හදිසි විසඳුම් නැති විදුලියේ අර්බුදය | Page 2 | සිළුමිණ

හදිසි විසඳුම් නැති විදුලියේ අර්බුදය

  • සූර්ය බලය ගැන වැඩි අවධානයක් ඕනෑ
  • වාර්ෂිකව වැඩි වන විදුලි ඉල්ලුම මෙගා වොට් 200ක්

මේ දිනවල ලංකාවේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇත්තේ වියළි කාලගුණික තත්ත්වයකි. ඒ හේතුවෙන් ඉදිරි කාලයේදී ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් විදුලිය නිෂ්පාදනයක් ලබාදීමට විදුලියබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රමුඛ විදුලිබල මණ්ඩලය පවත්නා තත්ත්වයට මුහුණදීමට සූදානම් ද යන්නත් ඒ අතරේ විදුලියබල අර්බුදය පිළිබඳ විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වන චෝදනා පිළිබඳත් අපි විමසීමක් කෙළෙමු.

අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කර සිටියේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්ගේ ජල මට්ටම දිනෙන් දින අඩු වෙමින් පැවතියත් තාප බලාගාර යොදාගනිමින් ජනතාවට අඛණ්ඩව විදුලි සැපයුමක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.

''වසර දහයක පමණ කාලයක සිට මේ රටේ විදුලි අවශ්‍යතාවට සරිලන පරිදි විදුලි ජනන පද්ධතියක් ඉදි කරලා නැහැ. එ් නිසා අපට කරන්න පුළුවන් පොඩිම දේ තමයි තමන්ගේ නිවසේ බල්බ දෙකක් නිවා දමා විදුලිය ඉතිරි කිරීම. එයින් ජනතාවගේ වගේම රටේත් විදුලිය ප්‍රශ්නය විසඳෙනවා.'' අමත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ එලෙසයි.

විදුලියබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන අදහස් දක්වමින් පවසන්නේ, වියළි කාලගුණය සහ වර්ෂාපතනය අඩු වීම නිසා විදුලි බලාගාරවලට අවශ්‍ය ජලධාරිතාව ලබාගැනීමේ දී සීමා වීමක් දක්නට තිබෙන බවයි.

''මේ වන විට මෙගා වොට් හාරදාස් එකසියයකට සමාන ධාරිතාවයක් පවතිනවා. එයින් එක් දහස් තුන්සිය පනහක මෙගාවොට් ප්‍රමාණයක් විශාල පරිමාණයේ ජල විදුලි බලාගාර ඔස්සේත් මෙගාවොට් තුන්සිය අසූවක් පමණ කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාර ඔස්සේත් ලැබෙනවා. බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය පානීය ජලය වගේම කෘෂිකාර්මික කටයුතු සඳහාත් නිදහස් කිරීම කළ යුතුයි. අපි ඒ සඳහා අවශ්‍ය කරන කෙටි කාලීන විසඳුම් ,කෙටිකාලීක උපාය මාර්ග භාවිතා කරනවා.'' යනුවෙන් සුලක්ෂණ මහතා පවසන්නේ විදුලි පාරිභෝගිකයන් අපහසුතාවට ලක් නොවන ආකාරයෙන් අඛණ්ඩව විදුලිය සම්පාදනය කිරීමට කටයුතු කරන බවයි.

''මේ වන විට විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලමට්ටම සියයට තිස්හතරයි දශම හතරකයි පවතින්නේ. ජල විදුලි නිෂ්පාදනයේ දී අපට බලාගාරවලට අවශ්‍ය කරන ජලය ලබාගැනීම නිසි කළමනාකරණයකින් අරපිරිමැස්මෙන් තමයි කරන්නට සිදු වන්නේ. ජලවිදුලිය නිෂ්පාදනය කිරීමේ අභියෝගයත් එක්ක අපට යම් හෙයකින් විදුලි පාරිභෝගිකයන්ගේ සහාය ද ලැබෙනවා නම් එය වැදගත්. ඒ සඳහා විදුලිය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරනවා නම් විදුලිය නාස්තිය අවම කරනවා නම් කාර්යක්ෂම විදුලි උපකරණ භාවිතා කරනවා නම් එය අපට සහාය ලබාදීමක්.

