සීනි ලුණු මේදය ගැන පාරිභෝගිකයා දැනුවත් කරනරසකැවිලි වර්ණ ඛේත ක්‍රමය | සිළුමිණ

සීනි ලුණු මේදය ගැන පාරිභෝගිකයා දැනුවත් කරනරසකැවිලි වර්ණ ඛේත ක්‍රමය

  • අවුරුද්දකට අලෙවි කරන බිස්කට් තොගය මෙට්ට්‍රික් ටොන් 80,000ක්...
  • මෙතෙක් බිස්කට් කෑවේ සීනි ලුණු මේදය ප්‍රමාණය නොදැන

අතීතයේදී ජනතාවට ජීවිත තර්ජන එල්ල වූයේ මැලේරියාව, කොලරාව, වසුරිය වැනි බෝවන රෝග මගිනි. එසේ වුවද වර්තමානයේ ජනතාවට මරණීය තර්ජන එල්ල වී තිබෙන්නේ බෝ නොවන රෝගවලිනි. එනම් දියවැඩියාව, හෘදයාබාධ, අධි රුධිර පීඩනය, ආඝාතය වැනි බෝ නොවන රෝග හේතුවෙන් මරණයට පත්වන අයගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යයි. මෙම බෝ නොවන රෝගවලට බලපාන ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන තිබෙන්නේ සීනි සහ තෙල් සහිත ආහාර පරිභෝජනය ඉහළ යෑමය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර සුරක්ෂිතතා ඒකකය විසින් බිස්කට් සහ රසකැවිලිවල අඩංගු සීනි, තෙල් සහ ලුණු ප්‍රමාණය සඳහා වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. මෙය අප්‍රේල් 02 දා සිට ක්‍රියාත්මක වනු ඇත.

මෙම වර්ණ සංකේත ක්‍රමය 2016 වසරේ සිට පනවනු ලැබුවේ පැණි බීමවලටය. ඉන්පසු පැණිබීම සඳහා යොදා ගැනෙන සීනි ප්‍රමාණය 10% කින් අඩු විය. 2018 වසරේ සිට පැණිබීම වර්ගවල සෑම සීනි ග්‍රෑමයකටම සත 50 ක බද්දක් අය කිරීමට පියවර ගැනිණි. මේ නිසා සීනි රහිත පැණිබීම වෙළෙඳපොළට හඳුන්වා දීමට සමාගම්වලට සිදු විය. ඊට අමතරව බිස්කට් සහ රසකැවිලි සඳහා ද වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර සුරක්ෂිතතා ඒකකය විසින් තොරතුරු රැස් කරනු ලැබුවේ 2018 වසරේ පටන්ය.

“බිස්කට් සහ රසකැවිලි කර්මාන්තය සංවිධානාත්මක කර්මාන්තයක්. තවත් අතකින් සුළු පරිමාණ මට්ටමින් රසකැවිලි නිෂ්පාදකයන් ද සිටින නිසා එය විශාල ජාලයක් වී තිබෙනවා. සංවිධානාත්මක රසකැවිලි නිෂ්පාදන සමාගම් විසින් වසරකට අලෙවි කරන බිස්කට් තොගය මෙට්ට්‍රික් ටොන් 80,000ක් වෙනවා. මේවායේ සීනි භාවිතය අඩු කළ යුතුයි. මේ පිළිබඳව එම නිෂ්පාදකයන් සමඟ අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අපේ දේශීය බිස්කට් නිෂ්පාදකයන් රටවල් 55කට බිස්කට් නිෂ්පාදන අපනයනය කරනවා. එම නිසා ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වා දීමට ඔවුන් එකඟත්වය පළ කළා.” යනුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ බිස්කට් සහ රසකැවිලි සඳහා නව වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදීය.

