ත්‍රිපිටකයේ දොස් දුරුකර හයවැනි ධර්ම සංඝායනාවට පදනම දැමූබුරුම අගමැතිගේ ධර්ම යුද්ධය | සිළුමිණ

ත්‍රිපිටකයේ දොස් දුරුකර හයවැනි ධර්ම සංඝායනාවට පදනම දැමූබුරුම අගමැතිගේ ධර්ම යුද්ධය

බුරුමයේ පාළි ත්‍රිපිටක ආඥාපනත ගැන බුරුම අගමැතිවරයා 60 වසරකට පෙර ලංකාවේ ගුවන්විදුලියෙන් කළ කතාව ඇසුරින් සැකසිනි

පාළි ත්‍රිපිටකය මුද්‍රණය කොට ප්‍රචාරය කිරීම පිළිබඳ වර්ෂ 1954 දී පමණ බුරුමයේ භික්ෂුන් වහන්සේලා අතර මත‍ෙභේද ඇතිවිය. ඒ වනවිට බුරුම අග්‍රාමාත්‍ය ඌ නු ය. හේ නිදහස් බුරුමයේ ප්‍රථම අගමැතිවරයා ය. එවකට ලංකාවේ සිව්වන අගමැතිවරයා ලෙස සර් ජෝන් කොතලාවල පත්වී සිටියේය. දෙරටේ අග්‍රාමාත්‍යවරු අතර සමීප සබඳතාවක් තිබිණි.

පාලි ත්‍රිපිටකය මුද්‍රණය කර ප්‍රචාරය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ඌ නූ බුරුම රටේ “පාළිත්‍රිපිටක මුද්‍රණ ආඥාපනත” නමින් පනතත් ඇති කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අතර තුරේ 1954 මාර්තු මාසයේ ඔහු ලංකාවට පැමිණ අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල මහතා හමුවිය. ඒ ගැන කීවේය.

කොතලාවල මහතා මේ ගැන ගුවන් විදුලියෙන් කතාවක් පවත්වන ලෙසට යෝජනා කළේය. එවකට ගුවන් විදුලි භාර ඇමැති එස්. නටේසන් එම කතාව 1954 මාර්තු 13 සහ 14 යන දෙදින ප්‍රචාරය කර වීමට සැලැස්වීය.

මෙයට වසර හැට පහකට පමණ පෙර බුරුමයේ ඇති වූ තත්ත්වයත් අද ත්‍රිපිටකය ලෝක උරුමයක් කරවන්නට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයත් බලන විට බොහෝ දුරට සමානය. එම කතාවේ වටිනාකම එදාට වඩා අද ඉතාමත් හොඳ‍ට දැනෙයි. මේ ලිපිය ඒ කතාවේ සංස්කරණයකින් සැකසිණි.

පාළි ත්‍රිපිටකය මුද්‍රණය කොට ප්‍රචාරය කිරීම පිළිබඳ ආඥා පනත සම්බන්ධයෙන් බෞද්ධ වූ කාගේත් සිත්වල අමනාප ගතියක් ඇති කරවන සිද්ධියක් මෑතදී ඇති වී තිබේ.මෙය බෞද්ධයන්ට ඉතා වැදගත් කරුණක් වන හෙයින් එහි සැබෑ තත්වය පැහැදිලි කළ යුතුමය. එබැවින් එය පැහැදිලි කොට දක්වන්නෙමි.

මේ පාළි ත්‍රිපිටක මුද්‍රණ ආඥා පනත වනාහි නිසැකවම ආණ්ඩුව මගින් පාර්ලිමේන්තුවෙහි යෝජනවාක් ඇති කොට ස්ථිර කර ගත යුත්තකි. එසේ නොවේ‍ නම් මුළු බෞද්ධ මහජනයා මේ කාරණය අතට ගෙන ඒ සඳහා බලවත් උද්ඝොෂණයක් කළ යුතුය.

මේ ආඥා පනත දෙස බලන කල “තමනට අධික ලාභ ලැබු‍ෙණාත් ත්‍රිපිටකයේ ශුද්ධාශුදිධිය ගැන කුමක් වුවත් කම් නැත” යන අදහසින් පෙළ පොත් මුද්‍රණය කරන ඇතැමුන්ගේ අදහස් වැනි අදහස් දරමින් නොබැලිය යුතු මේ ආඥා පනත දෙස බැලිය යුතු රත්නත්‍රය මාමකවූ නියම බෞද්ධයකු වශයෙන්මය.

