ඕප­ල්ගල රක්ෂි­තය අපට රැක දෙන්න | සිළුමිණ

ඕප­ල්ගල රක්ෂි­තය අපට රැක දෙන්න

ඕප­ල්ගල ගම්මු විම­සති

ලෝක උරුම නකල්ස් රක්ෂි­තය යනු ලොව වැසි වලා­කුළු සහිත වනා­න්තර ගන­යට අය­ත්වන අධි සංවේදි රක්ෂිත වනා­න්තර අත­රින් එකකි. මහ­නු­වර දිස්ත්‍රි­ක්ක­ය­ටත් අනෙක් පසින් මාතලේ දිස්ත්‍රි­ක්ක­ය­ටත් මායිම් වන මේ සුන්දර වන ලැහැබ අතී­තයේ රජ දරු­වන් විසින් ද දිවි හිමි­යෙන් ආරක්ෂා කරන ලද වන භූමි­යක් බවට ඉති­හා­සය අපට පසක් කරයි. බට­දඬු මානා කඳු­වැ­ටිය, දුම්බර කඳු­වැ­ටිය හා රිව­ස්ටන් ආදී නම්ව­ලින් හැඳි­න්වෙන මේ මන­රම් ප්‍රදේ­ශය දේශිය වශ­යෙන් අපට වඩාත් වැද­ගත් වන්නේ නිරිත දිග හා ඊශාන දිග මෝසම් සුළං ඇති­වන සමයේ දි සුළං බාධ­ක­යක් ලෙස පව­තින නකල්ස් කඳු පංතිය හරහා නිර්මා­ණය වන නොඉ­ඳුල් ජල දහරා මගින් පහළ නිම්නය පෝෂ­ණය කරන නිසා­වෙනි.

ජීවයේ හද­වත බඳු මෙම කඳු පංති­යට යාබ­දව පිහිටි නාඋල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යට අයත් ඕප­ල්ගල රක්ෂිත වනා­න්ත­රය යනු වත්මනේ ඉදිවු මෙරට විශ්මිත වාරි ව්‍යාපෘ­තිය වන මොර­ග­හ­කන්ද - කළු­ගඟ ජලා­ශ­ව­ලට දිය­වර සප­යන පෝෂක කලා­ප­යයි.

ආන­මලේ වත්ත ලෙස එව­කට වඩාත් ප්‍රසි­ද්ධි­යක් උසු­ලන ලද භූමිය කාලා­නු­රූ­පීව මෙරට පුද්ග­ල­යෙකු සතු­වන අතර ඔහු විසින් මෙම වත්ත ඇප­යට තබා බැංකු­ව­කින් ලබා­ගත් ණය මුද­ලක් ගෙවී­මට නොහැ­කිව ඉඩම බැංකු­වට සින්නව ඇතැයි වාර්තා වේ. පසු­කා­ලි­නව බැංකුව මගින් මෙම ඉඩම වෙන්දේසි කිරිමේ ප්‍රති­එ­ල­යක් ලෙස කොළඹ ප්‍රදේ­ශයේ ව්‍යාපා­රි­ක­යෙකු විසින් ඉඩම මිලට ගනු ලැබ ඇත. ඒ අක්කර 96 ක භුමී භාග­යකි.

අයිති අක්කර 96ලු. 500ක් අල්ලා­ගෙන

මෙම ඉඩමේ මායිම් සල­කුණු කර­දීම සදහා අදාළ බැංකුව විෂය භාර දෙපා­ර්ත­මේන්තු වෙත දන්වා ඇතත් පසු­කා­ලී­නව ඉඩම් හිමියා විසින් පෞද්ග­ලි­කව බලය ලත් මිනි­න්දෝ­රු­වකු මාර්ග­යෙන් මැනීම් සිදු­කර ඇති බව අනා­ව­ර­ණය වී තිබේ. ඉහත කී ඉඩම් හිමියා විසින් අක්කර 96 සීමාව ඉක්මවා අක්කර 500ක පමණ ප්‍රදේ­ශ­යක් අත්පත් කර­ග­නි­මින් වනා­න්ත­රය එළි පෙහෙළි කිරීම හා කම්බි කණු සිටු­වීම කර ඇති බවට ඕප­ල්ගල ඇතුළු ගම්මාන රැසක ජන­තාව ප්‍රබල ලෙස චෝදනා කරති.

