දූවිල්ලෙන් ඉපදී ජීවිතයේ මතු මහලට නැග්ග ගම්පහ බුලත්විට රැජන | සිළුමිණ

දූවිල්ලෙන් ඉපදී ජීවිතයේ මතු මහලට නැග්ග ගම්පහ බුලත්විට රැජන

සුදත් සමරදිවාකර

එස්.බී අනුලා සමරවීර ගම්පහ නගර මධ්‍යයේ බුලත්විට විකුණන්නට පටන් ගන්නේ මීට අවුරුදු පනහකට පෙරය. එනම් එක්දහස් නවසිය හැට නවයේ අවුරුද්දේය. ඇය පුරා වසර පනහක් ගත වීමෙන් පසු අදත් ගම්පහ නගරය මැද බුලත්විට විකුණයි. අනුලක්කා බුලත්විට වෙළෙඳාමට බැස්සේ අවුරුදු පහළොවේදීය. බුලත් විටටම වියපත් වූ ඇයගේ දැන් වයස අවුරුදු හැට පහකි.

ඇය වෙළඳාම පටන්ගත් දිනවල බුලත් විටක මිල සත පනහකි. එදා සත පනහට විට මිලදී ගත් පිරිස අතරින් කීප දෙනෙක් තවමත් ඇයගේ බුලත්විට සොයා පැමිණෙති. ඊට හේතුව පනස් වසරක් පුරා පවත්වාගෙන ආ විශ්වාසය හා බුලත්විටේ ප්‍රමිතිය බව ඇය අපට කීවාය. ආරම්භයේදී සත පනහක් වූ බුලත්විටක් ඇය දැන් අලෙවි කරන්නෙ රුපියල් තිහක මුදලකටය.

එදා ගම්පහ දුම්රියපළ ඉදිරියේ පිහිටා තිබූ “ජයන්තා” සිනමා ශාලාව පිහිටා තිබූ තැන අද ඇත්තේ සුපිරි වෙළෙඳ සංකීර්ණයකි. වික්ටර් සමරවීර “ජයන්තා” සිනමා ශාලාවේ සේවය කළ ටිකට් පරීක්ෂකවරයෙකි. අනුලක්කා ගම්පහ එන්නේ එක්දහස් නවසිය හැට අට වසරේ ජයන්තා සිනමාහලේ ප්‍රදර්ශනය වූ “වනසරණ” චිත්‍රපටිය නැරඹීමටය. සිනමාශාලාවට පැමිණි අනුලා එහි ටිකට් පරීක්ෂකවරයෙකු වූ වික්ටර් හඳුනාගන්නේ අහම්බෙනි. ඒ වන විට ඇගේ වයස අවුරුදු දාහතරකි. මවුපියන්ගේ දැඩි විරෝධය මැද අනුලා වනසරණ බලන්නට පැමිණ හමුවූ වික්ටර් සමඟ විවාහ වන්නට තීරණය කරයි. “අපි දෙන්න කසාද බැන්දට පස්සෙ එයා රස්සාවෙන් අයින් වුණා. ඊට පස්සෙ තමයි පේමන්ට් එකේ බුලත්විට කඩේ පටන්ගත්තේ. ඒ කාලේ බුලත්විටට වඩා ආදායමක් තිබුණේ තැඹිලිවලින්. වික්ටර් ගස් නැඟල තැඹිලි කපාගෙන එනවා. මම පේමන්ට් එකේ තියාගෙන බුලත්විටයි තැඹිලියි විකුණනවා.”

ඔවුන් දෙදෙනාට අයිතිවාසිකම් කියන්නට කඩ සාප්පු තිබුණේ නැත. ජීවත්වන්නට මුදලක් සොයාගන්නට පිහිටට තිබුණේ මහපාර පමණි. ලැබෙන මුදලින් සතුට සොයාගත් මේ යුවළට ජීවත් වන්නට අගහිඟකමක් තිබුණේ නැත. ඊට හේතුව බුලත්විට සඳහා අදටත් වඩා වැඩි ඉල්ලූමක් එදවස පැවතීමයි.

වික්ටර් අනුලා යුවළට පිරිමි දරුවෝ පස්දෙනෙක් වූහ. ඔවුන් දෙදෙනා දරුමල්ලන් සමඟ උත්සහායෙන් වීරියෙන් කිසිවෙකුටත් අත නොපා ජීවිතය ගෙවමින් සිටින අතර තුර මහත් අවාසනාවන්ත සිද්ධියක් ඇති විය. තැඹිලි කැපීමට යෑමේදී ගසක් මුදුනේ සිට බිම ඇද වැටීමෙන් වික්ටර් සදාකාලිකව එක්තැන් වූයේය. ඔත්පළ වූ සැමියාද බාල වියේ පසුවන දරුවන් පස්දෙනාද සමඟ නගරයක් මැද මහපාරේ පදික වේදිකාවක අසරණ වන අනුලාට ජීවිතය ගැටගසා ගන්නට පිළිසරණක් වන්නේ බුලත් තට්ටුවක් පමණය.

සෑම දිනකම පම්පහ නගරය අවදි වෙන්නේ අනුලක්කා සමඟය. ගම්පහ නගරයේ මුලින්ම වෙළඳාම් ආරම්භ කරන්නේ අනුලක්කාගේ බුලත්විට කඩයය. අලුයම හතරහමාරේ සිට රාත්‍රී නවය පමණ වන තෙක් එය විවෘතව පවතී.

