තමන් හෙවත් ‘අත්ත’ හා අනුන් හෙවත් ‘පර’ හඳුනාගැනීම | සිළුමිණ

තමන් හෙවත් ‘අත්ත’ හා අනුන් හෙවත් ‘පර’ හඳුනාගැනීම

මහායාන බෝධිසත්ත්ව සංකල්පයෙහි ඇති පරාර්ථචර්යාව පදනම් කොටගෙන ථේරවාදයට එල්ල වන ප්‍රධාන චෝදනාවක් නම් ආත්මාර්ථකාමයට බර ථේරවාදි බුදුදහම හුදෙක් විරාගි හුදෙකලා ජීවිතය අගය කරන බවයි. ඇතැම් විට මේ සඳහා අවශ්‍ය උදාහරණ ථේරවාද ත්‍රිපිටකයෙහිම අන්තර්ගත බවද පෙනේ. මේ අදහස ඛග්ගවිසාණ සූත්‍රයේ සඳහන් වන ශබ්දවලට බිය නොවන සිංහයකු මෙන්ද, දැලක නොබැඳෙන සුළඟ මෙන්ද, දිය හා සම්බන්ධ නොවන පද්මය මෙන්ද, කඟවේණකු ලෙස තනිව හැසිරෙන්නේය (සීහෝ ච සද්දේසු අසන්ත සන්තෝ, වාතෝව ජාලම්හි අසජ්ජ මානෝ, පදුමංච තෝයේන අලිම්පමානෝ, ඒකෝචරේ ඛග්ගවිසාණ කප්පෝ) යන ප්‍රකාශයෙන්ද පැහැදිලි වේ. ථේරවාද අරහත් පරමාදර්ශය, පසේබුදුන්ගේ චරිතස්වභාවය ආදිය සලකා බලන විට ඇතැමුන් බුදුදහම හුදෙක් ආත්මසාක්‍ෂාත්කරණය මිස සමාජ සුභසිද්ධියක් අපේක්ෂා නොකරන බව දැක්වීමට පෙලඹී ඇත.

කෙසේ නමුත්, මේ පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරන විට පෙනී යන මූලික කරුණක් වන්නේ බුදු සමයේ එන පුද්ගලවාදය ආත්මාර්ථකාමි එකක් නොවන බවයි. එය ප්‍රබුද්ධ පුද්ගලවාදයකි (Enlightened Individualism). එයට හේතුව නම් බුදුසමය පුද්ගල නිදහස මෙන්ම සමාජ සාධාරණත්වයද ගැඹුරින් අවධාරණය කිරීමයි. මේ අනුව තමන් හා අනුන් පිළිබඳ බෞද්ධ විග්‍රහය හුදෙක් අන්තවාදයක් නොවන බව පහත සඳහන් දෙඅංශය කෙරෙහිම අවධානය යොමු කිරීමෙන් පෙනේ. එනම්:

