රටට ඉසුරු කැන්දන දකුණේ සුපිරි ආයෝජනය | සිළුමිණ

රටට ඉසුරු කැන්දන දකුණේ සුපිරි ආයෝජනය

රටක් ආර්ථික සංවර්ධනයෙන් වේගවත් වීමට නම් විදෙස් ආයෝජන අත්‍යාවශ්‍ය සාධකයකි. මෙරට ආර්ථිකය ගොඩ නගා ගැනීම සදහාද වත්මන් රජය මේ කියන විදෙස් ආයෝජන සම්බන්ධව දැඩි විශ්වාසයක් තබා ගෙන ඇත.

මේ වන විට රජයේ මැදිහත්වීමෙන් ප්‍රදේශ රැසක කර්මාන්තපුර හා නිදහස් වෙළෙඳ කලාප ආරම්භ කිරීම සදහා මුල පුරා තිබෙන්නේද එම කර්මාන්තපුර හා නිදහස් වෙළෙඳ කලාප සදහා විදෙස් ආයෝජකයින් වැඩි පිරිසක් ආකර්ෂණය කර ගැනීමේ අරමුණිනි. ඒ අනුව පසුගියදා රයිගම්පුර හරිත කර්මාන්තපුරයේත්, බිංගිරිය ආයෝජන කලාපයේත් ඉදිකිරීම් කටයුතු ආරම්භ වුණු අතර හොරණ මිල්ලනිය හා ත්‍රිකුණාමලය යෝජිත නිදහස් වෙළෙඳ කලාපයන් හී ඉදිකිරීම් ඉදිරි මාස කීපය තුළ ආරම්භ කිරීමටද සැලසුම් සකස් වී තිබේ.

මේ අතර එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ආයෝජන ඉතිහාසයේ සිදු වන අති දැවැන්තම විදෙස් ආයෝජනය හම්බන්තොට ප්‍රදේශය වෙත දැන් ලැබී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මැදිහත්වීමෙන් අප රටට ලැබුණු එම විදෙස් ආයෝජනයන්හී ප්‍රතිඵල මත මෙරට ආර්ථිකය හා බද්ධ කෙරෙන මේ දැවැන්ත ආයෝජන ව්‍යාපෘතීන්හී ඉදිකිරීම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 24 වැනිදා හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ දී ආරම්භ වීමට නියමිතය.

ඇමරිකන් ඩොලර් මිලියන 3850ක ආයෝජනයක් යටතේ වසර 04ක කාලයක් තුල ඉදිකිරීම් කටයුතු නිම කිරීමට අපේක්ෂිත තෙල් පිරිපහදු සංකීර්ණයක් හා ඇමරිකන් ඩොලර් මිලියන 100.08ක ආයෝජනයක් යටතේ වසර 05ක කාලයක් තුළ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට අපේක්ෂිත සිමෙන්ති කර්මාන්ත ශාලාවක් මෙම මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපය තුළ මෙලෙස ඉදි කෙරෙන අතර ටික කාලයක් හෝන්දු මාන්දු වී ගොස් කේඩෑරි වී තිබුණු මෙරට ආර්ථිකය මෙවැනි අලුත් බලාපොරොත්තු ඔස්සේ යළිත් අස්වැද්දෙනු ඇතැයි ආර්ථිකය පිළිබද ප්‍රවීණයන්ගේ අදහස වී තිබේ.

මෙම තෙල් පිරිපහදුවෙන් දිනකට බැරල් ලක්ෂ 2ක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන අතර මාස 44කින් වැඩ අවසන් කිරීමටද බලාපොරොත් තුවේ.

මෙම තෙල් පිරිපහදු සංකීර්ණය අක්කර 200ක භූමි ප්‍රදේශයක් පුරා පැතිර යනු ඇති අතර ඊට අවශ්‍ය ආයෝජනය සිදු කරනු ලබන්නේ සිංගප්පූරුවේ සිල්වර් පාර්ක් ඉන්ටර්නැෂනල් හා ඕමානයේ සුල්තනට් ඔෆ් ඕමාන් මිනිස්ට්‍රි ඔෆ් ඔයිල් ඇන්ඩ් ගෑස් යන සමාගම් විසිනි. අපනයන වෙළෙඳපොළට අවශ්‍ය ඉන්ධන පිරිපහදු කර මෙම තෙල් පිරිපහදු සංකීර්ණය තුල නිෂ්පාදනය කිරීමට කටයුතු කෙරෙන අතර නව තෙල් පිරිපහදුව ඉදිකිරීමෙන් පසු දැනට මෙරට තුළ ක්‍රියාත්මක පෙට්‍රෝලියම් සහ අනෙකුත් සමාගම් වලට තරගකාරී අඩු මුදලකට මෙමගින් තෙල් ලබා ගැනීමට හැකි වනු ඇතැයිද අපේක්ෂා වී තිබේ.