2016 වසරේ සිට පැණි බීම සඳහා වර්ණ සංකේත ක්‍රමය වැඩි ප්‍රචාරයකින් තොරව ක්‍රියාත්මක කළ ද ඒ පිළිබඳව පාසල් දරුවන්ට අවබෝධයක් තිබූ බව සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. පාසල් දරුවන්ගෙන් 58% ක් පැණි බීමවල වර්ණ සංකේත ක්‍රමය ගැන දැනුවත් වී සිටි අතර 38% ක් වර්ණ සංකේත ක්‍රමය කෙරෙහි අවධානය යොමු කර තිබූ බව මෙහිදී හෙළිදරව් විය. එළඹෙන අප්‍රේල් 02 වැනි දා සිට ක්‍රියාත්මක වීමට නියමිත බිස්කට් සහ රසකැවිලි සඳහා නව වර්ණ සංකේත ක්‍රමය ගැන පුළුල් ප්‍රචාරයක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පියවර ගෙන තිබෙන්නේ බෝ නොවන රෝගවලින් ජනතාව බේරා ගැනීමේ සද්භාවයෙනි.

බෝ නොවන ‍රෝග පාලනය කිරීමේ වැදගත්කම පැහැදිලි කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා රටක ශ්‍රම බලකාය දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ වැනි බෝ නොවන රෝගවලින් තොර වීමෙන් රටක් ආර්ථික වශයෙන් දියුණු විය හැකි බව පෙන්වා දුන්නේය. බෝ නොවන රෝගවලට ගොදුරු වූවන් වෙනුවෙන් රජය වියදම් කරන මුදල් ද සුළුපටු නොවේ. මෙම රෝගින් වර්ධනය වීම පාලනය කළහොත් රටේ මුදල් ඉතිරි කරගත හැකිය. ආයෝජනය කළ හැකිය. මේ අනුව බිස්කට් සහ රසකැවිලි සඳහා නව වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම අර්ථ සම්පන්න කටයුත්තක් බව සඳහන් කළ හැකිය.

නව වර්ණ සංකේත ක්‍රමය භාවිත වන ආකාරය පැහැදිලි කළ සෞඛ්‍ය අමාත්‍යාංශ‍ෙය් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ආහාර පාලන) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා, සෑම ග්‍රෑම් 100 කටම සීනි ග්‍රෑම් 22කට වැඩි නම් රතු ලේබලය ද සෑම ග්‍රෑම් 100 කට ම සීනි ග්‍රෑම් 8 සිට 22 ක දක්වා අඩංගු නම් කහ ලේබලය ද සෑම ග්‍රෑම් 100 කටම සීනි ග්‍රෑම් 8 කට අඩු නම් කොළ ලේබලය ද ප්‍රදර්ශනය කළ යුතු බව අවධාරණය කළේය.

ලුණු භාවිතය සඳහා වූ රෙගුලාසි යටතේ සෑම ග්‍රෑම් 100 කම ලුණු ග්‍රෑම් 2.5 කට වඩා අඩංගු නම් රතු ලේබලය ද සෑම ග්‍රෑම් 100 කම ලුණු ග්‍රෑම් 1.25 සිට 2.5 දක්වා අඩංගු නම් කහ ලේබලය ද සෑම ග්‍රෑම් 100 කම ලුණු ග්‍රෑම් 1.5 කට අඩු නම් කොළ පැහැති ලේබලයද ප්‍රදර්ශනය කළ යුතුය.

මේදය සඳහා වූ රෙගුලාසි යටතේ සෑම ග්‍රෑම් 100 කම මේදය ග්‍රෑම් 17.5කට වඩා වැඩි නම් රතු ලේබලය ද සෑම ග්‍රෑම් 100 කම මේදය ග්‍රෑම් 3 සිට 17.5 දක්වා අඩංගු නම් කහ ලේබලය ද සෑම ග්‍රෑම් 100 කම මේදය ග්‍රෑම් 3ට වඩා අඩු නම් කොළ ලේබලය ද ප්‍රදර්ශනය කළ යුතුය. සීනි, මේදය සහ ලුණු අඩංගු ප්‍රතිශත ද බිස්කට් සහ රසකැවිලිවල ප්‍රදර්ශනය කළ යුතු වුවත් කිරි, එළවළු, පලතුරු, සහල්, කුඩා වර්ගයේ පැකට්ටු තුළ ඇති ආහාර, තේ, කෝපි, වෛද්‍යවරුන් විසින් නියම කරන ආහාර සහ ළදරු කිරි ආහාර සඳහා මෙම රෙගුලාසි ක්‍රියාත්මක නොවේ.