උදාහරණයක් විදිහට වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියා කිරීමේ දී අපි ඉල්ලීම් කරන්නේ එහි උෂ්ණත්ව මට්ටම විසිහයට වගේ තියාගන්න කියලයි. සමහර අවස්ථාවල අපි දකිනවා 17, 18 වගේ අගයන්වලත් වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක වෙනවා. විදුලි උපකරණ පරිභෝජනයේ දී එල්ඊඩී එහෙම නැති නම් සී එෆ් එල් වගේ කාර්යක්ෂම විදුලි උපකරණ භාවිතයට ගැනීම කරන්න.

දවල් කාලය තුළ මෙගා වොට් තුන්සීයක වගේ ධාරිතාවයක් අවශ්‍යයි. සන්ධාවේ හය හමාරේ සිට රාත්‍රී දහය පමණ වන තෙක් මෙගා වොට් 2600ක පමණ ධාරිතාවයක් අවශ්‍යයි. ඒ කාල සීමාවන් මඟ ඇරලා තමන්ගේ රෙදි මැදීම වගේ කටයුතු ඉටු කරන්න පුළුවන් නම් උදා හරණයක් විදිහට රාත්‍රී දහයට පසුවෙලා හෝ උදෑසන අලුයම් කාලයේදි ඒ කටයුතු කරන්න පුළුවන් නම් ඇති වන බලපෑම අඩුයි.

පසුගියදා විදුලිබල සංග්‍රාමය අපි හඳුන්වා දුන්නා. විදුලි බල සංග්‍රාමය යටතේ පාරිභෝගිකයන්ට තමන්ගේ නිවහන් පරිශ්‍රය මත විදුලි ජනන කට්ටල සවි කරගන්නට පුළුවන් . එයට ණය ආධාර පවා ලබා දෙනවා. තමනුත් විදුලිය ජනනය කරගන්නවා නම් මේ අභියෝගය ජය ගැනිම සඳහා පහසුවක් වෙනවා.''

පෞද්ගලික විදුලිබලාගාරවලින් මේ වන විට විදුලිය ලබා ගන්නවාද? ඔහුට අප නැඟූ පැනයකි. ''අප සමඟ ගිවිසුම් ගත වෙලා තිබෙන බලාගාරවලින් මේ වන විටත් අවශ්‍ය කරන ධාරිතාව පද්ධතියට ලබාගන්නවා. මේ වන විට නොරොච්චෝල ලක්විජය බලාගාරය ගත්තොත් එය ලංකාවේ තියෙන ගල් අඟුරුවලින් විදුලිය ජනනය කරන එකම බලාගාරයයි. මෙගා වොට් 900ක ධාරිතාවක් එයින් ලැබෙනවා. ''

ඉදිරියේ දී විදුලි කප්පාදුවක් සිදු වේද?

විදුලි කප්පාදුවක් ගැන මේ දිනවල ප්‍රචාරය වෙනවා. කාලසටහනක් අනුව උදෑසන කාලයේ පැය කීපයකුත් සවස් කාලයේ පැය කීපයකුත් විදුලි කප්පාදුවක් සිදු කරනවා කියන එක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මහජනතාවට කියන්නේ එවැනි ප්‍රචාරවලට රැවටෙන්න එපා කියලයි. ලංකා විදුලි බල මණ්ඩලය බලශක්ති අමාත්‍යාංශය උත්සාහ කරන්නේ විදුලි පාරිභෝගිකයා අපහසුතාවට ලක් නොවන පරිදි අඛණ්ඩව විදුලි සම්පාදනය කිරීමටයි.''

මේ අතර විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සභාපති විදුලි ඉංජිනේරු සෞම්‍ය කුමාරවඩු මහතා ප්‍රකාශ කරන්නේ, ඉදිරියට වසර හතරක් පහක් යන තුරු විදුලි අර්බුදයෙන් ජනතාවට පීඩා විඳින්නට සිදුවන බවයි. පවත්නා තත්ත්වය අනුව ඉදිරියේ දී විදුලිය කප්පාදුවකට යෑමට අනිවාර්යයෙන්ම සිදු වන බවයි. ''විදුලිය අර්බුදයක් රටේ ඇති වන බව අපි පැවැසුවේ දැනට වසර තුන හතරකට උඩදීයි. ඒ මෙරටේ විදුලි බලාගාර හදෙන්නේ නැති අවස්ථාවේදියි. විදුලි බලාගාර ඉදිකිරීමට අපි සැලැසුම් සකස් කළත් නිසි පරිදි ඒවා අනුමත කොට නිසි පරිදි ඉදි නොකළ නිසයි මේ ගැටලුව ඇතිව තිබෙන්නේ.