මෙම සමස්ත ව්‍යාපෘතීන් සාර්ථකව තම ඉලක්ක සපුරා ගැනීමෙන් පසු 10,000කට වැඩි ශ්‍රී ලාංකිකයින් පිරිසකට සෘජු හා වක්‍ර රැකියා අවස්ථා නිර්මාණය වනු ඇතැයි ඇස්තමේන්තු ගත කර ඇති අතර විශේෂයෙන්ම හම්බන්තොට හා ඒ අවට ප්‍රදේශයන්හී පදිංචි තරුණ තරුණියන්ට මෙම රැකියා අවස්ථා විවෘත කර දීමටද සැළසුම් සකස් වී තිබේ.

මෙම ආයෝජන ව්‍යාපෘතීන්හී පළමු අදියරේදී පමණක් තෙල් පිරිපහදු සංකීර්ණය මඟින් ඍජු රැකියා අවස්ථා 1500කට ආසන්න ප්‍රමාණයක් දළ ඉදිකිරීම් කාල පරිච්ඡේදයේ රැකියා 750ක් ප්‍රමාණයක් දළ වක්‍ර රැකියා සහ වක්‍ර ආදායම් මාර්ග තවත් විශාල ප්‍රමාණයක් ද ජනිත කිරීමට හැකි වෙතැයි ගණන් බලා ඇත.

සිමෙන්ති කර්මාන්ත ශාලා ව්‍යාපෘතිය තුලදී ද ඍජු රැකියා 1000ක් සහ වක්‍ර රැකියා 1500ක් පමණ බිහි කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි තක්සේරු කර ඇත.

ඉදිකිරීමට යෝජිත නව තෙල් පිරිපහදුව නිසා ද හම්බන්තොට වරාය තව තවත් අන්තර්ජාතික නාවුක සමාගම් හී අවධානයට යොමු වේ යැයි සිතිය හැකි අතර එම නාවික සමාගම් සිය නාවුක හා වරාය මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමට නිසැක වශයෙන්ම හම්බන්තොට වරාය තෝරා ගනු ඇතැයි බලාපොරොත්තු ද තබා ගත හැක. මෙම ආයෝජන ව්‍යාපෘතීන් ලබන සාර්ථකත්වය නිසාම අනාගතයේදී හම්බන්තොට වරාය ලොව කාර්යබහුලම වරායක් බවටද අභිෂේක ලබනු නියතය.

මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපය තවත් කාර්ය බහුල කරමින් ඉදිකිරීමට නියමිත සිමෙන්ති කර්මාන්ත ශාලාව මඟින් දේශීය ඉදිකිරීම් අවශ්‍යතා සදහා වන සිමෙන්ති නිෂ්පාදනය වනු ඇත.

අක්කර 64ක භූමි ප්‍රදේශයක එම කර්මාන්ත ශාලාව ඉදිකිරීමට සැලසුම් කර තිබේග ඊට අවශ්‍ය ආයෝජනය සිදු කරනු ලබන්නේ දේශීය ආයෝජකයෙකු වන සිලෝන් ස්ටීල් කෝපරේෂන් හා ඩුබායි ආයෝජකයෙකු වන ඔනික්ස් ගෘෘප් ඔෆ් කම්පනීස් විසිනිග දැනටද අප රට තුළ සිය මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන්නේ පුත්තලමේ පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලාව පමණක් වන අතර දේශීය සිමෙන්ති ඉල්ලුම සම්පූර්ණ කිරීම එම සමාගමට පමණක් තනිව කළ නොහැක්කකි. ගමේ නිසා සිමෙන්ති ඉල්ලුමෙන් වැඩි ප්‍රමාණය මේ දක්වාම විදේශ රටවලින් ආනයනය කිරීමට සිදු වුණු අතර නව කර්මාන්ත ශාලාව සිය නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමග දේශීය ඉදිකිරීම් සදහා ඉතා තරගකාරී පහසු මිලකට සිමෙන්ති මිලදී ගැනීම සදහා වන පරිසරයද උදා වනු ඇත.

