පැය තුන හමාරෙන් කතරගම යන දිනය අත ළඟයි | Page 2 | සිළුමිණ

පැය තුන හමාරෙන් කතරගම යන දිනය අත ළඟයි

දකුණු ලක පැය කිහිපයකින් අගනුවරට සමීප කරවන දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර හම්බන්තොට දිගුවේ වැඩ මේ වන විට නිමා වෙමින් පවතී. අදියර 4ක් යටතේ සිදු කෙරුණු මේ ව්‍යාපෘතියේ වැඩකටයුතු සියල්ල නිම කර තව නොබෝ දිනකින් කොළඹ සිට හම්බන්තොට දක්වාම අධිවේගයේ ගමන් කරන්නට හැකියාව ලැබෙනු ඇත.

මහවැලි ව්‍යාපාරය 'කඩිනම් මහවැලි ව්‍යාපාරය' ලෙස වැඩ කටයුතු නිමා වූවා සේ අධිවේගි මාර්ග පද්ධතියද ඒ අනුව යමින් කඩිනමින් නිමා කිරීමේ ප්‍රතිපත්තියක් ගෙන ඇති බව දක්ෂිණ අධිවේගයේ මාතර - හම්බන්තොට දිගුව දෙස බැලූ විට පැහැදිලිව පෙනී යයි.

මාතර සිට හම්බන්තොට දක්වා වූ අධිවේගි මාර්ගයේ සම්පූර්ණ දිග කිමී 96කි. මේ මාර්ගය කඩිනමින් ඉදි කිරීම උදෙසා අදියර 4ක් යටතේ එකවර වැඩ කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදන ලදි. ඉන් පළමුවැන්න මාතර සිට බෙලිඅත්ත දක්වා වූ කිමී 30ක දුර ප්‍රදේශය සහිත කොටසයි. දෙවැන්න බෙලිඅත්තේ සිට වැටිය දක්වා වූ කිමී 26ක දුර කොටසයි. තෙවැන්න වැටියේ සිට අන්දරගස්වැව දක්වා කිමී 15ක කොටසයි. සිව්වැන්න ලෙස ඉදි වන්නේ මත්තල ගුවන්තොටුපළේ සිට අතුරු-අධිවේගි මාර්ගයක් ලෙස පැමිණ අන්දරවැවදී අධිවේගය හා සම්බන්ධ වී හම්බන්තොට දක්වා දිවෙන මාර්ගයයි. එහි මුළු දිග කිමී 25කි. අන්දරවැව සිට මත්තලට දුර කිමී 06ක් පමණ වේ. හම්බන්තොටට ඇති දුර කිමී 14කි. එහෙත් අන්දරවැව අන්තර්-මාර්ග හුවමාරුවේ අධික මාර්ග සංඛ්‍යාව නිසා මේ දුර කිමී 25ක් දක්වා වැඩි වී ඇත.

මාතර - හම්බන්තොට අධිවේගි මාර්ගයේ ආරම්භක සැලැස්මට වඩා තරමක් වෙනස් සැලැසුමකින් යුතුව අදියර 4 යටතේ මාර්ගය සැලසුම් කෙරිණි. මෙසේ සැලසුම වෙනස් කර ඇත්තේ එයින් වඩාත් ඵල-ප්‍රයෝජන ලැබෙන පරිදිය‍. එසේම එයින් බලාපොරොත්තු වූ නව ප්‍රතිඵල රාශියකි.

එයින් මුල්තැනක් ගන්නේ නිල්වලා නදියේ ජල ගැලීම්වලින් පහත් බිම් ආරක්ෂා කරගැනීමයි. එමෙන්ම මාතර ප්‍රදේශයේ කිරල කැළේ වනෝද්‍යානයට හානි නොවන සේ මාර්ගය ඉදි කිරීමද තවත් අපේක්ෂාවක් විය. එමෙන්ම දන්දෙණිය වන රක්ෂිතයට සිදු වන හානියද අවම කර ඇත. අරංයාය හා මදුනාගල උණුවතුර ළිංවලට නව සැලැස්මෙන් කිසිදු හානියක් නොවනු ඇත. රිදියගම වනාන්තරයටද හානි නොවන සේ මාර්ගය ඉදි කිරීම තවත් අරමුණකි.