1. තමාගේ අභිප්‍රාය

2. අනුන්ගේ අභිප්‍රාය

සාමාන්‍ය පුද්ගල ස්වභාවය පිරිසිඳ දත් බුදුසමය පෙන්වා දෙන්නේ සත්ත්ව තෙමේ හැම දිසා ඔස්සේම සිතින් විමසා බලා, කිසිදු තැනක තමාට වඩා ප්‍රියයකු නොලබන බවයි. එබැවින් තමා ප්‍රිය කරන යමෙක් ඔහු සේම අන් හැමට වඩා තමා ප්‍රිය කරන තවෙකකු නොපෙළන්නෙක් වේ (සබ්බාදිසා අනුපගම්ම චේතසා, නෙවජ්ඣංගා පියතරමත්තතා වචී, ඒවං පියෝ පුථු අත්තා පරේසං, තස්මා න හිංසේ පරං අත්තකාමෝති); තමා හට පිහිට තමාමය. වෙනෙකකුගේ පිහිටක් නොපැතිය යුතුය (අත්තාහි අත්තනෝ නාථෝ කෝහි නාතෝ පරෝසියා) එබැවින් පළමු කොටම තමා යහපතෙහි පිහිටා පසුව අන් අයට අනුශාසනා කළ යුතු බව බෞද්ධ උපදේශයයි (අත්තාන මේව පඨමං පතිරූපේ නිවේසයේ අථඤ්ඤමනුසාසෙය්‍ය න කිලිස්සෙය්‍ය පණ්ඩිතෝ). මෙහි අදහස තවදුරටත් පැහැදිලි කරන බුදුරදුන් සල්ලේඛ සූත්‍රයේදී පෙන්වා දෙන්නේ තමා මඩගොහොරුවක එරී හිඳිමින්, මඩ ගොහොරුවේ එරී සිටින තවෙකකු එයින් ගොඩ ගැනීම ප්‍රායෝගිකව කළ හැක්කක් නොවන බවයි (අත්තනා පලිපපලිපන්නෝ පරං පලිපපලිපන්නං උද්ධරීස්සතීති නේතං ඨානං විජ්ජති). එබැවින් කළ යුත්තේ පළමුව තමන් මඩ ගොහොරුවෙන් මිදී, මඩෙහි එරී සිටින අනෙකාද ගොඩ ගැනීමයි (අත්තනා අපලිපපලිපන්නෝ, පරං පලිපපලිපන්නං උද්ධරිස්සතීති ඨානං මේතං විජ්ජති) මෙහි අදහස වන්නේ තමන් විසින් තමන්ව රැකගනු ලබන පුද්ගලයා අන් අයද රකිනා බවයි. (අත්තානං රක්ඛන්තෝ පරං රක්ඛන්ති) මෙහි පරමාර්ථය තවදුරටත් විග්‍රහ කරන බුදුසමය පෙන්වා දෙන්නේ අන් අයගේ යහපත උදෙසා ආත්මාර්ථය අත්නොහැරිය යුතු බවයි. ඒ අනුව ආත්මාර්ථය නිසි පරිදි අවබෝධ කරගත් පුද්ගලයා පළමුවෙන්ම කටයුතු කළ යුත්තේ ස්වාර්ථය සම්පූර්ණ කරගැනීමටයි (අත්තදත්ථං පරත්ථේන බහුනාපි න හාපයේ, අත්තදතථම්භිඤ්ඤාය සදත්ථ පසුතෝ සියා). මේ අනුව පැහැදිලි වන ප්‍රධාන කරුණක් වන්නේ අත්ත - පර සම්බන්ධයෙන් බුදුසමය පළමුව තමන්ගේ අභිවෘද්ධිය ඉටු කරගත යුතු බව අවධාරණය කරන බව යි. එය හුදෙක්ම භෞතික දේවලින් තමාගේ අභිවෘද්ධිය හෙවත් සුඛ විහරණය සලකාගැනීමක් නොව, ආධ්‍යාත්මික නිෂ්ඨාව සාක්ෂාත් කරගැනීම උදෙසා වූ අවධාරණයක් ලෙස ගත යුතු බව පැහැදිලිය.

සියුම්ව පරීක්ෂා කර බලන විට බුදු සමයේ කිසිදු තැනෙක ආත්මාර්ථ සාධනය හෝ පරාර්ථ සාධනය තනිව, අන්තවාදි අර්ථයක් උදෙසා භාවිත කර නැති බව පෙනේ. ඒ වෙනුවට බුදු සමය අවධාරණය කරන්නේ උභයාර්ථ සාධනයකි. අන්‍යයන්ට උපකාර කිරීමේදී තමන් ඉපැයූ ධනයෙන් පළමුව තමන්ගේ අවශ්‍යතාද (අත්තානං සුඛේති පිණෙන්ති සම්මා සුඛං පරිහන්ති) පසුව සමාජ අවශ්‍යතාද ඉටු කළ යුතු බව පත්තකම්ම සූත්‍රයේ දැක්වේ.

අප යම් ක්‍රියාවක් කරන විට එහි ඵලය සම්බන්ධ සදාචාරාත්මක වටිනාකම බහුල වන්නේ උභයාර්ථ සාධනයම සැලකිල්ලට ගැනීමෙන් බව අම්බලට්ඨිකා රාහුලෝවාද සුත්‍රයේදී පෙන්වාදී තිබේ. එනම්: “(යම් කර්මයක්) තමාට දුක් පිණිස වේද, අනුන්ට දුක් පිණිස වේද, එය දුක් විපාක වඩන, දුක් විපාක ඇති අකුසලයකි. එබඳු කර්ම ඒකාන්තයෙන්ම නොකළ යුතු යි. (යම් කර්මයක්) තමාට දුක් පිණිස නොපවතී නම්, අනුන්ට දුක් පිණිස නොපවතී නම්, දෙපිරිසටම දුක් දුක් පිණිස නොපවතී නම්, එය සුඛ විපාක වඩන, සුඛ විපාක ඇති කුසලයකි. එබඳු කර්ම කළ යුතු ය,” යනුවෙනි. මෙහිදී බුදුරදුන් උපදෙස් දෙන්නේ තමන් යම් ක්‍රියාවක් කරන්නට යන්නේ නම්, ඒ ක්‍රියාව සම්බන්ධයෙන් කයෙන්, වචනයෙන්, මනසින් ප්‍රත්‍යවේක්ෂා කොට (පච්චවේක්ඛිත්වා පච්චවේක්ඛිත්වා, කායේන කම්මං කාතබ්බං, වාචා කම්මං කාතබ්බං, මනසාය කම්මං කාතබ්බං) සදාචාරාත්මක වශයෙන් ඇගයිය හැකි යහපත් ක්‍රියා පමණක් කළ යුතු බවයි. තමන් කරන ක්‍රියාවේ ඵලය සමාජීය වශයෙන් තමන්ට මෙන්ම අනුන්ටද බලපාන නිසා තමන් මෙන් ම අනුන්ද එක හා සමාන මට්ටමින් සලකා කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දෙයි.

