ව්‍යාපාරයකට බලපාන සේවක වැටුප් දීමනා, දායකත්වය සහ තෘප්තිය | සිළුමිණ

ව්‍යාපාරයකට බලපාන සේවක වැටුප් දීමනා, දායකත්වය සහ තෘප්තිය

ඕනෑම සේවකයකු රැකියාවකට අයදුම් කරන මොහොතේ සිට ඔහුට ලැබෙන වැටුප් ප්‍රතිලාභ දීමනා කෙරෙහි සැලකිලිමත් වේ. එසේම සෑම ආයතනයක් ම මේවා ගණනය කරන විට ආයතනයට ලැබෙන වටිනාකමට අගයට හා සේවකයාගෙන් බලාපොරොත්තු වන කාර්යය හා වගකීම් කොටස සමාන වේදැයි ගණන් බලයි. එය, ඕනෑම ආයතනයක් සේවකයන් බඳවා ගැනීමේදී සලකා බලන සුලබ පැනයකි.

ඕනෑම පුද්ගලයෙක් ආයතනයකින් ලබා ගන්නා වැටුප, ප්‍රතිලාභ හෝ දීමනා ඔවුන් කැප කරන නිපුණතා, කාලය, පරිශ්‍රමය සමාන විය යුතුය.

අද බොහෝ ආයතනවල සේවකයන්ගේ අගය තීරණය කරන අවස්ථාවේත්, ඔවුන්ගේ කාර්යය සාධන ඇගයීමේදීත් මේ ගැන නොසලකා, ගෙවන වැටුප, නිසා අද බොහෝ සේවකයන්ගේ දායකත්වය මෙන්ම සේවා තෘප්තිය ද අවම වී තිබේ.

මේ හේතුව නිසා අද බොහෝ දෙනා රැකියා තුළ සිර වී රැකවරණය උදෙසා පමණක් සටන් වදින තත්වයට පත්ව තිබේ. තම රැකියාවේ ස්ථාවරත්වය රැඳී පවතින්නේ, ආයතනයේ ප්‍රධානියා හට දක්වන දැඩි කැමැත්ත මත යැයි සිතන්නට ඔවුන් පෙලඹී තිබේ. ඒ නිසාම රැකියා ස්ථානයේ තමන්ගේ ක්‍රියාශීලී භාවය, පෙන්වීමටවත්, කාලය නාස්ති නොකිරීමටවත්, තම රැකියා ලැයිස්තුවේ ඇති රාජකාරිය තමාට ලැබී ඇති කාලය තුළ ඉටු කිරීමටවත් බොහෝ දෙනා නොසිතයි. එහෙත් විය යුත්තේ එම රාජකාරිය මනාව ඉටු කිරීම මඟින් ආයතනයේ ඇති ඉලක්කයන් (KPI) කරා ළඟා වීමට මේ සියලු කාරණා පිළිපැදීමයි.

එසේම, රැකියාව තුළ අප ලබන වැටුප් / වේතන ප්‍රතිලාභ සහ දීමනා, අප වැය කරන කාලයට ප්‍රමාණවත් නොවන බව සිතන මතය, වෙනස් කර ගැනීමයි. සෑම සේවකයකුම වැය කරනු ලබන කාලය හා ඔහුගේ ඵලදායිතාව ගණනය කළහොත් ආයතනවලට ද සෑහීමකට පත් විය නොහැකි බව සිතිය යුතුය. එම නිසා සෑම සේවකයකුගේ දායකත්වය හා ඵලදායිතාව සමඟ සම්බන්ධ කළහොත් ආයතනයක ලාභය වැඩි කර ගැනීමට හැකි වන බව නොඅනුමානය. ඒ ‍වගේම, එම ලාභය තුළින් ඔවුන්ට වැඩි ප්‍රතිශතයක් ගෙවීමට ද ඒ තුළින් සේවක තෘප්තිය වඩවා ගැනීමට ද, සේවකයන් රඳවා ගැනීමට ද ඉන් හැකියාව ලැබේ.

මෙම වැටුප්, දීමනා සහ ප්‍රතිලාභ ගණනය කරන විට සෑම විටම ආයතනයකට ගෙවිය යුතු ප්‍රමාණය, සමානාත්මතාවය, විනිවිදභාවය, නිසි කළමනාකරණය ඉතා වැදගත් අංග වේ.

ප්‍රතිලාභ සහ දීමනා ලබා දීමේදි, එහි අගය ලබා දෙන්නාගේ කැමැත්ත මත නොව, ලබා ගන්නාගේ කැමැත්ත සහ අවශ්‍යතාවය මත නිර්මාණය කළ යුතුයි. එලෙසම වැටුප්, ප්‍රතිලාභ දීමනා ලබාදීමේදී ඒ මඟින් සේවකයන් ආයතනය වෙත ආකර්ෂණය කර ගැනීමත් ඔවුන්ගේ සේවා තෘප්තිය හා දායකත්වය වැඩිකර ගැනීමටත් හා සේවකයන් ආයතනය තුළ රඳවා ගැනීමටත් කටයුතු කළ යුතු වේ.

ව්‍යාපාරයක් හෝ ආයතනයක් සාර්ථක වීමට, ආයතනික ප්‍රතිපත්ති සේම, සේවක - සේව්‍ය සබඳතාවේ වැදගත්කම ද දෙපාර්ශ්වය ම හඳුනාගත යුතුයි.

 

Comments