට යන්නටය. ඒ කුඩු සෙල්විගේ තර්ජන හමුවේය.

ඒ සියල්ල සිදු වන්නේ බුම්මා බූස්සේ රඳවා සිටියදීය. බුම්මා නිදහස ලබන විට සිය මව සුබ්‍රමනියම් සෙල්වරාජ් සිටින්නේ මැරන්ස්ද සමඟ කුවෙට් රටේ රැකියාවකට ගොසිනි. වැඩිමහල් නැඟණිය ශිරෝමි විවහා වී ඒ වන විට මෝදර පැත්තේ පදිංචි වී සිටියාය. ජම්පටා වීදියේ පිහිටි නිවස මේ පවුලට තහනම් කලාපයක් ලෙස කුඩු සෙල්වි නම් කර තිබිණි. එහෙත් බුම්මා එම තහනම සිය පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් ගණන් ගත්තේ නැත. නිදහස ලැබූ ඔහු කෙළින්ම පදිංචියට එන්නේ සිය මහ ගෙදරටය. ඒ සෙල්විට යම් අභියෝගයක්ද එල්ල කරමිනි.

ඒත් එක්කම සෙල්විගෙන් සහ ඔවුන්ගේ දරුවන්ගෙන් පීඩනයට ලක් වී සිටි තරුණයෝද බුම්මා වටා රොක්වන්නට වූහ. එය සෙල්විට දරා ගන්නට නොහැකි විණි. බුම්මා ඇතුළු පවුලේ සාමාජිකයන් ඝාතනය කරන්නට ඇය පාතාල සාමාජිකයෙකුට රුපියල් ලක්ෂ 10ක කොන්ත්‍රාත්තුවක් දෙන්නේ ඒත් එක්කමය. ඒ බව බුම්මාගේ කනේ තබන්නේ පූකුඩිකන්නාය.

බාලචන්ද්‍රන් පුෂ්පරාජ් හෙවත් පූකුඩිකන්නාද මත්කුඩු ජාවාරමේ නිරතව සිටින්නෙකි. ඔහු පදිංචි වී සිටියේ මෝදර පැත්තේය. එල්.ටී.ටී.ඊ.ය සමඟද සම්බන්ධකම් පැවැත්වූ අයෙකු වූ පූකුඩිකන්නා ඒ වන විට සිටියේ වැලිකඩ බන්ධනාගාරයේය. ඒ මත්කුඩු සමග පොලිසියට හසු විම නිසාය. ඔහුටද සෙල්වි සමඟ මත්කුඩු ආරවුලක් පැවැතිණි. ඔහු බුම්මාව අවුස්සන්නේ ඒ නිසාය. ඊට බුම්මා හසු විය. පූකුඩිකන්නා සිය සගයෙකු මඟින් බුම්මා අතට ගිනි අවියක්ද පත් කළේය. 2015 සැත්තැම්බර් 12 වැනිදා බුම්මාගේ වෙඩි ප්‍රහාරයකින් කුඩු සෙල්විගේ කතාව නිම වෙන්නේ ඒ සමඟිනි.

ඒත් එක්කම බුම්මා කොළඹින් අතුරුදන් විය. ඔහු මතු වන්නේ කොස්ගොඩිනි. ඒ කොස්ගොඩ සුජීගේ රැකවරණයත් සමඟිනි. සුජී ඒ වන විට සිය බිරියත් සමඟ සිටින්නේ ඩුබායි රටේය. ඒ මාකඳුරේ මධුෂ්ගෙන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායෙන් සිය ජීවිතය රැක ගන්නටය. සිය සගයන් රැසක්ම පොලිසියට හසු වී සිටියදී බුම්මාගේ පැමිණිම කොස්ගොඩ සුජීට දැනෙන්නේ රටක් රාජ්‍යක් හිමි වූ තරමටය. බුම්මාව රැකගැනීමේ කටයුත්ත සුජී ඩුබායි සිට පවරන්නේ ඌරගස්මන්හංදියේ සිටි විශ්වාසවන්තම සගයෙකු වූ මයිකල්ටය.