කිලෝමීටර් 30ක් වූ 1 අදියරේ කිමී 10ක් පමණ වන දුරක් නිල්වලා ගඟේ බලපෑම සලකා මාර්ගය කුලුනු මතින් විහිදුවන්නට කටයුතු යොදන ලදි. එහි ඉදිකිරීම් කරන විට ගංවතුරේ බලපෑම නිසා වගුරු බිම් ආශ්‍රිතව පතුලේ ඇති දුර්වල ගොහොරු සහිත පස් ඉවත් කිරීමෙන් ඉදිරියේදී සිදු විය හැකි පරිසර හානිය මෙන්ම, නිල්වලා ගඟ පිටාර ගලන අවස්ථාවකදී ඇති වන ගංවතුර තත්ත්වය දිගු කාලයක් නොපැවතී, ජලය කඩිනමින් බැස යෑමට අවශ්‍ය පරිසරය සකස් වන සේ මේ ආකාරයට මාර්ගය ඉහළින් ගමන් කිරීමට සලස්වා ඇත.

මේ ඉදි කිරීම් සම්බන්ධයෙන් චීන තාක්ෂණය භාවිත කරනු ලැබිණි. එහිදී වගුරුබිම්වලදී වෘත්තාකාරව සකස් කළ කොන්ක්‍රීට් දැල් සිලින්ඩර පොළොව තුළට බස්වා, ඒ සමගම ගල්කුඩු යොදා එම ගල්කුඩු මිශ්‍රණය භූගත වන විට එහි ඇති මඩ සහ ජලය එළියට ගැනීමට සලස්වන ලදි. ඒ හරහා කොන්ක්‍රීට් මිශ්‍රණය සිලින්ඩරාකාර දැල සමඟ භූගත කරන ලදි. පිහිටි පොළොව කොතැනද එය හමු වන තෙක් වෘත්තාකාර සිලින්ඩර එකට යා කර ගිලා බැස්සවීම මෙහිදී භාවිත කළ තාක්ෂණයයි. ඇතැම් විට මීටර් 50ක් පමණ දක්වා භූගත කැණීම් සිදු කර වෘත්තාකාර සිලින්ඩර් භූගත කිරීමට සිදු වූ බව 1 අදියරේ ව්‍යාපෘති අධ්‍යක්ෂ නිලවර් නවුෆර් මහතා පවසයි.

මාර්ගය තැනීමේදී හැකි උපරිම ලෙසින් පරිසර හානි අවම කරමින් මෙන්ම ජනතා ගැටලු අවම වන ලෙසින් ඉදි කිරිමට උත්සාහ ගෙන ඇත.

එසේම අවට ඇති බිම්වලින් ලබා ගත හැකි අස්වැන්නට හානියක් නොවීමට මෙන්ම මෙවැනි ඉදිකිරීමකදී අඩු වියදම නිලව්ෆර් ෂරීෆ්් ක්‍රම ගැනද සැලකිල්ලට ගෙන ඇත. රක්ෂිත වනයක් මැදින් ඉදි වන අධිවේගී මාර්ගය නිසා එම වනයේ ශාක 1400ක් පමණ කපා ඉවත් කර ඇති අතර ඒ වෙනුවට එක ගසකට ගස් සියය බැඟින් සිටුවීම සඳහා අවශ්‍ය කටයුතුද සම්පාදනය කර ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ග දිගුවේ පළමු අදියර වන කිමී 30ක දුර ප්‍රමාණය සමස්ත දුර වන කිමී 96 හා ගත් විට ඉදිකිරීමේ දීර්ඝතම කොටසක් සහිත අදියර වන්නේය. එම ඉදි කිරීම් සඳහා ලබා දී ඇති කාලයටත් වඩා වේගයකින් ඉඳි කිරීම් සිදු කරන ලදී.

චීන ජාතිකයෝ රැසක් එහි සේවයේ යෙදී සිටිති. දෙවන අදියර ලෙස සැලකෙන බෙලිඅත්ත සිට වැටිය දක්වා දිවෙන මාර්ග කොටස කෘෂිකාර්මික සමාජයට හිතකර ලෙස ඉදි කිරීමට මුල් තැන දුන් එකකි. එහි ගොවිතැනට අවශ්‍ය පරිදි ජල සම්පාදනයට මෙන්ම ගංවතුර තත්ත්වයකදී ද, වැසි වතුර පිරීමේදීද එම ජලය බැස යාමට අවශ්‍ය වේලි ඇතුළු සැකසුම් සකස් කර ඇත. කෘෂිකාර්මික පරිසරයක් හරහා ගමන් ගන්නා එම ප්‍රදේශය විශේෂයෙන් ජනතාවගේ පැවති සබඳතා බිදවැටීම වැළැක්වීම පිණිස අධිවේගී මාර්ගයය උඩින් හෝ යටින් ගම් බිම් යා කරන මාර්ග නිර්මාණය කර ඇත. ඒ හරහා අස්වනු රැගෙන ඒමටත් සිය නිෂ්පාදන අවශ්‍ය පරිදි වෙළද පොළට ගෙන ඒමටත් ජනතාවට පහසුව සැලසී ඇත.