මේ ත්‍රිපිටක මුද්‍රණ ආඥා පනත ආණ්ඩුව විසින් නීතිගත කළ යුතු බවත් එසේ නැති නම් සංඝයා ඇතුළු මුළු බෞද්ධ මහජනයා ඒ සඳහා බලවත් උද්ඝෝෂණයක් කර එය නීතිගත කිරීමට ආණ්ඩුවට බල කළ යුතු බවත් මම දැන් පැවසුවෙමි. මේ ආඥා පනත බෞද්ධයන් උදෙසා මේසා වැදගත් වීමට ඇති‍ හේතු කවරහුද යනු දැන ගැන්ම පිණිස මෙහි දක්වනු ලබන ප්‍රශ්න චතුෂ්කය විසඳිය යුතුවේ. ප්‍රශ්න චතුෂ්කය නම්:-

1.සවැනි සංගායනාව කළ යුතුද? නැද්ද?

2.කළ යුතු නම් ඒ මක් නිසාද ?

3.සවැනි සංගායනාවක් කිරීමෙන් කලින් දූෂිතව තිබෙන පෙළ පොත් බුදුන් වදාළ ලෙසටම සර්ව සම්පූර්ණ වේයයි ඇපවිය හැකිද?

4.සවැනි සංගායනාව කොට නිම වූ පසු ඒ සංගායනාවෙන් ස්ථිරවූ පෙළ පොත් මුද්‍රණයන්ගෙන් දූෂ්‍ය වන්නට ඉඩ නොතබා ආරක්ෂා කිරීමෙන් උවමනාද? නැද්ද? යන මේ ප්‍රශ්න චතුෂ්කයයි.

‍මේ ප්‍රශ්නයන් අතුරෙන් සංගායනාවක් උවමනාද? නැද්ද? යන මේ ප්‍රශ්නය විසඳිය යුත්තේ ගිහි බෞද්ධයන්ට වඩා මහා සංඝයා වහන්සේ විසින් මැයි. මක් නිසාද යත්? සංගායනා කිරීම වූ කලී ගිහියන්ගේ වැඩක් නොව මහා සංඝයා වහන්සේ විසින් කළයුතු වූ වැඩක් වන හෙයිනි. රජ කෙනෙකු විසින් හෝ ජනාධිපතියෙකු විසින් හෝ මහජනයාගෙන් කෙනෙකු විසින් හෝ සංගායනාවක් කට හැක්කේ නොවේ. සංගීති කාරක භික්ෂූන්ට සිවු පසයෙන් උපස්ථාන කරන දායකයන් වීම පමණක් ඔවුන්ට කළ හැකි වේ.

සංගායනා කරන මහා සංඝයා වහන්සේ විසින්ම සවැනි සංගායනාව කළ යුතු ද? නැද්ද? යන මේ ප්‍රශ්නයට කළ යුතුය කියා එකහෙලා පිළිතුරු දී තිබෙන හෙයින් මේ පිළිබඳව මා විසින් විසඳිය යුතු වූ කිසිවක් නැත්තේය. සවැනි සංගායනාව කළ යුතු ද නැද්ද යන මේ ප්‍රශ්නය විසඳීමෙහි ඇතුළත් වූ සංඝයා වහන්සේ වූ කලී එසේ මෙසේ භික්ෂූ සංඝයා නොව සමස්ථ ස්ථවිර වාද බෞද්ධ ලෝක සංහතියෙහිම ත්‍රිපිටක වෛශාරද්‍යය පිළිබඳව ඉර සඳ සේ ප්‍රකටවූ මහා සංඝයා වහන්සේ වෙති.

සවැනි සංගායනාව කළ යුතු නම් හේ කුමක් හෙයින්ද? මේ දෙවැනි ප්‍රශ්නය මඳක් විස්තර ඇතිව විසඳිය යුත්තකි. මෙය විසඳීමේදී පස්වැනි සංගායනාව ගැන දැනීමකුදු ඇතිවිය යුතු එහෙයින් ඒ පස්වැනි සංගායනාව ගැන මහා සංඝයා වහන්සේ ගෙන් හා ගිහි පඬිවරුන්ගෙන් ද අසා දැනගත් කරුණු ඉදිරිපත් කරනු කැමැත්තෙමි.

පස්වැනි ධර්ම සංගායනාව කිරීමේදී පළමුකොට ත්‍රිපිටක පාළියට අයත් වූ නිකාය පසම ශුද්ධියට පමුණුවන ලදී. එසේ ශුද්ධ කිරීම පිණිස පස් මහ සඟියම කොටස් අ‍ටළොසකට බෙදන ලදී. ඒ අටළොසෙන් කොටස් දහසයක් එක එක මහ තෙර නම බැගින් බාරගෙන ශුද්ධ කොට මෙන්ඩුන් මහ රජතුමන් වෙත ඔප්පු කරන ලදී. මෙයින් යමක ප්‍රකාරණය එක නමක් නොව මහ තෙරුන් දෙනමක් විසින් ශුද්ධ කරන ලද්දකි. ඉතිරි කොටස් දෙක වෙන වෙනම ගෘහස්ථ පඬිවරයන් දෙදෙනෙකු විසින් ශුද්ධ කොට ඔප්පු කරන ලදී. එසේ ඔප්පු කරන ලද පෙළ පොත් කාත්‍යායන රූපසිද්ධි ආදී වූ ශබ්ද ශාස්ත්‍ර ග්‍රන්ථයන් හා සසඳා බලමින් ශිථිල ධනිත දීර්ඝ හ්රස්වාදී අක්ෂර පද සියල්ලක් සුදුසු පරිදි මහ තෙරවරු දශ නමකුත් ගිහි පඬිවරුන් දෙදෙනෙකුත් විසින් නැවතත් ශුද්ධියට පමුණුවනු ලැබීය.