ඇමැතිවරයා යම් උත්සාහයක් ගන්නවා මේ තත්ත්වයට පිළියම් සොයන්න. පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමෙන් විදුලිය අර්බුදය විසඳන්න බැහැ. අපේ රටේ මෙගාවොට් දෙසීයක ඉල්ලුමක් වාර්ෂිකව ඇති වෙනවා. වසර දෙක තුනකට වරක් මෙගාවොට් හාරසීයක් පන්සීයක් වගේ තිබෙන බලාගාර අලුතින් ඉදි කිරීමට අවශ්‍යයි.‘‘ කුමාරවඩු මහතා වැඩි දුරටත් පවසයි.

මේ අතර ලංවිම සේවකයන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ, රටේ විදුලි අර්බුදයක් ඇති කර වැඩි මිලට විදුලිය මිලදී ගැනීමේ මාෆියාවක් මේ වන විට ක්‍රියාත්මක වී ඇති බවයි. විදුලිය අර්බුදයක් ඇති වූ විට ක්ෂණිකව විදුලිය මිලදීගැනීම ඔස්සේ යම් පිරිසක් විශාල කොමිස් මුදල් ලබාගන්නා බවත් එයට විදුලිය සපයන පෞද්ගලික ආයතන සමඟ විදුලිබල මණ්ඩලයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සම්බන්ධ බවට ඔවූහු චෝදනා කරති .

මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යපාරයේ සභාපති රංජිත් විතානගේ පවසන්නේ 2012 දී ලංකාවටම විදුලිය ලබාදීමේ අරමුණෙන් මෙගාවොට් එක්දහස් දෙසීයක විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට ටෙන්ඩර් නිකුත් කළ බවත් 2016 දී එකී ගණන් හදා බැලීම අවසන් වූ බවත් එය විවිධ අයගේ බලපෑම් මත ඉදිකිරීම් නැවතුණ බැවින් රටම විදුලිය අර්බුදයකට මුහුණ පා ඇති බවයි.

සූර්ය බලශක්ති කර්මාන්ත කරුවන්ගේ සංගමයත් පවසන්නේ විදුලි අර්බුදයට මූලිකම හේතුව නියමිත කාලය තුළ නිසි ලෙස විදුලිබලාගාර ඉදි නොවීම බවයි.

‘‘ සෑම වසරකම මෙගාවොට් දෙසීයේ සිට තුන්සීය දක්වා ප්‍රමාණයකින් විදුලි ඉල්ලුම ඉහළ යනවා. මෙය සපුරාගැනීමට අපි යෝජනා කරන්නේ පුනර්ජනනීය බල හා තාපවිදුලිබලයන් හි සංකලනයක්. අපට ඇති ප්‍රධානම පුනර්ජනනීය ප්‍රභවයන් වන්නේ සූර්ය හා සුළං බලය. දහවල් කාලයේ දී සූර්ය බලය වැඩි වශයෙන් භාවිතා කර ජලවිදුලියෙන් වන ඌනනය මඟ හරවාගත හැකියි. පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ කුඩා විදුලියබල මිලදී ගැනීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම පාහේ නවතා දමා තිබෙනවා. සූර්යබල ආයෝජකයන් තුන්සීයකට අධික ප්‍රමාණයක් මෙගා වොට් දෙක සහ මෙගාවොට් පහ වශයෙන් වූ කුඩා සූර්ය විදුලි බලාගාර සඳහා ඉල්ලුම්පත් හයසීයක් පමණ ඉදිරිපත් කර තිබෙනවා. අවුරුදු තුනකට වඩා කාලයක් ඒවා කිසිම ප්‍රගතියක් නැතිව එක තැන පල් වෙනවා. ඒවායේ එකතුව මෙගාවොට් එක්දහස් පන්සියයට වැඩියි. ඒ අයැදුම් පත් හයසීයට අනුමැතිය දුන්නා නම් අවුරුද්දක් ඇතුළත අපිට අඩුම වශයෙන් මෙගා වොට් පන්සීයක්වත් පද්ධතියට එකතු කරන්න පුළුවන්.‘‘ යනු ඔවුන්ගේ අදහසයි.

Comments