මෙම ගැට­ලු­කාරි තත්ත්වය හේතු­වෙන්ම නිවැ­රදි මැනීම් සිදු­කර ඉඩම් හිමි­යාට භුක්තිය ලබා­දෙන තෙක් ඉඩමේ කිසිදු සංව­ර්ධන කට­යු­ත්තක් සිදු නොක­රන ලෙස නාඋල ප්‍රාදේ­ශිය ලේකම් ආත්මා ඩිලුක්ෂි ජය­රත්න මහ­ත්මිය නියෝග කර තිබේ.

මෙවන් පසු­බි­ම­කදී නාඋල ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රිය, නාඋල පොලි­සිය, මිනි­න්දෝරු දෙපා­ර්ත­මේන්තු සහ වන­ජීවී දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීහු මෙන්ම නාඋල ප්‍රාදේ­ශිය සභා සභා­පති සනත් දස­නා­යක, එහි විපක්ෂ නායක කමල් හේරත් ඇතුළු රාජ්‍ය නිල­ධා­රිහු රැසක් ඉකුත්දා ප්‍රශ්න­ගත ඉඩම නිරී­ක්ෂ­ණය කිරීමේ චාරි­කා­වක නිරත වූහ. ආඳා­වල විද්‍යා­ලය හා ඕප­ල්ගල විද්‍යා­ලය ඇතුළු ප්‍රදේ­ශයේ පාසල් රැසක විදු­හ­ල්ප­ති­වරු ගුරු­භ­වත්තු ද මේ ගම­නට එක්ව සිටි­යහ.අති­ශය දුෂ්කර මාර්ග ඔස්සේ පැය ගණ­නා­වක් තිස්සේ කිලෝ­මී­ටර් 10 ක් පමණ ඝෘජු මෙන්ම දළ බෑවුම් ඔස්සේ එම නිරී­ක්ෂණ චාරි­කාව සිදු­විය.

බැලු බැලූ අතින් සොභා­ද­හමේ අපූ­ර්ව­ත්වය පෙන්නුම් කරන තුරු­ල­තා­ව­න්ගෙන් අනූන වු මේ සුන්දර වන­පෙ­ත­ටම පම­ණක් උරු­ම­කම් කියන අති­ශය දුර්ලභ වෘක්ෂ­ලතා රැසක් මෙහි පිය නඟ­න්නෙ­කුට දැක­ගත හැකිය.

අති පැරැණි මායිම් ගල් වෙනු­වට අලුත් මායිම් ගල්

මෙම චාරි­කා­වට එක්වූ මාතලේ පරි­සර මිතු­රන් සංවි­ධා­නයේ උප සභා­පති ජයන්ත අත්ත­නා­යක අව­ධා­ර­ණය කළේ මෙහි ඇති ඇතැම් පැළෑටි මෙන්ම සත්ත්ව විශේෂ ඕප­ල්ගල කඳු පංති­යට පම­ණක් අවේ­ණික බවයි. එළි­පෙ­හෙළි කළ මාර්ගයේ ස්ථාන රැස­කින්ම දක්නට ලැබුණේ වැටක් ඉදි­කි­රීම සඳහා කම්බි කණු සිටුවා ඇති ආකා­ර­යයි. ඒ සඳහා බාධ­ක­යක් වී තිබූ අති දුර්ලභ වෘක්ෂ­ල­තාවෝ ගණ­නා­වක් නිසො­ල්මනේ බිම වැතිර සිටිති. ඒ දුටු සැමගේ සිත්ස­තන්හි ඇති­වූයේ දැඩි සංවේ­ග­යකි. ඇතැම් ශාක බොහො­ම­යක් කර්කශ පොළොවේ මිහි­දන්වී හමා­රය. තවත් ශාක කිහි­ප­යක් කැපී ගිය අතු රිකිලි අත­රින් දලු දැමී­මට අසා­ර්ථක උත්සා­හ­යක යෙදෙනු අපට දැක ගත හැකි විය. නකල්ස් රක්ෂි­තය යනු වසර දහස් ගණ­නක් ගිය ද වඩාත් උස්ව නොවැ­ඩෙන වෘක්ෂ­ල­තා­ව­න්ගෙන් ගහන වන­පෙ­තකි. ඊට හේතුවී ඇත්තේ දැඩි සුළං ධාරා හේතු­වෙන් මෙම වෘක්ෂ­ලතා වඩාත් උස්ව නොවැ­ඩී­මයි.