තුන්වන අදියර ඉදි වන්නේ වැටිය සිට අන්දරවැව දක්වාය. පෞද්ගලික ඉඩම් මතින් ගමන් කරන මේ අදියරේ ඉඩම් අත්පත් කරගැනීමේ ප්‍රමාදයන් හැරෙන්නට විශාල පරිසර ගැටලු ආදිය මතු වූයේ නැත. එහි වැඩ කටයුතුද මේ වන විට අවසන් අදියරේය.

සිව්වන අදියර ලෙස මත්තල සිට අන්දරවැව හරහා හම්බන්තොට දක්වා විහිදෙන මාර්ග පද්ධතිය හැඳින්විය හැකිය.

අන්දරවැව ඉදි වන මේ අන්තර්-හුවමාරුව විශේෂිත වූවකි. එහිදී මත්තල සිට පැමිණෙන රථවාහනවලට හා හම්බන්තොට සිට පැමිණෙන රථ වාහන වලට එක්ව මාතර දක්වා ගමන් කිරීමට අවකාශ සැලසේ. දෙපසින්ම අධිවේගයෙන් පැමිණෙන වාහන එකවර හමුව ධාවනයට කටයුතු යෙදෙනු ඇත. එවැනි ක්‍රමවේදයන් අපට තවමත් නුහුරුය. අප තවමත් අධිවේගී මාර්ගයකදී හුරුව ඇත්තේ අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී ඇතුළු වන වාහන විසින් මාර්ගයේ පැමිණෙන වාහනවලට ප්‍රමුඛතාව දී, එම මාර්ගයට ඇතුළු කිරීමේ ක්‍රමවේදයකි. එහෙත් දෙපසින්ම අධිවේගයෙන් පැමිණෙන වාහන දෙකක් එක්ව ගමන් කරන්නේ කෙසේද යන්න අපට නවමු අත්දැකීමකි. එහෙත් ලෝකයේ බොහෝ රටවල මෙවන් අධිවේගී මාර්ග දක්නට ඇත. අප දැන් ඊට හුරුවිය යුතුය. මෙවන් අන්තර්හුවමාරු මධ්‍යස්ථාන දෙකක් පමණක් මේ වන විට අධිවේගී මාර්ග පද්ධතියේ ස්ථාපිත වෙමින් පවතී. අනෙක් හුවමාරුව වන්නේ කඩවතයි. ඒ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ හා මධ්‍යම අධිවේගය සම්බන්ධ කරමින් ඉදිවන අන්තර්-හුවමාරුවයි.

මෙහි ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වන්නේ ඒ.පී.කේ. අබේධීර මහතායි. ඔහු පවසන්නේ අධිවේගයේ සිව්වැනි ‍අදියර යටතේ ඇති මාර්ගය රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සුවිශේෂ වටිනාකමක් ඇති එකක් බවයි. හම්බන්තොට නගරයට ප්‍රවේශ වන්නට මෙන්ම මත්තල ගුවන් තොටුපළට සහ හම්බන්තොට වරායටද කඩිනමින් ළඟා වීමට හැකි පරිදි මේ මාර්ගය ඉදි කෙරේ.

එසේම තවත් සුවිශේෂ කරුණක් වන්නේ සූරියවැව ආසන්නයෙන් මහා මාර්ගයට යටින් අධිවේගය ගමන් කිරීමයි. එහි භූමි තත්ත්වය මෙන්ම මාර්ගයේ අවසානයද සැලකිල්ලට ගෙන අධිවේගි මාර්ගය තැනෙන්නේ ප්‍රධාන මාර්ගය යටිනි.

එමෙන්ම ප්‍රදේශයේ පවතින වන අලි ගැටලුව පිළිබඳවද මෙම ඉදිකිරීමේදී විශේෂ අවධානයක් යොමු කර ඇති අතර අලින්ට මෙන්ම අධිවේගී මාර්ගයේ ගමන් කරන පිරිසටද බාධාවක් නොවන පරිදි අලින්ගේ ගමනාගමනය වෙනුවෙන් විශේෂ මාර්ග වේදයක් ස්ථාපිත කිරීමද මෙම ඉඳි කිරීමට ඇතුළත් ව ඇත. ඒ අනුව අලින්ට මාර්ගයට ඇතුළු වීමට නොහැකි වන සේ අලි වැටක් නිර්මාණය කර ඇත. එය සාමාන්‍ය විදුලි වැටක් නොව අතිවිශාල වියදමක් දරා සිදු කළ ආරක්ෂිත පද්ධතියකි.

