ශ්‍රී ලංකා ටෙලිකොම් 2018 වසරේ ලාභය 25.58 %කින් ඉහළට | සිළුමිණ

ශ්‍රී ලංකා ටෙලිකොම් 2018 වසරේ ලාභය 25.58 %කින් ඉහළට

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2018 දෙසැම්බර් 31 වනදායින් අවසන් වූ වර්ෂය සඳහා සිය මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර ඇත. මිලියන 9 කට අධික ග්‍රාහකයන් පිරිසකගෙන් සමන්විත සමූහයට පරිපාලක සමාගම සහ එහි ජංගම දුරකථන සහකරු වන මොබිටෙල් (පෞද්ගලික) සමාගම ඇතුළු අනුබද්ධිත සමාගම් 8ක් අයත් වේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2018 වසර තුළ රුපියල් බිලියන 81.44 ක ආදායමක් වාර්තා කිරීමට සමත්වූ අතර එය පසුගිය වසරට සාපේක්‍ෂව 7.53% වර්ධනයකි. මෙම වර්ධනයට සමූහයේ සියළුම අංශ දායක වූ නමුත් කැපී පෙනෙන දායකත්වයක් සපයන ලද්දේ ව්‍යවසාය හා වාහක ව්‍යාපාර, ජංගම මෙහෙයුම්, FTTH, IP TV සහ දත්ත ආශ්‍රිත සේවාවන්ය. ගෝලීය ප්‍රවනතා අනුව යමින් සමූහය මේ වන විට දත්ත ආශ්‍රිත සේවාවන් කෙරෙහි වැඩි අවධානය යොමු කර ඇත.

2018 වසර තුළ සමූහය රුපියල් බිලියන 36.64ක දළ ලාභයක් වාර්තා කළ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 12.66%ක වැඩි වීමකි. 2018 වසර සඳහා සමූහයේ ශුද්ධ ලාභය පසුගිය වසරට සාපේක්ෂව 25.58%ක ආකර්ෂණීය වර්ධනයක් සහිතව රුපියල් බිලියන 4.95ක් ලෙස වාර්තා විය. මෙහෙයුම් පිරිවැය මනා ලෙස කළමනාකරණය කිරීම හා පිරිවැටුමේ සතුටුදායක ඉහළ යාම හේතුවෙන් විදේශ විනිමය අනුපාතයන්හි අහිතකර තත්ත්වය නිසා වූ රුපියල් බිලියන 1.81ක නිෂේධනාත්මක බලපෑම මධ්‍යයේ වුව ද ශුද්ධ ලාභයේ මෙම ශක්තිමත් වර්ධනය අත් කර ගැනීමට සමූහය සමත් විය. පසුගිය වසරේ පොලී, බදු හා ක්ෂයවීම් වලට පෙර මෙහෙයුම් ආන්තිකය වූ 28.00%ට සාපේක්ෂව සමූහය මෙම වසරේ 31.38% ක ආන්තිකයක් වාර්තා කිරීමට සමත්විය.

සමූහයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතා මෙම ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ “මෙය, ප්‍රමුඛතම විදුලි සංදේශ සේවා සැපයුම්කරු යන ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ තත්ත්වයට මෙන්ම අභියෝග මධ්‍යයේ වුවද සමූහය සෑම වසරකම ඉදිරියෙන් ඉදිරියට යන බවට වන ජනතා විශ්වාසයට ලද තහවුරුවකි. ඉදිරි වසර තුළද තිරසාර ප්‍රගතියක් ඇති කරලීමට ඩිජිටල් සේවා සැපයුම්කරුවෙකු ලෙස සිය උපායමාර්ගික පරිවර්තනය වෙනුවෙන් මූලික අඩිතාලම සමූහය විසින් ගෙන ඇති හෙයින් ඉදිරි වසරේදී ද කැපී පෙනෙන වර්ධනයක් අත් කරගනු ඇති බව මාගේ විශ්වාසයයි” යනුවෙනි.

Comments