මෙම සිමෙන්ති කර්මාන්ත ශාලාවට අමතරව පෙරසවි කොන්ක්‍රීට් නිෂ්පාදන කම්හලක් ද මීට සමගාමිව එම ආයෝජකයින් විසින් මෙහි ඉදිකිරීම සඳහා කටයුතු යොදා තිබේ.

මිරිජ්ජවිල ඉදි කෙරෙන මේ තෙල් පිරිපහදු සංකීර්ණයට හා සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලා සදහා මුළු ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3.95ක් වන අතර පසුගිය 2018 වසරේදී අත්පත් කර ගත් මුළු සෘජු විදේශ ආයෝජනවල වටිනාකම වන්නේද ඇමරිකන් ඩොලර් බිලියන 2.3ක් පමණි.

ඒ අනුව මෙම නව ආයෝජන ව්‍යාපෘතීන් දෙක මෙරට විශාලතම විදේශ ආයෝජන ව්‍යාපෘතීන් ලෙස දැනටමත් පිළිගැනීමට ලක්ව තිබීමද විශේෂත්වයකි.

එසේම මෙම තෙල් පිරිපහදුවේ හා සිමෙන්ති කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය තව වසර කීපයක් තුල ආරම්භ කිරීමෙන් අනතුරුව මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන හතකින් වැඩි වනු ඇතැයිද නිරීක්ෂණය වී තිබේ.

මෙම විදේශ ආයෝජන ව්‍යාපෘතීන් මෙරටට ආකර්ෂණය කර ගැනීම සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පමණක් නොව සංවර්ධන උපාය මාර්ග හා අන්තර්ජාතික වෙළෙඳ සංවර්ධන අමාත්‍යාංශයද ප්‍රමුඛ වැඩ කොටසක් ඉටු කරන ලදී.

2012 වසරේ සිට මේ දක්වා මිරිජ්ජවිල පිහිටි මේ ආයෝජන සැකසුම් කලාපය සමන්විත වන මුළු බිම් ප්‍රමාණයෙන් ආයෝජන ව්‍යාපෘති සදහා ප්‍රයෝජනයට ගෙන තිබුණේ 20%ක් තරම් වන සීමිත භූමි ප්‍රමාණයක් වන අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසන්නේ මෙරට ආර්ථිකය වඩා සුබදායී නව දිශානතියක් වෙත යොමු කිරීමට සමත් මෙම දැවැන්ත ආයෝජන ව්‍යාපෘති දෙක ආරම්භ කිරීමත් සමග මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ නව කර්මාන්ත ආරම්භ කිරීම සදහා බිම් ප්‍රමාණයන් ලබාදීමේ කටයුතුද අවසන් කෙරෙන බවයි.

හම්බන්තොට වරාය සහ මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළ වඩා කාර්යක්ෂම සහ සක්‍රීයව උපරිම ඵලදායීතාවයකින් යුතුව රටේ සංවර්ධන කටයුතු සදහා යොදා ගැනීමට නම් නම් වරාය හා ගුවන් තොටුපොළ ආශ්‍රිත කර්මාන්ත හා නිෂ්පාදන අවශ්‍ය කෙරෙන අතර මෙම සුවිශේෂ දැවැන්ත ආයෝජන ව්‍යාපෘතීන්හී නිෂ්පාදන ක්‍රියාවලීන් ආරම්භ කිරීමෙන් අනතුරුව හම්බන්තොට වරාය සහ මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළ වඩා කාර්යක්ෂම සහ සක්‍රීයව උපරිම ඵලදායීතාවයකින් යුතුව රටේ සංවර්ධන කටයුතු සදහා ප්‍රයෝජනයට ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි පුරෝකථනය වී තිබේ.

ඒ සදහා රජය හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විශාල වැඩකොටසක් ඉටු කරමින් සිටින අතර මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපය නිසා ඇති වන ප්‍රතිලාභ හම්බන්තොට ප්‍රදේශයට, එසේත් නැතිනම් දකුණු පළාතට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික පුරවැසියන්ටම භුක්ති විදීමට හැකියාව ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විශ්වාසය පළ කරයි.

Comments