මෙන්ඩුන් මහ රජතුමන් වෙත ඔප්පු කළ පොත් කොටස් 7 ක් ලියන්නන් ලවා ලියවීමේ භාරය ගෙන කොටස් 6ක් අග මෙහෙසිය විසින් ද ඉතිරි කොටස් 5 යුවරජ විසින් ද බාරගෙන ලියවන ලදී.

මෙසේ පුස් කොළවල හොඳින් ලියවා ඊ‍ට පසු ගල් පුවරුවල කොටවනු ලැබීය. එසේ කොටවනු ලැබූ ශිලා ලිපි දැනුදු මණ්ඩලේ නගරයෙහි ලොකමාරජි චෛත්‍යයේ ප්‍රාකාරය තුළ විද්‍යාමාන වෙති.

ඉතින් මෙකී පරිදි ත්‍රිපිටකය ගල්වල කෙටවීම දක්වා අවස්ථා 4ක් ඇති වූ බැව් අපට පෙනෙන්නට තිබේ. ඔහු නම්:

1.ත්‍රිපිටකය කොටස් අටළොසකට බෙදා මහ තෙරුන් සතළොස් නමකුත් ගිහි පඬිවරයන් දෙදෙනෙකුත් විසින් කොටස බැගින් ගෙන ශුද්ධ කළ පළමු වැනි අවස්ථාව.

2.මෙසේ ශුද්ධ කළ පොත් මහ තෙරවරුන් දශ නමකුත් ගිහි පඬිවරයන් දෙදෙනෙකුත් විසින් නැවතත් ඒ ඒ ශබ්ද ශාස්ත්‍ර ග්‍රන්ථයන් හා සසඳා බලා ශුද්ධියට පැමිණ වූ දෙවැනි අවස්ථාව.

3.මෙසේ ශුද්ධියේ කටයුතු නිමාකළ ඉක්බිති මහ රජ, අග මෙහෙසිය, යුව රජ යන මේ රාජකීය උතුමන්ගේ ප්‍රමුඛත්වයෙන් පුස්කොළවල ලියැ වූ තුන්වැනි අවස්ථාව.

4. පිරිසිදුව ලියවූ පුස්කොළ පොත්වලින් ගල් පුවරු මත කෙටවූ සිව්වැනි අවස්ථාව - යන මොහු වෙති.

මෙකී අවස්ථා සතර අතුරෙන් පළමුවැනි දෙවැනි තුන්වැනි අවස්ථාවන්හි වූ පුස්කොළ පොත් මෙකල කොහෙත්ම දක්නට නොලැබෙති. සිව්වැනි අවස්ථාවෙහි වූ ශිලා ලිපි පමණක් දක්නට ඇත්තාහ. එකී පළමුවැනි දෙවැනි තුන්වැනි අවස්ථා වන්හි ත්‍රපිටක සංශෝධකයන් වූ මහ තෙරවරුන් හා ගිහි පඬිවරයන් කවුරුත් ත්‍රිපිටකයෙහි කෙළ පැමිණි හසළ බුද්ධි මතුන් වන හෙයින් එතුමන්ලාගේ ශූද්ධින්හි කිසිවකු විසින් වත් කිසිත් සැකයක් ඇතිකර ගත යුතු නොවේ.

එහෙත් තුන්වැනි අවස්ථාවෙන් ගල් මතුයෙහි කෙටවූ සිව් වෙනි අවස්ථාවට සංක්‍රමණය කිරීමේදී වැරදි ඇතිවිය හැකිවේ. එසේ වැරදි ඇතිවීමට හැකි වූ හේතූහු වශයෙන්-

1.ගල් පුවරුවල අකුරු කෙටු අය පාළියෙහි අවිශාරදයන් වීම.

2.ගල් පුවරුවල අකුරු කෙටීමේදී පමා දොසින් වරදක් ඇතිවුවහොත් එය මකා ශුද්ධ කිරීමෙහි අපහසුකම. යන මේ කරුණු දෙක විශේෂයෙන් සැලකිය හැකි වෙති.

ශිලා ලිපිවල ‍සදොස් තැන් තිබෙත් නම් ඒවා පෙන්විය හැකිද යන ප්‍රශ්නයක් පැන නඟියි. එසේය, පෙන්විය හැක්කේමි. එහෙත් සම්පුර්ණ ලෙස දැනගැන්මට නම් සවැනි සංගායනාවසානය දක්වා බලාපොරොත්තු විය යුතු. එවිට සම්පූර්ණවද ප්‍රකටවද දත හැක්කාහ.