අනුලක්කාගේ බුලත්විට හරි සාර සුබාවට තිබේ. ඇයගේ බුලත්විටට බුලත් කොළ හතරක් පහක්, පුවක් කෑලි හය හතක් යහමින් දැමූ දුම්කොළ අහුරක්, රෝස පාටට වර්ණ ගැන්වූ හුනු කට්ටියක් ඇත. ඇය ගම්පහ බුලත්විට රැජින වන්නේ මීට දශක කීපයකට කලින්ය. ඒ කාලයේදී ඇයගේ විටට කරදමුංගු, කරාබුනැටි, සාදික්කා, කොත්තමල්ලි, වසාවාසි වැනි පහේ ද යහමින් විය. ඒ කාලයේ බුලත්විට මාර්කට් එක තනිකරම කැරකුණේ අනුලක්කා වටාය.

“දැන් කොහොමද අප්පේ ඒවා කරන්නෙ. කොච්චර ගණන්ද කරදමුංගු කරාබු නැටි වසාවාසි වගේ දේවල්. ඒව කරන්න බෑ දැන්. හැබැයි පුළුවන් තරම් හොඳට දෙනවා. ඒ හින්දා මගේ බිස්නස් කැඩුණේ නෑ. අවුරුදු පනහක් තිස්සෙ මගෙන් විට ගන්න අය ඉන්නවා. අදටත් ටවුන් එකේ නගරය හා අවට කඩවලට තොගේට බුලත්විට ගන්නෙ මගෙන්. කෝච්චියෙ යන ඇත්තන් අතර මගේ බුලත්විට හරි ප්‍රසිද්ධයි. ඒ අයගෙන් සමහර කෙනෙක් බුලත්විට ගන්න කෝච්චියෙන් බැහැලා එනවා. ආයෙ ඊළඟ කෝච්චියේ යනවා. ගම්පහින් නඟින සමහරුන් යාළුවන්ටත් එක්ක විට අරන් යනවා. තවත් අය විට විසි පහක් තිහක් අරන් ගිහින් කන්තෝරුවල විකුණලා හවසට කීයක් හරි වැඩිපුර හොයා ගන්නවා. ”

“අක්කට කෙහොමද බුලත් පුවක් ලැබෙන්නෙ...”

“ ගම්පහ බුලත් යහමින් වගා කරනවා. බුලත් වෙළෙඳාම වෙනුවෙන්ම නයිවල, බල්ලපාන, බාඳුරාගොඩ, කඳානෙගෙදර වගේ තැන්වල බුලත් පොළවල් තියනවා. ඒ පොළවල් තියෙන්නෙ පාන්දර. එහෙම බුලත් අරන් මට විකුණන අය දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා. පුවක් දෙන්නෙ මේ ළඟ මුදුන්ගොඩ ගමේ කෙනෙක්. එයාට කියන්නෙ පුවක් සිසිර කියලා. සිසිර තමයි අවුරුදු ගාණකට කලින් මුලින්ම මට පුවක් දුන්නෙ. හුනු ටික නම් මං තමයි හදාගන්නෙ. බෙලි කටු පුච්චලා අරන් දිය ගහලා ඒකට කහ ටිකක් එකතු කරලා පදමට ගන්න එක කරන්නෙ... ”

ඇය සිනාසෙමින් කතා කරයි. කතා කරමින් විට ඔතයි. ඒ දෑත් පුදුම තරම් කඩිසරය. විටක් විකුණනවාට වඩා වැඩි වේගයකින් ඇයට බුලත්විටක් පහේ යොදා එක් කොට එතිය හැකිය.

“අක්කට මෙච්චර කාලයක් එක දිගට මේ රස්සාව කරගෙන එන්න පහසු වෙන්න නැතිව ඇති.” කතාව වෙන මඟකට යොමු කරමින් විමසීමි.

“ඒක නම් වෙනම ලියන්න ඕන කතාවක්... එක සිද්ධියක් කියන්නම්. මගේ මහත්තයා නැති වුණු අලුත. දරුවො පොඩියි. මගෙ කඩේට ගිනි තිබ්බා. ඒත් මං ඒ අඟුරු එක්ක හිටියා. දරුවො ටික ඉටි කොළයක් දාලා පේව්මන්ට් එකේ නිදි කරවලා මං රෑ එළිවෙනකම් ඇහැරිලා හිටියා. මං දරුවො හැදුවේ එහෙම. ගම්පහ ටවුන් එක මැද්දෙ පේව්මන්ට් එකේ හිටියා තමයි. මේ තැන මේ රටේ තියෙන් ඕන හැම දහදුරාවක්ම තියනවා. ඒත් මගෙ එක දරුවෙකුවත් මත්ද්‍රව්‍යවලට යොමු වුණේ නෑ. මං උන් හරියට හදාගත්තා. දරුවො ටික ලොකු ඉස්කෝලවලට දාලා උගන්වන්න වත්කමක් තිබුණෙ නෑ. ඒත් මගෙ තරමට හොඳට ඉගැන්නුවා.”

“මේ කතාව කියන්නෙ මම බොහොම සතුටින්. ජීවිතේ කිසිම දවසක බැංකුවකටවත් එක රුපියලක්වත් ණය වෙලා නෑ මම. දැන් මට යාන වාහන තියනවා. ඉන්න හිටින්න හොඳ ගෙයක් දොරක් තියනවා. ඒ හැම සතයම හෙව්වේ මේ බුලත් විට වෙළඳාමෙන්. වෙන කිසිම ආදායමක් මට තිබුණේ නෑ. මගෙ ලොකු පුතා අද ගම්පහ මහ නගර සභාවෙ නාගරික මන්ත්‍රීවරයෙක්. ” අනුලක්කා තෘප්තිමත් සිනාවකින් යුතුව අප දෙස බලා සිටී.

 

අදහස්