සාමාන්‍ය පරි­ස­රයේ වැවෙන බෙහෙත් නෙල්ලි හා නම් පවා නොදන්නා තවත් බොහෝ ශාක­වල මේ වනා­න්ත­ර­යේදී උප­රිම උස වී ඇත්තේ අඩි 5 ත් 6 ත් අතර ප්‍රමා­ණ­යකි. එවැනි උස මට්ටමේ ශාක බොහො­ම­යක් හිත්පිත් නැතිව බිම පෙරළා දමා ඇතැයි නාඋල ප්‍රාදේ­ශිය ලේක­ම්තු­මිය අප හා ප්‍රකාශ කළාය. වසර සිය ගණ­නක් පැරණි වැල් විශේෂ මෙන්ම විවිධ ඖෂධ ශාක රැසක් මෙම හෙළි පෙහෙළි කිරි­මේදී කපා දමා තිබෙනු දැකිය හැකි­විය. මෙම භූමියේ දී හමු­වන මායිම් ගල් ඇතැම් ඒවා ඉතා­මත් පැරණි ඒවා බවට ගම­නට එක්වූ මිනි­න්දෝරු දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රිහු සාක්ෂි දරති. කෙසේ වෙතත් මෑතක දී සිටුවා ඇතැයි සැක කළ හැකි මායිම් ගල්ද මෙහිදි හමුවු බව ඔවුහු පැව­සූහ.

නිත්‍ය­නු­කූ­ලව ලබා­ගත් ඉඩම සම්බ­න්ධ­යෙන් කිසි විටෙ­කත් විරෝ­ධ­යක් නොපාන ඕප­ල්ගල වැසියෝ එම ඉඩ­මට මුවා වී ඉඩම් හිමියා විසින් සීමා­වෙන් ඔබ්බට ඇතැම් භූමි ප්‍රදේශ ඩැහැ­ගෙන තිබීම සම්බ­න්ධ­යෙන් සිය විරෝ­ධය පළ කරති.

ඕප­ල්ගල විහා­ර­ස්ථා­නයේ විහා­රා­ධි­පති ශාස්ත්‍ර­පති පණ්ඩිත තිත්ත­ප­ජ්ජල නන්ද ස්වාමී­න්ව­හන්සේ ද මෙම චාරි­කා­වට එක්වුහ.

“කෝටු කෑල්ලක් කැලෙන් කපා­ගත් පුද්ග­ල­යෙක් හිරේ දාන රටක මෙවැනි වන සංහා­ර­යක් සිදු­කළ පුද්ග­ල­යින්ට නීතිය ක්‍රියා­ත්මක නොවන්නේ ඇයි? නකල්ස් වන පෙත රැක ගන්න නම් මේ වන පෙතට නෑකම් කියන සියලු වන භූමී රක්ෂිත බවට පත්කළ යුතුයි.” උන්ව­හන්සේ පව­සති.