මාතර-හම්බන්තොට අධිවේගී මාර්ගයේ අන්තර්-හුවමාරු මධ්‍යස්ථාන අපරැක්ක, බෙලි අත්ත, කසාගල, අගුණකොලපැලැස්ස, වැටිය. සූරියවැව, අන්දරවැව, මත්තල, හා හම්බන්තොට ස්ථානවල පමණක් ඉදි වනු ඇත. අපරැක්ක අන්තර්-හුවමාරුව මෙරට කණුමතම ඉදි වන පළමු අන්තර් හුමවාරුව වනු ඇත.

මෙරට ඉදිවන දිර්ඝතම පාලමද ඉදි වන්නේ මේ ව්‍යාපෘතිය හරහාය. ඒ මාතර සිට අපරැක්ක දක්වා වන ගුමන් මාර්ගයයි. ඒ කිමී 10.8ක් දක්වා වන දීර්ඝ දුරකි.

ඊට අමතරව අන්තර් ජාතික මට්ටමේ සේවා ස්ථානයක් බෙලිඅත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතී. එමෙන්ම රියදුරන් සඳහා විවේක ස්ථානයන් දෙකක්ද 2 හා 3 අදියර යටතේ ඉදි කෙරේ.

මේ මාර්ගය සඳහා වැය වන මුළු මුදල රු. බිලියන 241.9කි. එයින් 1 අදියර සඳහා රු. බිලියන 103.3ක්ද 2 අදියර සඳහා රු. බිලියන 55.2ක්ද 3 අදියර සඳහා රු. බිලියන 31.5ක්ද 4 අදියර සඳහා රු. බිලියන 52.2ක්ද දී ඇත. ඒ සඳහා ණය ආධාර සපයනු ලබන්නේ චීන එක්සීම් බැංකුවයි. ඒ බ2%ක් වූ පොලියකටයි.

මේ වන විට අධිවේගී මාර්ගයේ සමස්ත ඉදි කිරීම් 90ක් පමණ නිම කර ඇත. 3 වන අදියරේ එය 95%ක් ඉක්මවා ඇත.

හම්බන්තොට දක්වා මාර්ගය ඉදි කිරීමෙන් පසුව කතරගම වන්දනාවේ යන වන්දනාකරුවන්ට දිනකදී කතරගම වන්දනා මාන කරගෙන පහසුවෙන් පැමිණීමට හැකි වනු ඇත. කොළඹ සිට හම්බන්තොට දක්වා ගමන් කිරීමට පැය 2 1/2ක පමණ කාලයක් ප්‍රමාණවත් වනු ඇත. ඒ අනුව කතරගම දක්වා යාමට උපරිම ව‍ශයෙන් පැය 3 1/2ක් ගත වනු ඇත. උදෑසන කොළඹින් පිටත්ව පෙරවරු 10.30 කතරගම දේව පූජාවට සහභාගි වී අවශ්‍ය නම් සෙල්ල කතරගම ආදී ස්ථානවලට ගොස් එදින පස්වරුවේ යළි කොළඹට පැමිණිය හැකිය. කතරගම දක්වා යන වන්දනාකරුවන්ගේ පහසුව පිණිස මංතීරු 4කින් සමන්විත නව මාර්ගයක් මේ වන විට මත්තල සිට ලුණුගම්වෙහෙර හරහා ඉදි කෙරෙමින් පවතී. එමඟින් අධිවේගී මාර්ග නිමාවේ සිට කතරගම දක්වා යාමට ගත වන්නේ පැයකටත් අඩු කාලයකි. හම්බන්තොට දක්වා මාර්ගය ඉදි වීමෙන් පසුව අන්තර්ජාතික ගුවන් තොටුපොළ දෙකම යා වනු ඇත. එමෙන්ම දකුණේ කුරුදු වගාව අග නගරයට කඩිනමින් රැගෙන යාමට හැකි වනු ඇත. එමෙන්ම සංචාරකයින් සදහා හොද ආදායම් මාර්ගයක් හිමි වනු ඇත.

දකුණු පළාතේ අනෙකුත් භාණ්ඩද කඩිනමින් කොළඹට ගෙන ඒමට වෙළෙඳුන්ට හැකියාව ලැබෙනු ඇත. සංවර්ධනයේ කඩිනම් භාවය වන්නේද එයයි.

ඡායාරූප - කැළුම් ලියනගේ

Comments