කොස්ගොඩ සුජීගේ කල්ලියේ ඒ වන විට සිටි වැඩකරුවා වූයේ මයිකල්ය. සුජීගේ නම ගෑවුණු ඝාතන ගොන්නකටම සැබෑ වගකිව යුත්තා වූයේ මයිකල්ය. ඔහුට එරෙහිව දකුණේ අධිකරණ රැසකම නඩු රැසක් ඒ වන විටත් පැවතියේ විභාග වෙමිනි. 2016 වසරේ පෙබරවාරි 16 වැනිදාද ඔහුට එරෙහි නඩුවක් බළපිටිය අධිකරණයේ විභාග වීමට නියමිතව තිබිණි. බළපිටිය අධිකරණය ඉදිරිපිටදී එදා කොස්ගොඩ සුජීගේ ඉල්ලීමකට අනුව බුම්මා දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කරන්නේ දෙනෝදහක් බලා සිටියදීය. එදා බුම්මාගේ වෙඩිල්ලෙන් ඝාතනය වූවන් අතර පාතාලයේ නමගිය චරිතයක් වූ කේ.ඒ.පියරත්නද සිටියේය. අනෙකා රසික චමින්දය.

සුජීගේ ඉල්ලීම මත 2016 අප්‍රේල් 11 වැනිදාද බුම්මා තවත් බිල්ලක් ගත්තේය. ඒ ඌරගස්මංහංදියේ මීගස්පිටියේදීය. ඔහු නමින් නන්දසිරිය.

කොස්ගොඩ සුජීගේ අබිරහස් වෙඩික්කරුවා වූ බුම්මා ගැන ඒ වන විටත් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ඉව වැටී තිබිණි. නන්දසිරිගේ ඝාතනයෙන් දින දෙක තුනකට වඩා ඔහුට නිදහසේ සිටින්නට ඉඩක් නොවීය. විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධර්මප්‍රියට ලද තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂක කැළුම් සංගීත් ඇතුළු කණ්ඩායමක් විසින් බුම්මාව අත්අඩංගුවට ගන්නේ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්ද සමඟනි.

වසර දෙකකට ආසන්න කාලයක් බන්ධනාගරයේ රඳවා සිටි බුම්මා ඇප ලබා නැවත ජම්පටා වීදියට එන්නේ පාතාල අපරාධකරුවෙකු ලෙස පමණක් නොව, මත්කුඩු ජාවාරමේද දැවැන්තයෙකු ලෙසිනි. ඒ පැමිණි ඔහු පසුගිය වසරේ මැයි 24 වැනිදා පළමු වෙඩිල්ල පත්තු කරන්නේ කුඩු සෙල්විගේ සැමියාටය. එම වෙඩිල්ලට බුම්මාට තොරතුරු දුන්නේ යැයි සැකකරමින් කුඩු සෙල්විගේ පුතුන් වෙඩි පිඹින්නේ ජම්පටාවීදියේ වෙළඳාමේ නිරත වී සිටි අඹුසැමි යුවළකටය. ඒ ජූලි 08 වැනිදාය. බුම්මා විසින් නාගරික මන්ත්‍රීවරයෙකු වන ක්‍රිෂ්ණ ඝාතනය කරන්නේ එකී ද්විත්ව ඝාතනයේ උණුසුම මැකී යන්නට මත්තෙනි.

ඒත් එක්කම බුම්මා පසුපස පොලිසිය පන්නන්නට ගන්නේ අවම බලය යොදා හෝ අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇතිවය. ඒ බව ඉව වැටුණු බුම්මා ඉන්දියාවේ සිටි සිය පාසල් මිතුරා සමීපයට යන්නේ හලාවතින් බෝට්ටුවක නැඟීය.

මේ වන විට කුඩු සෙල්විගේ දරුවන් සිය ජීවිතාරක්ෂාව පතා එක් වන්නේ කන්ජිපානි ඉම්රාන්ගේ කල්ලියටය. ඒ මත්කුඩු ජාවාරමෙන් ඇති කරගන්නා සම්බන්ධකම් ඔස්සේය. මාකඳුරේ මධුෂ් සමඟ මේ වන විට ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින්නේ කංජිපානි ඉම්රාන්ය.