බුරුම රට ත්‍රිපිටකය මුද්‍රණය කොට විකුණන ක්‍රමය ගැන ද කරුණු ස්වල්පයක් කියනු කැමැත්තෙමි. ත්‍රිපිටක යන්ත්‍රාලයයන් හැම එකෙක්හිම මෙන් ග්‍රන්ථයන්ගේ සංශුද්ධිය ගැන අධික කොට සැලකිය යුතුව තිබියදී ඒ ගැන වැඩි සැලකිල්ලක් නොදක්වා යම්තමින් කරන බැව් මම දනිමි. ත්‍රිපිටකය මුද්‍රණය කොට විකිණීම බො‍හෝ ලාභ ලබාගත හැකි වූ වෙළඳාමක් වේ. ත්‍රිපිටකය විකුණා ලැබෙන අධික ලාභය යන්ත්‍රාලයයන්හි අයිති කරුවන් රැගෙන ත්‍රිපිටක ශුද්ධිය පිළිබඳ යන වියදම් යම්තමින් කරනු දක්නා ලැබේ.

ඉතින් මේ මුද්‍රණ යන්ත්‍රාලයන් මගින් ප්‍රචාරය කළ තාක් පෙළ පොත් බැලූ කල එකකට එකක් අසමානව නොයෙක් අයුරින් තිබෙනු දක්නට ලැබේ. එකම යන්ත්‍රාලයකින් වුවද පළමු මුද්‍රණයේත් දෙවෙනි ත්‍රන්වෙනි ආදී මුද්‍රණවලත් නොයෙක් වෙනස්කම් දක්නට ලැබේ. තවද පාඨ අඩුවක් වැරදිවලින් යුත්තවත් තිබෙන බැව් පෙනේ. මේ සියල්ලටම වඩා පුදුමයක් නම් මේ යන්ත්‍රාලයන් මගින් මුද්ද්‍රිත ත්‍රිපිටක පොත් එකකුදු ශිලා ලිපිවලට සමාන නොවේයයි කියන කියමනයි.

මෙසේ ශිලා ලිපිවල එක් ක්‍රමයකටවත් පොත්වල අන්‍ය ක්‍රමයකටත් යෙදී නම් වැදෑරුම් වී තිබෙන ත්‍රිපිටක පාළිය සමස්ත ස්ථවිරවාද බෞද්ධ සංහතිය විසින් ම එකහෙලා පිළිගත හැකි ශුද්ධියකට පමුණුවා ලීම පිණිස සවැනි සංගායනාවක් කළ යුතුය යනු මහා සංඝයා වහන්සේගේ ඒකමතික විනිශ්චය වේ. ඉතින් මෙසේ සවැනි සංගායනාවක් කළ යුතුය යනු මහා සංඝයා වහන්සේගේ ඒකමතික විනිශ්චය වේ.

ඉතින් මෙසේ සවැනි සංගායනාවක් කිරීමෙන් පසු කලින් දුෂිතව තිබෙන පෙළ පොත් බුදුන් වදාළ ලෙසටම සර්ව සම්පූර්ණ වේයයි ඇපවිය හැකිද යන මේ ප්‍රශ්නය වූකලී මා විසින් විසඳිය හැක්කක් නොවේ. මේ ප්‍රශ්නය හරි ආකාර විසඳිය හැක්කේ ත්‍රිපිටක පාරප්‍රාප්තවූද සිව් පිළිසිඹියාවට පැමිණියා වූද උතුමන් විසින් පමණෙකි. එසේ වුවද මේ ප්‍රශ්නය හැම බෞද්ධයෙකුම තම තමන් විසින් විසඳා බැලීම පිණිස සවැනි ධර්ම සංගායනාව ‍උදෙසා පොත් ශුද්ධියේ සහ මුද්‍රණයේ පිළිවෙළ මඳක් පැහැදිලි කොට දක්වනු කැමැත්තෙමි.

සංගායනා කටයුතු පිළිබඳ අවවාදනුශාසනා කිරීම පිණිස “ඔවාදාචරිය සංඝ නායක සභා” යන නමින් පළමු කොට සභාවක් පිහිටුවා තිබේ. එම සභාවට අයත් වූ මහ තෙරුන් වහන්සේලා නම් :-

බුරුම රටින්

1.අග්‍ර මහා පණ්ඩිතොපාධිධාරී සියලු දෙනා වහන්සේද

2. රටෙහි ඔවාදාචාරිය සියලු දෙනා වහන්සේද

3. රටෙහි විනයධර සියලු දෙනා වහන්සේද

4.ඒ ඒ ප්‍රදේශවල සංඝයා වෙනුවෙන් තෝරා‍ පත්කර ගත් එක නම බැගින් ද

5.තුන් නිකායෙහිම ගණපාමොක්ඛ මහතෙරුන් වහන්සේලාද

ලංකාවෙන්

මහා නිකාය තුනෙන් තෝරා පත්කොට එවා වදාළ නායක ස්වාමීන් වහන්සේලාද

සියම් රටින්

සංඝරාජ මාහිමියාණන් විසින් තෝරා පත්කොට එවා වදාළ නායක ස්වාමීන් වහන්සේලාද

කාම්බෝජය, ලාවෝස් දෙරටින් -

මහා සංඝයා වහන්සේ විසින් තෝරා පත්කොට එවා වදාළ නායක ස්වාමීන් වහන්සේලාද වෙති.