දොළ­පාර හර­ස් කර කම්බි කණු

මෙම දුෂ්කර මාර්ගයේ අව­සන් වන්නේ සුන්දර කඳු මුදු­න­කිනි. පසෙ­කින් සමස්ත නකල්ස් කඳු පංතිය ද අනෙක් පසින් මොර­ග­හ­කන්ද - කළු­ගග ජලා­ශය ද දිස්වන මේ කඳු ගැටය මුදුනේ හෝට­ල­යක් ඉදි­කි­රී­මට උත්සා­හ­යක් පව­තින බව ඕප­ල්ගල ප්‍රදේ­ශ­වා­සීහු කියති. ඕප­ල්ගල රක්ෂි­තයේ මිනිස් පය­කට නොපෑ­ගුණු බොහෝ ස්ථාන මේ වන විට විනා­ශවී හමා­රය. තැනින් තැන කැපූ මාර්ග මෙන්ම අක්‍ර­ම­වත් වගා රක්ෂි­තයේ වන­ග­හ­නය වනසා ඇත්තේය. මේ සිදු­වීම දෙස මධ්‍යස්ථ දෑසින් බල­න්නෙ­කුට වැට­හෙන කාරණා රැසකි. මේ රටේ කාටත් නිත්‍ය­නු­කූ­ලව ඉඩ­මක් මිලදී ගැනීමේ සාධා­රණ අයි­ති­යක් ඇත්තේය. එය සංව­ර්ධ­නය කිරිම මෙන්ම වඩාත් ප්‍රිය ජනක අන්ද­මින් පව­ත්වා­ගෙන යෑම ද ඒ අතර වෙයි.

බොහෝ විට මෙම ඉඩම හිමි­ක­රුට ලබා දීමේ දී එහි සීමා මායිම් නිර්වද්‍ය ලෙස පෙන්නා දීම රජයේ නිල­ධා­රින්ගේ ද වග­කී­මක් වන්නේය. පව­තින සීමා මායි­ම්ව­ලට අම­ත­රව වන සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සීමා මායිම් හදු­නා­ගැ­නීම හෝ මිනි­න්දෝරු දෙපා­ර්ත­මේ­න්තුවේ නිසි අධ්‍ය­ය­න­යක් මෙම ඉඩම සම්බ­න්ධ­යෙන් සිදු නොවීම බර­ප­තළ ගැට­ලු­වකි.

කෙසේ වෙතත් පෞද්ග­ලික මැනුම සිදු­කර ඇති ආකා­රය හා ඊට සම්බ­න්ධ­වූ­වන් සම්බ­න්ධ­යෙන් මේ වන­විට පරී­ක්ෂණ ආරම්භ වී තිබේ. ඒ බව සනාථ කර­මින් වන විනා­ශය සම්බ­න්ධ­යෙන් අවශ්‍ය නීති­මය පිය­වර ගැනීම කඩි­න­මින් සිදු­ක­රන බව නාඋල ප්‍රාදේ­ශීය ලේකම් ආත්මා ඩිලුක්ෂි ජය­රත්න මහ­ත්මිය එම වන භූමි­යේ­දීම ප්‍රකාශ කළාය.

මෛත්‍රී­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­තු­මාගේ යෝජ­නා­වක් වූ මොර­ග­හ­කන්ද ජලා­ශය මේ වන විට ඉදි­කර හමා­රය. එහෙත් එහි වාරි වික්‍ර­මය ඉන් අව­සන් වන්නේ නැත. රජ­ර­ටට පම­ණක් නොව සමස්ත යාප­නය දිස්ත්‍රි­ක්කය තෙක්ම ජලය රැගෙන යෑමට සැල­සුම් කරන මේ විස්මිත නිර්මා­ණ­යට ඉහ­ළින් ඇති රක්ෂිත වනා­න්තර හෙළි කිරීම දිගි­න්දි­ග­ටම සිදු­වු­ව­හොත් ජනා­ධි­ප­ති­තු­මාගේ ප්‍රය­ත්නය අනුව යමින් ජන­තා­වට සෙත සැල­සීමේ උදාර කර්ත­ව්‍යය ලත්තැ­නම ලොප් වනු ඇතැයි ඕප­ල්ගල ගැමියෝ බිය පළ කරති.