සෙල්විගේ දරුවන්ගෙන් වැඩ ගන්නටද කන්ජිපානි ඉම්රාන් අමතක නොකළේය. කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය කිට්ටුව මාර්ගයට කොස්මල්ලී නැමැති පාතාල අපරාධකරුගේ හිස රැගෙනවිත් දමන්නේද සෙල්විගේ බාලයාත් මද්දුමයාත්ය. කන්ජිපානිගෙන් මත්කුඩු ලබාගෙන මුදල් නොගෙවා කට්ටිපනිමින් සිටි ඇන්ටන් රාජ් නැමැත්තෙකුට ආමර්වීදියේදී 2018 වසරේ මාර්තු 19 වෙනිදා වෙඩි තබා මරාදැමූ වෙඩික්කරු සමඟ යතුරුපැදිය පදවන්නේ සෙල්විගේ බාලයාය. ඒ වන විට වැඩිමලා සිටින්නේ මත්කුඩු සමග පොලිසියට හසු වී බන්ධනාගාරගතවය. සහෝදරයන් දෙදෙනාව මෙහෙයැවූයේ ඔහුය. මේ සහෝදරයන්ගේ ඉලක්කය වූයේ සිය මව ඝාතනය කල බුම්මාටත් ගිනි අවිය ලබාදුන් පූකුඩිකන්නාටත් වැඩක් දෙන්නටය. ඒ වන විට පූකුඩිකන්නාද සිටියේ ඉන්දියාවට පැනගොසිනි. එබැවින් මේ සහෝදරයින් සැලසුම් කරන්නේ ඔහුව මෙරටට ගෙන්වාගෙන වැඩක් දෙන්නටය. පුකුඩිකන්නාගේ පියාව මෝදර තැපැල්කන්තෝරුව ආසන්නයේදී 2018 අගෝස්තු 03 වෙනිදා වෙඩිතබා ඝාතනය කරන්නේ එකී අරමුණ වෙනුවෙනි.

සෙල්විගේ පුතුන්ගේ සැලසුම කුමක්දැයි වටහා ගන්නා පූකුඩිකන්නාද සිය පියාගේ මරණයෙන් කලබල වූයේ නැත. බෝට්ටුවක නැගී ධිවරයෙකු ලෙස ඔහු ඉන්දියාවේ සිට මෙරටට එන්නේ අවසන් කටයුතු සිදු කෙරෙන දිනට පෙර දින රාත්‍රියේදීය. ඒ පැමිණි ඔහු වැඩි වේලාවක් නිවසේ රැඳී සිටියේද නැත. ඔහු සිය පියාට අවසන් ගෞරවය දක්වා නැවතත් ඉන්දියාවටම පැනගත්තේය.

සෙල්විගේ දරුවන් කන්ජිපානි ඉම්රාන් සහ මාකඳුරේ මධුෂ් ඇසුරු කරමින් ශක්තිමත් වෙමින් පහර දෙන විට බුම්මාත් පූකුඩිකන්නාත් සැලසුම් කරන්නේ ඔවුන්ගේ හයිය බිඳ දමන්නටය. සෙල්විගේ පුතුන්ට වැඩක් දෙන්නට ඔවුහු සැලසුම් කරන්නට වූහ. එහෙත් ඊට ඔවුන්ට අවස්ථාවක් උදා නොවන්නේ සෙල්විගේ බාලයාත් මද්දුමයාත් කොළඹ අපරාධ කොට්ඨාසයට කොටු වන බැවිනි.

ඒ වන විට සෙල්විගේ දියණිය සහ පුතුන්ගේ බිරින්දෑවරුන්ද සිය ආරක්ෂාව පතා සිටින්නේ ගේ දොර අතහැර වත්තල පැත්තේ පදිංචියට ගොසිනි. ඒ බව දැනගත් බුම්මාත් පූකුඩිකන්නාත් සැලසුම් කරන්නේ ඔවුන්ට වැඩක් දෙන්නටය. ඒ සෙල්විගේ දරුවන්ට දැනෙන්නටය. වත්තල හේකිත්තේදී සිදු වන්නේ එකී ප්‍රහාරයයි.

එම ප්‍රහාරයට බුම්මා පැමිණි බව මුලින් කියැවුණත් පොලිස් විශේෂ කාර්ය බළකාය හඳුනාගන්නේ බුම්මා එම ප්‍රහාරය ඉන්දියාවේ සිට මෙහෙයවා ඇති බවය. විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතාගේ උපදෙසින් ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු කණ්ඩායමකි. එහෙත් මේ ඝාතනය සඳහා යොදාගත් මෝටර් රථය ගැන විමර්ශනයකින් අනතුරුව බුම්මාගේ අවි සහ මත්ද්‍රව්‍ය ගබඩාව ජා-ඇළ නිවන්දමින් සොයාගන්නට විශේෂ කාර්ය බළකායට හැකියාව ලැබෙන්නේය. මේ වනවිට බුම්මාගේ හොඳම ගෝලයන් දෙදෙනාත් සමග අවි ගබඩාව සහිත ආරක්ෂිත නිවස පොලිස් අත්අඩංගුවේය.

සිය සගයන් අත්අඩංගුවේ බවත්, ආරක්ෂිත නිවස තවදුරටත් ආරක්ෂිත නැති බවත් නොදන්නා බුම්මා ඉන්දියාවේ සිට සිය සගයන්ට දුර කථන ඇමතුම් දෙන්නේය. ඒත් කතාව මෙතැනින් නවතින්නේ නැති බව පමණක් පැහැදිලිය.

අදහස්