සවැනි ධර්ම සංගායනාව පිළිබඳ සඟි පස ඇතුළත් මුළු ත්‍රිපිටක පාළිය ශුද්ධ කිරීම පිණිස පිහිටුවා තිබෙන කාරක මණ්ඩල වනාහි

1.රටවල් අනුව පිහිටෙව් කාරක මණ්ඩල.

2.රටවල් සම්පිණ්ඩිතව පිහිටෙව් කාරක මණ්ඩලයයි සැකෙවින් දෙවැදෑරුම් වෙති.

බුරුම රටෙහි නම් පළමුකොට ත්‍රිපිටක සංශෝධනය කළ හැකි එක නමක්වත් අත් නොහැර හැම භික්ෂුන් වහන්සේ කෙනෙක්ම ඇතුළත් කරගත හැකි පරිදි මුළු රටෙහිම දැන්වීම් පතුරුවා නාම ලේඛනයක් ලබාගත්තේය. එම නාම ලේඛනයෙහි ඇතුළත් වූවන්ගෙන් -

1. භික්ෂූන් වහන්සේලා (1129) දෙනෙක් ඇතුළත් වූ පාළි විශෝධක මණ්ඩල (116) ක් ඔවාදාචරිය සංඝ නායක සභාවේ මහ තෙරුන් විසින් පිහිටුවන ලදී.

2. ඉක්බිති පස් මහ සඟි ඇතුළත් මුළු ත්‍රිපිටකය කොටස් (116) කට බෙදා යථොක්ත විශොධක මණ්ඩලයකට එක කොටස බැගින් බාරදී ශුද්ධ කරවන ලදී.

3. මෙසේ ශුද්ධ කරගැනීම සඳහා ශිලා ලිපිවලට සසඳා තිබෙන බුරුම, සියම්, සිංහල, ඉංග්‍රීසි, කාම්බෝජ, අකුරුවලින් මුද්‍රිත වූ පොත් විශොධක මණ්ඩලවලට යැවූහ.

4. ඊට පසු ඒ පොත්වල පාඨන්තරයන් හා අටුවා ටීකාදිය ද සංසන්දනය කරමින් ත්‍රිපිටකය ශුද්ධ කළහ.

මෙසේ බුරුම භික්ෂු මණ්ඩල (116) කින් ශුද්ධ කොට එවූ පොත් වූ කලී රටවල් අනුව පිහිටෙව් කාරක මණ්ඩල අතුරෙන් බුරුම රට මහා සංඝයා වහන්සේ විසින් තනිව ශුද්ධ කළ පොත් වෙති.

ලංකාවේද මහා සංඝයා වහන්සේ හා ආණ්ඩුව සම්බන්ධ වී පිහිටුවාලු භික්ෂූන් වහන්සේලා (185) එකසිය අසූපස් නමක් අතුළත් වූ කාරක මණ්ඩලයයි කියන විශොධක මණ්ඩල 37 ක් වෙති. ඒ මණ්ඩල තිස්හතෙන් පස් මහ සඟි සහිත ත්‍රිපිටක පාළිය කොටස් 37 කට බෙදා කොටස බැගින් ගෙන ශුද්ධ කළහ.

මෙම කාරක මණ්ඩල වනාහි මුළු ලක්දිවැ ත්‍රිපිටකයෙහි හසළ බුද්ධිමත් වූ මහ තෙරුන් සියලු දෙනා වහන්සේම ඇතුළත් වන මණ්ඩල වෙති. මේ මණ්ඩල 37න් ශොධිත වූ ත්‍රිපිටකය ඒ ඒ නිකායවල නායක වූ ත්‍රිපිටකයෙහි සුනිපුණවූ මහ තෙරුවන් ඇතුළත් උත්තරීතර මණ්ඩල නම් වූ සංඝ සභාවෙන් අවසාන ශුද්ධියට පමුණුවනු ලැබේ. එසේ සිංහල මහ තෙරවරුන් අනුක්‍රමයෙන් ශුද්ධ කොට වදාරා බුරුමයට එවූ ත්‍රිපිටක පාළිය රටවල් අනුව පිහිටෙව් කාරක මණ්ඩල අතුරෙන් ලක්දිව මහා සංඝයා වහන්සේ විසින් ශුද්ධියට පමුණුවාලු පොත් වෙති.