ගස­කින් ගස­කට වඳු­රකු පැන්නත් ගංගා­වල ජලය වැඩි­ව­නවා යැයි ලග්ගල ගැමි­යන් අතර කිය­ම­නක් වේ. නකල්ස් රක්ෂි­තයේ පව­තින ශාක නිර­න්ත­යෙන් ජලය බේරෙ­මින් පවතී. කලින් කලට නකල්ස් කඳු පංති­යට සිදු­වන මානව ක්‍රියා­කා­ර­කම් හි අඩු­වක් පසු­ගිය සමයේ දක්නට ලැබුණේ කළු­ප­හනේ එන­සාල් වගා සහිත භූමි රක්ෂිත වනා­න්තර බවට පත්කි­රී­මෙනි.

අදිසි දේශ­පා­ලන හස්ත

කෘෂි­කා­ර්මික ජීවන රටා­ව­කට උරු­ම­කම් කියන ඕප­ල්ගල හා මොර­ගොල්ල ප්‍රදේ­ශ­වා­සීන් සිය ගව­යින් මේ ඕප­ල්ගල රක්ෂි­ත­යට මුදා­හ­රිනු ලබන්නේ කන්න­කට වතා­වකි. ඒ තමන්ගේ කුඹුරු වැඩ­ක­ට­යුතු අව­සන් කර ඕප­ල්ගල රක්ෂි­තයේ වූ පතන් භුමි­ව­ලට ගව­යින් ඇති­ප­දම් ආහාර පැව­තීම නිසාය. ඒ හැරු­ණු­කොට වන­පෙතේ නීති විරෝධි ක්‍රියා කර­න්නට ඔවුන් නොපෙ­ලෙ­ඹෙන්නේ අන් කිසි­වක් නිසා නොව සොබා­ද­හම හා බැඳුණු සරල දිවි­පෙ­වෙ­තක් ගත­කි­රීම හේතු­වෙනි.

ඕප­ල්ගල රක්ෂි­ත­යට සිදුව ඇති හානිය යළි නිවැ­රදි කළ හැකිය. ගසක් කපන මිනි­සාට එම ගස කපන තෙක් සෙවණ සැල­සීම ගසේ ස්වභා­වයි. හරි­හැටි කරුණු අව­බෝධ කර නොගත් පිරි­සක් විසින් සිදු­ක­රන ලද මේ විනා­ශය සම්බ­න්ධ­යෙන් රජයේ අව­ධා­නය වහා යොමු­විය යුතුය. ඇතැම් දේශ­පා­ල­න­ඥ­යන්ද මේ පසු­පස සිටින බවට ගම්මු චෝදනා කරති. එහෙ­යින් මේ පිළි­බඳ අදාළ බල­ධා­රීන්ගේ අව­ධා­නය වහා යොමුවී මේ මහා වන විනා­ශය වැළැ­ක්වී­මට වහා කට­යුතු නොයො­දන්නේ නම් අරා­බියේ කාන්තාර මේ පුංචි ලංකාවේ බිහි­වීම වැඩි ඈතක නොවනු ඇත.

සංව­ර්ධ­නය රටට අව­ශ්‍යය. නව කර්මාන්ත හි නව ජන­පද මෙන්ම නව මංමා­වත්ද බිහි­විය යුතුය. එහෙත් සංව­ර්ධ­නයේ මුවා­වෙන් මෙවන් ජාතික අප­රාධ සිදු­කි­රීම කිසි­වෙ­ක්වත් නොඉ­ව­සති. අයි­තිය ඉල්ලා සටන් වදින බොහෝ පිරිස් අප අතර සිටිති. එහෙත් අයි­ති­යක මුවා­වෙන් මහා දිය කඳක් උප­ද්ද­වන වන­පෙ­තද ආරක්ෂා කර­මින් සිය අභි­ප්‍රා­යන් ඉටු­කර ගන්නේ නම් කෙත­රම් අග­නේද?

ඕප­ල්ගල රක්ෂි­තයේ ඇතැම් තැන්වල සුන්ද­රව ගලා බසින දිය කඩිති ආස­න්නයේ කම්බි කණු සිටුවා එය තමන්ගේ කර ගැනී­මට උත්සහා දැරීම කෙත­රම් යුක්ති­ස­හ­ග­තද?


ඉන්දික අරුණ කුමාර

අදහස්