“‍බිස්කට් සහ රසකැවිලි සඳහා වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව වසර 2ක් මුළුල්ලේ සාකච්ඡා පැවැත්වූවා. මෙය ව්‍යාපාරික ප්‍රජාව ලෙස අපට අවාසිදායක දෙයක්. ඒත් ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා අපි මෙම තීරණයට එකඟ වුණා. මෙය ජාතික අවශ්‍යතාවක් බව අපි පිළිගන්නවා. ව්‍යාපාර පවත්වා ගෙන යෑමට පාරිභෝගිකයන් අවශ්‍යයි. නමුත් අනාගතයේ රට භාර ගැනීමට සිටින අපේ දරු පරපුර සෞඛ්‍ය සම්පන්න පරපුරක් බවට පත් කිරීම අපේ වගකීමක්. ඒ නිසා සෞඛ්‍ය ඇමති, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන වර්ණ සංකේත වැඩපිළිවෙළට අපි පූර්ණ සහයෝගය ලබා දෙනවා.” යනුවෙන් ශ්‍රී ලංකා බිස්කට් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සුර්යකුමාර මහතා සඳහන් කළේය.

දේශීය බිස්කට් නිෂ්පාදකයින් විසිපස් දෙනෙකු පමණ මෙරට සිටින අතර ඔවුන් වාර්ෂිකව නිපදවන බිස්කට් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 80,000 කි. බිස්කට් සහ රසකැවිලි අපනයනය කිරීමෙන් මෙරට‍ට ලැබෙන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 100 කි. ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන වර්ණ සංකේත හඳුන්වා දීම තුළින් අපනයන ආදායම තවදුරටත් වර්ධනය කර ගත හැකි බව ශ්‍රී ලංකා බිස්කට් නිෂ්පාදකයන්ගේ සංගමයේ සාමාජික අශෝක බණ්ඩාර මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

“රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. හොඳ ව්‍යාපෘතියකට අපි සහයෝගය දෙනවා. බේකරි හිමියන්ගේ සංගමය, ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය, කාර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ ආහාර පාන කමිටුව සමඟත් අපි මේ ගැන සාකච්ඡා කළා ඉන්පසුවයි අපි මේ සුබවාදි තීරණයට එළැඹුණේ. අප සතුව පවතින ඇසුරුම් තොග අවසන් වූ පසුව නව නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කරනවා. බුද්ධිමත් ජනතාව සුබවාදි ව සිතා නව නිෂ්පාදන මිල දී ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ශ්‍රී ලංකා බිස්කට් නිෂ්පාදකයන්ගේ සංගමයේ සාමාජික අශෝක බණ්ඩාර තවදුරටත් අදහස් දැක්වීය.

පැණි බීම, බිස්කට් සහ රසකැවිලිවල වර්ණ සංකේත ප්‍රදර්ශනය කිරීම දූරදර්ශි ක්‍රියාමාර්ගයකි. එහෙත් ඒ සම්බන්ධයෙන් ජනතාව නිවැරදි තීරණ ගැනීම අත්‍යවශ්‍ය වේ. මක්නිසාද වර්ණ සංකේත ක්‍රියාත්මක කිරීම කොතරම් හොඳින් සිදු වුවද තෙල් අධික, සීනි අධික සහ ලුණු අධික ආහාර ඔවුන් තවදුරටත් පරිභෝජනය කරනු ලබන්නේ නම් අපේක්ෂිත පරමාර්ථය ඉටු නොවන නිසාය.

අදහස්