සියම් රට වෙනුවෙන් ද මෑතදී සියමේ චූළාලංකාර මහ රජතුමන් විසින් මුද්‍රණය කළ චුළාලංකාර ත්‍රිපිටකය රටවල් අනුව සියම් මහා සංඝයා වහන්සේ විසින් ශුද්ධ කළ පොත් වශයෙන් සියම් සංඝ රාජ මාහිමියාණන් විසින් බුරුමයේ ඔවාදාචරි සංඝ නායක සභාව වෙත පිරිනමා තිබේ. එම චුළාලංකාර ත්‍රිපිටක වූ කලී මුළු සියම් රටෙහිම ත්‍රිපිටකය පිළිබඳ හසළ බුද්ධමත් විශාරද මහ තෙරවරුන් එක් රැස්ව ශුද්ධියට පමුණුවා ලීමෙන් පසු සියම් මහ රජතුමන් විසින් මුද්‍රණය කරවන ලද ත්‍රිපිටකය වේ.

කාම්බෝජ රට වෙනුවෙන් ද මෑතදී බුරුමයට වැඩම කළ කාම්බෝජ සංඝරාජ මාහිමියාණන් විසින් ශුද්ධ කොට වදාළ ත්‍රිපිටකය කාම්බෝජ රටේ මහා සංඝයා වහන්සේගේ ශුද්ධිය වශයෙන් එවා තිබේ. එපමණක් ද නොවේ. අවුරුදු අසූවක පමණ කාලයක පටන් පැවත එන ලන්ඩන් නුවර පාළි සමිතිය මගින් ලෝක ප්‍රසිද්ධ පාළි පඬිවරුන් ලවා ශුද්ධියට පමුණුවා රෝම අක්ෂරවලින් මුද්‍රණය කළ පෙළ පොත් ද වෙති. එන්ගලන්තයේ පාළි පොත් වශයෙන් ප්‍රකට වූ මෙම පොත් ද ධර්ම සංගායනා පුස්තක ශුද්ධිය පිණිස ඔවාදාචරිය සංඝ නායක සභාව වෙත ලැබී තිබේ. මෙසේ ඒ ඒ රට වල්වලින් ත්‍රිපිටකය පිළිබඳ හසළ බුද්ධිමත් මහ පඬිවරුන් විසින් ශුද්ධ කොට දෙන ලද පොත් එක්කොට සසඳා බලමින් ශුද්ධ කිරීම සඳහා ප්‍රතිවිශොධක නම් වූ යළිත් සංශොධනය කරන කාරක මණ්ඩලද ඒ ඒ රටවල් වලින් තෝරා පත් කොට එවන ලද මහ තෙරවරුන් ඇතුළත් කොට පිහිටුවා තිබේ. එම ප්‍රතිවිශොධක හැම මණ්ඩලයෙක් හිම සංගීති භාරවාහක සංඝ සභාවෙන් තෝරා පත් කළ මහ තෙරවරුද සියම් සංඝරාජ මාහිමියන් විසින් තෝරා එවා වදාළ සියම් මහ තෙරවරුද ඇතුළත් වෙති. එම ප්‍රතිවිශොධක මණ්ඩලවලට උපස්ථම්භකයන් වශයෙන් ධර්මාචාර්ය උපාධිධාරි භාෂා ශාස්ත්‍රයන්හි ප්‍රවීණ වූ ගිහි පැවිදි පඬි වරුන්ද පත්කොට තිබේ.

එම මණ්ඩලවලින් එක මණ්ඩලයකට එක පොත බැගින් බාර ගෙන යළිත් සංසන්දනය කරමින් ශුද්ධ කර එම ශුද්ධියෙහිදී රටවල් අනුව මහා සංඝයා වහන්සේ විසින් ශුද්ධ කොට එවා තිබෙන පොත් මුල තන්හි තබා අටුවා ටීකානුටීකාදියත් පාළි සංස්කෘත ශබ්ද ශාස්ත්‍රත් අනුව සසඳමින් ශුද්ධ කරනු ලැබේ. මෙකී ක්‍රමයට අනුව ප්‍රතිවිශොධක මණ්ඩලවලින් විනය පිටකයේ පොත් 5ත් දික් සඟි කාණ්ඩ 3ත් මැදුම් සඟි කාණ්ඩ 3ත් සංයුත් සඟි කාණ්ඩ 5ත් දැන් ශුද්ධියෙන් අවසානයට පමුණුවා තිබේ. මෙවැනි ප්‍රතිවිශොධක මණ්ඩලවලින් ශුද්ධ කළ පොත්හි මතභෙද ඇති තැන් හෝ ශුද්ධියට නොපැමිණි ශෙෂව තිබෙන තැන් හෝ වෙත් නම් සසඳා ශුද්ධ කරදීම පිණිස ඒ ඒ රටවල් වලින් වැඩම කළ මහ තෙරුන්ගෙන් යුත් මණ්ඩලයක්ද පිහිටුවා තිබේ.