නිවැරදි ක්‍රියාවක් සෑම විට ම අන්තවාදි බවින් නිදහස් විය යුතු ය. බුදුසමය මෙවැනි අන්තවාදි තත්ත්ව ප්‍රතික්ෂේප කරමින් නිරන්තරයෙන්ම මැද මාවතක් ඉදිරිපත් කරයි. අන්තවාදි ස්වභාවය පුද්ගලයාගේ මෙන්ම සමාජයේත්, තැවීම පිණිස හේතු වේ. එබඳු අත්ත හා පර සම්බන්ධයෙන් පුද්ගල ක්‍රියාව යහපත් හා අයහපත් වන ආකාරය පිළිබඳ වර්ගීකරණයක් කන්දරක සූත්‍රයේදී ඉදිරිපත් වී ඇත. එනම්:

1. ආත්ම තාපන යෝගයෙහි යෙදී තමන් තවන්නා (අත්තන්තප)

2. පර තාපන යෝගයේ යෙදී අනුන් තවන්නා (පරන්තප)

3. ආත්ම තාපන හා පර තාපන යන උභය තාපතායෙහිම යෙදී වාසය කරන්නා (අත්තන්තප පරන්තප)

4. ආත්ම තාපන යෝගයෙහි හෝ පර තාපන යෝගයෙහි නොයෙදී තමන් මෙන්ම අන්‍යන්ද නොතවන පුද්ගලයා (නේව අත්තන්තප නේව පරන්තප) යනාදියයි.

මෙහිදී බුදුරදුන් අනුමත කර ඇත්තේ තමන්ගේත්, අනුන්ගේත් සුභසිද්ධිය කෙරේ අවධානය යොමු කරන සිව්වැනි පුද්ගලයා ය. සැමවිට ම අප අපේක්ෂා කරන සුභසිද්ධිය එක් පාර්ශ්වයක් වෙත පමණක් නොවිය යුතු බව බුදු සමයේ මතය වන ආකාරය මේ මගින් පැහැදිලි වේ. එය සාකල්‍යයෙන් ම පුද්ගල හා සමාජ යන දෙඅංශය උදෙසා විය යුතු සුභසිද්ධියක් බව පෙනේ. මෙම විග්‍රහය තවදුරටත් ජවලාත සූත්‍රයේදී චතුර්විධ පුද්ගලවර්ගීකරණයක් තුළින් පැහැදිලි කර ඇත. එනම්:

1‍. තමාගේ අභිවෘද්ධිය හෝ මෙරමාගේ අභිවෘද්ධිය යන දෙකින් එකක වත් නිරත නොවන පුද්ගලයා (නේව අත්තහිතාය, නේව පරහිතාය)

2. මෙරමාගේ අභිවෘද්ධියෙහි නිරත වන, එහෙත් ආත්ම අභිවෘද්ධියෙහි නොයෙදෙන පුද්ගලයා (පරහිතාය පටිපන්නෝ නේව අත්තහිතාය)

3. ආත්මාභිවෘද්ධියෙහි යෙදෙන නමුත් මෙරමාගේ අභිවෘද්ධියෙහි නොයෙදන පුද්ගලයා (අත්තහිතාය පටිපන්නො නෙව පරහිතාය)

4. ආත්මාභිවෘද්ධියෙහි මෙන්ම මෙරමාගේ අභිවෘද්ධියෙහිද යෙදෙන පුද්ගයා (අත්තහිතාය පටිපන්නො පරහිතාය)

මෙකී පුද්ගලයන් සතර දෙනා පිළිබඳ බුදුරදුන් කරන ඇගයීම ‘අත්ත’ / ‘පර’ සම්බන්ධ බෞද්ධ ස්ථාවරය නිශ්චය කිරීමේදී අතිශයින් වැදගත් බව පෙනේ. මෙහි පළමුව සඳහන් කළ පුද්ගලයා වඩාත්ම පහත් ලෙස සලකා ඇත. මේ ඇගයීම තුළ තරමක් ගැටලුකාරි බවක් පෙනී යන්නේ දෙවැනිව සඳහන් කළ පුද්ගලයා තෙවැනිව සඳහන් කළ පුද්ගලයාට වඩා පහත් කොට සලකා තිබීම හේතුවෙනි.