‍මේ‍සේ මෙකල මුළු බෞද්ධ සංහතියෙහිම ත්‍රිපිටක පාළිය පිළිබඳව පාරප්‍රාප්තවූ මහ තෙරවරුන් ක්‍රම ක්‍රමයෙන් සංශොධිත වූ පෙළ පොත් යන්ත්‍රස්ථව මුද්‍රණය කරන කළ පරිපාලන සංවිධාන කටයුතු සලස්වා තිබෙනුයේ කෙසේද යනුත් සැකෙවින් දක්වනු කැමැත්තෙමි.

මුද්‍රණ කාර්යාංශයේ කටයුතු පිළිබඳ ගෘහස්ථ පක්ෂයෙන් බුරුම රට පාළි ත්‍රිපිටක මුද්‍රණ කටයුතුවල ඉතා දිගු කලක් යෙදී කෘතහස්ත බහුශ්‍රැතයෙකු වන පාළි විශාරද මහ පඬිවරයෙකු ප්‍රධාන තනතුරට පත්කොට තිබේ. තවත් උප ප්‍රධාන පඬිවරයෙකුත් ශුද්ධි පත්‍රාවලොකනය කරන පඬිවරු ගණනාවකුත් පත් කොට තිබේ.

වර්ණ යෝජකයන් විසින් දෙනු ලබන “කටු” මුද්‍රණය ශුද්ධි පත්‍රාවලොකනය කරන්නන් විසින් මුල් පිටපත හා සසඳමින් නැවත නැවතත් මුද්‍රණ දෝෂ ඉවත් කරමින් ශුද්ධියට පමුණුවනු ලැබේ. මෙසේ ශුද්ධ කළ ශෝධ්‍ය පත්‍රය ප්‍රවෘප්ජීත ශොධ්‍ය පත්‍ර පාඨක මණ්ඩලය සමඟ ප්‍රධාන තනතුරු දරන්නාහු විසින් යළිත් හරි වැරදි පරීක්ෂා කර බලනු ලැබේ. ශෝධ්‍ය පත්‍ර පාඨක මණ්ඩලයෙහි ධර්මාචාර්ය උපාධිධාරී මහ තෙරවරු සිව් නමකට අඩු නොවන ගණනක් මාරුවෙන් මාරුවට ඇතුළත් වෙති.

මෙසේ මුද්‍රණ කාර්යාංශයේ ප්‍රධානයා සමඟ ශොධ්‍ය පත්‍ර පාඨක මණ්ඩලය විසින් පරීක්ෂා කළ ශොධ්‍ය පත්‍රය අවසාන ශොධ්‍ය පත්‍ර පාඨක මණ්ඩලයට ඇතුළත් වූ මහ තෙරවරු වනාහි ත්‍රිපිටකයෙහි අද්විතීය පාණ්ඩිත්‍යයකින් යුත්ත වූවන් පමණක් නොව අක්ෂර පද වාක්‍යයන්හි මෙන්ම කාණ්ඩ පරිච්ජේද බෙදීම් ආදීන්හිද කිසිදු දොෂංශුවක් ඇති නොවන පරිදි මුළු කාලය ගතකරමින් මහත් පරිශ්‍රමයකින් සිහි නුවණින් යුත්තව කටයුතු කරන මහ තෙරුන් වහන්සේ වෙති.

මෙකී කරුණු හැර තවත් ඉතා වැදගත් කරුණක් තිබේ. ප්‍රථම සන්නිපාතයෙහි සංගායනා කරනු ලබන විනය පිටකය මුද්‍රණය කොට නිමවූ කෙණෙහිම ඔවාදාචරිය සංඝ නායක සභාවට අයත් (125) නමට හා සංගීති භාරවාහක නායක මහ තෙරුවන්ටද ඒ ඒ රටවල්වල පාළි විශෝධක මණ්ඩලවලටද යළිත් විභාග කොට බලනු ලබන වෙසක් පුණු පොහො දින සංගායනා මහෝත්සවයට තුන් දිනකට මත්තෙන් සංගායනා පවත්වන තැන වූ සිරිමංගල බිම් පෙදෙසට වැඩ වදාරති. එසේ වැඩම කළ ඉක්බිති පරිශිෂ්ට යමක් වේ නම් ඒ සියල්ලම කෙළවර දක්වා සාකච්ඡා කරගැනීම සඳහා ඉඩ ප්‍රස්ථාවන් ද සලස්වා තිබේ.

මේ හැර බෞද්ධයන් විසින් විශේෂයෙන් සැලකිය යුතු වූ කරුණක් ද ඇත්තේය. එනම් සවැනි සංගායනාවේදී අසවල් පොත් ශුද්ධ වශයෙන් ද අසවල් පොත් අශුද්ධ වශයෙන්ද සලකමින් එක පැත්තක් පහත් කොට විනිශ්චය කිරීමක් නැත්තේ මැයි.

නොයෙක් රටවල්වලින් ලත් නොයෙක් පොත් හා සසඳා කරන ශුද්ධියේදී ඒ පොත්වල දක්නට ලැබෙන පාඨාන්තර ඒ ඒ පිටුවල අධො ලිපි ව‍ශයෙන් පැහැදිලි සේ පෙන්වා ඇත. එමතුද නොවේ. එම පාඨාන්තරයන් පහසුවෙන් බලාගත හැකි පරිදි සෑම පොතෙක්හිම අවසානයේ අකාරාදි ක්‍රමයෙන් එවා යොදා ඇත්තාහ. ඉතින් මෙසේ ත්‍රිපිටක සංශොධක මහ තෙරුන්ගේ වශයෙන් ද ශුද්ධ කරන ක්‍රමයන්ගේ වශයෙන්ද මේ සා උසස් ලෙසට හර හැටියට සිදු කරන හෙයින් -

 

1.සවැනි සංගායනාව පිළිබඳ දැන් කටයුතු කරන මහා සංඝයා වහන්සේට වඩා සුදුසු වූ ගිහි පැවැදි පඬිවරු ස්ථවිරවාද බෞද්ධ ලෝක සංහතියෙහි ඇත්තාහුද?

2. සවැනි සංගායනවා පිළිබඳ මෙහි කී ක්‍රමයට වඩා යෝග්‍ය වූ ක්‍රම ඇත්තාහුද? යනුවෙන් ඇසීමට මම කැමැත්තෙමි.

කොටින් පැහැදිලි කියතොත් මෙසේ මා විචාරන්නේ මෙහි කී මහ තෙරුන් වහන්සේට වඩා සුදුසු මහ තෙරුන් වහන්සේලා නැතැයි කියාවත් මීට වඩා යෝග්‍යවූ ක්‍රමයක් නැතැයි කියාවත් මා සිතන නිසා නොවේ. සවැනි ධර්ම සංගායනා මහෝත්සවය ගැන කටයුතු කරන මහ තෙරුන් වහන්සේලාට වඩා සුදුසු වූ මහ තෙරුවරු ඇතැම් විට සිටිනු බැරිකමෙක් නැත.

කියන ලද ග්‍රන්ථ සංශොධන ක්‍රමයන්ට වඩා යෝග්‍ය වූ ක්‍රමද ඇතැම් විට තිබෙනු බැරි කමක් නැත. එසේ වැඩියෙන් සුදුසුවූ මහ තෙරවරුන් වැඩියෙන් යෝග්‍ය වූ ක්‍රමත් විද්‍යාමාන වෙත්නම් නොසඟවා පෙන්වා දෙන සේක්වා. එවිට දැන් ධර්ම සංගායනා මහෝත්සවයේ පෙරමුණෙහි වැඩ සිටින මහා සංඝයා වහන්සේ විසින් ඉතා සතුටින් පිළිගනු ලබනවා නොඅනුමානයි.

එසේ පෙන්වා දීමට නොමැති නම් නොයෙක් දෝෂයන්ගෙන් දූෂිතව තිබෙන ත්‍රිපිටක පොත්වල සංශෝධනය පිණිස ඉතා සුදුසු මහ තෙරුන් නම් දැන් මේ සංගායනාවෙහි ප්‍රම්‍රඛව කටයුතු කරන මහා සංඝයා වහන්සේම බව සැලකිය යුතු. සංශෝධන ක්‍රමය ගැන ද දැන් මේ කෙරීගෙන යන ක්‍රමයම ඉතා යෝග්‍ය වූ ක්‍රමය බව ද සැලකිය යුතුවේ.

මෙසේ ඉතාමත් සුදුසු වූ මහා සංඝයා වහන්සේ විසින් ඉතාමත් යෝග්‍යවූ ක්‍රමයන්ට අනුව ශුද්ධ කොට වදාළ ත්‍රිපිටක පාළිය වූ කලි වැනසෙන්නට නොදී නිර්දෝෂව පවත්වා ගැනීම පිණිස ආණ්ඩුවේ ආඥා පනතකින් වත් ආරක්ෂා කළ යුත්තකි. කිසිම වගකීමකට බැඳී නැති යන්ත්‍රාලයවල අයිතිකුරුවෝ දැන් වාගේම වග වීභාගයක් නැතිව ත්‍රිපිටකය මුද්‍රණය කෙරෙත් නම් එය අප විසින් නිකම් බලාගෙන සිටිත හැක්කක් නොවේ. පුළුවන් ක්‍රමයකින් මුළු ශක්තියම යොදා ඒ ගැන ක්‍රියාකිරීමට අපට සිදුවී තිබේ.

අදහස්