සමස්තයක් ලෙස යහපත් පුද්ගලයා ලෙස මෙහි ඇගයීමට පාත්‍ර වී ඇත්තේ උභයාර්ථයෙහි ම අභිවෘද්ධිය පිණිස යෙදෙන, සිව්වැනිව සඳහන් කළ පුද්ගලයා වේ. සදාචාර ඌනතාවකින් යුතු හා ශාන්තියෙන් තොර පුද්ගලයාගෙන් ඵලදායි හා අර්ථවත් අයුරකින් සදාචාරාත්මක ලෙස යහපත් ආකාරයෙන් සමාජයට කවර හෝ සේවයක් අපේක්ෂා නොකළ යුතු බව බුදුසමයේ මූලික ස්ථාවරයක් වන ආකාරය සලකා බැලුවෙමු. ‘පර’ යන්න සඳහා සාධාරණයක් කළ හැකි බෙහෙවින්ම ඵලදායි ක්‍රමය නම්, ආධ්‍යාත්මික මට්ටමින් ‘අත්ත’ යන්න තුළින් සංවර්ධනය වීමයි. අධ්‍යාත්මයෙන් හා ශාන්තියෙන් සංවර්ධිත පුද්ගලයාගේ සදාචාරාත්මක කුසලතාව, බෙහෙවින් ඵලදායි වන බැවින් පළමු අවධානය ‘අත්ත’ යන්න සඳහා දීමේ වැදගත්කම අගයා ඇති ආකාරය ඉහත දෙවැනි වර්ගයේ පුද්ගලයාට වඩා තෙවැනි වර්ගයේ පුද්ගලයා උසස් කොට සැලකීමෙන් පැහැදිලි වේ. මේ මඟින් අවධාරණය කොට ඇත්තේ, ප්‍රඥාවන්තයා තමාට අනුන්ට හෝ දෙපිරිසටම හානි නොකරන බවත්, හෙතෙම ස්වකීය යහපත සේම අන්‍යන්ගේ යහපත, උභය පාර්ශ්වයෙහි යහපත හා මුළු විශ්වයේම යහපත අපේක්ෂා කරන බවත්ය.

ලෝභ, ද්වේෂ, මෝහ යනාදි කෙලෙස්වලින් ගහන පුද්ගලයාට වඩා ඒවායෙන් විමුක්ත පුද්ගලයාගේ ක්‍රියා කලාපය උභය පාර්ශවයෙහි ම අභිවෘද්ධිය පිණිස පවත්නා බව බුදු දහම සලකයි. එබැවින් සංයුත්තනිකායේදී බුදුරදුන් දක්වා ඇත්තේ “මහණෙනි, යමෙකුට තමාගේ හෝ අනුන්ගේ හෝ උභය පක්ෂයෙහි හෝ යහපත දැකීමට අවශ්‍ය නම්, තමාගේ චරිතය අප්‍රමාදිව වැඩි දියුණු කළ යුතු වෙයි” යනුවෙනි. අනෙක් අතට විමුක්තිය සාක්ෂාත් කරගත් පුද්ගලයා තමන් වරදින් නිදහස් වී අන් අයටද එයින් නිදහස් වීමට උපකාරි වෙයි (අත්තානා පාණාතිපාතා පටිවිරතොහෝති පරඤ්ච තත්ත්ථාය පමාදපේති) කිසියම් පුද්ගලයකු සදාචාර සම්පන්න වීමේදී එය හුදෙක් ඔහුට පමණක් නොව; සමාජ යහපත සඳහාද ඍජුවම හේතු වේ. දස වැදෑරුම් අකුසල ධර්මයෙන් වෙන්ව වාසය කිරීම තමාට පමණක් නොව, අන්‍යයන්ටද යහපත උදා වීමට හේතු වන බව සේවිතබ්බ සූත්‍රයේද සඳහන් වේ. එක්තරා ආකාරයකට මෙය බෞද්ධ පුණ්ඩරීක උපමාවේ එන පරිදි මඩගොහොරෙහි හැදී-වැඩී, එහෙත් මඩවතුරේ නොගැටී, මුළු විලම අලංකාර කරන්නාක් මෙන් කෙලෙස්වලින් මිදී සමාජගත කෙලෙස්ද ඉවත් කිරීමට කටයුතු කරන්නාක් මෙනි.

සමස්තයක් ලෙස බලන විට තමන්ට සදාචාරාත්මක හානියක් නොවන ලෙස අන් අයගේ අභිවෘද්ධිය පිණිස කටයුතු කළ හැකි බව අපගේ සාකච්ඡාවෙන් පැනෙන මූලික නිගමනයක් බව පෙනේ. ‘අත්ත’ හා ‘පර’ යන සංකල්ප පිළිබඳ මනා අවබෝධයක් ඇතිව කටයුතු කිරීමෙන් එම සංකල්පවල ඒකාන්ත ලෙස අන්තගාමි වීමෙන් මතු වන දුෂ්කරතා මඟහරවාගත හැකි බවද පෙනේ.

අදහස්